ඔස්ට්‍රේලියාව ට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩංගණයේ අද පැවති පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ හුදෙකලා පිතිහරඹයක නිරත වූ නායක
චරිත් අසලංක ලකුණු 127ක් ලබා ගෙන ශ්‍රී ලංකාව මුළු ලකුණු 214කට ඇදගෙන යාමෙන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් සටන්කාමී ක්‍රීඩාවක නිරත වෙමින් එම මුළු ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගත්‌තේ ලකුණු 49 ක අනගි ජයක් වාර්තා කරමින්.
ලකුණු 215ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කැන්ගරුවන්ට ලබා ගත හැකිවූයේ ඔ්වර 33.5ක් ඇතුළත ලකුණු 165ක් පමණයි. ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය ලැබුවේ තරගයේ තවත් පන්දු 97ක් ඉතිරිව තිබියදී.

ලකුණු 135කට කඩුලු 8ක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකාව ඔ්වර 46කදී ලකුණු 214ක මුළු ලකුණු ප්‍රමාණයක් කරා ගෙන ගියේ දිරිය පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක. පන්දු 126කින් ලකුණු 127ක් වාර්තා කළ ඔහුගේ නායකත්වයේ ඉනිම හතරේ පහර 14ක් සහ හයේ පහර 5කින් වර්ණවත් වී තිබුණා. අසලංක හා ඉෂාන් මාලිංග පන්දුවකට ලකුණක් බැගින් සටහන් වෙමින් ලකුණු 79ක වාර්තාගත නව වැනි කඩුලු සබඳතාවක් පිහිටුවූයේ ශ්‍රී ලංකාව ට සටන් කළ හැකි මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින්.
මහීෂ් තීක්ෂන ලකුණු 40කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 215ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී ඔස්ට්‍රේලියාවේ මුල් කඩුලු හතර ලකුණු 31කට බිඳ වැටුණු අතර පළමු ඕවර දහය ‘පවර් ප්ලේ’ ක්‍රීඩාව අවසානයේ ඔවුන් රැස්කර ගෙන සිටියේ ලකුණු 36ක්. ශ්‍රී ලංකාව ඔවුන්‌ගේ පළමු ‘පවර් ප්ලේ’ ක්‍රීඩාව අවසන් වන විට කඩුලු හතරක් දැවී ලකුණු 39ක් ලබා ගෙන සිටියා.
ශ්‍රී ලංකාව මෙන්ම ඔස්ට්‍රේලියාවේ ද පළමු කඩුල්ල බිඳ වැටුනේ පළමු ඔ්වරයේදී වීම විශේෂත්වයක්. පස්වැනි පන්දුවේදී පැතුම් නිස්සංක දැවී ගිය අතර ප්‍රතිවාදී පිලේ මැතිව් ෂෝට් (0) දැවී ගියේ දෙවැනි පන්දුවෙන්. අසිත ප්‍රනාන්දුගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ෂෝට් දැවී යන විට කැන්ගරු ලකුණු පුවරුව ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබුණේ නැහැ.
තෙවැනි ඕවරයේදී ඔස්ට්‍රේලියානු අනෙක් ආරම්භක පිතිකරු ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ත් (2)ගේ කඩුල්ල ලබා ගත්තේ ද අසිත. මහීෂ් තීක්ෂණ හය වැනි ඕවරයේදී කූපර් කොනලි (3) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත් අතර දහ වැනි ඕවරයේදී, වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ ඔහුගේ පළමු පන්දුවෙන් ම ස්ටීවන් ස්මිත් (12) දවා ගැනීමට සමත් වුණා.

මානස් ලබුෂේන් සහ ඇලෙක්ස් කේරි පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50කින් ලකුණු 52ක් එක් කරමින් සිටියදී මහීෂ් තීක්ෂණ යැවූ ඉනිමේ 18 වැනි ඕවරයේදී ලබුෂේන් (15) කඩුල්ල මුවා කිරීමත් සමග එම සබඳතාව අවසන් වුණා. ඊළඟ ඕවරයේදී ඇලෙක්ස් කේරි දැවී ගියේ හතරේ පහර පහක් සහ හයේ පහරක් එල්ල කර පන්දු 38කින් ලකුණු 41ක් රැස්කර ගෙන සිටියදී.
අසලංකගේ පන්දුවට ‘ලෝං ඔෆ්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් දෙමින් කේරි දැවී යන විට මුළු ලකුණු ප්‍රමාණය 85ක් වී තිබුණා.
ඒරන් හාඩි සහ ෂෝන් ඇබොට් හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46කින් ලකුණු 41ක් එක් කළා. හතරේ පහර 3ක් සමග ලකුණු 20ක් රැස්කළ ඇබොට් ලකුණු 20ක් ලබා ගෙන සිටියදී තීක්ෂණගේ පන්දුවට ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යන විට යැවෙමින් තිබුණේ 26 වැනි ඕවරය. මුළු ලකුණු 126 යි. ඇබොට් ලකුණු 13ක් රැස්කර සිටියදී වනිඳු හසරංගගේ පන්දුවට දුන් උඩ පන්දුව රැක ගැනීමට ස්ලිප් හි පන්දු රකිමින් සිටි නිස්සංක අසමත් වුණා. ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු ඕවර 25 අවසානයේ ඔවුන් කඩුලු හයක් අහිමි කරගෙන ලකුණු 121ක් රැස්කර තිබුණා.
27 වැනි ඕවරයේදී ඔස්ට්‍රේලියා අට වැනි කඩුල්ල බිඳ වැටෙමින් නේදන් එලිස් බින්දුවට දැවී ගියා. මුළු ලකුණු 127දී එම කඩුල්ල බිඳ දැමුවේ වෙල්ලාලගේ.
හතරේ පහර තුනක් සමග පන්දු 37කින් ලකුණු 32ක් රැස්කර ගත් ඒරන් හාඩි 31 වැනි ඕවරයේ හසරංගගේ අවසන් පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මුළු ලකුණු 145දී දැවී ගියා.

ස්පෙන්ස ජොන්සන් (0) 34 වැනි ඔ්වරයේදී තීක්ෂණගේ පන්දුවට කඩුල්ලම මුවා කිරීමත් සමග ඕවර් 33.5ක් ඇතුළත ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 165කට අවසන් වුණා. ඒ වන විට ඇඩම් සම්පා පන්දු 29කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 20ක් ලබා ගෙන සිටියා.
කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩාමේ මුල් කඩුලු හතර පළමු ‘පවර් ප්ලේ’ ක්‍රීඩාව අවසන් වන විට ලකුණු 39කට බිඳ වැටී තිබුණා. ප්‍රබල වේග පන්දු ප්‍රහාරයක් දියත් කළ ඔස්ට්‍රේලියානුවන් හමුවේ අසරණව සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් සිවු දෙනා දැවී ගියේ ස්පෙන්ස ජොන්සන් හා ඒරන් හාඩිගේ පන්දුවලට.

ජොන්සන් විසින් පළමු කඩුල්ල වශයෙන් පැතුම් නිස්සංක (4) ද, සිවුවැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් (5) ද, දවාලූ අතර හාඩිගේ පන්දුවලට අවිශ්ක ප්‍රනාන්දු (1) හා කුසල් මෙන්ඩිස් (19) පිළිවෙලින් දෙවැනි හා තෙවැනි කඩුලු ලෙස දැවී ගියා.
නිස්සංක, ප්‍රනාන්දු හා මෙන්ඩිස් (කුසල්) තිදෙනාම දැවී ගියේ කඩුල්ල පිටුපසට උඩ පන්දු ලබා දෙමින්. කමිඳු මෙන්ඩිස් ‘ෆෝවඩ් ස්කුවෙයා ලෙග්’ ස්ථානයට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.
ජනිත් ලියනගේ (11) මුළු ලකුණු 55දී දැවී යන විට යැවෙමින් තිබුනේ තරගයේ 15 වැනි ඕවරය. ෂෝන් ඇබොට්ගේ පන්දුවට ස්ටීවන් ස්මිත් වෙත උඩ පන්දුවක් දෙමින් ලියනගේ දැවී ගිය අතර මෙය ස්මිත් ‘ස්ලිප්’ ස්ථානයේ සිට රැකගත් දෙවැනි උඩ පන්දුවයි. ඊට කළින් ඔහු ප්‍රනාන්දුගේ පිත්තෙන් නික්ම ආ උඩ පන්දුව දෙවැනි ‘ස්ලිප්’ හි සිට රැක ගැනීමට සමත්ව සිටියා.

පස්වැනි කඩුල්ල ලෙස ලියනගේ දැවී යාමෙන් පසුව කඩුල්ලේ එක්වූ චරිත් අසලංක හා දුනිත් වෙල්ලාලගේ යන වමත් පිතිකරුවන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69කින් ලකුණු 67ක් එක් කළා. 26 වැනි ඔවරයේ මුළු ලකුණු 122ක් සටහන්ව තිබියදී එම සබඳතාව බිඳ වැටුනේ මැටී ෂෝට්ගේ පිට දඟ පන්දුවකට වෙල්ලාලගේ දුන් උඩ පන්දුව ස්ලිප් ක්‍රීඩක ස්මිත් දර්ශනීය අයුරින් රැක ගැනීමෙන්.
පන්දු 34කට මුහුණ දුන් ඔහු හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 30ක් රැස් කළා.
ඉනිමේ පළමු ඕවර 25 අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු පහක් අහිමිව ලකුණු 120ක් වාර්තා කර තිබුණා.
මුළු ලකුණු 133දී ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ල බිඳ වැටෙමින් වනිඳු හසරංග ((7) දැවී ගියේ නේදන් එලිස්ගේ වේග පන්දුව පිට ඉන්නේ ගැටීමෙන්. ඒ වන විට යැවෙමින් තිබුණේ 31 වැනි ඕවරය.
මහීෂ් තීක්ෂණ (2) අට වැනි කඩුල්ල ලෙස 33 වැනි ඕවරයේ දැවී යන විට ශ්‍රී ලංකාව රැස්කර ගෙන තිබුණේ ලකුණු 135ක් පමණයි. එලිස්ගේ පන්දුවට ඔහු දුන් උඩ පන්දුව කඩුලු රකින ඇලෙක්ස් කේරි රැක ගත් අතර මෙය ඔහු රැක ගත් දෙවැනි උඩ පන්දුවයි. ඊට පෙර පැතුම් නිස්සංක තරගයේ පස්වැනි පන්දුවට (ජොන්සන්ගේ) දුන් උඩ පන්දුව අල්ලා ගත්තේ ද කේරි.
අසලංක නව වැනි කඩුල්ල ලෙසින් 46 වැනි ඕවරයේදී දැවී ගියේ මුළු ලකුණු 214දී. ඔහු සහ ඉෂාන් මාලිංග 9 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 79ක් එක් කළේ පන්දු 79කින්. අගනා ශතකයක් කරා අසලංක ගිය විශිෂ්ට ගමනේදී ඔහුට අනගි සහායක් ලබා දෙමින් අනෙක් අන්තයේ කඩුල්ල ආරක්ෂා කිරීමට සමත් වූ මාලිංග, ඔහු නොදැවී වාර්තා කළ එකම ලකුණ ලබා ගත්තේ පන්දු 21කට මුහුණ දීමෙන් පසුව.

නායක චරිත් අසලංක අද වාර්තා කළේ ඔහුගේ 4 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය. පන්දු 112කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් ඇතුළත්ව තිබුණා.

අසිත ප්‍රනාන්දු (0) දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම ඕවර 46ක් ඇතුළත ලකුණු 214කට අවසන් වුණා.
කැන්ගරුවන් වෙනුවෙන් ෂෝන් ඇබට් ලකුණු 61කට කඩුලු 3ක් ලබා ගත් අතර ස්පෙන්සර් ජොන්සන්, ඒරන් හාඩි සහ නේදන් එලිස් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දෙවැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින තරගය අනිද්දා (14) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ද දිවා කාලයේ තරගයක් ලෙස.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






