දඟ පන්දු හා වේග පන්දුවලට අදාළ වන පිතිකරණ පුහුණුව සඳහා අවශ්‍ය සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ පුහුණු
අංගනයක් (Indoor Practice Nets) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) පෙරවරුවේ ක්‍රීඩක අයිතියට පවරනු ලැබුවා.
එම ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා ඇති ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය (National High Performance Center) ශක්තිමත් කරමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය අංගයක් වන මේ ගෘහස්ථ පුහුණු අංගනය නවීන පහසුකම්වලින් යුතුව ජාත්‍යන්තර මට්ටමින් ඉදිකරන තිබෙන්නේ.
පුහුණු මං තීරු 7කින් සමන්විත මෙම ගෘහස්ථ දැල් පුහුණු අංගනයේ තීරු දෙක බැගින් දඟ පන්දු යවන්නන්ට හා වේග පන්දු යවන්නන්ට උචිත ආකාරයෙන් සකස් කර තිබෙන අතර අනෙක් මං තීරු සාමාන්‍ය තණතීරු ලෙසින් ඉදිකර තිබෙනවා.
මෙම පහසුකම නිර්මාණය කර තිබෙන්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයන් යටතේ වුව ද අඛණ්ඩව පුහුණුවීම් කරගෙන යාමට හැකිවන පරිදියි. ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, ‘ඒ’ කණ්ඩායම්, නැගී එන කණ්ඩායම්, වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් හා අවුරුදු 17 සහ 15 යන වයස් ඛාණ්ඩවල ජාතික සංචිතවල සිටින ක්‍රීඩකයන්ගේ පිතිකරණ පුහුණුවීම් වැඩිදියුණු කිරීම පිණිස මේ පහසුකම යොදා ගත හැකි වනවා.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට ගනු ලැබූ නවතම පියවරක් වශයෙන් මේ පහසුකම ඉදිකිරීම සැලකෙනවා. ඊට අමතරව, ජාත්‍යන්තර මට්ටමට සරිලන පරිදි ක්‍රීඩකයින් සූදානම් කිරීම වෙනුවෙන් කැපවුනු ලෝක මට්ටමේ මධ්‍යස්ථානයක් ලෙස එහි තත්ත්වය තවත් ශක්තිමත් කරනවා.
ජාත්‍යන්තර ප්‍රමිතියේ ක්‍රීඩා පිටිය, එළිමහන් පුහුණු තණතීරු 42ක්, සම්පූර්ණ උපකරණ සහිත කායවර්ධන ව්‍යායාම් ශාලා පහසුකම්, මං තීරු අටකින් සමන්විත නවීන පිහිනුම් තටාකය, තරග විශ්ලේෂණය සඳහා බුද්ධි කේන්ද්‍රය (Brain Center) සහ භෞත චිකිත්සක ඒකකය සමග දැන් මෙම නව ගෘහස්ථ පුහුණු අංගනය එකතු වීමෙන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ආරාධනයෙන් ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා අද මෙම ගෘහස්ථ පුහුණු අංගනය ක්‍රීඩක අයිතියට පවරා දුන්නා. මේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ද සහභාගි වූ අතර ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද පැමිණ සිටියා.
ශ්‍රී ලංකාව එළැඹෙන 2026 ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරය සඳහා සූදානම් වන තීරණාත්මක අවස්ථාවකයි මේ ගෘහස්ථ දැල් පුහුණු අංගනය විවෘත කෙරුනේ.
පාකිස්තාන සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ලබන වසරේ ජනවාරි මාසයේ ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරගමාලාවන් සඳහා දිවයිනේ සංචාරය කිරීමට නියමිතයි. මීට අමතරව, ශ්‍රී ලංකාව රටවල් 20කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 2026 T20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය සඳහා ද ඉන්දියාව සමග සම සත්කාරකත්වය දරණවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








