leader s

සෙනඟ හැසිරවීමේ දුර්වලතාව හේතුවෙන් හටගත් ප්‍රචණ්ඩත්වය, දේපළ විනාශ කිරීම සහ ලෝක ශූරයා කලින්ම පිටව යා‌මේ

සිදුවීම්වලින් ආජන්ටිනාවේ පාපන්දු ලෙජන්ඩ් ලයනල් මෙසීගේ ඉන්දියා සංචාරයේ අද කොල්කටා පළමු නැවතුම අශෝභන දසුනක් බවට පත්වුණා.

ආජන්ටිනාවේ ලෝක කුසලාන ජයග්‍රාහී නායක සහ ගෝලීය පාපන්දුවේ සුපිරි තරුව වන මෙසීගේ GOAT නමැති ඉන්දියානු සංචාරයට ප්‍රවර්ධන හා පරිත්‍යාග ඉසව් ඇතුළත්ව තිබෙනවා.

kjnhlksrt

කොල්කටාවට ඔහුගේ පැමිණීම නියම කරගෙන තිබුනේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවයක් ලෙසයි. නමුත් එය ඉක්මනින් කලහකාරි තත්ත්වයකට හැරුණා.

ලොකු මුදලකට ප්‍රවේශ පත් මිලදී ගෙන කොල්කටා නගරයෙන් පමණක් නොව රටේ විවිධ පළාත්වලින් නරඹන්නෝ දහස් ගණනින් රොද බැඳගෙන ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ ඔවුන්ගේ ජනප්‍රිය පාපන්දු තරුව යාන්තමට හෝ මොහොතකට දකින්නයි.

මෙසී ඔහුගේ පිරිවර සමග හරියටම අද පෙරවරු 11.30 ට සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පිවිසෙද්දී ක්‍රීඩාමණ්ඩපවල අතුරු සිදුරු නැතිව පිරී සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් ඔල්වරසන් දුන්නේ කන් බිහිරි කරන ඝෝෂාවකින්. මෙසී සමග ලුයීස් ස්වාරස් හා රොඩ්රි‌ගෝ ඩි පෝල් යන පාපන්දු ක්‍රීඩකයන් ද සිටි අතර ක්‍රීඩාංගණයේ රොක්ව සිටි පාපන්දු ලෝලීන්ගේ උමතුව දැකීමෙන් ඔවුන් සතුටට පත්ව සිටියා.

එහෙත් ලයනල් මෙසී ක්‍රීඩාංගණයට ඇතුළු වූ සැණින් 70-80ක පිරිසක් ඔහුව වටකර ගත්තා. මේ උත්සවයේ සංවිධායකයින්, බටහිර බෙන්ගාල ක්‍රීඩා ඇමති අරූප් බිස්වාස් හා පාපන්දු සමාජවල නියෝජිතයන්ගෙන් සමන්විත වූ මේ පිරිස සිටියේ දැඩි පොලිස් මුරකාවල් සහිතවයි.

 මේ සෙනඟ මෙසී සමග සෙල්‌ෆි ඡායාරූප ගැනීමට හා ඔහුගෙන් සමරු අත්සන් ගැනීමට උත්සාහ කරමින් සිටි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රීඩාමණ්ඩපයන්හි ගැලරියේ සිටි නරඹන්නන්ට මෙසී හෝ අනෙක් පාපන්දු ක්‍රීඩකයන්ගේ සේයාවක්වත් දැකගන්නට නොහැකි වුණා. මෙයින් කෝපයට පත් ක්‍රීඩා ලෝලීන් එක් අවස්ථාවකදී, “අපට මෙසී ඔ්න” (We want Messi) යනුවෙන් මතුරන්න පටන් ගත් අතර බටහිර බෙන්ගාල මහ ඇමතිනී මමාටා බැනර්ජී සහ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ක්‍රීඩාංගණයට පැමිණීමටත් පෙර ලයනල් මෙසීව පෙරවරු 11.52 ට පමණ ක්‍රීඩාංගණයෙන් පිටතට ගෙන යාමට කටයුතු කෙරුනා.

අසාධාරණ මිලකට ප්‍රවේශ පත් ලබා ගෙන තිබියදීත් තමන්ගේ පාපන්දු වීරයාව නිමේෂයකට හෝ දැක ගැනීමට නොහැකි වීමෙන් පාපන්දු ක්‍රීඩා ලෝලීන් මහත්  කෝපයට පත්වුණා. අතිශයෙන් කෝප වූ පාපන්දු ලෝලීන් මිනිත්තු කිහිපයක් ඇතුළත ගැලරියේ පුටු කඩමින් ඒවා පිටියට විසිකරන්න පටන් ගත්තා. පිටියට බෝතල් විසි කිරීම ආරම්භ වුනා. පිටිය අද්දර ගේට්ටු වැට කඩාගෙන ජනතාව විශාල වශයෙන් පිටියට ඇතුළු වුනා. ක්‍රීඩාංගණයේ පාලනය අතට ගත් සිය ගණන් ජනයා පිටියේ තාවකාලිකව අටවා තිබූ ගොඩනැගිලි කඩා දැමුවා. නරඹන්නන් ක්‍රීඩාංගණය ඇතුළේ තිබුනු තාවකාලික සැකිලිවලට ගිනිතැබුවා.

cgh56
කෝපාවිෂ්ට වූ සෙනඟ පසුපසට තල්ලු කිරීමට පොලිස් භටයින් උත්සාහ කළ ද ඒ සඳහා ප්‍රමාණවත් භට පිරිසක් ඔවුන්ට සිටියේ නැහැ. මිනිත්තු කිහිපයක් යනතුරු පාපන්දු ක්‍රීඩාංගණය අවුල් ජාලයක් බවට පත්ව තිබුණා. ක්‍රීඩාංගණයෙන් පිටත පවා පාපන්දු ලෝලීන් දහස් ගණනක් එකට එකතු වී පරිපාලකයන් හා සංවිධායකයන්ට එරෙහිව මහ හඬින් කෑගැසුවා. මේ සෙනඟ පාලනය කිරීම සඳහා බැටන් ප්‍රහාරයක් එල්ල කිරීමට විශාල පොලිස් බලඇණියක් යොදා ගැණුනා.

සිද්ධිය පිළිබඳව සමාව ඉල්ලා සිටි මමාටා බැනර්ජී මහ ඇමතිවරිය ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්