ආරක්ෂක හේතුන් මත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ 2026 T20 ලෝක කුසලාන තරග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ට මාරු කරන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) කරන ඉල්ලීම බංග්ලාදේශයේ ක්‍රීඩා උපදේශක අසිෆ් නස්රුල් නැවත නැවතත් අවධාරණය කරනවා.
ක්‍රීඩක ආරක්ෂාව හා බංග්ලාදේශයේ අභිමානය සම්බන්ධ මේ ප්‍රශ්නයේ බරපතලකම පිළිබඳව ICCයට ඒත්තු ගැන්වීමට BCBය උත්සාහ කරනු ඇතැයි ඔහු පවසනවා.
“ICCයෙන් ලැබුනු ලිපිය අද කියවා බැලීමේදී, ඉන්දියාවේදී බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයේ තරම ගැන ICCයට සම්පූර්ණ වැටහීමක් නැති බව අපට තේරෙනවා” යනුවෙන් නස්රුල් ඊයේ කියා සිටියා. ඔහු මේ අදහස් දැක්වූයේ BCB සමග අඟහරුවාදා පැවති දුරකථන සංවාදයෙන් පසුව ICCය නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ කතා කරමින්.

“මෙය ආරක්ෂාව පිළිබඳව පමණක් නොව ජාතික අපහාසය පිළිබඳව ද කාරණාවක් බවයි මම විශ්වාස කරන්නේ. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ බංග්ලාදේශ ක්‍රීඩකයාට (මුස්ටෆිසුර් රහ්මාන්) ආරක්ෂාව ලබා දෙන්න බැරි නිසා එයාව ඔ්ගොල්ලන්ගේ කණ්ඩායමේ තියාගන්න එපා කියලා කොල්කටා නයිට් රයිඩර්ස් IPL ෆ්‍රැන්චයිසියට දැන්වීම නිසා අපි මේ දෙස බලන්නේ ආරක්ෂාව පිළිබඳ ඇසකින්. මෙය ඉන්දියාවේ ක්‍රීඩා කිරීම එතරම් ආරක්ෂාකාරී නොවන බව නිහඬව පිළිගැනීමක්” යනුවෙන් නස්රුල් ප්‍රකාශ කරනවා.
මුස්ටෆිසුර් ඉවත් කිරීමෙන් පසුව බංග්ලාදේශ රජය එරට IPL තරග විකාශය තහනම් කළ අතර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඔවුන්ගේ ලෝක කුසලාන තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ලිපියක් යැවුවා.
මුස්ටෆිසුර් රහ්මාන්
“මෙතන තියෙන ලොකු චිත්‍රය, එනම් ඉන්දියාවේ තිබෙන වාර්ගික තත්ත්වය ගැන, කිසිවක් කියන්න අපට උවමනා නැහැ” නස්රුල් පවසනවා. “නමුත් එය අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවටත්, බංග්ලාදේශයටත්, බංග්ලාදේශයේ අභිමානයටත් බලපාන විට අපි කිසිම එකඟතාවයකට එළඹෙන්නේ නැහැ. අපට ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. අපට ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න අවශ්‍යයි. නමුත් අපට ක්‍රීඩා කරන්න ඔ්නේ ශ්‍රී ලංකාවේයි. මොකද, ඔවුන් මේ තරගාවලියේ අනෙක් සත්කාරක රට වන නිසා. ICCය අපේ තර්කය විවෘත හදවතින් හා අපක්ෂපාතව සලකා බලා අපට ලැබී තිබෙන සුදුසුකමට අනුව ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දේවි කියා අපි ප්‍රාර්ථනා කරනවා.”
“ඊළඟට මොනවා වුනත්, ඒ අනුව අපි ක්‍රියා කරනවා. දැනට අපි, ඉන්දියාවේ තිබෙන වාතාවරණය අපට හරියන්නේ නැති බවට ICCයට ඒත්තු ගැන්වීමේ අපේ මේ පැහැදිලි මතයේ සිටිනවා.”
අමිනුල් ඉස්ලාම්
මේ මාධ්‍ය සාකච්ඡාවේ නස්රුල් සමග සිටි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම්, ආරක්ෂාව පිළිබඳ අවධානය කණ්ඩායමට වඩා ඔබ්බට යන බවත් T20 ලෝක කුසලානය සම්බන්ධයෙන් රජයේ උපදෙස් ක්‍රිකට් මණ්ඩලය පිළිපදින්නේ ඒ නිසා බවත් කියා සිටියා. “ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශයෙන් ඉන්දියාවට යන එක් එක් කෙනා සහ හැමදෙනාම වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්න BCBයට පුළුවන්කමක් නැහැ. මෙයට කණ්ඩායම මෙන්ම ක්‍රීඩා ලෝලීන් හා මාධ්‍යවේදීන් ද ඇතුළත් වනවා” යනුවෙන් අමිනුල් සඳහන් කළා. “ඒ නිසයි අපි රජයේ මඟ පෙන්වීම ගන්නේ. මොකද, සෑම විදෙස් සංචාරයකටම රජයේ අනුමැතිය අවශ්‍ය බව ඔබ දන්නවා.”
“තරගාවලියේදී බංග්ලාදේශය ට තිබෙන ආරක්ෂාව දියුණු වුනේ නැත්නම්, ලෝක කුසලාන තරග ක්‍රීඩා කිරීමේ අපේ අයිතිය වෙනුවෙන් අපි සටන් කරනවා.”

“අපි ඉන්දියාවේ තිබෙන වාතාවරණය ගැන ICCයට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. ආරක්ෂාව සම්බන්ධ ගැටළු අතීතයේත් මතුව තිබෙනවා. හයිබ්‍රිඩ් (මධ්‍යස්ථ තැනක ක්‍රීඩා කිරීම) ලෝක කුසලාන තරගාවලියකට ප්‍රධාන හේතුව වන්නේ ආරක්ෂාවයි. ඒ නිසා අපි අපේ හේතු තහවුරු කරන්න බලාපොරොත්තු වෙනවා. චැම්පියන්ස් කුසලාන තරගාවලිය පැවැත්වෙද්දී ඉන්දියා කණ්ඩායම පාකිස්තානය ට ගියේ නැහැ. පාකිස්තානය පවා ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන්න ඉන්දියාව ට ගියේ නැහැ. ඒ නිසා අපටත් නිවැරදි පිළිතුර ලැබේවි කියා අපි අපේක්ෂා කරනවා.”
බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළහොත් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය බංග්ලාදේශ කණ්ඩායමේ තරග ශ්‍රී ලංකාව ට ගෙන නොගියහොත් බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවනු ඇත්තේ ඔවුන්ගේ සියලුම මූලික වටයේ තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ ඉන්දියාවේ බැවින්.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







