ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ඉන්දියාවේ තෙදින සංචාරයක් ආරම්භ කරමින් අද උදේ කොල්කටා නගරයේදී ඔහුගේ අඩි 70ක් උස ප්‍රතිමාවක් නිරාවරණය කළා.
ආරක්ෂක හේතුන් මත ශාරීරිකව පෙනී නොසිටි මෙසී ප්‍රතිමාව නිරාවරණය කළේ තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කරමින්.
‘එදා මෙදා තුර ශ්‍රේෂ්ඨතම ලයනල් මෙසීගේ 2025 ඉන්දියා සංචාරය’ - Lionel Messi GOAT (Greatest Of All Time) Tour Of India 2025 - ලෙසින් හඳුන්වා තිබෙන මේ සංචාරය ඉන්දියා පාපන්දු ලෝලීන් දීර්ඝ කාලයක් තිස්සේ මහත් ආශාවෙන් බලා සිටි අවස්ථාවක්. මේ සංචාරයේදී පුරාවෘත්ත පාපන්දු ක්‍රීඩක මෙසී අද (සෙනසුරාදා) සිට සඳුදා දක්වා කොල්කටා, හයිදරාබාද්, මුම්බායි සහ නවදිල්ලිය යන නගරවල පෙනී සිටීමට නියමිතයි. කොල්කටාවෙන් දෙසැම්බර් 13 වැනිදා ආරම්භ වූ මේ සංචාරය දෙසැම්බර් 15 වැනිදා අවසන් වන්නේ ඉන්දියාවේ අගනුවරින්.
අමෙරිකාවේ තමාගේ ‘ඉන්ට මිලාන්’ කණ්ඩායම් සගයා වන ලුයීස් ස්වාරස් (Luis Suarez) හා 2022 ලෝක කුසලාන ජයග්‍රාහී ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන රොඩ්රිගෝ ඩි පෝල් (Rodrigo De Paul) සමග මෙසී ඊයේ (සිකුරාදා) මැදියම් රැයේ කොල්කටා නගරයට පැමිණි මොහොතේ ගුවන් තොටුපල පිටත පාලනය කරගත නොහැකි චිත්තාවේගී දසුන් මැවුනු බව වාර්තා වනවා.
මෙසී අවසන් වරට ඉන්දියාව ට පැමිණියේ 2011 වසරේ ආජන්ටිනා පාපන්දු කණ්ඩායම කොල්කටා හිදී මිත්‍ර තරගයක් ක්‍රීඩා කළ අවස්ථාවේ.

දින තුනක මෙසීගේ සංචාරයේ පළමු නැවතුම කොල්කටා නගරය යි. එහිදී අද පෙරවරුවේ තෝරා ගත් අමුත්තන් හා සංවිධායකයන් සමග පැයක සුහද හමුවකට සහභාගි වූ මෙසී ඉන්පසුව ලේක් ටවුමේ ස්‍රීභූමි ක්‍රීඩා සමාජයේ (Sreebhumi Sporting Club) ස්ථාපනය කර තිබෙන අඩි 70ක් උසැති ‘ලයනල් මෙසී පිළිමය’ තාක්ෂණික ක්‍රමවේදයෙන් නිරාවරණය කළා.
2011 වසරේදී වෙනිසියුලාව ට එරෙහිව ආජන්ටිනාව ගෝල් 1-0ක ජයග්‍රහණයක් අත්කර ගත් තරගය අතරතුර මෙසී ට සත්කාරකත්වය දැක්වූ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණය (Salt Lake Stadium) ප්‍රසංග හා විශේෂ ඉසව් මෙසී වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා. මේ GOAT සංචාරය වසර 14කදී සිදුවන මෙසීගේ පළමු ඉන්දියා ගමනයි.

මෙසී සමග එක්වනු ඇතැයි අපේක්ෂිත ප්‍රසිද්ධ නාමයන් අතර හිටපු ඉන්දියා ක්‍රිකට් නායක සව්රව් ගන්ගුලි සහ බොලිවුඩ් නළු ෂා රුක් ඛාන් ද සිටිනවා.
මෙසී සංචාරය කරන නගර හතරේදීම ඔහු සත් සාමාජික පාපන්දු තරගවලට ක්‍රීඩා කිරීමට හෝ එම අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතයි.

හයිදරාබාද් නගරය අද සවස රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙසී ට සත්කාරකත්වය දක්වනවා.
මුම්බායි නගරය හෙට (14) බ්‍රැබෝන් ක්‍රීඩාංගණයේදී Padel GOAT Cup සඳහා මෙසීව සාදරයෙන් පිළිගනු ඇති අතර ඉන්පසුව ජනප්‍රිය බොලිවුඩ් නළුවන් සහභාගි වන පාපන්දු තරගයක් පැවැත්වෙනවා. සචින් ටෙන්ඩුල්කා සහ ෂා රුක් ඛාන් ද Padel ඉසව්වට සහභාගි වන්නන් අතර සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙසීගේ සංචාරය තුළ ඔහු නිරත වන කාර්යයන්ට ආධාර රැස් කිරීමේ මෝස්තර ප්‍රදර්ශනයක්, ආජන්ටිනාවේ 2022 ලෝක කුසලාන ජයග්‍රහණයේ සිහිවටන වෙන්දේසියක් හා උරුගුවේ පාපන්දු ක්‍රීඩකයෙකු වන ලුයීස් ස්වාරස් මෙහෙයවන ස්පාඤ්ඤ සංගීත සන්ධ්‍යාවක් ද ඇතුළත්ව තිබෙනවා.

මුම්බායි නගරයෙන් පසුව මෙසී, ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන උත්සවයට සහභාගි වීම පිණිස දෙසැම්බර් 15 වැනිදා නවදිල්ලියට යනවා. එහිදී ඔහු ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ද නියමිතයි.
2008 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභියෙකු වන 38 හැවිරිදි ලයනල් මෙසී අද ලෝක පාපන්දුවේ සිටින වඩාත්ම බලසම්පන්න ක්‍රීඩකයෙක්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







