බැසිල් රාජපක්ෂ කියන්නේ මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ප්‍රබලම දේශපාලන චරිතය. ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයොත් දැන් බැසිල්ට සෙකන්ඩ්

වෙලා ඉවරයි.

ආණ්ඩුවේ ඉදිරි දේශපාලනය කියවා ගන්න ඕනි නං ජනාධිපති, අගමැති කියවාගෙන වැඩක් නෑ. ඒකට මහන්සි වෙලා වැඩක් නෑ. එයාලා හිතට එකඟව හරි නැතුව හරි දැන් කරන්නේ බැසිල්ගේ Project එක ක්‍රියාත්මක කිරීම හා ඒකට යටිතල පහසුකම් හදන එක.

නාමලුත් Hope For Sri Lanka කියලා අලුත් Project එකක් හදාගෙන යන්න හැදුවට ඒකේ ආයු කාලය දවස්වලින් තීරණය වෙයි. ඒක නිසා දැන් වඩා වැදගත් වෙන්නේ බැසිල්ව හරියට කියවා ගැනීමයි.

දැන් ඔයාල හිතයි ඇයි රටේ රාළ එක පාරටම බැසිල් එක්ක එල්ලෙන්න හදන්නේ කියලා. පහුගිය කාලේ බැසිල් ගැන තරම් දේශපාලන විග්‍රහ කා ගැනවත් ඇහුණේ නැති තරම්. ඒ විග්‍රහ ඇතුළේ හොද, නරක දෙකම තිබුණා.

බැසිල් ගැන මවපු අතිශෝක්තියත් කොච්චරද කියනවා නම් සමහර ඒවා අහලා බැසිල්ටත් ලැජ්ජා හිතෙන්න ඇති.

බැසිල් ගැන අන්තිමටම විග්‍රහය කළේ තිස්ස කුට්ටි. ඒ කියන්නේ බැසිල්ගේ හොඳම ජොකියෙක්. කුට්ටි කිව්වේ බැසිල්ට මොළ හතක් නෑ. ඒ උනාට බැසිල්ට එකවර හත්දෙනෙකුගේ වැඩකරන්න පුළුවන් කියලා.

ඒක ඇහූවම රටේ රාළට මතක් උනේ බැසිල් ගැන විජේදාස රාජපක්ෂ කියපු හත පාස් කතාව. විජේදාස කියපු කතාව ඇත්තද නැද්ද කියලා රටේ රාළ දන්නේ නෑ හැබැයි බැසිල් කියන්නේ දක්ෂයෙක් කියලා රටේ රාළ හැමදාමත් කිව්වා. ඒ තර්කය තවම බිඳ වැටිලා නෑ.

ඊළඟට බැසිල් කියන්නේ දක්ෂයෙක් උනාට හොඳ දක්ෂයෙක් නෙවෙයි, රටට ඕනි දක්ෂයෙක් නෙවෙයි කියලත් රටේ රාළ හැමදාම කිව්වා. එහෙම කරගන්න නං බැසිල් කනපිට හරවන්න ඕනි.

මෙතනදි රටේ රාළ කියන්නේ බැසිල් ලේසියෙන් කියවා ගන්න අමාරු චරිතයක් කියලයි. මොකද බැසිල්ට මොළ හතක් නැති උනාට බැසිල් ඇතුළේ චරිත කීපයක් වැඩ කරනවා.

ගොඩක් දේශපාලනඥයින් කියන්නේ දිත්ව චරිත තියන අය. හැබැයි කොච්චර උනත් ඒ චරිත කියවන්න පුළුවන්. ගොඩක් දේශපාලනඥයන්ගේ දෙබඩි චරිත දැනටමත් කියවා ගත්ත අය ඉන්නවා. ඒ අර්ථයෙන් සමහරු බැසිල්වත් කියවාගෙන ඇති.

ඒ නිසාම රටේ රාළටත් හිතුනා බැසිල් ගැන රටේ රාළට තියෙන විග්‍රහත් අමුවටම කියලා දාන්න. රටේ රාළ ඉතින් ඕනි දෙයක් කෙලින් කියන බව බැසිලුත් දන්නවා. ඒක නිසා මේකත් කෙලින් කියන්න ඕනි.

 

රටේ රාළට අනුව නං බැසිල් ඇතුළේ චරිත දෙකක් නෙවෙයි කීපයක් ඉන්නවා. සමහරවිට හතක් වෙන්නත් පුළුවන්. රටේ රාළට දැනට චරිත තුනක් අහුවෙලා තියනවා. ඒක්කෙනෙක් ඉතින් ඔය කාටත් පේන බැසිල්. අනිත් කෙනා අපට නොපෙනෙන ඒත් අපි දන්න ඇමරිකන් බැසිල්. ඊළඟට රටේ රාළ විශ්වාස කරනවා බැසිල් ඇතුළේ ඉන්දියානුවෙකුත් ඉන්නවා කියලා.

 

එහෙම වෙන්න බලපාන ලබැදියාවන් අතර ගැටුමකුත් බැසිල්ට ඒ රටවල් හම්බන්ධව ඇති. කොහොම හරි ඇමරිකානු බැසිල් හා ඉන්දියානු බැසිල් මේ දවස්වල අපට පේන්නේ එක්කෙනෙක් විදිහට. ඇමරිකානු හා ඉන්දියානු උපායමාර්ගය එකිනෙකට සමපාත වෙලා තියන නිසා එහෙම පේනවා වෙන්නත් පුළුවන්.

හැබැයි බොහොම සියූම්ව බැලුවොත් ඇමරිකන් බැසිල්ට වඩා ඉන්දියන් බැසිල් ඉස්මතු වෙලා පේනවා. ඒකට හේතුව ඉන්දියාව බැසිල් එක්ක රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ගොඩක් කරන හින්දා වෙන්න ඇති. හෙට අනිද්දාටත් බැසිල් ඉන්දියාවේ යයි. ලග ලගම දැන් දෙපාරයි.

හැබැයි ඇමරිකාව බැසිල් එක්ක එච්චරම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් කරන බව පේන්නේ නෑ. ඇමරිකාව බැසිල් එක්ක ගනුදෙනු කරන්නේ නෑ කියලා නෙවෙයි ඒකෙත් කියන්නේ. තමන්ගේ පුරවැසියා එක්ක ඕනිම වෙලාවක ඕනිම විදිහේ ගනුදෙනුවක් කරන්න ඇමරිකාවට පුළුවන්. ඕනි නං රහස් ගනුදෙනුවක් උනත් කරන්න පුළුවන්. මොක කළත් ඒක ඇමරිකාවට සාපේක්ෂව නීත්‍යානුකූලයි.

කොහොම උනත් බැසිල්ගේ අවසන් නවාතැන ඇමරිකාවද, ඉන්දියාවද කියලා කියන්න රටේ රාළ දැන්ම ඉක්මන් වෙන්නේ නෑ. දැනට බැසිල් ඇමරිකන් පුරවැසියෙක් නිසා ගොඩක් අය කියන්නේ බැසිල් අවසානයේ ඇමරිකාවට පැනලා යයි කියලා.

 

කොහොම උනත් එකක් නං පැහැදිලියි. බැසිල් මේ ගෙනියන්නේ ඇමරිකානු ඉන්දියානු උපායමාර්ගයට අපේ රට තල්ලු කිරීමේ මෙහෙයුම කියලා. දැන් ඒක රටටම පේනවා. බලන්නකෝ ත්‍රිකුණාමලය ඉන්දියාව ආක්‍රමණය කරන හැටි. ඔන්න කන්තලේ සීනි සමාගමටයි, ඒකට අයිති ඉඩම් අක්කර 20000 ටයි කනකොකා හඩාගෙන එන්නේ.

 

මේ ඉන්දියානුකරණය ගැන හැංගිලා කරන්න ඕනි චෝදනාවක් නෙවෙයි. ශ්‍රී ලාංකිකයෙක් විදහට රටේ රාළට ඇතිවෙන සාධාරණ සැකයක් ඒක. ඒ විතරක් නෙවෙයි බැසිල් ඒ වැඩේ ලස්සනට කරනවා කියන විශ්වාසයත් රටේ රාළට තියනවා. එක වෙලාවක බැසිල් කෙලින්ම ඒකට සම්බන්ධ වෙනවා. නැත්තං බළලලුන් ලවා කොස් ඇට බාවා ගන්නවා.

ඒකට හොදම උදාහරණය තමයි බැසිල් විරෝධියෙක් යැයි කියන ගම්මන්පිල ලවා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය අපට ඉතාම අවාසි දායක කොන්දේසි මත ඉන්දියාව සතු කිරීම.

තෙල් ටැංකි සංකීර්ණය

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණය

 

බැසිල් මූලික උන කෙලවරපිටිය බලාගාර ගිවිසුම වගේම ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම හරියට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් උන ගිවිසුම් දෙකක් නෙවෙයි. එතනදී ගම්මන්පිලලා කියන්නේ කෙලවරපිටිය බලාගාර ගිවිසුම කැබිනට් එකට පෙන්නුවේ නෑ කියලා. හැබැයි ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමේ කොටසක් කැබිනට් එකට පෙන්නුවේ නෑ කියලා බැසිල් කවදාවත් කියන්නේ නෑ.

ඒක තමයි රටේ රාළ කියන්නේ බැසිල් බළලටවත් තේරෙන්නේ නැති වෙන්න උන් ලව්ව කොස් ඇට බාවා ගන්නවා කියලා. ඒක බැසිල්ගේ විශේෂ හැකියාවක්.

කෙලවරපිටිය බලාගාර ගිවිසුම ගැනයි, ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම ගැනයි රටේ රාළ කිව්වේ එයාගේ ඇමරිකානු හා ඉන්දියානු සම්බවය ගැන කියන්න. තව ඕනි තරම් උදාහරණ තියනවා. කවුරු හරි අභියෝග කරනවා නං ඒවා ගැනත් කියන්න පුළුවන්.

දැන් ඔය කතා කළේ ඇමරිකන් හා ඉන්දියන් බැසිල් ගැන.

ඊළගට අපි අපේ බැසිල් ගැනත් බලන්න ඕනි. ඒ කියන්නේ ශ්‍රී ලංකන් බැසිල් ගැන. රටේ රාළට හිතෙන්නේ ශ්‍රී ලංකන් බැසිල් ඇතුලෙත් තව බැසිල්ලා ඉන්නවා කියලා. ඒකත් උදාහරණයකින්ම පැහැදිලි කරගමු.

ඔයාලා දන්නවා පහුගිය අයවැය යෝජනාවල තිබුණා අපේ රටේ මිලියන 2000 වඩා බදු අයකරගත හැකි ව්‍යාපාරවලට 25% ක අධිභාර බද්ධක් පනවනවා කියලා. බැසිල්ගේ විග්‍රහට අනුව 2020/2021 අවුරුද්දේ ඒ සීමාවට අහුවෙන ව්‍යාපාරයවලින් තමයි 25% ක අධිභාරය පනවන්නේ. අනික ඒක අය කර ගන්නේ එක පාරයි.

ඒ ගැන බැසිල් කරපු පැහැදිලි කිරීමකදී එයා කිව්වේ එහෙම ව්‍යාපාරය 60 ක් විතර තියනවා කියලා. ඒයාලගෙන් අරගෙන රටේ දුප්පත් ජනතාවට දෙනවට විරුද්ධ වෙන්නේ කවුද කියලත් බලාගන්න පුළුවන් කියලා බැසිල් එදා පාර්ලිමින්තුවේදී කිව්වා. සේවක අර්ථසාධක අරමුදලට. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඊට යටත් වෙනවා කියලා බැසිල් එදා කිව්වේ නෑ.

ඒ ප්‍රශ්නය රටේ රාළට මතක විදිහට මාධ්‍යවේදියකක් ඇහුවා. බැසිල් එතනින් ලිස්සලා ගියා. ඊට පස්සේ ඔන්න දැන් ඒ ගැසට් එක ගහලා. පනත පාර්ලිමේන්තුවට දාලා. ඒ සමාගම්වලට අහුවෙන්නේ 2017 සමාගම් පනත අනුව ගැසට් කරපු ඒ කැටගරියට වැටෙන ව්‍යාපාර. ඒකට EPF එකයි, ETF එකයි අහුවෙනවා.

ඊළඟට ඒ ගැසට් එකෙන් කියන්නේ 2020 අප්‍රියෙල් පළවෙනිදයින් පස්සේ ඒ සිමාවට අයිති ව්‍යාපාර රජයට 25% ක අධිභාර බද්ධක් ගෙවන්න ඕනි කියලා.

ඔන්න ඔහොමයි ශ්‍රී ලංකන් බැසිල් අමතර රුපියල් බිලියන 75 - 100 ත් අතර ප්‍රමාණයක් සොයා ගන්න හැදුවේ.

දැන් වැඩේට රට පුරා විරෝධතා මතු වෙන්න පටන් අරන්. මේ පනත ගේනකොටම රටේ රාළ කිව්වා මේ අරමුදලවල තියෙන්නේ වැඩකරන ජනතාවගේ දහඩිය මහන්සිය ලේ කඳුළු කියලා. රටේ රාළ ඒ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඉල්ලුවා ඒක මංකොල්ල කන්න දෙන්න එපා. ඒකට විරුද්ධ වෙන්න. ඒකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා.

අද වෙනකොට රට පුරා දස දෙසින් ඒ විරෝධය බුර බුරා නැගෙනවා.දැන්  

ශ්‍රී ලංකන් බැසිල් බබා වෙලා. දැන් එයා නිරූපනය කරන්නේ පොඩි බබෙක්ගේ චරිතයක්. එයාගේ අමාත්‍යාංශයෙන් ගහපු ගැසට් එක ගැන එයා දන්නේ නෑ වගේ වෙලා. එයා චූටි බබෙක් වෙලා. එයා කැබිනට් එකට කිව්වලු EPF, ETF අරමුදල් ඒ 25% අධිභාර බද්ධට අයිති වෙන්නේ නෑ කියලා.

අනේ ඉතින් කැබිනට් එකේ ඉන්න හිරි වාත ටික ඒක පිලි අරගෙන.

 

දැන් බැසිල් ඇඳගෙන ඉන්න කිලිටි පැම්පස් එක ගලවලා අලුත් පැම්පස් එකක් අන්දන වැඩේ බාර අරන් තියෙන්නේ බන්දුල. මිනිහා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා EPF එකට හා ETF එකට 25% අධිහාර බද්ධක් පනවන බවට හදන විරෝධය පදනම් විරහිතයි කියලා. මුදල් ඇමතිතුමා එහෙම කරන්නේ නෑ කියලා කැබිනට් එකේදී ප්‍රතිඥා දුන්නාලු.

 

රටේ රාළ නං ඒවට කියන්නේ ප්‍රතිඥා නෙවෙයි. ඤාව්,ඤාව් කියලා. බන්දුල බැසිල් ඉස්සරහා මෝඩ උනාට මේ රටේ වැඩකරන ජනතාව බන්දුල ඉස්සරහා මෝඩ නෑ.

එහෙම කියන ගමන් බන්දුලත් පිලිගන්නවා ඒක පනතේ තියනවා කාරක සභා අවස්ථාවේ සංශෝධනය කරලා අයින් කරනවා කියලා. ඇත්තටම ඉතින් මොන ජීවිතද මේවා කියලත් හිතෙනවා එක වෙලාවකට.

සංශෝධනය කරන්න නං මොන බම්බුවටද දැම්මේ? ඔන්න ඔහොමයි අපේ ශ්‍රී ලංකන් බැසිල්. දැක්කා නේද. වැඩේ හරි ගියා නං වීරයා වගේ ඉන්නවා. වැඩේ පත්තු උනාට පස්සේ දන්නේ නෑ වගේ ඉන්නවා.

හරි ඕක කරන්න මේ රටේ ජනතාව කවදාවත් බැසිල්ට ඉඩ දෙන්නේ නෑ.

හැබැයි ඔයාලට ඒ උදාහරණයෙන් බැසිල් බහුවිධ චරිතයක් කියන එක තේරෙනවා ඇති. ඒක පැහැදිලි උනා නං ඒ ඇති. මොකද මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඒක.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ


(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්