ක්‍රීඩා උපකරණවලින් විලි වසාගත් හොලිවුඩ් නිළියගේ ඔට්ටු ඇල්ලීමේ දැන්වීමට ඔලිම්පික් හා ලෝක ශූරියන්ගෙන් දැඩි විරෝධයක්.
"අපේ දහඩිය, කඳුළු ලිංගික භාණ්ඩයක් නොවේ" — එංගලන්ත කෙටි දුර ධාවන ශූරී ඒමී හන්ට් ප්‍රමුඛ ක්‍රීඩිකාවන් සටනට බසිද්දී ස්වීනීගෙන්ද පෙරළිකාර ප්‍රතිචාරයක්!
ජනප්‍රිය අමෙරිකානු හොලිවුඩ් නිළියක වන සිඩ්නි ස්වීනීගේ (Sydney Sweeney) නිරුවත් ක්‍රීඩා වෙළඳ දැන්වීමට එරෙහිව හඬ නැගීම සඳහා ලොව ප්‍රධානතම පෙළේ ක්‍රීඩිකාවන් එකම බලකායක් ලෙස ඒකරාශී වී සිටිනවා.
සමාජ මාධ්‍යයේ පැතිර ගොස් තිබෙන මේ ක්‍රීඩා සූදු වෙළඳ දැන්වීම් වීඩියෝවේ ස්වීනි නිරුවතින් එහෙත් ශරීරයේ පෙදෙස් විවිධ ක්‍රීඩා උපකරණවලින් වසාගෙන සිටින අයුරු දිස්වනවා.
ස්වීනි මෙසේ පෙනී සිටින්නේ නෝවිග් (Novig) නමැති ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ වේදිකාව ප්‍රවර්ධනය කිරීම පිණිස දියත් කර ඇති අලුත් වෙළඳ ප්‍රචාරණ මෙහෙයුමකයි. එම වීඩියෝවේ ඇය ඇගේ නිරුවත ආවරණය කිරීම සඳහා විවිධ ක්‍රීඩා බෝල හා ක්‍රීඩාවන්හි භාවිතා කරන ගොල්ෆ් පිති යනාදී උපකරණ යොදාගෙන තිබෙන අයුරු දිස්වනවා. විටෙක බාස්කට්බෝල් ක්‍රීඩා පිටියේ දැල කවය සවිකර ඇති කණුව මත දෙපා දෙපසට දමා නිරුවතින් වාඩිවී සිටින ඇය තවත් විටෙක බිලියඩ් මේසයක් මත වැතිරී සිටිනවා.
යෞවනයේ සිත් ඇදී යන මේ වෙළඳ දැන්වීම මගින් ක්‍රීඩාවේ යෙදී සිටින කාන්තාවන් ලිංගිකකරණයට ලක් කර ඇති බවට ප්‍රබල වාදයක් හටගෙන තිබෙන අතර එහි පෙරමුණ ගෙන සිටින්නේ යුරෝපයේ අලුත්ම කෙටි දුර ධාවන ශූරිය වන එංගලන්තයේ ඒමී හන්ට් (Amy Hunt). පසුගියදා පැවති 2026 යුරෝපීය ශූරතාවලියේදී මීටර් 100, මීටර් 200, මීටර් 100 සහාය දිවීම හා මීටර් 100 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වල ඇය රන් පදක්කම් දිනා ගත්තේ තනි යුරෝපීය ශූරතාවලියකදී රන් පදක්කම් හතරක් දිනා ගත් පළමු මලල ක්‍රීඩිකාව බවට පත්වෙමින්.
මතභේදාත්මක වෙළඳ දැන්වීම පිළිබඳ තම හැඟීම් දන්වා සිටීම සඳහා හන්ට් තරගයකින් පසුව සිදුවන ඇගේ සම්මුඛ සාකච්ඡාවක් උපයෝගී කර ගන්නා විට ඇය බුඩාපෙස්ට් නගරයේ පැවති මංගල ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ මීටර් 200 ඉසව්වේ අවසාන තරගය සිවු වැනි ස්ථානයෙන් අවසන් කර වැඩි වේලාවක් ගතව තිබුණේ නැහැ.
හන්ට් එහිදී මෙවර තරග වාරයේ තත්පර 22.10ක හොඳම කාලයක් සටහන් කර තිබු අතර අමෙරිකාවේ මෙලිසා ජෙෆර්සන්-වුඩන් තත්පර 21.47ක විස්මිත කාලයකින් එම ඉසව්ව ජයග්‍රහණය කර තිබුණා.
"කාන්තා ක්‍රීඩාව කියන්නේ මේකටයි!" - ඒමී හන්ට්ගෙන් සෘජු ප්‍රහාරයක්
කැමරාව දෙස කෙළින් බලමින් හන්ට් මෙසේ කියා සිටියා: “සිඩ්නි ස්වීනී, කාන්තා ක්‍රීඩාව දිස්වන්නේ මේ විදියටයි!”
“අමාරු පුහුණුව, දහඩිය, රුධිරය, කඳුළු. මේක ලස්සන සැඳෑවක්” යනුවෙන් 24 හැවිරිදි ඇය මෙලිසාගේ දස්කම් ගැන සඳහන් කරමින් පවසා සිටියා. හන්ට්ගේ ඒ පණිවුඩයේ ඉලක්කය වී තිබුණේ ස්වීනීගේ වීඩියෝවයි.
මෙයින් ප්‍රබල ප්‍රතිචාර හටගෙන තිබෙන්නේ ක්‍රීඩාවේ නියැලෙන කාන්තාවන් එම වෙළඳ දැන්වීම මගින් ලිංගිකකරණයට ලක්කර ඇති බවට විවේචනය කරමින් සහ ජයග්‍රහණයන් හා සාර්ථකත්වයන්ට වඩා ඔවුන්ගේ පෙනුමෙන් ඔවුන් නිර්වචනය කරන තිබෙන ආකාරයට අප්‍රසාදය පළ කරමින්.
මේ මතභේදාත්මක වෙළඳ දැන්වීම ගැන ප්‍රශ්න කරන එකම මලල ක්‍රීඩිකාව බ්‍රිතාන්‍ය වේග රැජින ඒමී හන්ට් පමණක් නෙවෙයි. ක්‍රීඩා පරාසයක සිටින වෙනත් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ඔවුන් තරග කරන අයුරු හෝ පුහුණු වන අන්දමේ වීඩියෝ පෝස්ට් කරමින් ඔවුන්ගේ ක්‍රීඩා ජීවිත පුරා ඔවුන් මුහුණ දුන් අසාර්ථක වීම් හා දැරූ පරිශ්‍රමයන් විස්තර කර තිබෙනවා.
ඔලිම්පික් ශූරියන් සමාජ මාධ්‍ය හරහා සටනට බසී

මේ ප්‍රවණතාව ආරම්භ කළේ අමෙරිකානු ජිමිනාස්ටික් ක්‍රීඩිකා ග්‍රේසී ක්‍රේමර් (Gracie Kramer). තමා පුහුණුවේ යෙදී සිටින රූ පෙළක් පෝස්ට් කළ ඇය ඊට මෙසේ කෙටි විස්තරයක් එක් කර තිබෙනවා: “සිඩ්නි ස්වීනී කළේ මොනවාද කියා මම දන්නේ නැහැ. නමුත් ක්‍රීඩා කරන කාන්තාවන් දිස්වන්නේ මේ විදියටයි.”
මේ පෝස්ටුවට ප්‍රතිචාර තමා බලාපොරොත්තු නොවන බව පවසන ක්‍රේමර්, තමාට වුවමනා කළේ කාන්තාවන් ඔසවා තැබීමට හා ඔවුන් මේ ආකාරයේ දැන්වීම් දුටුවත් වැදගත් වන්නේ එය පමණක් නොවන බවට මතක් කර දීමට යැයි ප්‍රකාශ කරනවා.
සිවු-වතාවක ඔස්ට්‍රේලියානු ඔලිම්පික් පිහිනුම් ශූරී Ariarne Titmus මෙසේ කියනවා: “මෙය තමන්ගේ ක්‍රීඩාව මුවහත් කර ගැනීම සඳහා තම ජීවිතය කැප කළ ක්‍රීඩිකාවන්ගේ මුහුණට පයින් ගැසීමක් පමණක් නොව ක්‍රීඩාවෙන් විනෝදයක් ලබන සෑම කාන්තාවකටම එල්ල කළ ප්‍රහාරයක්.”
“කාන්තාවකගේ ශරීරය මුදල් සේ භාවිතයට දමන හා කාන්තාවන්ගේ ක්‍රීඩාව ලිංගිකකරණය කිරීම තවමත් පවතින ලෝකයක අපි කොහොමද ජීවත් වෙන්නේ?” යනුවෙන් ඇය ප්‍රශ්න කරනවා.
බ්‍රිතාන්‍ය පාපැදි හා ඔලිම්පික් ශූරී Sophie Capewell , රග්බි ක්‍රීඩිකාවන් වන Lisa Neumann හා Ellie Boatman සහ ඔස්ට්‍රේලියානු ජල පෝලෝ ඔලිම්පික් ක්‍රීඩිකා Tilly Kearns ද මේ පිළිබඳව ඔවුන්ගේ අදහස් දක්වා තිබෙනවා.
ස්වීනීගේ වැනි වීඩියෝ දැන්වීම්වලින් “හැමෝටම හරි යන” එක සිරුරක් පමණක් තිබෙන බවට තරුණ කාන්තාවන් තුළ විශ්වාසයක් ඇති නොවිය යුතු යැයි එංගලන්ත රග්බි ක්‍රීඩිකාවක වන ඇලෙක්ස් මැතිව්ස් (Alex Matthews) පවසනවා.
“ඒ තරමට අතිශයින් ඇලුම් කරන නියම සිරුරක් විශේෂයෙන් රග්බි ක්‍රීඩාවේදී ඔබට ලැබෙන්නේ නැහැ. එහෙම වුනොත් ඔබට කණ්ඩායමක් තියෙන්නේ නැහැ.”
විවේචන හමුවේ ස්වීනීගෙන් පෙරළිකාර 'ESPN' පිළිතුරක්
සිඩ්නි ස්වීනී මේවාට ප්‍රතිචාර දක්වා නැතත් ඇය සමාජ මාධ්‍යට පිවිස, අනෙක් ක්‍රීඩිකාවන් නිරුවතින් හා සීමිත ඇඳුම්වලින් පෙනී සිටි ඡායාරූප පෙළක් පෝස්ට් කර තිබෙනවා.
ඇය එයින් පෙන්වා දී තිබෙන්නේ මීට පෙර ඡායාරූප වෙනුවෙන් ඇඳුම් ඉවත් කළ ක්‍රීඩා සුපිරි තාරකාවක් වන ටෙනිස් ක්‍රීඩිකා Serena Williams, MMV සටන් ශිල්පිනී හා මල්ලවපොර ක්‍රීඩිකා Ronda Rousey සහ පිරිමි ක්‍රීඩකයින් වන NFL හි Myles Garret හා බාස්කට්බෝල් ක්‍රීඩක Karl-Anthony Towns පෙනී සිටින ESPN කවර මාලාවක්. හිටපු අමෙරිකානු වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩිකා Sue Bird හා පාපන්දු ක්‍රීඩිකා Megan Rapinoe ද ස්වීනී ඇගේ පෝස්ටුවට ඇතුළත් කර තිබෙනවා
සිඩ්නි ස්වීනී පසුගිය වසරේදී ද තවත් මතභේදාත්මක වෙළඳ දැන්වීමකට පෙනී සිටියා. එහිදී ඇය America Eagles වෙනුවෙන් ජීන්ස් කලිසම් ප්‍රවර්ධනය කළේ ජාන වර්ගය හා රූපලාවන්‍ය ප්‍රමිතීන් සම්බන්ධයෙන් වාදයක් ආරම්භ කරමින්.
29 හැවිරිදි මේ අමෙරිකානු නිළිය Euphoria නමැති රූපවාහිනී චිත්‍රපට මාලාවේ රඟපෑ අතර ඇයගේ චිත්‍රපටවලට Anyone But You සහ The Housemaid ඇතුළත් වනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







