‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර ලැබුනු විවේකය නූසා (Noosa) නමැති ධනවත් නිවාඩු නිකේතන ටවුමේ සතියක් පමණ කමින් බොමින් පාටි දමමින් ගත කළ බවට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට චෝදනා එල්ල වී තිබෙනවා.
ක්‍රීඩකයන් වැඩි දෙනා දිනපතා ම නූසා ටවුමේ අවන්හල්වලට හා වෙරළට නිතර යමින්, බොහෝ විට පිටතින් ආහාර ගනිමින් සිටියේ ක්‍රිකට් පුහුණුව පිළිබඳව කිසිම ආශාවක් නැතිව බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා. නායක බෙන් ස්ටෝක්ස් හෝ පුහුණුකරුවන් ව්‍යායාමයේ දිවීම් කරන ලෙසට කණ්ඩායමට යෝජනා කළ විට බොහෝ ක්‍රීඩකයන් එය ප්‍රතික්ෂේප කළ බව ද සමහර වාර්තාවල දැක්වෙනවා.
නායක බෙන් ස්ටෝක්ස්
නූසා ගමන ‘අළු බඳුන’ තරගාවලියට පෙර සැලසුම් කළ දෙයක් බව එංගලන්තය පවසනවා. මේ අදහස පිටුපස සිටින පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම්, එය ‘විනෝද වීමක්’ නොව ‘විවේක ගැනීමක්’ බවත් බ්‍රිස්බන් හි ලැබූ කඩුලු අටක පරාජයෙන් පසුව තෙවැනි තරගයට පෙර විවේකයක් ගෙන ප්‍රාණවත් වීම කණ්ඩායමට වැදගත්ව තිබූ බවත් කියා තිබෙනවා.

ජෝ රූට් වැනි සිය පවුල් සමග පැමිණ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පාටි දමනවාට වඩා ඔවුන්ගේ පවුලේ අය සමග විනෝදයෙන් ගත කළ බව ද එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ක්වීන්ස්ලන්ඩ් හි මේ නූසා සංචාරක විනෝද පිටිය බලා ගියේ පර්ත් හා බ්‍රිස්බන් හි පැවති පළමු ටෙස්ට් තරග දෙකෙන් අන්ත පරාජයන් ලැබීමෙන් පසුවයි.
නූසා වැල්ලේ සහ බොජුන්හල් හා අවන්හල් වටා දින කිහිපයක් ගත කළ ඔවුන් පසුපස රූපවාහිනී කණ්ඩායම්, ඡායාරූප ශිල්පීන් හා වාර්තාකරුවන් ද ගමන් කළා. ඉන්පසු ඇඩිලේඩ් නුවරට පැමිණි එංගලන්ත කණ්ඩායම එහිදී තෙවැනි ටෙස්ට් තරගයෙන් ද පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව ජයග්‍රහණ 3-0ක් සමග ‘අළු බඳුන’ රැක ගත්තා.

එංගලන්ත ටෙස්ට් ආරම්භක පිතිකරු බෙන් ඩකට් (Ben Duckett) බීමත්ව හැසිරෙන අයුරු දිස්වන වීඩියෝවක් පවා සමාජ මාධ්‍යයේ මතුවී තිබෙනවා. බීමත්ව ඔස්ට්‍රේලියාවේ අතරමංව සිටින ඩකට්ගේ එම වීඩියෝව සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර ගියා. ඩකට් වෙරි මතින් සිහිවිකල්ව දොඩවමින් නැවත තමා සිටින හෝටලයට යන පාර අසමින් සිටින එය තත්පර 78ක වීඩියෝවක්.
එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය මේ සිද්ධිය පිළිබඳව දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. “ජනතාව කියන පරිදි අපේ ක්‍රීඩකයන් එළියට ගිහින් අධික ලෙස මත්පැන් පානය කළා නම් අපි ඒ ගැන සොයා බලනවා” යනුවෙන් එංගලන්ත කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂ රොබ් කී (Rob Key) පවසනවා.
“ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් අධික ප්‍රමාණයෙන් මත්පැන් පානය කිරීම මම කිසිම අවස්ථාවක දකින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.”
ඉඳහිට මත්පැන් වීදුරුවක් ක්‍රීඩකයන් පානය කිරීම පිළිබඳව තමා කලබල නොවන බව කී ඔහු, “නමුත් ඒක ඉන් එහාට යනවා නම්, ඒක ප්‍රශ්නයක් බව මම හිතනවා” යනුවෙන් සඳහන් කරනවා. ඔහු කණ්ඩායම සමග නූසා ගියේ නැහැ.
සිකුරාදා ඇරඹෙන සිවු වැනි ටෙස්ට් ගැටුම වෙනුවෙන් මෙල්බර්න් නුවරට පැමිණ සිටින රොබ් කී, ‘අළු බඳුන’ සංචාරයට දින කිහිපයකට පෙර නවසිලන්තයේ පැවති සීමිත ඕවර තරගයකට පෙර රාත්‍රියේ ක්‍රීඩකයින් මත්පැන් පානය කරමින් සිටිනු දුටු බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ද තමා මීට පෙර පරීක්ෂා කර ඇති බව අනාවරණය කළා.
බ්‍රිස්බන් ටෙස්ට් පරාජයේ සිත්තැවුල මත්පැන්වල ගිල්වා දැමීමේ සිද්ධියෙන් පසුව, “සියල්ලන්ම නොව සමහර ක්‍රීඩකයින් දින පහක් හයක් මත්පැන් පානය කළ බව කීම අතිශයෝක්තියක් නෙවෙයි” යනුවෙන් බ්‍රිතාන්‍යයේ Daily Telegraph වාර්තා කරනවා.

නූසා හිදී ක්‍රීඩකයින් පමණ ඉක්මවා යන කිසි දෙයක් නොකළ ද, තරගාවලියට සීමිත සූදානමකින් පසුව එංගලන්ත කණ්ඩායමේ වෘත්තීය දක්ෂතාව දැනටමත් ප්‍රශ්නාර්ථයක් වී තිබියදී ක්‍රීඩකයන්ගේ මත්පැන් භාවිතයේ මට්ටම පිළිබඳව ද සැලකිල්ල යොමුව තිබෙන බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා.
තරග බිමෙන් පිටත එංගලන්ත කණ්ඩායමේ ආකල්පය සම්බන්ධයෙන් ‘අළු බඳුන’ තරගාවලිය අතරතුර නැවත නැවත ප්‍රශ්න කර තිබෙන්නේ, අවස්ථාව තිබියදීත් දේශීය කණ්ඩායම් සමග කිසිම පෙරහුරු තරගයක් ක්‍රීඩා කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







