2030 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් ගණන 64 දක්වා වැඩි කරන ලෙසට දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනය (CONMEBOL) කළ යෝජනාවට ලොව අනෙකුත් බොහෝ පාපන්දු බලධාරීන් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.
පළමුව යුරෝපය ද, දෙවැනුව ආසියාව ද මේ සැලසුමට එරෙහි වීමෙන් පසුව දැන් උතුර හා මධ්‍යම අමෙරිකාව සහ කැරිබියන් දූපත් ද මේ අදහසට විරුද්ධ වී සිටිනවා.
කණ්ඩායම් 64 යෝජනාව ජගත් පාපන්දු සම්මේලනයට (FIFA) ගෙන ආවේ දකුණු අමෙරිකානු පාපන්දු සම්මේලනයේ සභාපති අලෙහන්ද්‍රෝ ජොමිංගෙස් (Alejandro Dominguez) විසින්. මෙය නරක අදහසක් බව පළමුව කියා සිටියේ යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) සභාපති ඇලෙක්සැන්දර් ජෙෆරීන් (Aleksander Ceferin).
ඇලෙක්සැන්දර් ජෙෆරීන්
“මම හිතන්නේ මේක නරක අදහසක්. මෙය ලෝක කුසලානයට මෙන්ම ඊට සුදුසුකම් ලබන අපේ කණ්ඩායම්වලටත් හොඳ අදහසක් නෙවෙයි” ඔහු ප්‍රකාශ කළා. “ඒ නිසා මම ඒ අදහසට සහාය දක්වන්නේ නැහැ. මේක ආවේ කොහෙන්ද කියා මම දන්නේ නැහැ. නමුත් FIFA කවුන්සලයට මේ යෝජනාව ඉදිරිපත් වනතුරු අපි මේ ගැන දැන නොසිටීම හරි පුදුමයි” යනුවෙන් ජෙෆරීන් සඳහන් කරනවා.
මේ අතර ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති සල්මාන් බින් ඉබ්‍රාහිම් අල් ඛලීෆා (Salman bin Ibrahim Al Khalifa) ෂෙයික්වරයා ද මේ අදහසට විරුද්ධ වෙමින්, “මේ විදියට කණ්ඩායම් ගණන වැඩිවෙන්න පටන් ගත්තොත් මහා අවුලක් ඇතිවිය හැකියි” කියා සිටිනවා.
“මේ කාරණාව වෙනසකට විවෘතව තිබෙනවා නම්, දොර ඇරිලා තිබෙන්නේ තරගාවලිය කණ්ඩායම් 64ක් දක්වා ව්‍යාප්ත කිරීමට පමණක් නෙවෙයි” සල්මාන් AFC 35 වැනි කොන්ග්‍රසයේදී ප්‍රකාශ කළා.
“තවත් කෙනෙක් ඇවිත් කණ්ඩායම් ගණන 132 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලා සිටියොත් වෙන්නේ මොකක්ද? එවිට මෙය ලොකු අවුලක් බවට පත්වේවි.”
වික්ටර් මොන්ටලිආනි
අලෙහන්ද්‍රෝ ජොමිංගෙස් ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ වන ලොව අනෙකුත් පාපන්දු සම්මේලන අතරට අලුතින්ම එක්ව සිටින්නේ උතුර හා මධ්‍යම අමෙරිකාව සහ කැරිබියන් පාපන්දු සංගම් සම්මේලනයේ (Concacaf) සභාපති වික්ටර් මොන්ටලිආනි (Victor Montagliani).
“Concacaf හි දී, අපි කාන්තා ලෝක කුසලානයේ කණ්ඩායම් ගණන වැඩි කිරීමට සහ අපේ සම්මේලනයේ පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායම් හා සමාජ තරගාවලියන්ගේ විකසනයට සහයෝගය දක්වමින් වෙනසකට විවෘත බව පෙන්වා දී තිබෙනවා” මොන්ටලිආනි සඳහන් කරනවා.

“පිරිමි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කණ්ඩායම් 64 දක්වා ව්‍යාප්ත කිරීම එම තරගාවලියට සහ ඊට වඩා විශාල පාපන්දු පාරිසරික පද්ධතිය (ජාතික කණ්ඩායම් සිට අන්තර් සමාජ තරගාවලියන්, ලීග් තරග හා ක්‍රීඩකයන් දක්වා) වෙනුවෙන් ගන්නා නිවැරදි පියවර බව මම විශ්වාස කරන්නේ නැහැ.”
අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව හරහා පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉතිහාසයේ ප්‍රථම වතාවට කණ්ඩායම් 48ක් සහභාගි කරමින් ජගත් පාපන්දු සම්මේලනය දැනටමත් අලුත් ක්‍රමවේදයක් පරීක්ෂා කරමින් සිටිනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි :
'2030 පාපන්දු ලෝක කුසලානයට දකුණු අමෙරිකාවෙන් කණ්ඩායම් 64ක නිල යෝජනාවක්'






