වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වූ බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක දිනය පිතිකරුවන්ට බියකුරු සිහිනයක් වුනා.
ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවති ‘අළු බඳුන’ තරගමාලාවේ බොක්සිං දින ටෙස්ට් තරගය නැරඹීම පිණිස මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට (එම්.සී.ජී.) පැමිණ සිටි 92,045ක වාර්තාගත සෙනඟට දක්නට ලැබුනේ විනාශකාරී පන්දු යැවීමක්.
පළමුව පන්දු යැවීමට එංගලන්තය ගත් තීරණයෙන් ලොකු වාසියක් ලැබුනු අතර වේග පන්දුවට හිතකර තණතීරුවෙන් මහඟු ඵල නෙලාගත් ඔවුන් ඔස්ට්‍රේලියානු පිතිකරු පෙල කඩා බිඳ දැමුවා.

දැනටමත් ‘අළු බඳුන’ තරගමාලාව පරාජය වී සිටින එංගලන්තය ක්‍රීඩා කරමින් සිටියේ ජයග්‍රහණ පරතරය අඩුකර ගැනීමට පමණයි. ඔවුන් හරි දිසාවට යන සෙයක් දිස්වුනේ ජොෂ් ටං (Josh Tongue) කඩුලු පහක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ඔ්වර 45.2ක් ඇතුළත ලකුණු 152කට දවාලීම නිසායි. ටං ඔහුගේ පන්දු යැවීම අවසන් කළේ ලකුණු 45කට කඩුලු 5ක් වාර්තා කරමින්.
සිය පන්දු යවන්නන්ගේ මේ සුවිශේෂී දක්ෂතාව මධ්‍යයේත් එම ක්‍රීඩාවෙන් ලාභයක් ලබා ගැනීමට අසමත් වූ එංගලන්ත පිතිකරුවන්ට ඔ්වර 30ක් හෝ කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වුනා. ඔස්ට්‍රේලියාව ඔ්වර 29.5ක් ඇතුළත ලකුණු 110කට සංචාරක පිල දවාලුවේ තරගයේ ලකුණු 42ක පෙරමුණක් ලබා ගනිමින්. එංගලන්තයේ වැඩිම ලකුණු ලාභියා වූ හැරී බෲක් පන්දු 16කින් ලකුණු 41ක් රැස් කළා. ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයන් ලබා ගත්තේ එංගලන්ත පිතිකරුවන් තිදෙනෙකු පමණයි.
ඒ අනුව, මේ උන්මාදිත දිනයේ කඩුලු 20ක් බිඳ වැටුනා. මෙය 1902 වසරෙන් පසුව මේ කණ්ඩායම් දෙක අතර ඔස්ට්‍රේලියාවේ පැවති ටෙස්ට් තරගයක දිනයක ක්‍රීඩාවේදී අවම වශයෙන් කඩුලු 20ක් බිඳ වැටුනු පළමු අවස්ථාව වනවා.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ම 1902 වසරේ පැවති ටෙස්ට් තරගය ද, දිනක් ඇතුළත වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ වැටුනු වාර්තාව උසුලනවා. එම තරගයේ ආරම්භක දිනයේදී පිතිකරුවන් 25 දෙනෙකු දැවී ගියා.
ඔස්ට්‍රේලියාවේ පැවති ටෙස්ට් තරගයක පළමු දිනයේ බිඳ වැටුනු වැඩිම කඩුලු
*25 - ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර මෙල්බර්න් හිදී (1901-02)
*22 - ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇඩිලේඩ් හිදී (1951-52)
*20 - ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර මෙල්බර්න් හිදී (1931-32)
*20 - ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර මෙල්බර්න් හිදී (1894-95)
*20 - ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර මෙල්බර්න් හිදී (2025-26)
ඔස්ට්‍රේලියා - එංගලන්ත ටෙස්ට් තරගයක පළමු දිනයේ බිඳ වැටුනු වැඩිම කඩුලු
*25 - එම්.සී.ජී. හිදී (වසර 1902)
*22 - ද ඔ්වල් හිදී (1890)
*20 - ද ඔ්වල් හිදී (1882)
*20 - ඔ්ල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී (1909)
*20 - එම්.සී.ජී. හිදී (1894-95)
*20 - එම්.සී.ජී. හිදී (2025)
සමස්තයක් ලෙස, අද අවසන් වුනු තරගය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගයක දිනක ක්‍රීඩාවකදී අවම වශයෙන් කඩුලු 20ක් බිඳ වැටුනු ඉතිහාසයේ හය වැනි අවස්ථාවයි.

තරගය අද අවසන් වුනේ එංගලන්තය ට කඩුලු 4ක ජයක් අත්වෙමින්. පළමු දිනයේ කඩුලු 20ක් බිඳ වැටීමෙන් පසුව එංගලන්තය අද දිවා ආහාරයෙන් පසුව මඳ වේලාවක් ඇතුළත ඔස්ට්‍රේලියාව ලකුණු 132කට දවාලුවා. ඒ අනුව එංගලන්තය ට ජයග්‍රහණය සඳහා තිබුනේ ලකුණු 175ක හඹා යාමක් පමණයි. ඔවුන් කඩුලු හයක් පමණක් අහිමි කරගෙන එම ඉලක්කයට පිවිසීමත් සමග එංගලන්ත ආධාරකරුවන්ගේ ‘බාමි ආමි’ ජය ඝෝෂාව එම්.සී.ජී. ක්‍රීඩාංගණය පුරා දෝංකාරය වුනා.
මෙය වසර 14යි, ටෙස්ට් තරග 18යි, දින 5,468කට පසුව එංගලන්ත කණ්ඩායම කැන්ගරු දේශයේදී ලබා ගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයයි.
තරගය පැවති දින දෙකේදී එය නැරඹීම සඳහා ක්‍රිකට් ලෝලීන් 1,86,000කට වැඩි පිරිසක් පැමිණ සිටි බව වාර්තා වනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







