ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මාරු කරන්නැයි ප්‍රබල ඉල්ලීමක්.
ලබන මස මුල ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට නියමිත තරග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ට මාරු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසට බංග්ලාදේශ ක්‍රීඩා අමාත්‍යංශය එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
මුස්ටෆිසුර් රහ්මාන්
මේ තත්ත්වය උද්ගතව තිබෙන්නේ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) නියෝගයකට අනුව බංග්ලාදේශ වේග පන්දු යවන මුස්ටෆිසුර් රහ්මාන් (Mustafizur Rahman) ක්‍රීඩකයාව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ (KKR) ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL) සංචිතයෙන් ඉවත් කිරීම හේතුවෙන්. තෙවරක් IPL ශූරතාව දිනා ගත් KKR කණ්ඩායමට BCCI විසින් මෙසේ නියෝග කර තිබෙන්නේ දෙරට අතර පවතින වර්තමාන උණුසුම් දේශපාලන තත්ත්වය හා මෑතකදී බංග්ලාදේශයේ ඇතිවූ සිද්ධීන් සැලකිල්ලට ගනිමින්. රහ්මාන්ව ඉන්දියාවේ ක්‍රීඩා කරවීම පිළිබඳව එරට සමහර දේශපාලන පක්ෂ හා බලගතු ආගමික සංවිධාන දැඩි විරෝධතාව පළ කර තිබුණා.
බංග්ලාදේශයේදී හින්දු ජාතිකයන් මරා දැමීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබෙන අතර මේ හේතුවෙන් ඉන්දියාව හා බංග්ලාදේශය අතර සබඳතා පළුදු වී තිබෙනවා. පසුගිය දින කිහිපයේදී KKR ෆ්‍රන්චයිසිය හා එහි සමහිමිකරු, ජනප්‍රිය ඉන්දීය නළු ෂාරුක් ඛාන් ඉන්දීය ජනතාවගේ හා සමහර ආගමික නායකයින්ගේ කෝපයට ඉලක්ක වූ අතර රහ්මාන්ව ඉවත් නොකළහොත් ප්‍රචණ්ඩත්වය දියත් කරන බවට ඔවුන් තර්ජනය කළා. එම උණුසුම්කාරී තත්ත්වය අවසනකට එළඹෙමින් බංග්ලාදේශ වමත් වේග පන්දු යවන්නා නිදහස් කරන ලෙසට ඉන්දියා ක්‍රිකට් බලධාරීන් එම ෆ්‍රැන්චයිසියට දන්වා සිටියා.
අම්සාඩ් හුසේන්
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු තරග තුන ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන කොල්කටා නගරය හා සිවු වැනි තරගය පැවැත්වීමට නියමිත මුම්බායි නගරයේ තම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) විසින් මතු කරනු ඇති බැවින් එම තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට එම මණ්ඩලය ICCයෙන් ලිඛිතව ඉල්ලා සිටිනු ඇතැයි BCB හි මාධ්‍ය කමිටුවේ සභාපති අම්සාඩ් හුසේන් (Amzad Hussain) ප්‍රකාශ කරනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ තරග ශ්‍රී ලංකාව වෙත ගෙන යන ලෙසට ICCයෙන් ලිඛිතව ඉල්ලා සිටින ලෙසට තමා BCBයට දන්වන බවට බංග්ලාදේශයේ යෞවන කටයුතු හා ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් (Asif Nazrul) දැනටමත් කියා තිබෙන්නේ රහ්මාන්ව මේ ආකාරයෙන් IPL තරගාවලියෙන් ඉවත් කිරීම බංග්ලාදේශය ට කළ ජාතික අපහාසයක් බවට අවධාරණය කරමින්. “බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා බංග්ලාදේශය ට කිසිම තත්ත්වයක් යටතේ කරන අපහාස ධකා නුවර බාරගන්නේ නැහැ. වහල්ලු වගේ හිටපු දවස් ඉවරයි!”
ඉන්දියාවේදී බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන බරපතල සැකය පිළිබඳව ද ඔහු පෙන්වා දී තිබෙනවා.
අසිෆ් නස්රුල්
“මේ සම්පූර්ණ සිදුවීම පිළිබඳව ICCයට පහදා දෙන ලෙසට මම BCBයට කියා තිබෙනවා. කොන්ත්‍රාත්තුවක් අත්සන් කර තිබියදීත් (IPL) බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට ඉන්දියාවේ ක්‍රීඩා කරන්න බැරිනම්, මුළු බංග්ලාදේශ කණ්ඩායමක්ම එහෙ ගිහින් ලෝක කුසලානයේ ක්‍රීඩා කරන්න තරම් ආරක්ෂාවක් දැනෙන්නේ නැති බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තරගාවලියේ සංවිධායකයින්ට දැන්විය යුතුයි. බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට ඉල්ලා සිටින්නැයි මම ක්‍රිකට් මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා” යනුවෙන් නස්රුල් ඔහුගේ මුහුණුපොතේ ලියා තිබෙනවා.
එහෙත් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් මාසයක කාලයක් පමණක් ඉතිරිව තිබෙන මේ මොහොතේ තරග පැවැත්වෙන ස්ථාන මාරු කිරීම ඉතාමත් අපහසු කරුණකැයි BCCI ආරංචි මාර්ග පැවසූ බව PTI පුවත් සේවයේ වාර්තාවක දැක්වෙනවා. මේ අතර Cricbuzz වාර්තාවක සඳහන්ව තිබෙන්නේ බංග්ලාදේශය ඔවුන්ගේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාව ට මාරු කිරීම පිළිබඳව ICCයේ විරුද්ධත්වයක් නැති බවයි.
IPL තරග බංග්ලාදේශයේ විකාශය කිරීම නතර කරන ලෙසට තමා දැනටමත් බංග්ලාදේශයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද නස්රුල් තවදුරටත් සඳහන් කරනවා.
බංග්ලාදේශයේ විස්සයි20 ලෝක කුසලාන ලීග් තරග හතර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කොල්කටා හා මුම්බායි නගරවලයි. ඔවුන්ගේ ආරම්භක තරගය බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පෙබරවාරි 7 වැනිදා ක්‍රීඩා කෙරෙන්නේ කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ. ඉතාලිය හා එංගලන්තය සමග තරග ද පිළිවෙලින් පෙබරවාරි 9 හා 14 දිනවල කොල්කටා හි පැවැත්වීමට නියමිතව තිබෙන අතර අවසන් තරගය නේපාලය ට එරෙහිව පෙබරවාරි 17 වැනිදා ක්‍රීඩා කරන්නේ මුම්බායි නගරයේ.

මෙහි අවධානය ගන්නා කරුණක් වී තිබෙන්නේ මේ සතිය මුල BCBය නිවේදනය කළ ඔවුන්ගේ රටේ පැවැත්වෙන තරග වැඩසටහනට ඉන්දියාව සමග ජාත්‍යන්තර එක්දින හා විස්සයි20 තරග තුන බැගින් ඇතුළත්ව තිබීමයි.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ එම සංචාරයේ යෙදීමට රජයේ අනුමැතිය ලැබෙන තෙක් BCCI බලා සිටින අතර ඉන්දියා කණ්ඩායම ධකා නුවරට යන්නේ අවශ්‍ය අවසරය ලැබුනොත් පමණක් බව ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර, BCCI නියෝග මත මුස්ටෆිසුර් රහ්මාන්ව තමන්ගේ IPL සංචිතයෙන් නිදහස් කළ බව කොල්කටා නයිට් රයිඩර්ස් ෆ්‍රන්චයිසිය ඊයේ ස්ථිර කළා. KKR විසින් මේ ක්‍රීඩකයා ඉන්දියානු රුපියල් කෝටි 9.20කට වෙන්දේසියේ මිලදී ගනු ලැබුවේ ‘චෙන්නායි සුපර් කිංග්ස්’ හා ‘දිල්ලි කැපිටල්ස්’ සමග පැවති තියුණු ලංසු තැබීමේ සටනකින් පසුවයි.
ඉන්දු බංග්ලාදේශ සබඳතා බිඳ වැටීම ප්‍රචණ්ඩ කැලඹිල්ලක් දක්වා උත්සන්න වී තිබෙන්නේ බලයෙන් පහ කෙරුනු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා රාජ්‍ය විරෝධී විරෝධතාවන් මධ්‍යයේ 2025 අගෝස්තුවේ ඉන්දියාව ට පලා යාමෙන් පසුවයි.
ඉන්දියාවේ පරම ප්‍රතිවාදීන් වන පාකිස්තානය ද ඔවුන්ගේ සියලුම 2026 T20 ලෝක කුසලාන තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි පුවත :
T20 ලෝක කුසලානය: ඉන්දියාවට නොයන්න බංග්ලාදේශය තීරණය කරයි







