*ස්පාඤ්ඤ ශූරයන්ගේ සිමෝන් හා කුබර්සි කැපෙද්දී කේප් වර්ඩ් හී 40 හැවිරිදි වෝසිංයා සිහින එකාදොසට!
*හැරී කේන් පිටතට - රොද්රි, බෙලිංහම්, ම්බාපේ, හෝලම් සහ මෙසී ඉදිරිපෙළ බලගන්වති!
පවු කුබර්සි, ඌනායි සිමෝන්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් නිකුත් කර තිබෙන 2026 ලෝක කුසලාන කණ්ඩායමේ අනපේක්ෂිතයන් දෙකක් දක්නට ලැබෙනවා. ඒ, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ගෝල් රකින්නා වෙමින් ‘රන් අත්වැස්ම’ සම්මානය දිනා ගත් ඌනායි සිමෝන් හා දක්ෂතම යොවුන් ක්‍රීඩකයා බවට තේරුණු පවු කුබර්සි කණ්ඩායමට නම් කර නොතිබීම. මේ දෙදෙනා ම 2026 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ස්පාඤ්ඤ කණ්ඩායමේ ක්‍රීඩකයින්.
වෝසිංයා
මේ සිහින ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමේ ගෝල් රකින්නා බවට පත්ව සිටින්නේ සිය දක්ෂතා මගින් පාපන්දු ලෝකය වසඟ කර සමාජ මාධ්‍යයේ දැවැන්ත අනුගාමික පිරිසක් දිනා ගත් කේප් වර්ඩ් කණ්ඩායමේ වෝසිංයා. මෙහිදී ඔහු සිමෝන් හා එංගලන්තයේ ජෝඩන් පික්ෆෝඩ් අභිභවා ගොස් සිටිනවා. අනෙත් අතින්, ආරක්ෂක පෙල ක්‍රීඩක කුබර්සි ට කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙන අතර ඒ වෙනුවට ප්‍රංශයේ ඩයියෝ උපමෙකනෝ සහ ආජන්ටිනාවේ ලිසන්ද්‍රෝ මර්ටීනස් මැද-පසුපෙල ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.
ස්පාඤ්ඤය හා ප්‍රංශය යන රටවල් දෙකෙන් ම ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර 2026 ලෝක කුසලාන අනුශූරයින් වූ ආජන්ටිනාවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් කණ්ඩායමේ සිටිනවා.
පාපන්දුවේ නිර්භීත ක්‍රීඩාවෙන් සියලු දෙනා ආකර්ෂණය කරගත් කේප් වර්ඩ් කණ්ඩායම සහ වෝසිංයා මෙවර තරගාවලියේ ප්‍රධානතම සොයාගැනීම වුණා. තරගාවලිය පුරාම අපරාජිතව සිටි එම කණ්ඩායම ලැබුවේ එකම එක පරාජයයි. තරගාවලියේ කණ්ඩායම් 32 වටයේදී ආජන්ටිනාව ට කේප් වර්ඩ් පරාජය කිරීමට හැකිවුනේ එම තරගයේ අතිරේක කාලයේදී පමණයි. ලියොනල් මෙසී වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ගේ ප්‍රශංසාවට ලක්ව සිටින 40 හැවිරිදි වෝසිංයා දැන් ලෝ පතල අයෙක්.
ලෝක කුසලාන කණ්ඩායමේ ආරක්ෂාකාරී ක්‍රීඩාව සඳහා ස්පාඤ්ඤයේ මර්ක් කුකුරෙයා සමග අනෙක් පසේ ක්‍රීඩකයා වශයෙන් ඔහුගේ කණ්ඩායම් සගයෙකු වන පෙද්රෝ පෝරෝ ඇතුළත් කර තිබෙනවා.
මැද පෙල ක්‍රීඩාවට පැමිණෙද්දී, ‘රත්තරං බෝලය’ ජයග්‍රාහක රොද්රි තෝරා ගැනීම ඉතා පහසු වී තිබෙනවා. ස්පාඤ්ඤය ලෝක කුසලාන ශූරතාව කරා මෙහෙයවීමේදී මේ ක්‍රීඩකයා ප්‍රදර්ශනය කළේ සුවිශේෂ දක්ෂතාවක්. රොද්රි සමග එංගලන්තයේ ජූඩ් බෙලිංහම් සහ ප්‍රංශයේ මයිකල් ඔලිසේ ද ඔවුන්ගේ සුපිරි දක්ෂතා මත ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථාන හිමි කරගෙන තිබෙනවා.
හැරී කේන්
එහෙත්, එංගලන්තයේ හැරී කේන් ඇතුළත් නොවීම මේ කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සිදුවූ ලොකුම පුදුමය යි. මේ ස්ථාන වෙනුවෙන් ප්‍රංශයේ කිලියන් ම්බාපේ හා ආජන්ටිනා සුපිරි තරුව ලියොනල් මෙසී සමග නෝවේ ආක්‍රමණශීලී ක්‍රීඩක ආලිං හෝලම් තෝරා ගෙන තිබෙනවා.
FIFA ලෝක කුසලාන කණ්ඩායම 2026:
වෝසිංයා (කේප් වර්ඩ්), මර්ක් කුකුරෙයා (ස්පාඤ්ඤය), ලිසන්ද්‍රෝ මර්ටීනස් (ආජන්ටිනාව), ඩයියෝ උපමෙකනෝ (ප්‍රංශය), පෙද්රෝ පෝරෝ (ස්පාඤ්ඤය), රොද්රි (ස්පාඤ්ඤය), ජූඩ් බෙලිංහම් (එංගලන්තය), මයිකල් ඔලිසේ (ප්‍රංශය), කිලියන් ම්බාපේ (ප්‍රංශය), ආලිං හෝලම් (නෝවේ), ලියොනල් මෙසී (ආජන්ටිනාව).

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







