leader s

* තත්පර 10 සීමාව බිඳ හෙළූ දකුණු ආසියාවේ එකම කෙටි දුර ධාවකයාගේ තීරණය පිටුපස ඇති නොකී කතාව ඉදිරියේදී හෙළි කරන බවට සටහනක්


* පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කම සහ ජාතික වාර්තා රැසක් ශ්‍රී ලංකාවට දිනාදුන් ඓතිහාසික ක්‍රීඩා ජීවිතයේ අවසානය

 

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස මලල ක්‍රීඩා ඉතිහාසයට එක්වූ ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සිය ක්‍රීඩා දිවියෙන් හදිසියේම සමුගැනීමට තීරණය කර තිබේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු නිවේදනය කර ඇත්තේ, තවත් කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය පහසු එකක් නොවූවත්, අවසානයේ එම තීරණය ගැනීමට සිදුකළ පසුබිම පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරන බවයි.

 

"ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු"

 

"රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි!" යනුවෙන් ආරම්භ වන සිය දීර්ඝ සටහන හරහා යුපුන් අබේකෝන් සඳහන් කරන්නේ තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවූ දෙමාපියන්, පුහුණුකරුවන්, ශ්‍රී ලංකා යුද හමුදාව, අනුග්‍රාහකයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ද සිය කෘතඥතාව පිරිනමන බවයි.

 

 

කෙසේ වෙතත්, ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවූ ආසන්නතම හේතුව පැහැදිලි කරමින් ඔහු සටහන් කර ඇත්තේ "ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ වුණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු," යනුවෙනි.

 

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් සලකුණ 

1994 වසරේ පන්නලදී උපත ලබා, පන්නල ජාතික පාසලෙන් සහ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ යුපුන්, 2014 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට (විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය) එක්වෙමින් සිය වෘත්තීය ක්‍රීඩා ගමන ආරම්භ කළේය. පසුව ඉතාලියේ 'Fiamme Gille' ඇකඩමිය හරහා උසස් පුහුණුව ලැබූ හෙතෙම ජාත්‍යන්තර තලයේ දක්ෂතා රැසක් දැක්වීමට සමත් විය. 

 

තත්පර 10 බාධකය බිඳ හෙළීම:

2022 ජූලි 3 වනදා ස්විට්සර්ලන්තයේ පැවැති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර ශූරතාවලියේදී මීටර් 100 ඉසව්ව තත්පර 9.96කින් නිම කරමින්, තත්පර 10 සීමාව බිඳ හෙළූ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම සමස්ත දකුණු ආසියාවේ එකම ක්‍රීඩකයා බවට පත් විය. 

 

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම:

2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්ව තත්පර 10.14කින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනාගත් අතර, එය වසර 24කට පසුව ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ලැබූ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමයි. 

ජාතික සහ දකුණු ආසියානු වාර්තා: 

2020 ජර්මනියේදී තත්පර 10.16ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර, 2021 ඩයමන්ඩ් ලීග් තරගාවලියට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකිකයා බවට ද පත්විය. 

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන් ප්‍රමුඛතම අන්තර්ජාතික ක්‍රීඩකයෙකු මෙලෙස පවතින පද්ධතිය පිළිබඳව වක්‍රව ප්‍රශ්න කරමින් හදිසියේම සමුගැනීමට තීරණය කිරීම ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහකට ලක්වෙමින් පවතී.

 

යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන:

 


"රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි! 

 

"දකුණු ආසියාවේ වේගවත් ම ධාවකයා කියන්නෙ මගේ ජයග්‍රහණයක් නෙවෙයි, අපේ ජයග්‍රහණයක් කියලා මං තේරුම්ගත්තෙ Sub 10 එක දුවපු දවසෙන් පස්සෙ. ඒ වෙනකල් මං හිතාගෙන හිටියේ ඒක මගේ කර ගන්න ඕනෙ දිනුමක් කියලා. කොල්ලෙක් තමන්ගේ ගෙදරට/පවුලට අයිති වෙලා ඉඳලා මුළු රටකට ම අයිති වෙනවා කියන්නෙ මහා පුදුමාකාර විරල අත්දැකීමක්. තිබූ තැනකින් සොර සතුරන්ට ගන්නට බැරි දිනුමක්. මුලින් ම ඒ අත්දැකීම මට දුන්නට, මං මේ ජීවිතයට සහ මගේ රට දැයට මං මගේ කෘතඥතාව දක්වනවා.

"ඔබ හැම දෙනා ම කවදාවත් සාමාන්‍ය රසිකයෝ හෝ සහයෝගය දක්වන්නන් විතරක් වුණේ නෑ, ඔබ සියලු දෙනා මගේ පවුල වුණා. මේ ගමන පුරාවට ම මම ඇත්තට ම ලබා ගත්තෙත් ඒ ආදරයි ශක්තියයි විතරයි. මගේ තරග නරඹන්න නිදිමරාගෙන උන්න, පහන් පත්තු කරපු, යාච්ඤා කරපු හැම දෙනාට ම ගොඩක් ආදරෙයි. ඒ හැම දේ ම මට විශාල ශක්තියක් වුණ බව මං මතක් කරන්න කැමතියි. මං මට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරන්නත්, ඔයාලාගේ විශ්වාසය මිල මුදල් ඉදිරියේ පාවා නොදී රකින්නත්, ඔයාලගේ ගෞරවයට කැළලක් නොකර විනයවත්ව හැසිරෙන්නත් වග බලාගැනීම මං ඔයාලට ඉටු කළ යුතුකමයි.

"ඉතින් මගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන අද දවසේ මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මුලින් ම මාව මේ ලෝකෙට ගෙනැවිත් මට ජීවිතය දුන්න දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා, මං ගැන මෙච්චර ආඩම්බර වෙනකොට මට හරි ම සතුටක් දැනෙනවා. මගේ පවුලේ අයට සහ මගේ යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා මට ලොකු හයියක් උණාට, ඒ වගේ ම මගේ පාසල් දෙකට ම මට ක්‍රීඩාව හඳුන්වලා දුන්නාට. මාව ක්‍රීඩාවට හඳුන්වලා දුන්නාට මගේ සියලු ම පුහුණුකරුවන් සහ ඉතාලියේ මගේ කණ්ඩායමට ස්තූතියි. ඒ අය නොහිටින්න මගේ ගමන මේ තරම් දුරක් නොපැමිණෙන්න තිබුණා.

"ඒ වගේ ම මේ ගමනේ පටන්ගැන්මේදී යුද හමුදාව ලබාදුන්න ඒ සහයෝගය මට ලොකු පිටිවහලක් උණා. විශේෂයෙන් ම විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බළකායේ එවක සිටි සහ අදත් සේවයේ සිටින සියලු ම නිලධාරීන් සහ සෙසු නිල සියලු දෙනාට ම ඒ ලබාදුන්න සහයෝගවලට මං මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

"ඒ එක්ක ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්ට මම ස්තූතිය පුද කරනවා.

මගේ ජයග්‍රහණ (ලංකාවේ ජයග්‍රහණ) වෙනුවෙන් ශ්‍රමය, බලාපොරොත්තු, කාලය, මුදල් වියදම් කරපු සෑම ඉතාලි ජාතික වෘත්තීමය හැම දෙනාට ම මම මේ අවස්ථාවේ ආචාර කරනවා.

"රටේ ජයග්‍රහණය වෙනුවෙන් (අවංකව) කටයුතු කළ රජයේ අමාත්‍යංශවල සහ කමිටුවල සේවය කළ සහ දැනට සේවය කරන පිරිසට ස්තූතියි. මා සමග එකට වැඩ කටයුතු කළ, සහයෝගය ලබා දුන්න පෞද්ගලික අංශයේ සියලු ම දෙනාටත් මම ස්තූතිය පුද කරන්න කැමතියි.

"ලෝකයේ පුහුණුවීම් කරන්නට මට අනුග්‍රහය දැක්වූ 'TV දෙරණ' මාධ්‍ය නාලිකාවේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා, ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුළු සියලු ම දෙනාටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සියලු දෙනාටමත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

"අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන, නැගී එන සහෝදර සහෝදරියන් හැමෝට ම අපේ රටේ නම ලෝකයේ දිනවන්නටත්, අපේ රටේ මිනිසුන්ට ජයග්‍රහණයේ අභිමානයෙන් ඔසවා තබන්නටත් ජයග්‍රහණ ලැබෙන්නට කියා මං හදවතින් ම ප්‍රර්ථනා කරනවා.

"ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස, රට දැයට ගෙන දුන් ජයග්‍රහණයන් සහ අභිමානයෙන්, මාව ඇති දැඩි කළ මගේ රටට ණය ගෙවන්නට ලැබීම මා තෘප්තිමත් කරයි. එය මගේ අවසන් හුස්ම දක්වා මා සමග එනු ඇත. එහෙත් මාව පුහුණු කළ මට තාක්ෂණය දුන්, අපේ රටට ආදරය කළ රටවල් සහ මිනිසුන්ට ණයකාරයෙක් වෙන්නට සිදුවීම ගැන මා කනගාටු වෙමි.

"තවත් ක්‍රීඩා කරන්න කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය කිසි ම විදිහකින් ගැනීමට පහසු තීරණයක් උණේ නෑ. ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු.

ඔයාලා හැමෝටම ස්තූතියි, ආදරෙයි!
ශ්‍රී ලංකා මාතාවට ජය වේවා!"

 

 

yupun post 2

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්