BREAKING
Top Ad
වායාම

වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

T

The Leader

October 23, 2021 • 2:48 AM

 වායාම 8 : සූකර පෝතිකා - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහවැලි නදිය තරණය කළ සිංහල සේනාවෝ මියුගුණ බලකොටුව හෙවත් මහියංගන බලකොටුව අත්පත් කර ගැනීම එළාර රජ පරාජයකිරීමේ තීරක සිදුවීමය.
  • “දම්වැල් බලකොටුව” ලෙස නම් වී තිබූ ඒ අමුතු බලකොටුව සිංහලයන්ට අලුත් අත්දැකීමක් විය.
  •     මේ අනුව රණකාමී ජාතික යුද්ධයේ පෙරටුගාමී සඟයා ලෙස ගෝඨයිම්බර රිටිගල බලකොටුව බිඳ, එතනින්  අනුරාධපුරයට සිංහලයා රැගෙන යන්නේය.
  • “මාගම් වංශය” නමින් නවරාජ ප්‍රවාහයක් ලක් සිහසුණේ උරුම සිරිත බවට පත්වන්නෙය.
අකුරු ප්‍රමාණය (Font Size):
එනමුත් එතැන් පටන් සිංහල සේනාවෝ එහි සිරවූහ. මන්ද මහියංගනයේ සිට අනුරාධපුරය වට කොට තිබූ අමුතු බලකොටු පොකුර නිසාය. “දම්වැල් බලකොටුව” ලෙස නම් වී තිබූ ඒ අමුතු බලකොටුව සිංහලයන්ට අලුත් අත්දැකීමක් විය.
 
 
ලකුණ්ඨක හෙවත් ගෝඨයිම්බර:Gota 23 1
 
 
 
 දුටුගැමුණු සහ ඔහු හා සහබද්ධ ජාතික සඟයන් දම්වැල් බලකොටුව පාමුල අන්දමන්දව සිටිය දී පෙරට එන්නේ සිංහලයන් අතර සිටි කුඩාම මිනිසාය. හේ ලකුණ්ඨක හෙවත් ගෝඨයිම්බරය. ලකුණ්ඨක හා ගෝඨයිම්බර යන නම් දෙකෙහිම සරල සිංහල තේරුම් කුඩා, මිටි, පොඩි යන්නය. අසාමාන්‍ය කුඩා සිරුරක් සහිත අදිටනින් පිරිපුන් මේ යෞවනයා දම්වැල් බලකොටුව බිඳ දැමුවේ දම්වැල් සූත්‍රය සිංහලයාට කියා දෙමින්ය. 
 
ඒ සමගම දසවිද බලඇණියේ පෙරමුණ මහියංගනය තොටමුණේ සිට ගෝඨයිම්බරට හිමිවන්නේය.  
 
මේ අනුව රණකාමී ජාතික යුද්ධයේ පෙරටුගාමී සඟයා ලෙස ගෝඨයිම්බර රිටිගල බලකොටුව බිඳ, එතනින්  අනුරාධපුරයට සිංහලයා රැගෙන යන්නේය. අන් සියල්ලෝම තම ශිල්ප විස්කම් පාන්නේ ඉන් පසුවය.
 
 
 
 
යුද්ධය දිනන්නේය. එළාර රජ ඝාතනය වන්නේය. දුටුගැමුණු කුමරු සේසත් නඟන්නේය. “මාගම් වංශය” නමින් නවරාජ ප්‍රවාහයක් ලක් සිහසුණේ උරුම සිරිත බවට පත්වන්නෙය. ඒ ප්‍රථම වරට ලක් සඟ සිරිත දේශපාලනයට බද්ධ වෙමිනි. 
 
රිටිගල ජයසේන:
 
 
 
 
එහි ප්‍රතිඵලය වන්නේ සඟුන් වහන්සේලා හා සෙබළ නියමුවන් අතර ගැටුමය. ගැටුම දුරදිග යන්නේ “රිටිගල ජයසේන” සටන් බිමට එක්වීමත් සමගය. රිටිගල ජයසේන යනු සිංහලයන්ගේ අග්‍ර සටන් භූමිය වූ රිටිගල හි උරුම image 10789f344eකරුවාය. ඔහු එළාර විරෝධී යුද්ධයේ දී මුනිවත රැක සිටියේය. 
 
ඒ සමහර විට තම ගුරුකුලය එළාරගේ පාලන භූමියේ පිහිටා තිබූ නිසා වන්නට ද ඇත. ඒත් යුද්ධය ජයගත් විගස රිටිගල ජයසේන දුටුගැමුණු කුමරුගේ අතවැසියා වන්නේ ගෝඨයිම්බරට පුද්ගලික අභියෝගයක් කරමිනි. 
 
 
 
රිටිගල ජයසේනගේ අභියෝගය මතුවන විට දේශපාලන සඟුන් වහන්සේලා ද, ගෝඨයිම්බරට එරෙහිව මාරක විරෝධයක් පටන්ගෙන තිබුණි. මේ සියල්ල මැදින් ගෝඨයිම්බර සොයා යන්න සිත්දෙන ශෛල අකුරුවැල හමුවන්නේ කුරුණෑගල. ගොකරැල්ල වන සෙනසුනෙනි. 
 
ලකුණ්ඨක හෙවත් ගෝඨයිම්බර රුහුණේ නෙටුල්පිටිගම උපත ලැබුවෙකි. ජාතික උදානයට පණ පොවන්නට මත්තෙන් ඔහු විවහා වන්නේ සත්කෝරළයේ, කුරුණෑගල, ගොකරැල්ල, ගම්පති දියණිය සමගය. ඈ නමින් සුමනාය. 
 
සුමනා ලක් සසුන් වාර්තාවල මහත් ඉහලින් ලියවී ඇත්තේ, ඇය සිංහලයේ අවසන් මහ රහත් උත්තමාවිය බවට අනුමාන වෙමිනි. සංඝමිත්තා මෙහෙණිය ආරම්භ කළ ලක් භික්‍ෂුණි සසුනෙ හි අවසන් රහත් තෙරණිය ඇය බව මෙරට අතීත ධර්ම පුස්තක සියුම්ව කියවා බලන විට පසක් වේ. 
 
මේ අතරින් “ධම්මපදට්ඨකතාව” ප්‍රමුඛ කෘතියය. එහි “සූකර පෝතිකා කථා වස්තුව” මෙම සියුම් සිදුවීම ලියා තබා ඇත්තේ ලක් ඉතිහාස ග්‍රන්ථ නොලියූ කතාවක් ද ලියා තබමිනි. 
 
 
 
ගොකරැල්ල ගම්පතිගේ දුව සුමනා වැසි ග්‍රාමය අයත්වන්නේ ද, කාලවාපියටය. කාලවාපිය යනු කලාවැවට අයත් ගම් පුරවරයය. ඒ අනුව සුමනා ජීවත් වන්නේ පසු කලක ලක්දිව අග විනිසුරුන් වහන්සේ වූ අභිධම්මිකගෝධත්ත මහ තෙරිඳු බවුන් වැඩූ කාලවාපී මහ සෙනසුන අසබඩය. 
 
 
ඒ ප්‍රදේශය ද, එළාර රජුගේ පාලනයට නතු වූ පිහිටි රාජධානියට අයත්ය. මේ අනුව රුහුණු මාගම ගෝඨයිම්බර පිහිටි රාජධානියේ සුමනා සමග පෙම්බැඳි කතාව සිතා බැළීමට බොහෝ දේ එක් කරන්නේය. 
 
අනුරාධපුරයට පිවිසීමට බාධා වී තිබූ දම්වැල් බලකොටු වැල බිඳ දමන්නට ගෝඨයිම්බරට මේ ප්‍රේමණීය අතීතය ද හේතු වන්නට ඇත. මේ අනුව තම පෙම්වතිය දැක ගන්නට කාලවාපි ගිය හිරිමල් ගෝඨයිම්බර ජාතික යුද්ධයට බොහෝ කලකට පෙර එළාරගේ බලකොටු දැක තිබෙන්නට ඇත. 
 
 
සූකර පෝතික කතා වස්තුව :
 
 
ධම්මපදට්ඨ කතාවේ සූකර පෝතික කතා වස්තුවෙන් පැහැදිලි වන්නේ සුමනා තම මව්පියන් සමග රුහුණට පැමිණි වගය. එයට හේතුව ඔවුනගේ ගම්බිම් විනාශ වීමය. මේ එළාරගේ ආක්‍රමණ පිළිවෙතක් නිසා ද විය හැකිය. 
 
තම ප්‍රදේශයේ ගම්පතිගේ දුවණියක් දකුණු මාගම පුත්‍රයෙකු හා විවහා වීම එළාරගේ බළඇණියට මේ ගම වනසන්න හේතුවක් ද වන්නට ඇත. 
 
 
 
 
කෙසේ නමුත් ධර්මධර ගෝධත්ත තෙරිඳු වෙතින් ධර්මඥාණය ලැබූ සුමනා මාගමට පැමිණ ද ධර්ම මාර්ගයේම ගමන් කළේය. තම ස්වාමියා යුද්ධ භූමියේ සිටියදීම ඈ නොනැවති දහම් මග හැසුරුණ බව සිතුල්පව්ව සෙල් ලිපිය සාක්‍ෂි දරයි. මේ අනුව ගොකරැල්ලේ ශෛල අකුරු වැල ද. සිතුල්පව්වේ ශෛල අකුරු වැල ද, සුමනා සහ ගෝඨයිම්බරගේ ආල කතාව සසුන් කතාවත අතරින් ප්‍රභාවිත කර ඇති සැටි අපූරුය. මේ ඓතිහාසික සෙල් ලිපි සටහන් වඩාත් අපූරුවට ධම්මපදට්ඨ කතාවෙන් අරුත්බර වී ඇත. 
 
 
ගෝඨයිම්බර යෝධයා පිළිබඳ සෙල් ලිපි 
 
 
 
 
 
north gate extr332220734 4355002 stdගෝඨයිම්බර යෝධයා පිළිබඳ සෙල් ලිපි හමුවන්නේ රුහුණේ සිතුල්පව්ව හා කුරුණෑගල ගොකරැල්ල යන ස්ථාන වලින් පමණය. මේ සෙල්ලිපි වලින් ද වඩාත් හොඳින් මතුවන්නේ ගෝඨයිම්බර හා සුමනාගේ ප්‍රේම කතාවය. 
 
තම ස්වාමියා යුධ භූමියේ විස්කම් පාන කල්හී සුමනා සසුන් කෙතට ඇතුල් වන්නීය. 
 
එයට හේතුව වන්නේ මාගම වසන සුමනාගේ නිවසට වඩින මාගම කෝට පබ්බත විහාර වාසී මහ අනුල තේරුන්ය. උන්වහන්සේ ස්වකීය පිරිවර සඟුන් වහන්සේලා සමග පිඬුසිගා යන අතර ගෝඨයිම්බර යුවලගේ නිවසට වැඩියහ. එකල්හි අනුල තෙරුන් වහන්සේ ඇය දැක ඇගේ පෙර අත්බවය ද දැක ඈගේ සසර පින් ද මෙනෙහි කරන්නේය. පසුව අනුල තෙරිඳු තම පිරිවර භික්‍ෂූන් අමතන්නේය. 
 
 
ඇවැත්නී.... අප හට දන් පිදූ ඈ, මින් සොළොස් අත් බවයකට, 
පෙර කල්හී දඹදිව ඉපිද සිටියේය. 
එකල්හී ඇය ගම් සූ කිරියකි. (ගම් ඊරියකි)
 
මේ අතීත තතු පවත ඇසූ සුමනා සසර කතර අතර වැද සංවේගයට පත්ව ගිහි ජීවිතයෙන් මිදී මහණදම් පුරන්න්ට සිතුවේය. යුදබිමේ අවසන් සටනේ, අවසන් බලකොටුවේ විජිතපුරේ සිටි තම ස්වාමීයාට සැළවි පතක් (කුරුල්ලන් අත යවන ලිපියක්) යැවීය. 
 
තම සැමියාගේ අවසරය ලත් සුමනා මාගම තිස්සමහා විහාරයේ දී සතිපට්ඨාන සූත්‍රය අසා සෝවාන් වූවාය.  තම ස්වාමියාගේ අභිමන්, විස්කම් හේතුවෙන් පර සතුරු උවදුරින් රට මිදුණු කළ, ඈ තෙමේ තම උපන් ගමට වැඩම කර ඇත.  එහි පිවිස තම දෙමව්පියන් රැක බලාගෙන දහම්මගට පේ විය. එහි වැසි ඈ එහිදි  කාලවාපි මහ වෙහෙර වාසී ගෝධත්ත මහ තෙරුඳුගෙන් ආසිවිසෝපම සූත්‍රයෙන් ධර්මය අසා මහරහත් පදවි ලබන්නේය. 
 
 
 
සුමනා මහ රහත් පදවි ලැබ සිටි කල්හි ගෝඨයිම්බර අසමසම යුධ සෙන්පති ලෙස බුහුමන් ලැබ සිටියේය. ඒත් පොදු සතුරා නැතිවිට මිතුරා තුලින්ම සතුරා ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේ දුටුගැමුණු රජුගේ ජාතික බල පෙරමුණ බලයෙන් කෙලෙසී බල මුළු වලට බෙදී වෙන් වී යෑමය. 
 
 
 
 
ඒ අනුව දේශපාලන සඟුන් වහන්සේලා ධර්මාසනය අතහැර රාජාසනය අත්පත් කරගැනීමත් සමග ගිහි සමාජය මහත් කම්පනයට පත්විය.  එලෙස කම්පිත ගිහි ජනයාගේ පෙරමුණු තරුව වන්නේ ද ගෝඨයිම්බරය.  
 
ස්වකීය බිරිඳ මහරහත් උත්තමාවියක් වීම ද, සංගමු මහ වෙහෙර හා සිතුල්පව් මහ වෙහෙරට ද ලෙන් පූජා කිරීම නිසා ද, ගෝඨයිම්බර මෙළෙස නිර්මල සසුන් ප්‍රාර්ථනාගාමීන්ගේ හද පැතුම වන්නට ඇත. 
 
ඒත් එයම ගෝඨයිම්බර හා දුටුගැමුණු අතර රාජ දේශපාලන ගැටුමට තුඩු දෙන සිදුවීම වන්නේය.  එහි ප්‍රතිඵලයක් ලෙස රිටිගල ජයසේන ගෝඨයිම්රට කළ අභියෝගය මතුවන්නේ මුළු මහත් රටම උණුසුම් කරමිනි.
 
 
 
රිටිගල ජයසේන - ගෝඨයිම්බර ද්වන්ධ සටන:
 රිටිගලජයසේනපුරාවෘතය.jpeg Page 3
 
 
රිටිගල ජයසේනගේ ද ගෝඨයිම්බරගේ ද ද්වන්ධ සටනට දින නියම විය.  ලක්‍ෂ ගණන් ජනකාය මේ ජීවමාන සටන්කාමීන් දෙදෙනාගේ සටන බලන්නට, සටන් බිමට රොඳ බඳින්නට විය. රාජ්‍ය බලකාමී බලවේගයන්ගේ ඉලක්කය වූයේ සටන් බිමේ දී ගෝඨයිම්බර මිය යෑමය.  
 
සටන් ගුරුකල වල මුදුන් ගුරු වූ රිටිගල ජයසේන සමග සටන් කර ජයගැනීම සිහිනයක් තරම් අසීරු වූවකි.  ඒත් පුත්තලමේ තම්බපණ්නි සටන් පිටියේ පැවති සටනින් රිටිගල ජයසේන පරදවා ගෝඨයිම්බර ජයගත්තේ ජනමන ප්‍රසාදයේ අරුම පුදුම ජනකාන්ත තරු වරුණ වෙමිනි. 
 
එයම රජු ද, සඟුන් ද, ගෝඨයිම්බර අතර සටන තවත් වටයකින් පුළුල් කළේය. 
 
 
ලක්දිව එක්සේසත් කිරීමට ස්වකීය දිවියම කැප කළ තම සගයා පිළිබඳ දුටුගැමුණු රජු මහත් බියට පත්ව සිටියේය. බිරිඳ රහත්වීමෙන් ගෝඨයිම්බර ලැබූ පහන් හැඟුම් මුසු ප්‍රසාදය ද, එළාර රජු පරදවා, රිටිගල ජයසේනද පරදවා ඔහු ලබාතිබූ වික්‍රමාන්විත උරුමය ද රජු සසල කරන්නේය. 
 
 
 
 
රජුගේ එම හැඟීම් තවත් තීව්ර කිරීමට දේශපාලන සඟුන් වහන්සේලා සමත් වන්නේය. මෙම සිත් රිදවන සිදුවීම එකල්හි ලක් රාජ සිහසුන යටින් දිවගිය හෙළි නොවූ අති රහසය. 
 
එක් අතකින් “ධම්මපදට්ඨ කතාව” සහ “සද්ධර්මාලංකාරය” ලක් ඉතිහාස පවතේ සැඟවී ගිය මෙම පුවත  හෙළි කිරීම සම්බන්ධයෙන් ඉටුකර ඇත්තේ අනගිභවනීය මෙහෙවරකි. 
 
මෙම කෘතීන් නොවන්නට ගෝඨයිම්බර යෝධයා විජිතපුර සටනත් සමග ඉතිහාස පොතින් මැකී යන්නට තිබුණි. ඒත් සද්ධර්මාලංකාරය, ගෝඨයිම්බර ද, ධම්මපදට්ඨ කතාව, ඔහු බිරිඳ සුමනා ද, ශේෂ කර තැබීමෙන් නූතන අපට අතීත පිය සටහන් දිගේ ඇවිද සැබෑව, යථාව සොයාගැනීමට බොහෝ තතු නිමිති පාදා දී තිබේ. 
 
 
 
 
දුටුගැමුණු රජතුමා සහ ගෝඨයිම්බර අතර ඇතිවෙන අනුවේදනීය සමුගැනීම ලක් රාජ ඉතිහාසයේ ශෝකාන්තයකි. මේ ශෝක පුවත බොහෝ ජනප්‍රිය ජාතී ප්‍රේමින් ඉතිහාසයෙන් බැහැරව තබාගැනීමට තරම් කුහකයන් වී ඇත. 
 
ගෝඨයිම්බරගේ හදවතින් නැගෙන මහත් වූ කළකිරීම හා වේදනාව නිමාවන්නේ ඔහු නික්ම යෑමෙනි. සැබැවින්ම ඉර සඳ පවතින තුරු නොනිමෙන ජාතික උදානය තැනූ ඔහු එම උරුමයෙන් ස්ව කැමැත්තෙන්ම ඉවත්ව යන්නේය. මෙවන් බල උරුමයක් අතහැර දමන්න තරම් බලයෙන් නොකිළිටි සංසුන් සිතක් ගෝඨයිම්බරට තිබුණේ ඔහු ද, ඔහු බිරිඳ ද, දහම් මග පිළිපන් සුපසන් චරිත නිසා වන්නට ද ඇත.
 
දුටුගැමුණු රජුගේ බල පිළිවෙතින් කැළඹී ගිය ගෝඨයිම්බර සේනාධිපති පදවිය ද අතහැර දැමුවේය.  පසුව ලක්දිවෙන් ද, සිංහලයන්ගෙන් ද, සමුගෙන දඹදිව හිමව් වන පියසට නික්ම ගියහ. එහිදි විදසුන් වඩා මහරහත් පදවී ලැබීය.  
 
 
 
මව්බිමක් නිදහස් කොට තමන් උපන් ජාතියට විමුක්තිය තැනූ මේ වීර පුරුෂ තෙමේ තම දයාබර බිරිඳ මෙන්ම සසරින් මිදී, සංසාර විමුක්තිය සදා ගැනීම ලක් ඉතිහාසයට කෙතරම් පහන් සිදුවීමක් විය යුතුද? ඒත් එළෙස වී නොමැත්තේ මන්ද? විකුමැති ගෝඨයිම්බර මතු වී සසරින් මිදී ශාන්ත සුන්දර නිවන්මග වැඩී ගෝඨයිම්බර රහත් උතුමාණෝ ගැන කතා ලතාවක් අපට නැත්තේ මන්ද? 
 
 
යුද්ධයට ලියවුණු ඉතිහාසය ධර්මයට ලියවුණ ඉතිහාසයක් ඇති රටක,  අසිපතින් සතුරා නැසූ ගෝඨයිම්බර ශේෂ වී කෙළෙස් මාරයා නැසූ මේ අද්විතීය නිර්වාණ ගාමියා නොවන්නේ මන්ද? 
 
ලියවී තිබූ පමණින් ඉතිහාසය ජීවමාන නොවේ. ගෝඨයිම්බරවන් යුධපතීන් තනන්න ඉතිහාසය සමග පොරබැදූ මට මහරහත් ගෝඨයිම්බරවන් නික්ලේෂී මහරහතුන් තනන්නට ඉතිහාසය සමග පොර බැඳිය යුතු යැයි සිතේ.
 
 
 
Sujith 2021
සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක 
 
 
 
 
 
 
 
 
 
 
කියවන්න - හදාරන්න :
 
 
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
සාටකේට සොහොන් ලකුණු ගොට්ටෝ හාන්සි | මොණරවිල ලියමන 
 

ජනාධිපති ආර්යාව බයෙන් ! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...