ශ්‍රී ලංකාව ද ඇතුළුව ආසියානු කලාපයේ රටවල් 47ක පාපන්දු ක්‍රීඩාව නගා සිටුවමින් එහි තරගකාරිත්වයේ මට්ටම දියුණු කිරීම සඳහා ‘නේෂන්ස් ලීග්’ (Nations League) තරගාවලියක් පැවැත්වීමට ආසියානු පාපන්දු සම්මේලනය (AFC – Asian Football Confederation) තීරණය කර තිබෙනවා.
මේ ලීගය ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් ආසියාවේ පාපන්දු බලධාරීන් විසින් ලබා දී නැති අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) තිබෙන ජාත්‍යන්තර තරග නැති කාල රාමුවක් මේ සඳහා යොදා ගැනීමට අදහස් කරන බව AFCය ප්‍රකාශ කරනවා.
‘නේෂ්න්ස් ලීග්’ තරගාවලියක් සංවිධානය කිරීම මගින් උත්සාහ කරන්නේ ආසියානු මහාද්වීපය හරහා ඇති ජාතික කණ්ඩායම්වල තරගකාරී තත්ත්වය හා වාණිජමය අවස්ථාවන් වර්ධනය කිරීමට බව ඔවුන් පවසනවා.
වින්ඩ්සර් ජෝන්
“AFC නේෂන්ස් ලීගය නියෝජනය කරන්නේ අපේ සාමාජික සංගම් හතළිස් හතේ වැඩි දියුණුවට සහාය ලබා දීම පිණිස දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන අපේ කැපවීමේ වැදගත් ඉදිරි පියවරක්” යැයි AFC ලේකම් වින්ඩ්සර් ජෝන් (Windsor John) සඳහන් කරනවා.
වර්තමානයේ AFCය සෑම සිවු වසරකට වරක් ආසියානු කුසලාන තරගාවලිය (Asian Cup) සංවිධානය කරන අතර කණ්ඩායම් 24ක් සහභාගි වන එහි ඊළඟ අදියර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2027 ජනවාරි මාසයේ සෞදි අරාබියේ.
යුරෝපීය පාපන්දුවේ පාලක මණ්ඩලය වන UEFA ඔවුන්ගේ ‘නේෂන්ස් ලීග්’ තරගාවලිය ආරම්භ කළේ 2018 වසරේ. එහි අරමුණ වී තිබෙන්නේ ඔවුන්ගේ සාමාජිකයින් ක්‍රීඩා කරන තේරුමක් ඇති තරගවල ප්‍රමාණය වැඩි කිරීමයි.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







