කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 95 වැනි වරට පවත්වනු ලබන 'සුලෝහිත සංග්‍රාමය' වාර්ෂික මහා ක්‍රිකට් තරගය පෙබරවාරි 28, මාර්තු 1 සහ 2 යන දිනවල කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව පසුගියදා කොළඹදී පැවැති තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී පැවසිණි.
විද්‍යාල ද්විත්වයෙන් බිහි වූ ජාත්‍යන්තර තලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි, අර්ජුණ රණතුංග, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන්, අනුග්‍රාහකයන්, පාසල් කණ්ඩායම් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී විය.
මෙවර තරගය ඉතිහාසයේ පළමුවරට තුන්දින තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයකි.
දිවංගත ආචාර්ය එන්.එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන 'සුලෝහිත සංග්‍රාමය' අවස්ථා 2කදී ජයග්‍රහණය කිරීමට ආනන්ද විද්‍යාලය සමත්ව ඇති අතර නාලන්දා විද්‍යාලය තරග 7ක් ජයග්‍රහණය කර ඇත. ආනන්ද විදුහල 2003 වසරේදීත්, නාලන්දා විදුහල 2022 වසරේදීත් අවසන්වරට ජයග්‍රහණ වාර්තා කළ අතර පසුගිය වසර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර 'සුලෝහිත සංග්‍රාමය' සඳහා ආනන්ද විද්‍යාල කණ්ඩායමට ආශින්ස නයිනායක නායකත්වය ලබා දෙන අතර ඔහු මෙවර තරගවාරයේ තරග 12කදී දවා ගෙන ඇති කඩුලු ගණන 55ක් වේ.
නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස සදෙව් සමරසිංහ කටයුතු කරනු ලබන අතර ඔහුට මෙවර තරගවාරයේ තරග රැසක් ආබාධයක් හේතුවෙන් අහිමි විණි. ක්‍රීඩා කළ තරග 6කදී ඔහු ලකුණු 228ක් රැස්කරගෙන ඇත. සදෙව් නිමා වූ 2023/24 තරගවාරයේ ලකුණු 1200 සීමාව පසු කරමින් වැඩිම ලකුණුලාභීන් අතරට එක්වීමටත් අදාළ තරගවාරයේ ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා වීමටත් සමත් විය.






