| තරගකරුවන් ලියාපදිංචි කිරීම
වසරේ සෑම ඔක්තෝබර් මාසයක ම පළමු ඉරු දිනයේ නොවරදවාම ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර මැරතන් ඉසව්ව වන ‘කොළඹ මැරතන් තරගය’ – Colombo Marathon - වසර හයක නිහැඬියාවකින් පසුව නැවත වරක් හෙට ඉරිදා පැවැත්වෙනවා.
තිලක් වීරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලංකා ස්පොට්රයිසන් ආයතනය මෙවර තරගය සංවිධානය කරන්නේ 19 වැනි වතාවට. කොළඹ මැරතන් තරගය අවසන් වතාවට ධාවනය වුනේ 2018 වසරේ.
වසර ගණනාවකට පසුවත් මේ මැරතන් තරගයේ ජනප්‍රියතාව තවමත් අඩු නොවී පවතින බව ප්‍රදර්ශනය වෙමින් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 35කින් තරගකරුවන් හා තරගකාරියන් 1200කට වැඩි පිරිසක් මෙවර තරගයට ඉදිරිපත්ව සිටිනවා.
තරගයට සහභාගි වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 1011ක්. ජපානයෙන් 22ක් ද, ඉන්දියාවෙන් 21ක් ද, තායිලන්තයෙන් 18ක් ද, කෙන්යාව හා අමෙරිකාවෙන් 14 බැගින් ද, ජර්මනිය හා එංගලන්තයෙන් 12 බැගින් ද, චීනයෙන් 11ක් ද, ඉන්දුනීසියාව හා පිලිපීනයෙන් 9 බැගින් ද, ප්‍රංශයෙන් 8ක් ද, මැලේසියාවෙන් 5ක් ද, බංග්ලාදේශය හා රුසියාවෙන් 4 බැගින් ද, ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රියාව හා පෝලන්තයෙන් 3 බැගින් ද, කැනඩාව කොරියාව පාකිස්තානය වියට්නාමයෙන් 2 බැගින් ද මේ ඉසව්වට සහභාගි වන අතර ආමේනියාව, බෙල්ජියම, කාම්බෝජියාව, ඩෙන්මාර්කය, ඊශ්‍රායලය, ලෙබනනය, ලිතුවේනියාව, මාල දිවයින, නේපාලය, නෙදර්ලන්තය, නෝවේ, දකුණු අප්‍රිකාව හා යුක්රේනය යන රටවලින් එක් අයෙකු බැගින් ද තරගයට ඉදිරිපත්ව සිටිනවා.
පිරිමි හා කාන්තා පූර්ණ මැරතන් (සහභාගිත්වය 129), අර්ධ මැරතන් (287), පූර්ණ මැරතන් ප්‍රවීණ (6), අර්ධ මැරතන් ප්‍රවීණ (22), කිලෝමීටර් 10 විනෝද දිවීම (298) සහ කිලෝමීටර් 5 විනෝද දිවීම (462) වශයෙන් පැවැත්වෙන තරග සියල්ල ඔක්තෝබර් 5 වැනි දින එනම් හෙට හරියටම පෙරවරු 6.00 ට ආරම්භ වන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) අසලින්.
මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වන පූර්ණ මැරතන් තරගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 42.195ක්. කිලෝ මීටර් 21.097ක් දුරැති අර්ධ මැරතන් තරගය අවසන් වන්නේ පමුණුගම ප්‍රදේශයෙන්. කිලෝමීටර් 10 තරගය පහළ හේකිත්ත මාර්ගයෙන් ද, කිලෝමීටර් 5 තරගය ඔරුගොඩවත්ත මාර්ග ආලෝක සංඥාවෙන් ද අවසන් වීමටයි නියමිතව තිබෙන්නේ.
ටොරිංටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යංශ භූමියේදී අද (4) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරුනු ලියාපදිංචි කිරීම සහ වෛද්‍ය පරීක්ෂණවලට තරගකරුවන් සහභාගි වුනේ ඉතාමත් උද්යෝගයෙන්.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







