leader s

එංගලන්තය බොක්සිං දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ (Boxing Day Test) දෙදිනක් ඇතුළත ඔස්ට්‍රේලියාව

පරාජය කිරීම පිළිබඳව මෙල්බර්න් ක්‍රිකට් පිටියේ (MCG) බාරකරු සහ තණතීරුව සකසන්නා වන මැතිව් පේජ් (Matthew Page) අන්දමන්දව සිටිනවා.

පේජ් හා ඔහුගේ කණ්ඩායම ‘අළු බඳුන’ (Ashes) තරගමාලාවේ සිවු වැනි ටෙස්ට් තරගය වෙනුවෙන් මිලිමීටර් 10ක තණකොළ ඉතිරි කිරීමෙන් පසුව තරගයේ ක්‍රීඩා වාර හයක් ඇතුළත කඩුලු 36ක් බිඳ වැටුනා.

තරගයේ දෙවැනි දිනයේ සවස් වරුව ක්‍රීඩාවේදී එංගලන්තය කඩුලු හතරකින් තරගය ජය ගත් අතර එය මේ තරගමාලාවේ පර්ත් හි පැවති ආරම්භක තරගයෙන් පසුව දින දෙකක් ඇතුළත තරගය අවසන් වූ දෙවැනි අවස්ථාව වුනා. මෙය 2011 වසරෙන් පසුව එංගලන්ත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණයයි.

තරගය කලින් නිමාවීම හේතුවෙන් තම සංවිධානයට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක (පවුම් මිලියන 4.97) ආදායමක් අහිමි වූ බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා (CA) ප්‍රකාශ කරනවා.

තම කණ්ඩායම තරගය ජයග්‍රහණය කර තිබියදීත්, එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් පවසන්නේ මෙල්බර්න් තණතීරුව ලෝකයේ වෙනත් තැනක සකස් කර තිබුණා නම් ජනතාව ප්‍රචණ්ඩකාරී කලබලයක් සිදුකරනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේදී තණතීරුව සකසන්නන් හෝ පිටියේ බාරකරුවන් බොහෝ විට මාධ්‍යට අදහස් දක්වන්නේ ටෙස්ට් තරගයකට පෙර වූව ද, පේජ් අසාමාන්‍ය පියවරක් තබමින් MCG හි ටෙස්ට් තරගය ඊයේ අවසන් වීමෙන් පසුව අද (ඉරිදා) මාධ්‍යට කතා කළා.

“මම කවදාවත් මේ වගේ ටෙස්ට් තරගයකට සම්බන්ධ වෙලා නැහැ. ඉදිරියේදීත් මෙවැනි ටෙස්ට් තරගයකට මම හවුල් නොවේවි කියා ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් ඔහු පවසනවා.

“මේ තරගය අපි සැලසුම් කළ විදියට සිද්ධ වුනේ නැති බව අපි දන්නවා. තණතීරුව දියුණු කරන්න කළ යුතු දේ ගැන අපි සොයා බලනවා.”

මේ තණතීරුව තණින් වැසුණු කොළපැහැ එකක් බැවින් පිතිකරුවන්ට ඔවුන්ගේ උපරිම දක්ෂතාවෙන් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියානු වැඩබලන නායක ස්ටීව් ස්මිත් තරගයට පෙර කියා තිබුණා.

තරගයේ ආරම්භක දිනයේදී කඩුලු 20ක් බිඳ වැටුනු අතර මෙය 1909 වසරෙන් පසුව ‘අළු බඳුන’ ටෙස්ට් තරගයක පළමු දිනයේ බිඳ වැටුනු වැඩිම කඩුලු ප්‍රමාණයයි.

“පළමු දිනයට පස්සේ මම හිටියේ අන්දුන්කුන්දුන් වූ මනසකින්” යැයි පේජ් කීවා. “තරගය දින දෙකකින් අවසන් වීම ගැන පැහැදිලිවම අපට තියෙන්නේ කලකිරීමක්.”

“අපි නිර්මාණය කළේ සිත් ඇද ගන්නා ටෙස්ට් තරගයක්. නමුත් එය බලාපොරොත්තු වූ තරම් දුරක් ගියේ නැහැ. අපි මේකෙන් ඉගෙන ගෙන ලබන අවුරුද්දේ හරියට පිටිය සකස් කෙරෙන තැනට වගබලා ගන්නවා.”

‘අළු බඳුන’ ටෙස්ට් ගැටුමක් වෙනුවෙන් සකස් කෙරුනු මෙල්බර්න් තණතීරුවක් විවේචනයට ලක්වූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. 2017 වසරේ ජය පැරදුමින් තොරව අවසන් වූ තරගයේ තණතීරුව පන්දු යවන්නන්ට ප්‍රමාණවත් සහායක් ලබා නොදුන් අතර එහි ප්‍රතිඵලය වුනේ නීරස තරගයක්.

එම තරගයේදී එංගලන්තයේ ඇලස්ටෙයා කුක් නොදැවී ලකුණු 244ක් ලබා ගනිද්දී මුළු තරගයේ ම බිඳ වැටුනේ කඩුලු 24ක් පමණයි.

එදා සිට තණතීරුවල සමාලෝචනයක් තිබුනු බව මෙල්බර්න් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන විධායක ස්ටුවර්ට් ෆොක්ස් පෙන්වා දුන් අතර මෑතක පැවති ටෙස්ට් තරග සඳහා භාවිතා කළ තණතීරුවල විස්තර පේජ් ලබා දුන්නා.

මේ වසරේ තරගය වෙනුවෙන් තිබූ මිලිමීටර් 10ක තණකොළවලින් යුත් තණතීරුවට වඩා දිගින් වැඩි තණකොළ සමහර MCG තණතීරුවල තිබියදී පසුගිය වසරේ මිලිමීටර් 7ක තණකොළ සහිත තීරුවේ ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර තරගය පස් වැනි දිනය දක්වා පැවතුනා.

මේ වසරේදී මිලිමීටර් 10 තණකොළ පේජ් විසින් තෝරා ගෙන තිබෙන්නේ තරගයේ අවසන් දිනවල උණුසුම් දේශගුණයක් නියමිත බවට කාලගුණ අනාවැකි පළව තිබූ බැවින්. හෙට (සඳුදා) ට නියමිතව තිබූ තරගයේ සිවු වැනි දිනයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32ක් වනු ඇති බවට අනාවැකි පළකර තිබුණා.

තරගයේ ආරම්භක දින දෙකේදී නරඹන්නන් 190,000ක පමණ පිරිසක් MCG ක්‍රීඩාංගණය ඇතුළේ සිටීමෙන් පසුව තෙවැනි දිනය සඳහා වූ ප්‍රවේශ පත්වල ද සාර්ථක විකිණීමක් සිදුව තිබුණා. ඒ අනුව එදා මෙදා තුර ‘අළු බඳුන’ තරගයක නරඹන්නන්ගේ පැමිණීමේ වාර්තාව මැකී යාමේ හැකියාව ද පෙනෙන්නට තිබුණා.

මේ තරගයේ සිදුවූ ආදායම් පාඩුව සම්බන්ධයෙන් CA ට රක්ෂණ ආවරණයක් නැහැ. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 10ක පාඩුව සැලකිය යුතු වූව ද එයින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 600ක ආදායමක අනාවැකියක් තිබෙන මූල්‍ය වසරකට අති විශාල බලපෑමක් සිදුවන්නේ නැහැ.

ටිකට් ලබා ගත් නරඹන්නන් හා තරග විස්තර ප්‍රචාරය කරන්නන් සතුටු කිරීම පිණිස තෙවැනි දින තරගය පැවැත්වීමට නියමිතව තිබුනු අද දිනයේ දෙපිලේ ක්‍රීඩකයන් පිටියට පැමිණ ප්‍රදර්ශන තරගයක් ක්‍රීඩා කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වුනු බව ෆොක්ස් අනාවරණය කළා. නමුත් එම සාකච්ඡා එංගලන්ත කණ්ඩායම වෙත ගෙන යාමට තරම් ප්‍රගතියක් අත්කර නොගත් බව පැවසෙනවා.

මැතිව් පේජ් ගැන තමාට සම්පූර්ණ විශ්වාසය තිබෙන බව සඳහන් කරන ෆොක්ස් ඔස්ට්‍රේලියාවේ සිටින හොඳම තණතීරු සකසන්නා ඔහු බව තරයේ කියා සිටිනවා.
බොක්සිං දින තරගය සඳහා පාවිච්චි කිරීමට නියමිතව තිබූ නරක් විය හැකි ආහාර දේශීය පුණ්‍යායතනයකට පරිත්‍යාග කරන බව ද ෆොක්ස් ප්‍රකාශ කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්