මීට දෙවසරකට පෙර ක්‍රිකට් වාර්තා පොත් අලුතින් ලියමින් ඇෆ්ගනිස්තාන පිතිකරු සෙදිකුල්ලා අටාල් (Sediqullah Atal)
දැක්වූ සුවිශේෂ දක්ෂතාව ක්‍රිකට් ලෝකයේ තවමත් අනුනාද වෙනවා.
වයස අවුරුදු 21දී අටාල් එකම ඕවරයකදී හයේ පහර හතක් එල්ල කරන අතරතුර ලකුණු 48ක් රැස් කළේ අපූර්ව වික්‍රමයක් මුදුන්පත් කර ගනිමින්. මේ විශිෂ්ට ක්‍රියාවේදී ඔහු කාබුල් ප්‍රිමිය ලීගයේ අබාසින් ඩිෆෙන්ඩර්ස් පිලට එරෙහිව ෂහීන් හන්ටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවා.
මේ අතිවිශිෂ්ට ඉනිම වාර්තා වුනේ තරගයේ 19 වැනි ඔ්වරයේ. ඒ වන විට ෂහීන් හන්ටර්ස් කණ්ඩායම ලකුණු 158කට කඩුලු 6ක් අහිමි කර ගෙන වැටී සිටියේ අවදානම් තත්ත්වයක. නායක සෙදිකුල්ලා අටාල් පන්දු 43කින් ලකුණු 71ක් ලබා ගෙන හොඳ පිතිකරණයක යෙදී සිටියා. වමතින් දඟ පන්දු යවන අමිර් සසායි ට මුහුණ දෙමින් සිටි අටාල් ගරුසරු නැති පිතිහරඹයක නිරත වීමට මේ අවස්ථාවේ තීරණය කළා.
ඕවරය ආරම්භ වුනේ නීතිවිරෝධී (නෝ-බෝල්) පන්දුවකට හයේ පහරක් එල්ල කරමින්. ඉන්පසුව ‘වයිඩ්’ පන්දු පහක් යැවුනු අතර ඉන්පසු අටාල් නිදහස් පහරකින් උපරිම ප්‍රයෝජන ගනිමින් තවත් දැවැන්ත හයේ පහරක් එල්ල කළා. එතැනින් නතර නොවූ ඔහු එම ඕවරයේ සෑම පන්දුවකටම හයේ පහර එල්ල කළේ තම කණ්ඩායම මුළු ලකුණු 200 පසුකර ගෙන යමින් සහ ඔහුගේ ශතකය පන්දු 48කින් වාර්තා කරමින්. සසායිගේ මේ ඕවරය මෑත ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ප්‍රවේගකාරී පිතිහරඹයක් ප්‍රදර්ශනය වූ එක් අවස්ථාවක් ලෙසින් තවමත් රැඳී තිබෙනවා.
ඉනිම අවසන් වන විට අටාල් නොදැවී ලකුණු 118ක් රැස්කර ගෙන සිටි අතර පන්දු 56ක එම ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්ව තිබුනා. ඒ අනුව ෂහීන් හන්ටර්ස් කණ්ඩායම ලකුණු 213කට කඩුලු 6ක මුළු ලකුණු සංඛ්‍යාවක් සටහන් කළා. පිළිතුරු වශයෙන් ඩිෆෙන්ඩර්ස් පිලේ සියලු දෙනා ඕවර 18.3ක් ඇතුළත ලකුණු 121කට දැවී ගියේ හන්ටර්ස් කණ්ඩායමට ලකුණු 92ක ජයග්‍රහණයක් අත්කර දෙමින්.
ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩාවේ සෙදිකුල්ලා අටාල්ගේ නැගිටීම උල්කාවක් මෙන් වේගී එකක්. වමත් ආරම්භක පිතිකරුවකු වන ඔහුගේ මංගල විස්සයි20 තරගය වූයේ කාබුල් ඊගල්ස් කණ්ඩායම වෙනුවෙන් 2020 සැප්තැම්බරයේ ක්‍රීඩා කළ Shpageeza ප්‍රිමිය ලීග් තරගය.
ඔහු සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ටෙස්ට් 1ක්, ජාත්‍යන්තර එක්දින 10ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 19ක් ක්‍රීඩා කර තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







