leader s

‘අළු බඳුන’ ඉතිහාසයේ බොක්සිං දින ටෙස්ට් තරගයට (Boxing Day Test) හිමිව තිබෙන අද්විතීය ස්ථානය පිළිබඳව සැලකිලිමත් වන විට මේ සංකේතාත්මක තරගයට සම්බන්ධ බොහෝ කතන්දර හා මතභේදවල මතකයන් අවදි වීම වළක්වන්න බැහැ.

එක් වඩාත්ම ජනප්‍රිය කතාවකට ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨ වේග පන්දු යවන්නෙකු වූ ඩෙනිස් ලිලී සහ ලෝහයෙන් සාදන ලද ඔහුගේ මතභේදාත්මක පිත්ත සම්බන්ධ වන්නේ එය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වහාම සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) බල කෙරුනු සිදුවීමක් වූ බැවින්.

‌මේ ජවනිකාව බොක්සිං දින ටෙස්ට් තරගයට ස්වල්ප දිනකට පෙර 1979-80 ‘අළු බඳුන’ තරගමාලාව දක්වා අතීතයට යනවා. 1979 වසරේ දෙසැම්බර් මස 15 වැනි දින පර්ත් නගරයේ ආරම්භ වූ ටෙස්ට් තරගයේ ආරවුලකට මඟ පාදමින් ලිලී අසාමාන්‍ය පිත්තක් රැගෙන පන්දුවට පහර දීම පිණිස කඩුල්ලට පිවිසීම ක්ෂණිකව කාගේත් අවධානයට ලක්වුණා. ඔහු රැගෙන ආ ඇලුමීනියම් පිත්ත දැකීමෙන් ක්‍රීඩකයින් මෙන්ම නරඹන්නන් ද විමතියට පත්වුණා. 


ඩෙනිස් ලිලීගේ ඒ පිත්ත ඔහුගේ මිතුරෙකුට අයත් කොම්පැනියක් නිෂ්පාදනය කළ ‘Combat’ නමැති ඇලුමීනියම් පිත්තට අවධානය ලබා ගැනීමට කළ අපූරු වෙළඳ ප්‍රචාරයක්. පිති සාදා තිබිය යුත්තේ ලීයෙන් පමණක් බවට එකල ක්‍රිකට් නීතිවල නිශ්චිතව දක්වා තිබුනේ නැහැ.

පර්ත් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ලිලී එංගලන්තයේ ඉයන් බොතම්ගේ පන්දුවකට මුහුණ දෙමින් එල්ල කළ පහරින් අසාමාන්‍ය මහ හඬක් සහ ලෝහමය ශබ්දයක් නිකුත් වුනා. ඒ ශබ්දයෙන්, මොනවා හෝ වරදක් තිබෙන බවට ක්‍රීඩකයන් හා නරඹන්නන්ට ක්ෂණිකව දැනුනේ එය සාම්ප්‍රදායික ලී පිත්තකින් නැගෙන ශබ්දයට වඩා හාත්පසින්ම වෙනස් වූ බැවින්.

ලිලී පාවිච්චි කරන්නේ ලෝහ බැට් එකක් බව සැණින් වටහා ගත් එංගලන්ත නායක මයික් බ්‍රේලි තරග විනිසුරුවන් හමුවේ දැඩි විරෝධය පළ කර සිටියා. ඇලුමිනියම් පිත්ත ලෙදර් පන්දුවට හානි සිදුකරන බවත් එය ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහිව යන බවත් බ්‍රේලි තර්ක කළා.

lillee240602
පිත්ත මාරු කරන ලෙසට විනිසුරුවන් ලිලී ට කියා සිටියත් එය ප්‍රතික්ෂේප කළ ලිලී තමා දිගටම එම පිත්ත භාවිතා කරන බවට ස්ථිරවම කියා සිටියා. මෙය උණුසුම් තත්ත්වයකට මුල පිරූ අතර තරගය මිනිත්තු දහයකට පමණ නැවතුණා. කලබලය උත්සන්න වෙද්දී ඔස්ට්‍රේලියානු නායක ග්‍රෙග් චැපල් පිටියට පැමිණ ලිලී ට තදින් තරවටු කළා. චැපල්ගේ මැදිහත්වීමෙන් පසුව ලිලී ඔහුගේ පිත්ත මාරු කිරීමට එකඟ වුනේ තරගය නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින්.
ක්‍රිකට් ක්‍රීඩාව සරදමට ලක් කළ බවට බොහෝ අය ලිලී ට චෝදනා කරමින් මේ සිද්ධිය ලොව පුරා විවේචනයට ලක්වුණා. කෙසේ වෙතත්, මේ ප්‍රතික්‍රියාවන් මධ්‍යයේත් ලිලීගේ එම වෙළඳ ප්‍රචාරණ උපක්‍රමය ඉතාමත් සාර්ථක වූ බවට ඔප්පු වෙමින් එම මතභේදයෙන් පසුව ඇලුමීනියම් බැට්වල අලෙවිය වේගයෙන් ඉහළ ගියා.

වර්තමානයේත්, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය ‘අළු බඳුන’ තරගමාලාවක මුණගැසෙන විට ඩෙනිස් ලිලීගේ ලෝහ පිත්තේ මතභේදය බොක්සිං දින ටෙස්ට් උරුමයට සදාකල් ඈඳුනු ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම අපූර්ව එක් කථාංගයක් ලෙසින් සිහි කරනවා.

lillee240603
එම සිද්ධියෙන් පසුව ICCය වහාම ක්‍රියාත්මක වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සංශෝධනය කළා. බැට් සෑදිය යුත්තේ ලීයෙන් පමණක් බවට පැහැදිලිව ප්‍රකාශ කළ ගෝලීය ක්‍රිකට් බලධාරීන්, ඒ සමගම ලෝහයෙන් තැනූ බැට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් කළා.

ක්‍රිකට් බැට්වල මෝස්තර හා නියාමනයන් එදා සිට ක්‍රමයෙන් විකසනය වී තිබුනත්, එක් නීතියක් තවමත් නොවෙනස්ව පවතිනවා. ඒ, ක්‍රිකට් පිති සෑදීමේදී සම්මත ද්‍රව්‍යය ලෙස විලෝ ගසේ ලීය පාවිච්චි කිරීමයි.
warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්