2026 නව වසරේ තරගකාරිත්වයෙන් පිරුණු ක්‍රීඩා කැලැන්ඩරයේ ඇතුළත් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සහ
ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුගේ ප්‍රධානතම ආකර්ෂණය බවට පත්ව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ආරම්භ වනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේදී ජූනි මාසයේ ආරම්භ වනවා.
රග්බි ක්‍රීඩා ලෝලීන් මහත් ආශාවෙන් බලා සිටින රග්බි ලීග් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ද මේ වසරේ. ඔක්තෝබර් 15 සිට ඔස්ට්‍රේලියාව, නවසිලන්තය හා පැපුවා නිව් ගිණියාව යන රටවල පැවැත්වෙන එම තරගාවලියේදී කණ්ඩායම් පිරිමි, කාන්තා හා රෝදපුටු ඉසව්වල තරග වැදීමට නියමිතයි.
කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය ජූනි මාසයේ එංගලන්තයේ ආරම්භ වනවා. ඊට පෙර, වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සිම්බාබ්වේ හා නැමීබියාවේදී ජනවාරි 15 වැනිදා ආරම්භ වනවා.
එංගලන්තයේ ග්‍රීෂ්ම සෘතුවේදී ප්‍රධාන ඉසව් තුනක් පැවැත්වීමට නියමිතයි. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එංගලන්තය සත්කාරකත්වය දක්වන අතර ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝ නගරය පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වනවා. බර්මිංහැම් නගරය යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියට සත්කාරකත්වය දක්වනවා.
හිම ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ හිම පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඉතාලියේදී පිළිවෙලින් පෙබරවාරි හා මාර්තු මාසවල පැවැත්වෙනවා.
අමෙරිකාව සතුව තිබෙන Solheim කුසලානය ඔවුන්ගෙන් යළි ලබා ගැනීමට යුරෝපයේ හොඳම ගොල්ෆ් ක්‍රීඩිකාවන්ට අවස්ථාව උදා කරන තරගාවලිය සැප්තැම්බරයේ නෙදර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2026 වසරට ඇතුළත් කර තිබෙන අලුත් ඉසව්වලට බුඩාපෙස්ට් නගරයේදී සැප්තැම්බර් 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අත්‍යන්ත ශූරතාවලිය (World Athletics Ultimate Championship) සහ ජූලි 4 ආරම්භ වී නොවැම්බර් 29 අවසන් වන උතුරු අර්ධ ගෝලයේ කණ්ඩායම් හා දකුණු අර්ධ ගෝලයේ රටවල් එකිනෙකාට එරෙහිව තරග වදින ලෝක රග්බි සංගමයේ මංගල නේෂන්ස් ශූරතාවලිය (Nations Championship) අයත් වනවා.
2026 වසරේ ප්‍රධානතම තරගාවලියන්:
F පෙබරවාරි 5 සිට මාර්තු 14 දක්වා - හිම ඔලිම්පික්ස් (ඉතාලිය)
F පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා - පිරිමි T20 ලෝක කුසලානය (ශ්‍රී ලංකාව හා ඉන්දියාව)
F මාර්තු 6 සිට 15 දක්වා - හිම පැරාලිම්පික්ස් (ඉතාලිය)
F මාර්තු 20 සිට 22 දක්වා - ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය (පෝලන්තය)
F අප්‍රේල් 11 සිට මැයි 17 දක්වා - කාන්තා Six Nations රග්බි
F ජූනි 11 සිට ජූලි 19 දක්වා - ලෝක කුසලාන පාපන්දු තරගාවලිය (අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝව)
F ජූනි 12 සිට ජූලි 5 දක්වා - කාන්තා T20 ලෝක කුසලානය (එංගලන්තය)
F ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා - පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා (ස්කොට්ලන්තය)
F අගෝස්තු 10 සිට 16 දක්වා - යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලිය (එංගලන්තය)
F සැප්තැම්බර් 11 සිට 13 දක්වා - සෝහයිම් කුසලානය (නෙදර්ලන්තය)
F ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 15 දක්වා - රග්බි ලීග් ලෝක කුසලානය (ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, පැපුවා නිව් ගිණියාව)
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








