ජපානයේ ග්‍රොන් ප්‍රී තරගයට පෙර පැවති ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාවට ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් ‘ෆෝමියුලා වන්’ (F1) රියදුරෙකුට යුරෝ 10,000ක (ඩොලර් 11,340ක් පමණ) දඩයක් නියම කළා.
‘විලියම්ස්’ (Williams) කණ්ඩායම වෙනුවෙන් රේස් පදින කාලොස් සේන්ස් (Carlos Sainz) බඩේ අමාරුවකින් පෙළෙමින් සිටි බැවින් ඔහුට තරගයට පෙර මලපහ කිරීම පිණිස වැසිකිළියට යාමට සිදුවූ බවට වෛද්‍යවරයෙකු විසින් තහවුරු කිරීමෙන් පසුව මෝටර් ක්‍රීඩාවේ ලෝක පාලක මණ්ඩලය වන FIA ඔවුන්ගේ නියමිත දඩ මුදල අඩු කර තිබුනා.
F1 රියදුරන් රේස් පවතින දිනයේ දැඩි වැඩසටහනක් අනුගමනය කළ යුතුව තිබෙන අතර ඔවුන් තරග සත්කාරක රටේ ජාතික ගීයට ගෞරව කිරීම පිණිස පෙනී සිටිය යුතු වනවා.
FIA නිර්ණායකයන්ට අනුව, තරගයක් සඳහා සත්කාරකත්වය දරණ රටේ ජාතික ගීය වාදනය කිරීමේ අවස්ථාවට පෙනී සිටීම පමා කරන රේස් රියදුරන්ට යුරෝ 60,000ක (ඩොලර් 68,377) මුදලක් දඩ ගැසීමේ හැකියාව තිබෙනවා.
“කෙසේ වෙතත්, දඬුවම සැහැල්ලු කිරීම සලකා බැලීමේදී, රියදුරාට ජාතික ගීයට පෙර බඩේ අමාරුවක් හැදුන නිසා ඔහුට එම අවස්ථාවට පෙනී සිටීම ප්‍රමාද වූ බව හෙළිවුනා. මෙය වෛද්‍යවරයා විසින් ස්ථිර කර තිබෙනවා. රියදුරාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බව ඔහු ස්ථිර කර තිබෙනවා” යනුවෙන් FIA ඔවුන්ගේ තීරණය පැහැදිලි කිරීම පිණිස නිකුත් කළ නිවේදනයේ දක්වා තිබුනා.
ජපානයේ පසුගිය සතියේ පැවති ග්‍රොන් ප්‍රී තරගයේදී තමාට පැනවූ දඩය පිළිබඳව 30 හැවිරිද සේන්ස් පරුෂ වචනයෙන් බැණ වැදුනා. ඔහු එම තීරණය විවේචනය කළේ හෙට පැවැත්වෙන බහරේන් ග්‍රොන් ප්‍රී තරගය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ. මේ හේතුවෙන් සේන්ස් තවදුරටත් දඩකෑමේ අවදානමට ලක්ව සිටිනවා.
“හරියටම වෙලාවට පැමිණීම පිළිබඳව වැඩියෙන්ම සහයෝගය දෙන කෙනෙක් මම. විශේෂයෙන් බලධාරීන් ඉදිරියේ ජාතික ගීය වාදනයේදී අප්‍රමාදව එතන ඉන්න මහත්මයෙක් මම” සේන්ස් වාර්තාකරුවන්ට කියා සිටියා.
“ඒ නිසා මම තමයි ඉස්සෙල්ලම අත උස්සලා, ‘මම පරක්කුයි. ඒකට මට සමාවෙන්න’ කියපු කෙනා. ඒ වෙලාවේ මම ප්‍රමාද වුනේ තත්පර පහයි. තත්පර පහක් පමා වෙලා යුරෝ 10,000ක දඩයක් ගෙවන්න සිදුවීම... අපට මෙවැනි දඩ ගෙවීමට සිදුවීම... මගේ මතය හැටියට නම් මේක සිදු නොවිය යුතු දෙයක්.”
“නමුත් ඔව්, මම මේක කිවුවා කියලා තවත් දඩයක් ලැබේවිද මම දන්නේ නැහැ, නමුත් මෙවැනි ...දේවල් සිද්ධ වෙනවා.”
FIA විසින් මේ තරග වාරයට පෙර ගෙන එන ලද නීතිවලට අනුව මාධ්‍ය සාකච්ඡාවලදී පරුෂ වචනයෙන් බැණ වදින F1 රියදුරන්ට මුදල්මය හෝ තරගාවලියේ ලකුණු අඩු කිරීමක් මගින් දඬුවම් කිරීමේ හැකියාව තිබෙනවා.
පළමු වරද සඳහා වන දඩ මුදල යුරෝ 40,000 (ඩොලර් 41,000)න් ආරම්භ වන අතර දෙවැනි වරදේදී එය දෙගුණ වීමට අමතර අත්හිටවූ එක් මසක තරග තහනමක් ද පැනවෙනවා. තෙවැනි වරදට යුරෝ 120,000ක් (ඩොලර් 125,000), එක් මසකට අත්හිටවූ තරග තහනමක් හා තරගාවලියේ ලකුණු අඩු කිරීමේ දඬුවමකට ලක්වීමේ අවදානම තිබෙනවා.
George Russell
ග්‍රොන් ප්‍රී රියදුරන්ගේ සංගමයේ ප්‍රධානියා වන මර්සිඩිස් (Mercedes) රියදුරු ජෝර්ජ් රසල් (George Russell), සේන්ස් කෙරෙහි අනුකම්පාව දක්වමින්, වැසිකිළියට ගිය ඔහුගේ ගමන “ඉතාම මිල අධික මලපහ කිරීමක්” වූ බවට විහිළු කළා.
“අපි වෙලාවට එතන ඉන්න ඔ්න කියලා මිනිස්සු හිතන එක එතරම් සරල නැහැ” යනුවෙන් බ්‍රිතාන්‍ය රේස් රියදුරා වාර්තාකරුවන්ට කියා සිටියා. “අපි නිතරම වැසිකිළියට දුවනවා. ඒ නිසා, කාරයෙන් ඉවතට පැන ජාතික ගීයට යන අතරතුර වැසිකිළියක් හොයාගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා.”
“සමහර පුද්ගලයන් ඔබව නතර කරන අවස්ථා තියෙනවා. එහෙමත් නැත්නම් සමහරු ඔබෙන් ඉක්මන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටිනවා. ඒ නිසා අපට තියෙන්නේ එකම එක කාර්යයක් පමණක් නෙවෙයි. ග්‍රොන් ප්‍රී තරගය ආරම්භ වීමට පෙර අපේ උවමනාවන් සඳහා වෙලාව ගන්න අපි උත්සාහ කරනවා. එවිට ජාතික ගීය ගැයෙන මිනිත්තුවේ අපි එතන ඉන්න එක සමහර වෙලාවට ඔය කියන තරම් සරල දෙයක් නොවන්න ඉඩ තියෙනවා.”
දඩ ගැසීම සම්බන්ධයෙන් තමා සහ තමාගේ රියදුරු සගයින් FIA සමග කළ සාකච්ඡාවන්හි ප්‍රගතියේ මන්දගාමී බව පිළිබඳව තමා ඉච්ඡා භංගත්වයට පත්ව සිටින බව රසල් අවසාන වශයෙන් කියා සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






