භූතානයේ වමතින් දඟ පන්දු යවන්නෙක් ජාත්‍යන්තර විස්සයි20 තරගයක කඩුලු අටක් ලබා ගත් ලොව පළමුවැන්නා බවට පත්ව සිටිනවා.
22 හැවිරිදි සොනාම් යේෂී (Sonam Yeshey) ඔහුට සීමිත වූ ඕවර හතරේදී මේ කඩුලු 8 ලබා ගත්තේ ලකුණු 7ක් පමණක් ලබා දෙමින් වීම විශේෂත්වයක්. ඔහු මේ සුපිරි දක්ෂතාව වාර්තා කළේ ඔහුගේ මව්බිමේදී මියන්මාරයට එරෙහිව පැවති තෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයේ. 127/9ක මුළු ලකුණු සංඛ්‍යාවකට පිළිතුරු දීමේදී මියන්මාරය ලකුණු 45කට දැවී ගියා.
මේ හපන්කමත් සමග යේෂී එදා මෙදා තුර ජාත්‍යන්තර T20 හොඳම පන්දු යැවීමේ ලැයිස්තුවේ සටහන්ව තිබෙන මැලේසියාව වෙනුවෙන් සියාස්රුල් ඉද්රුස් 2023 වසරේ චීනය ට එරෙහිව ලබා ගත් ලකුණු 8 ට කඩුලු 7 සහ බහරේනය වෙනුවෙන් අලි ඩාවුඩ් 2025 වසර මුලදී භූතානය ට එරෙහිව ලබා ගත් ලකුණු 19 ට කඩුලු 7 වාර්තා අභිබවා ගියා.
2022 වසරේ මැලේසියාව ට එරෙහි සිය මංගල ජාත්‍යන්තර විස්සයි20 තරගයේ ලකුණු 16කට කඩුලු 3ක් ලබා ගත් යේෂී එතැන් සිට ඉදිරියට යමින් මේ වන විට තරග 34කදී කඩුලු 37ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.
දේශීය හා ෆ්‍රැන්චයිස් T20 ක්‍රිකට් තරග බිමේ මීට පෙර කඩුලු අටක දක්ෂතාවක් වාර්තා වී නැහැ. 2019 වසරේ පැවති එංගලන්ත T20 Blast තරගාවලියේදී ලෙස්ටෂ පිල වෙනුවෙන් කොලින් ඇකර්මාන් බර්මිංහැම් බෙයාර්ස් පිලට එරෙහිව ලකුණු 18කට කඩුලු 7ක් ලබා ගෙන තිබෙනවා.
මේ වසරේ බංග්ලාදේශ ප්‍රිමිය ලීගයේදී ටස්කින් අහමඩ් දුර්බාර් රාජ්ෂාහි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ධකා කැපිටල්ස් පිලට එරෙහිව ලකුණු 19කට කඩුලු 7ක් ලබා ගත්තා.
කාන්තා ජාත්‍යන්තර විස්සයි20 තරගයක හොඳම පන්දු යැවීම ලෙස සටහන්ව තිබෙන්නේ 2024 වසරේදී මොන්ගෝලියාව ට එරෙහිව ඉන්දුනීසියාවේ රොමාලියා කිසිම ලකුණක් ලබා නොදී බිඳ හෙලූ කඩුලු 7 යි.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







