leader s

ස්ලොවේනියාවේ 25 හැවිරිදි වෘත්තීය පාපැදි ක්‍රීඩක ටඩේ පොගාචාර් (Tadej Pogacar) වාර්තා අලුත් කරමින් තෙවැනි වතාවටත්

‘ප්‍රංශ සවාරිය’ මහා පාපැදි තරගය - Tour de France - ජයග්‍රහණය කළේ පාපැදි පුරාවෘත්තයක් බවට පත්වෙමින්.

මීට පෙර 2020 හා 2021 වසරවලදී ප්‍රංශ සවාරියේ ජයග්‍රාහකයා වූ මේ විශිෂ්ට පාපැදි ක්‍රීඩකයා ඊට තෙවසරකට පසුව නැවත වතාවක් එම කිරුළ දිනා ගැනීම විශේෂත්වයක්.

tour de france
මීට අමතරව පොගාචාර් එකම වසරේදී ‘ප්‍රංශ සවාරිය’ සහ ඒ හා සමාන ‘ජීරෝ ඩි ටාලියා’ (Giro d’Italia) යන දැවැන්ත පාපැදි තරග දෙක ම විජයග්‍රහණය කළ ලොව පළමු පාපැදි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුනා. මීට කළින් එම වාර්තාව 1998 වසරේදී පිහිටුවා තිබුනේ ඉතාලියේ මාර්කෝ පන්ටානි (Marco Pantani) විසින්.

පොගාචාර්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ, ප්‍රංශ සවාරිය දෙවතාවක් ජය ගත් ඩෙන්මාර්කයේ යෝනස් විංගගෝ (Jonas Vingegaard) ට මෙවර හිමිවූයේ සමස්ත තරගයේ දෙවැනි ස්ථානය.

මොනකෝ නගරයේ සිට නීස් නගරය දක්වා කිලෝමීටර් 34ක දුරක ඊයේ පැවති 21 වැනි අදිරයර කාලය මැනීමේ තරගය පොගාචාර් මිනිත්තු 45යි තත්පර 24කින් ජය ගත් අතර විංගගෝ සිටියේ ඊට වඩා මිනිත්තුවයි තත්පර 3ක් පිටුපසින්. බෙල්ජියමේ රෙම්කෝ ඊව්න්යිපියෝ (Remco Evenepoel) මිනිත්තුවයි තත්පර 14ක් පිටුපසින් තෙවැනියට සිටියා.

ge5r663
සමස්ත කාලයේදී, විංගගෝ තරගය අවසන් කළේ පොගාචාර් ට වඩා මිනිත්තු 6යි තත්පර 17ක් පිටුපසින්. සමස්ත තරගයේ තෙවැනියා වූ ඊව්න්යිපියෝ සිටියේ ජයග්‍රාහී පොගාචාර් ට වඩා මිනිත්තු 9යි තත්පර 18ක් පිටුපසින්.

පොගාචාර් එක ම ප්‍රංශ සවාරියකදී කඳු නැගීමේ අදියර පහක් ජයග්‍රහණය කළ දෙවැනි පුද්ගලයා බවට මෙවර පත්වුනා. මේ හපන්කම පෑ පළමුවැන්නා වූයේ 1948 වසරේදී ඉතාලියේ ජීනෝ බාර්තලී (Gino Bartali).
Gino Bartali
ඉරිදා කාලය මැනීමේ තරග අදියරේදී ආක්‍රමණශීලී ක්‍රීඩාවක යෙදීමට පොගාචාර් ට අවශ්‍ය නොවූයේ පෙර දින රැයේදී ඔහු විංගගෝ ට වඩා මිනිත්තු පහකට වඩා වැඩි කාලයක් පෙරමුණ ගෙන සිටි බැවින්.

පොගාචාර් තරගයේ අවසන් රේඛාව ඉරිදා පසුකළේ අතේ ඇඟිලි තුනක් දිග හැර ඔහුගේ තෙවැනි ප්‍රංශ සවාරි පාපැදි ජයග්‍රහණය සංකේතවත් කරමින්. එය ‌මෙවර ප්‍රංශ සවාරියේ ඔහුගේ 6 වැනි අදියර ජයග්‍රහණය ද වුනා. ‘ජීරෝ ඩි ටාලියා’ තරගයේදී ද සිය ආධිපත්‍ය පතුරුවමින් පොගාචාර් අදියර හයක් ජය ගැනීමට සමත් වුනා.

ටඩේ පොගාචාර් මෙවර වාර්තා කළේ ඔහු ජයග්‍රහණය කළ ප්‍රංශ සවාරි තුනේ ලොකුම ජයග්‍රාහී පරතරය යි. ඔහු මීට තෙවසරකට පෙර විංගගෝ පරාජය කළ මිනිත්තු 5යි තත්පර 20 අභිබවා ගිය ද පසුගිය වසරේදී විංගගෝ තමාව පැරදවූ මිනිත්තු 7යි තත්පර 29ක ජයග්‍රාහී පරතරය පැරදවීමට පොගාචාර් ට නොහැකි වුනා.

මීට වඩා වෙනස් වූ තත්ත්වයන් යටතේ විංගගෝ සමග පොගාචාර්ගේ සටනක් වෙනත් මුහුණුවරක් ගැනීමට ඉඩ තිබුනා. 27 හැවිරිදි විංගගෝ පසුගිය අප්‍රේල් මාසයේ පැවති Tour of the Basque Country පාපැදි තරගයේදී සිදුවූ අධිවේගී අනතුරකින් සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව සිටියා. ඔහු නැවත තරගකාරී පාපැදි තරගයකට පැමිණියේ මේ ප්‍රංශ සවාරිය තරගයෙන් පමණයි.

mark cavendish

එංගලන්තයේ පුරාවෘත්ත පාපැදි ශූර මාක් කැවෙන්ඩිෂ් (Mark Cavendish)

පොගාචාර් මෙවර ප්‍රංශ සවාරියේදී ඔහුගේ අණසක පැතිරවූයේ 2009 වසරේ එංගලන්තයේ පුරාවෘත්ත පාපැදි ශූර මාක් කැවෙන්ඩිෂ් (Mark Cavendish) ට පසුව එක් ප්‍රංශ සවාරිය තරගයක අදියර හයක් ජය ගත් පළමු පාපැදි ක්‍රීඩකයා බවට පත්වෙමින්. මීට අමතරව පොගාචාර් මෙවර තරගයේ සිවුවැනි අදියරේ සිට දින 19ක්, තරගයේ පෙරමුණේ සිටින තරගකරුවාට හිමි ‘කහ ජර්සිය’ පැළඳ සිටීමට සමත් වුනා.

කැවෙන්ඩිෂ් ද මේ තරගයේදී ඉතිහාසගත වෙමින් ප්‍රංශ සවාරියේ ඔහුගේ 35 වැනි අදියර ජයග්‍රහණය ලබා ගත්තා. ඔහු මේ ‌ෙඑතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ පස්වැනි අදියරේ.

ලෝක ප්‍රසිද්ධ ‘ප්‍රංශ සවාරිය’ මහා පාපැදි තරගය මෙවර අවසන් වූයේ නීස් නගරයෙන්. 1903 වසරෙන් පසුව ප්‍රථම වතාවට එම තරගයේ අවසානය පැරිසියෙන් පිට සිදුවූයේ ප්‍රංශයේ අගනුවර 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීම පිණිස සූදානම් වෙමින් සිටින නිසාවෙන්.

අගෝස්තු 3 වැනිදා පැවැත්වෙන පැරිස් ඔලිම්පික් මාර්ග පාපැදි තරගයේදී පොගාචාර් ස්ලොවේනියාව නියෝජනය කිරීමට නියමිතයි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්