තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (සැප්තැම්බර් 25 වැනිදා) නියෝග කළේය.


ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

සචිත්‍ර සේනානායකට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය.

විමර්ශනය පැවති කාල සීමාව තුළ සැකකරු විමර්ශන කටයුතුවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට හෝ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට ඔහු අන්‍යාකාරයෙන් බාධා කර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් සැකකරු ඇප මත මුදාහැරීමට තීරණය කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේය.

image 2023 reacts 08 14T160010.328
"මට මතක නෑ, කියන්න ඇති, බීලා කිව්වේ"

ඊයේ දින පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන ක්‍රීඩා විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විමර්ශකයින් බන්ධනාගාරගතව සිටියදී සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර බවත් එම ප්‍රකාශය තුළින් ඔහු ඉතා වැදගත් කාරණා "මට මතක නෑ, කියන්න ඇති, හිතේ තියෙන දේ කිව්වෙ, බීලා කිව්වේ,"යනාදී වශයෙන් පිළිතුරු ලබා දී ඇතැයි සඳහන් කළේය.

එම පිළිතුරු දෙස බැලීමේදී සැකකරු විමර්ශනවලට සහාය ලබා දෙන බවක් පෙනී නොයන බවත් ඔහු විමර්ශන නොමඟ යැවීමට උත්සාහ කරන ආකාරයක් පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

මෙම සැකකරු ඔට්ටුකරුවකු බව සඳහන් "ෂහීඩි" නැමැත්තෙකු සමග කටයුතු කර ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එවා ඇති වාර්තාවට අනුව මෙම ෂහීඩි නැමැත්තා ඉන්දියාවේ නවදිල්ලි නුවර ව්‍යාපාරිකයකු වන හෂිත් සේදි නමැත්තෙකු බවට කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.

මෙම ව්‍යාපාරිකයා ඔට්ටුකරුවකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වී සිටින බවත් ඔහුට ඩුබායි රාජ්‍ය සමග සම්බන්ධකම් තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අනාවරණය කළේය.

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන තුරු තවත් එක් අවස්ථාවක් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය ඉල්ලා සිටියේය.

රඳවා තිබ්බෙ බන්ධනාගාරයේ විශේෂ ප්‍රභූ කුටියක ද ?

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සැකකාර සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව කොළඹ බන්ධනාගාරයේ තිබෙන විශේෂ ප්‍රභූ කුටියක ඔහු රඳවා තිබෙන බවත් මෙය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් සඳහන් කළේය.

මෙම සැකකරු සමඟ තවත් පුද්ගලයින් හත් දෙනෙකු එම විශේෂ කුටියේ රඳවා ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි ක්‍රියා තුළින් නීතියේ සාධාරණත්වය ප්‍රශ්න සහගත තත්ත්වයකට පත්වන බවත් පැවසීය.

මෙහිදී සැකකාර සචිත්‍ර සේනානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

තම සේවාදායකයා රඳවා සිටියේ සිරකුටියක බවත් අවශ්‍ය නම් ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කැඳවා විමසීමට නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අවධාරණය කර සිටියේය.

තම සේවා දායකයා විමර්ශන කටයුතුවලට හෝ සාක්ෂි වලට මැදිහත්වීම් හෝ බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය.

ඒ අනුව අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත දෙසැම්බර් 01 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

‘ස්ටැබී’ සහ ‘ෂහීඩ්’ කියන්නේ කවුද?

මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් (සැප්තැම්බර් 6 වැනිදා ) නියෝග කළේය.

මෙම සැකකාර ක්‍රීඩකයා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සිද්ධියට අදාළව වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කරන බවයි.

ඊට අමතරව මෙම සැකකරු හා සම්බන්ධ හඬපටයකට අදාළව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ හඬ පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතව ඇති හෙයින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් එම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාව තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.

සැකකාර ක්‍රීඩකයා කටහඬ පරීක්ෂණය සඳහා ලබන 13 වනදා පෙරවරු 9 ට රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරනු ලැබීය.

දේශීය නියෝජිතයා ද?

මෙම සිද්ධියට අදාළ විමර්ශන කරන ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, "ස්වාමීනි.. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශනය සිදු කෙරෙනවා. 2020 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇලෙක්ස් මාෂල් නැමැති නිලධාරියෙකු එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ වුණේ. එම පැමිණිල්ලට අනුව 2020 වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට අඩුවෙන් ක්‍රීඩා කිරීමට හෝ පක්ෂග්‍රාහී ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු පෙළඹවීම් සිදු කර තිබෙන බවට විමර්ශන වල දී කරුණු අනාවරණය වුණා”.

ඔහු වැඩිදුරටත් පැවසුවේ “මෙහිදී ධම්මික ප්‍රසාද් නමැති ක්‍රීඩකයාට "ස්ටැබී" නැමැති පුද්ගලයෙකු විදේශයක සිට දුරකථනයෙන් කතා කර තිබෙනවා. මෙම තරගාවලියට ක්‍රීඩා කළොත් ලැබෙන්නේ ඩොලර් 50,000ක පමණ මුදලක් බවත් තමන් කියන ආකාරයට ක්‍රීඩා කලොත් ඊට වඩා වැඩි මුදලක් උපයාගත හැකි බවත් මෙම පුද්ගලයා ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකාර සචිත්‍ර සේනානායක නැමති ක්‍රීඩකයා ද මැදිහත් වී ධම්මික ප්‍රසාද් නමැති ක්‍රීඩකයාට දුරකථන ඇමතුම් 12ක් පමණ ලබා දී බලපෑම් කර තිබෙනවා."යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා" පසුව "ෂහීඩ්" නමැති පුද්ගලයකු තරිඳු රත්නායක නැමැති ක්‍රීඩකයාට විදේශයක සිට දුරකථනයෙන් කතා කර තිබෙනවා. එවිට තරිඳු රත්නායක එම පුද්ගලයාගේ දුරකථන අංකය අවහිර කර තිබෙනවා. එවිට තරිඳු රත්නායකට කතා කළ මෙම සැකකාර ක්‍රීඩකයා අදාළ දුරකථනය අංකය අවහිර කළේ ඇයිදැයි ප්‍රශ්න කර තිබෙනවා. ඒ වගේම ෂහිඩ් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබා දීම පිළිබඳව ක්‍රීඩා විමර්ශන ඒකකයට පැමිණිලි නොකරන ලෙසත් ඉල්ලීම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තරිඳු රත්නායක නැමැති ක්‍රීඩකයාට වැඩිදුර දෝෂාරෝපණ එල්ල කළ සැකකරු "උඹලට උදව්වක් කරන්න ගියාම උඹලා පණ්ඩිත වෙනවා. මේ නම්බර් එක දෙන්න එපා. ඕක මකා දාන්න" යනුවෙන් බලපෑම් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ස්ටැබී සහ ෂහීඩ් යන විදේශීය පුද්ගලයින් දෙදෙනා බුකීකරුවන් බව විමර්ශකයන් විශ්වාස කරයි.

මෙම සැකකාර ක්‍රීඩකයා ඔවුන්ගේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කර ඇති ආකාරයක් විමර්ශනවල දී පෙනී ගොස් තිබේ. මෙම ජාලය පිටුපස ප්‍රබල පුද්ගලයින් සිටින බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප විමර්ශන කළ යුතුයි. මෙම සැකකරු පදිංචිය මගහැර විමර්ශනවලට සහය නොදී සිටින පුද්ගලයෙක්. විමර්ශනවලට අවශ්‍ය දුරකථනයක් ඉල්ලා සිටියත් ඔහු එම දුරකථනයක් ලබා දුන්නේ නෑ. ඔරු පදින අවස්ථාවේ ජලයට වැටී එය විනාශ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මෙම සැකකරු අදාළ චෝදනාවලට වරදකරු වුනොත් රුපියල් මිලියන 100 ක් නොඉක්මවන දඩයක් සහ බරපතළ වැඩ සහිත වසර දහයක් නොඉක්මවන සිරදඬුවමක් පැනවීමේ හැකියාවත් අධිකරණයට තිබෙනවා." ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු අධිකරණය මඟහැර පළා යාමේ ප්‍රවණතාවක් පවතින හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව සැකකාර සචිත්‍ර සේනානායක වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරාල කරුණු ඉදිරිපත් කළේය.

" ස්වාමීනි ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් එය ආරම්භ කළ යුත්තේ සචිත්‍ර සේනානායකගෙන් නොවෙයි. එය ආරම්භ කළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔට්ටු තබන වෙබ් අඩවි ගණනාවක ලියාපදිංචි වී තිබෙනවා. මාගේ සේවාදායකයා ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙක්. ඔහු මුදලට විවිධ කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරනවා. තම සේවා දායකයා පදිංචිව මගහැර විමර්ශනවලට සහාය නොදී සිටින බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන්ම සාවද්‍යයි.”

කැඳවීම් ලද සෑම අවස්ථාවකම මාගේ සේවාදායකයා විමර්ශන කණ්ඩායම් හමුවේ පෙනී සිටියා. අදත් ඒයාකාරයෙන්ම පෙනී සිටීමක් කළා. විමර්ශන පැවැති පසුගිය කාලසීමාව තුළ ඔහු හය වතාවක් විදේශගතව ආපසු මෙරටට පැමිණියා. විමර්ශන මඟ හැර පළා යාමට සූදානම්ව සිටින පුද්ගලයෙක්නම් විදේශගත වී මේ ආකාරයෙන් ආපසු මෙරටට පැමිණෙන්නේ නෑ. ඔහු දෙදරු පියෙක්." මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන සැකකරු ඇප මත මුදා හරින ලෙස විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ අධිකරණය ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝ කළේය.

විදේශ ගමන් තහනම්

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් මාස 3 ක කාලයක් සඳහා තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (අගෝස්තු 14 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.

ක්‍රීඩා දූෂණ පරීක්ෂණ කමිටුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Screenshot 2023 09 26 at 11.11.51

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ ජාලයක් සමග සම්බන්ධ බවට චෝදනා

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ද එම ජාලයට සම්බන්ධ වී කටයුතු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රීඩකයා සෙසු ක්‍රීඩකයින්ට "අඩුවෙන් ක්‍රීඩා කිරීම" සඳහා මුදල් ලබාදීමට යෝජනා කර ඇතැයි කියා සිටියේය.

ඒ අනුව අදාළ තරගාවලියේදී තරිඳු රත්නායක ඇතුළු ක්‍රීඩකයින් දෙදෙනෙකුට සචිත්‍ර සේනානායක විසින් "අඩුවෙන් ක්‍රීඩා කිරීම" සඳහා රුපියල් ලක්ෂ 130 බැගින් ලබාදීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද ඔහු පැවසීය.

මීට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක පදිංචි ස්ථාන වලින් අතුරුදන්ව ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඔහු රටින් පලා ගියහොත් මෙම විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි සඳහන් කළේය.

Screenshot 2023 09 26 at 11.52.29
අදාළ ක්‍රීඩකයා මෙම චෝදනාවට වරදකරු වුවහොත් වසර 10 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හෝ රුපියල් මිලියන 10 ක දඩයක් නියම කිරීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වන බලය අධිකරණය වෙත පැවරී ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් මාස 3ක කාලයක් සඳහා අත්හිටුවමින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

අනතුරුව මෙම පැමිණිල්ල ඔක්තෝබර් මස 16 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.

මෙම පැමිණිල්ලක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිමල් ප්‍රනාන්දු හා ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයේ නිලධාරිහූ ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.


(BBC සිංහල සේවය)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image