ලෝක පූජිත පාපන්දු තරුවක් වන ආජන්ටිනාවේ ලයනල් මෙසීගේ මෑතකදී පැවති ඉන්දියා සංචාරය ඉතා මිල අධික එකක් වූ බව මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, මෙසී ට මුළුමනින්ම ගෙවූ මුදල නිල වශයෙන් එළිදරව් කර නැහැ.
ඉන්දියාවේ නගර කිහිපයක සිදුකළ ප්‍රවර්ධන සංචාරයේ පෙනී සිටීම වෙනුවෙන් මෙසී ට ගෙවන ලද මුදල ඉන්දියානු රුපියල් කෝටි 100 හා 150 (ඩොලර් මිලියන 12 සිට 18 දක්වා පමණ) අතර ඇස්තමේන්තු කර ඇති බව ඉන්දියානු මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබෙනවා. මෙසීගේ නියෝජිතයින් හෝ උත්සව සංවිධායකයින් මේ මුදල ප්‍රසිද්ධියේ තහවුරු කර නැහැ.

ප්‍රසිද්ධ ස්ථානවල පෙනී සිටීම හා ප්‍රවර්ධන ඉසව්වලින් සමන්විත වූ මෙසීගේ එම සංචාරය විශේෂයෙන් පාපන්දු ක්‍රීඩා ලෝලීන් වැඩි ප්‍රමාණයක් සිටින නගර ඇතුළුව ඉන්දියාව හරහා අති විශාල ජනතාවක් ආකර්ෂණය කර ගත්තා. මෙසී හමුවී සුභ පැතීමේ අධික මිල ගණන්වලින් යුත් සැසියන් ඇතුළු ප්‍රවේශ පත් සහිත උත්සව කිහිපයක්ම සංවිධායකයින් විසින් ඉන්දියානු ජනතාවට පිළිගන්වා තිබුණා.
මේ ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහී නායකයා සමග ඡායාරූප ගැනීමේ අවස්ථාවන් හා අන්‍යෝන්‍යව මුණගැසීමේ අවස්ථාවන් ලබා ගැනීම සඳහා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉන්දියානු රුපියල් මිලියනයකට ආසන්න මුදලක් (ඩොලර් 12,000ක් පමණ) අයකර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. සංස්ථාපිත අමුත්තන් සඳහා වැසුණු දොරවලින් යුත් සුවිශේෂ හමුවීම් අවස්ථාවන් වෙනුවෙන් අය කළ මුදල ඊට වඩා සැලකිය යුතු තරමට වැඩිව තිබූ බව වාර්තා වනවා.
එදා මෙදා තුර ලොව බිහිවූ එක් අතිශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ලයනල් මෙසී 2023 වසරේදී පැරිස් සැන්-ජමෑන් පාපන්දු සමාජයෙන් ඉවත්ව යාමෙන් පසුව දැන් ක්‍රීඩා කරන්නේ අමෙරිකාවේ මේජර් ලීග් පාපන්දුවේ ඉන්ට මයාමි සමාජයට යි. ඔහුගේ ඉන්දියා සංචාරය හඳුන්වනු ලැබුවේ තරගකාරී පාපන්දු ඉසව්වකට වඩා ප්‍රවර්ධන සංචාරයක් ලෙසිනුයි.
මේ සංචාරයේ මූල්‍යමය විස්තරයක් සංවිධායකයින් විසින් නිකුත් කර නැති බැවින් මෙයින් ලැබුනු ආදායමෙන් කොතරම් ප්‍රමාණයක් මෙසී වෙනුවෙනුත්, කොතරම් මුදලක් එම සංචාරයේ කටයුතු සම්පාදනය, ආරක්ෂාව, ගමන් වියදම් හා උත්සව නිෂ්පාදනය කිරීම වෙනුවෙනුත් වැයවූවා ද යන්න තවමත් පැහැදිලි නැහැ.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







