leader s

ආසියාව පුරා විසිරී සිටින වයස අවුරුදු 40න් ඉහළ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ප්‍රථම වතාවට ශූරතා තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

‘ආසියානු ලෙජන්ඩ්ස් කුසලානය’ (Asian Legends Cup) ලෙසින් නම් කර තිබෙන මේ තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් හයක් සහභාගි වනවා.

තායිලන්තයේ චියං මායි නගරයේදී ජනවාරි 28 සිට පෙබරවාරි 4 දක්වා පැවැත්වීමට නියමිත මේ නව ශූරතාවලිය සංවිධානය කරන්නේ ඉන්දියාවේ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් මණ්ඩලය (BVCI – Board of Veteran Cricket in India) යි.

praveen tyagiප්‍රවීන් ටියාගි

මෙය ‌ඓතිහාසික පියවරක් බව මේ තරගාවලිය නිවේදනය කරමින් BVCI සභාපති ප්‍රවීන් ටියාගි (Praveen Tyagi) ප්‍රකාශ කරනවා. “පළමු වතාවට ඉන්දියානු ප්‍රවීණයන්ගේ කණ්ඩායමක් ආසියානු මට්ටමේ ශූරතාවලියකට ක්‍රීඩා කරනවා. මෙය අපට විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන මොහොතක් හා වසර ගණනාවක් තිස්සේ අපි කටයුතු කරමින් සිටි සිහිනයක් සැබෑවීමක්” යැයි ඔහු පවසනවා.

හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ තරගාවලියට සහභාගි වන බව ටියාගි අනාවරණය කරනවා.

“පාකිස්තාන කණ්ඩායමේ නායකයා ෂොයිබ් මලික් වීමට ඉඩ තිබෙනවා. අබ්දුල් රසාක් ද කණ්ඩායමේ ඉන්නවා. වසිම් අක්රම් පුහුණුකරු ලෙස එක්වීමට ඉඩ තිබෙනවා. හැම කණ්ඩායමකම ඉහළම දේශීය ක්‍රීඩකයන් සමග ජාත්‍යන්තර ක්‍රීඩකයන් තුන් හතර දෙනෙක් සිටීවි” යනුවෙන් ඔහු කියනවා.

ළඟදීම නිවේදනය කිරීමට අපේක්ෂා කෙරෙන ඉන්දියා සංචිතයට ප්‍රවීන් කුමාර්, ජටින් සක්ස්එනා, ෂඩාබ් ජකාටි හා මනෝජ් ප්‍රභාකර් වැනි හිටපු ක්‍රීඩකයින් හා පළපුරුදු දේශීය ක්‍රීඩකයින් ඇතුළත් වනු ඇතැයි පැවසෙනවා. කණ්ඩායම සඳහා තෝරා ගැනීම්වලට පාදක කරගෙන තිබෙන්නේ මෑතකදී අවසන් වූ අන්තර්-කලාපීය ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියන්.

මේ තරගාවලිය පිළිබඳ අදහස මුල්බැස තිබෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ප්‍රවීණයන්ගේ ජෛවී ප්‍රජාව තුළ බව ආසියානු ලෙජන්ඩ්ස් කුසලානය නිර්මාණය වීම පිළිබඳව විස්තර කරමින් ටියාගි සඳහන් කරනවා.

 

bvci 1
“ඉන්දියාව තුළ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව අවුරුදු 26ක් තිස්සේ පවතිනවා. දැන් ජීවතුන් අතර නැති චෙටාන් චවුහාන් විසින් 1998 වසරේදී BVCI පිහිටුවූයේ විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාව සමග දිගටම සම්බන්ධව සිටින බවට තහවුරු කරන්නයි. තමන්ගේ මුළු ජීවිත කාලය ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කළ ක්‍රීඩකයන්ට ඔවුන් විශ්‍රාම ගිය පසුවත් යම් වේදිකාවක් ලැබීමට සුදුසු අයිතියක් තිබෙනවා” යැයි ඔහු කියා සිටිනවා.

තරගාවලිය ආසියානු මට්ටමට ප්‍රසාරණය වීම ස්වභාවික ප්‍රගමනයක් යැයි ටියාගි තවදුරටත් පවසනවා. “ඉන්දියාව ට ප්‍රවීණයන්ගේ ශක්තිමත් ව්‍යුහයක් තිබෙනවා වගේම පාකිස්තානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයටත් එවැනි ව්‍යුහයන් තියෙනවා. ප්‍රවීණයන් සඳහා ආසියානු කුසලානයක අදහසට හැමදෙනාම කැමති වුනා. ඒ ගැන තිබෙන්නේ ඉතාම ලොකු උනන්දුවක්.”

තරගාවලිය පැවැත්වීම සඳහා තායිලන්තය තෝරා ගෙන තිබෙන්නේ උපක්‍රමශීලී හා සැලසුම් සංවිධානය අතින් සලකා බැලීමෙන් පසුවයි. “තායිලන්තය කණ්ඩායම්වලට පහසුවෙන් සංචාරය කළ හැකි මධ්‍යම, මධ්‍යස්ථ ස්ථානයක්. දේශීය සංවිධායකයන් අපට ක්‍රීඩාංගණ හා නවාතැන් පහසුකම් සැපයීමෙන් සහාය දක්වනවා. මෙය අපට ප්‍රයෝජනවත් වන්නේ අපේ පාලක මණ්ඩලය මූල්‍යමය අතින් එතරම් ශක්තිමත් නැති නිසා” යනුවෙන් ටියාගි පැහැදිලි කර දෙනවා.

තරගාවලිය YouTube හා FanCode ඔස්සේ ලොව පුරා සජීවිව විකාශය කිරීමට නියමිතයි.

මේ තරගාවලිය වාර්ෂික ඉසව්වක් බවට පත්වනු ඇතැයි ටියාගි විශ්වාස කරනවා. “මෙය ආරම්භයක් පමණයි. ආසියානු ලෙජන්ඩ්ස් කුසලානය සෑම වසරකම පැවැත්වේවි. ප්‍රවීණයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අනාගතයේ පැවැත්වීමේ හැකියාව පිළිබඳවත් අපි දැනටමත් සොයා බලමින් සිටිනවා.”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්