ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL - අයි.පී.එල්.) වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.
දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් ද සම්බන්ධ වූ තරගකාරී ලංසු සටනකින් පසුව කොල්කටා නයිට් රයිඩර්ස් විසින් මතීෂ මිලදී ගනු ලැබුවේ රුපියල් කෝටි 61.2කට ආසන්න මුදලකටයි (ඉන්දියානු රුපියල් කෝටි 18ක්). ඉන්දියානු රුපියල් කෝටි දෙකක මූලික ලංසුවකින් ආරම්භ වූ මෙය මෙවර වෙන්දේසියේ වාර්තා වූ දෙවැනියට වැඩිම වටිනාකමයි.

කොල්කටා නයිට් රයිඩරස් අයි.පී.එල්. වෙන්දේසියේ සැලකිය යුතු ආයෝජනයක් සිදු කරමින් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් වෙනුවෙන් ද ඉන්දියානු රුපියල් කෝටි 25.20ක් වියදම් කර තිබෙනවා. ග්‍රීන්ව මේ ආකාරයෙන් අත්කර ගැනීමෙන් අයි.පී.එල්. වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවන ලද විදෙස් ක්‍රීඩකයාගේ නව වාර්තාවක් බිහිවුණා. මීට පෙර වාර්තාව වී තිබුනේ කොල්කටා කණ්ඩායම ම 2024 වසරේදී ඔස්ට්‍රේලියාවේ වමතින් වේග පන්දු යවන මිචල් ස්ටාක් ඉන්දියානු රුපියල් කෝටි 24.75ක මුදලකට මිලදී ගැනීමයි. ග්‍රීන්ව අයිති කරගැනීමේ උත්සාහයේදී කොල්කටා නයිට් රයිඩර්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර තියුණු සටනක් තිබූ බව වාර්තා වනවා.
ග්‍රීන්ගේ සැබෑ වැටුප ඉන්දියානු රුපියල් කෝටි 18ක් වනු ඇත්තේ එහි අතිරේක මුදල ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩක සංවර්ධන වැඩසටහනට යන බැවින්. මෙය විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තිබෙන වෙන්දේසි නීතියක්. මතීෂ පතිරණ ට ඔහුගේ සම්පූර්ණ ලංසු මුදල ලැබෙනු ඇත්තේ එය වැටුප් සීමාවට පහළින් තිබෙන නිසාවෙන්.
අබුඩාබි හි ඊයේ පැවති ඉන්දියා ප්‍රිමිය ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වඩාත්ම වටිනා ක්‍රීඩකයින් පහළොස් දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටීම විශේෂත්වයක්. පතිරණ හැරුනු විට අනෙක් ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යි.
නිස්සංක අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකට ඉදිරිපත් කෙරුනේ ප්‍රථම වතාවටයි. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිස්සංකව ඩැහැගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 4ක ලංසුවක් තබමින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 13.6ක් පමණ). මෙය ඔහු වෙනුවෙන් තිබූ ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුව අභිබවා යාමක්.
අබුඩාබි වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු අලෙවි වූ අතර අනෙක් ක්‍රීඩකයා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග යි. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හසරංගව ඔහුගේ මූලික ලංසු මුදල වූ ඉන්දියානු රුපියල් කෝටි 2කට ලබා ගත්තා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6.8ක් පමණ).
මේ අතර කමිඳු මෙන්ඩිස් හා ඉෂාන් මාලිංග (සන්රයිසර්ස් හයිදරාබාද්), දුෂ්මන්ත චමීර (දිල්ලි කැපිටල්ස්) සහ නුවන් තුෂාර (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිවු දෙනා ක්‍රීඩකයින් රඳවා ගැනීමේ ක්‍රමවේදය යටතේ වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම්වලට ඇතුළත්ව සිටියා.
කෙසේ වෙතත්, මේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුනු මහීෂ් තීක්ෂණ, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දසුන් චානක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු හා ට්‍රැවින් මැතිව් යන ක්‍රීඩකයින්ව කිසිම කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







