ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා, එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ

ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට, නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද (28) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේ දී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මෙම දැනුම්දීම සිදු කළේ ය.

පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම්කර සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව දැනුම් දුන්නේ ය.

ඒ අනුව, නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඔහුගේ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.


එම අවස්ථාවේ දී, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බවත්, සේවාදායකයා වෙනුවෙන් ඔහු පෙනී සිටින බවත් ප්‍රකාශ කළේ ය.


ඉන් අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කරන බව දන්වා සිටියේ ය.

එමෙන්ම මීළඟ නඩු දිනය තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් නීතිඥ විදානපතිරණ අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේ තවදුරටත් පසුවන බව කියා සිටියේ ය.


අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස පස්වැනිදා දක්වා කල් තැබීමට නියම කළේ ය.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ස්ථාවරය ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම්දීමට නියමිත ය.

(BBC සිංහල සේවය)

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්