1200 x 80 DMirror

 
 

වැව් විල්ලුවක් පසුකර ගිය ඔහු දු‍ටුවේ මිදෙල්ල යායකි. වැව්නියා මහ වනයේ මිනිස් පහසක් තිබූ එකම බිම එතනය. ඒ මිදෙල්ල යාය පසුකර පැමිණි සාරමාරු ලේකම් ආලෝක දු‍ටුවේ මිදෙල්ල යාය මැද කුඩා වන ගමකී.

අන්ධකාරය තුනී කරන අටවක හඳ පැතිරුණු අහස යටට වී ආලෝක බලා හිදියේය. දහදියෙන් තෙත් පසඟ මිදෙල්ල යාය අතර ඇති දිය විලේ නහවා සැහැල්ලු වෙත්ම ඔහු දු‍ටුවේ විල අද්දර දිය බොන ඇත් රජෙකී. සාරමාරු ලේකම් නිසොල්මන්ව බලා හිඳියේය. ඇතා රජෙක්මය.  ඒත් කිසිදු ඇත් රජෙකුට සතු නොවූ දළ සඟල ආලෝක මවිත කලේය. දිය ගෙන සොඬ පුරවා දළ සඟල නහවා ගත් ඇතු සොඬ පද්දා වනය තුළට පිවිසියේය. සාරමාරු  ලේකම් ආලෝක මේ මිදෙල්ල වන ගම සුබ භූමියක් යැයි සිතුවේය. මද මොහොතක් දිය පහසේම සිට කල්පනා ලොව සැරිසරූ ඔහු ඉන් මිඳුනේ කවි පදයක් ගඟන දිගේ පාව ආවිටය.

‘’සොඳේ සොඳේ   මිදෙල් ලේ
  වනේ වනේ        හැදැල් ලේ
  විලේ විලේ         කැදැල් ලේ
  බඳේ බඳේ          තුරුල් ලේ ’’



කවි ලතාව අසා සිටි සාරමාරු ලේකම්ගේ පපුව පලාගෙන ලාලාසවක හැඟුම් නැඟී සිටියේය. බිය පහව ගියේය. ඇතු දු‍ටු සුබ හැඟුමන් විඳි ඔහු කවි ලතාවෙන් ආතුරව විලෙන් ගොඩ විය. ආලෝක යලිත් වටපිට බැලීය. ඒ පස්වන බුවනෙකබාහු රජුගේ රාජ සෙබළු කවර මොහොතක හෝ තමා පසුපස එතැයි දන්නා බැවිණි.

 නිසල වනයද කවි අහුරු අහුරු ගලන රැයට අටවක හඳේ මුදු මුදුවද ආලෝකගේ හදවත නිසංසල කලේය. ඔහු තම කුණ්ඩලය ගලවා දියට විසි කලේය. දබරගිල්ල සැරසු සාරමාරු ලේකම් මුදුව ගලවා විසල් මිදෙල්ල ගසේ දෙබෑවේ වූ රුක් බෙනයේ එබුවේය. බඳ සළුව නවා එහිම එබූ ඔහු ගෙල වට ගෝමේදය ගලවා වටපිට බැලීය. කවි හඬ නැවතින. ගේ පැලකින් හුළු එළියක් දැල්විණ. සාරමාරු වහා ගෝමේද මාලය ගස් බෙනයෙහිම ඔබා වසන් විය.


මේ ක්‍රි.ව. 1404 ඉල් මහට අටවක හඳ පායපු රාත්‍රියය. දඹදෙණිය රාජධානියේ අවසාන රාජ්‍ය විචාරකයා වූ පස්වන බුවනෙකබාහු රජපද සමයය. ඔහුගේ රාජ්‍ය සමයේ සාරුමාරු ලේකම් වූයේ මේ ආලෝකය.



ආලෝක කුමාරසිංහ පස්වන බුවනෙකබාහු රජුගේ සාරුමාරු ලේකම් ලෙස කටයුතු කරන අතර ලංකාවම වටකරගත් ආර්ය චක්‍රවර්තී වෙළඳ ආක්‍රමණය උච්චස්ථානයෙන් පැතිරේ.

සාරුමාරු ලේකම් ලෙස නම්වූ පදවිය නූතන අර්ථයෙන් ගත්විට සම්බන්ධීකරණ ලේකම්ය. එනම් රජු සහ සමාජ බලවේග සහසම්බන්ධ කරන නිළධාරියා එකල සාරුමාරු ලේකම්  ලෙස හැඳින්වීය.

පස්වන බූවනෙකබාහුගේ රාජ්‍ය පාලනය අභියෝගයට ලක්ව තිබූ අතර ආනුභාවසහිත රජෙකු සේ මතුවන චරිතයක්ද නොවීය.

මේ අතර දඹදෙණි රජුගේ මව් ජයසිරි බිසව් අලකේෂ්වර සොයුරන් සමඟ තුන් බෑ හිමි ආලයක බැඳීමක් සමඟ තත්වය උණුසුම් විය. ඒ වන විට අලකේෂ්වර මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ලෙසද මතුව අවසන්ය.

සාරුමාරු ලේකම් ආලෝක කුමාරසිංහ අලකේශ්වරුගේ ළබැඳි බැඳීමක් විය. අයස්කාන්තමය රුවැත්තෙකු වූ ආලෝක දාම වැල් ගුරු කුලේ සටන් කලාවේදියෙක්ද විය.



දාම වැල් ගුරු කුලය වූ කලී රිටිගල ජයසේන පැරදවූ ගෝඨයිම්බරගේ සටන් ශෛලියය. දාම වැල් ගුරු කුලයේ අවසාන පුරුක වූයේද ආලෝකය. එබැවින් ඔහුව සාරුමාරු ලේකම් වූයේ එබැවිණි.


ආලෝක කුමාරසිංහ එරියාවේ සිට දඹදෙණියට පිවිසියේ තම රාජ පදවි කාර්ය සඳහාය. ඒත් උදාවූ නව තත්වය තුළ පස්වන බුවනෙකබාහු රජුගේ සැකය තම සාරුමාරු ලේකම් වෙත එල්ල විය. ඒ අලකේශ්වර පුතු නිශ්ශංක අලකේශ්වර සාරුමාරු ලේකම් ආලෝකගෙන් දාම වැල් ශාස්ත්‍රය හදාරණ රහස් දසුන දු‍ටුදාය.

රජු වහා සාරුමාරුව අත්තඩංගුවට ගන්නා ලෙස නියම කරත්ම පුවත ආලෝකට සැළවිය. ඒ ජයසිරි බිසව්ගෙන්ය. සාරුමාරු ලේකම් වහා දඹදෙණියෙන් දඹුල්ලට පැනගියේය. දඹුල්ලෙන් හබරණ කැලය හරහා රිටිගලට පැමිණියේය. එතැනින් ඔහු දු‍ටුවේ ඈත වැව්නියා රටය. එය වඩා සුරක්ෂිත යැයි සිතී ඔහු වැව්නියා මහ වනය මැදින් විත් මෙලෙස ''මිදෙල්ල වැටිය'' නම් වන ගමට සේන්දු විය.


මිදෙල්ල වැටිය වන ගම පණ්ඬුකාභය රජුන් රති දෙවොලට බැඳි ඓතිහාසික වනවාසයකී. රති දෙවොල නිර්මිත ගරුඬ පාෂාණ්ඩයා මිදෙල් වැටිය වනවාසයෙන් පැමිණියෙකි. එපමණක් නොව කාලිංග මාඝ රජරට රාජධානිය මුලින් උදුරා වැනසීමෙන් පසු පලාගිය මහාබෝධි ගුප්තයන්ගේ රැකවරණ භූමියද විය. කාලිංග මාඝ පරදවා යලි ජය නංවන, ලක් වංශයට මුල වූ වන්නි විජයබාහු නැඟිටීම පසුපසද මිදෙල්ල වැටිය බැඳී තිබූ වනවාසයකී.



ආලෝක කුමාරසිංහව දෛවය විසින් රැගෙන විත් තිබුණේ එතැනටය. ආලෝක මිදෙල්ල වැටිය වන ග්‍රාමයේ ජීවත් වෙමින් වහන් විය. තම සාරුමාරු ලේකම් ආලෝක කුමාරසිංහ පැන යෑමෙන් රජු කෝපයට පත්විය. ඔහු ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නට නොහැකි වූ කෝපය රජු පිටකලේ  එරියාව ගිනිබත් කොට රාජ ලේඛණ වලින් ඉවත් කොටය.

ආලෝක කුමාරසිංහ බිහිකල එරියාව ගම ලංකා සිතියමෙන් ඉවත් කල පස්වන බුවනෙකබාහු රජු එය ජනශූන්‍ය කලේය. ආලෝක මිදෙල්ල වැටිය ගමට වී ගෙව්වේ අතිශය වේදනාකාරී ජීවිතයකී.



තමන්ගේ සහ පස්වන බුවනෙකබාහු රජුගේ බැඳියාව බිඳී යෑම ඔහුට ඉවසුම් නොදෙන තරම්ය. ඒ වේදනාකාරී බව තීව්‍රර වූයේ ඔහු රජුට ද්‍රෝහී නොවූ නිසාය. දාම වැල් ශිල්පයේ පැවැත්ම තහවුරු කිරීම හැර තමනට වෙනත් ඉලක්කයක් නොවූ බව ආලෝක දනී. ඒත් රජු මෙතරම් කෝප වීම ආලෝකව තව තවත් ශෝකී කලේය.




මිදෙල්ල වැටිය වන ග්‍රාමයේ වන කෙළිත්තියන් ඔහු වටකර ගත් විට ශෝකය මැකී ගියද ඔහු තනිවන හැම විටම මතකය ඇවිත් හිත පාරන්නට විය. පෑරුම් සහගත හිත සනහා ගන්නට ඔහු වන වැදුනේය. ඔහු යළිත් ඒ දිය විල ඉවුරේ දීම අමුතු දළ සඟලින් හෙඹි ඇතු හමුවිය. එවිට ඔහු ඇතු පසුපසම යන්නට විය.  

ආලෝක සිතුවේය. මරණයට පෙර තම රජු බැහැදැක යලි මිතු දම් බැඳිය යුතු බවය. ඒ සඳහා හමු වූ මේ ඇතු මාවත වෙතැයි ඔහුට සිතුනි. වන්නි වනාන්තරයේ සරන මේ අමුතු ඇතු මිතු කර ගැනීම ආලෝකගේ ඉලක්කය වූයේ මෙලෙසය. ඔහු ඇතු මිතු දමේ බැඳ ගැනීමට ඔහු හා දම්වැල් සටන් පෑවේය.

ඇතුගේ ගාම්භීර උජාරුව මදකින්වත් අවම නොවීය. ඇතු ජිවත් වූයේ ආලෝකට ප්‍රතිචාර නොදක්වාය. අඩුම තරමේ තමන්ට පහර දීමටවත් ඉදිරිපත් නොවන ඇතුගේ හුදකලා හැසිරීම ආලෝක තුළ ඇති කලේ කුතුහලයකි.

මිදෙල්ල වැටිය වන ගම්මු සමඟ ආලෝක කුමාරසිංහ ඇතු ගැන තතු විමසීය. ඒ හැම කීවේ ඒ ඇතු සීගිරි කාශ්‍යපගේ ඇත් රජුගේ පරපුරේ අන්තිමයා කියාය. සීගිරි කාශ්‍යප තම හිස තම අසිපතෙන් සිඳ ඇතු කුඹ මත තබා මිය ගියේය. ඒ කාශ්‍යප රජුගේ මංගල හස්තියා මතමය.


රජු අහිමි ශෝකයෙන් වන වැඳුනු ඇතා හබරණින් රිටිගල වනය හරහා වන්නි වනාන්තරයට පැමිණි බව ගම්මු කීහ. ඇතු පසුපසම පැමිණි කාශ්‍යප නිරිඳුගේ දියණිය උපුලී ඇතුගේ දළ සඟලේ රැඳුනු කාශ්‍යප රජුගේ රුධිර පැල්ලම මත මල් ගවසා වැඳ වැ‍ටුණේ මිදෙල්ල වැටිය විල ළඟදී බව ගම්මු තව දුරටත් කීවේය.



එවිට ආලෝකට සිහිවූයේ ඒ අමුතු දළ සඟල අමුතුව ඇත්තේ ඒ නිසා කියාය.

එසේ නම් ඓතිහාසික මංගල ඇත් රජෙකුගේ පරපුරේ අන්තිමයා තම දෑස මානයේ ගැවසෙන්නේ යැයි ආලෝක සිතුවේය. ආලෝකට ඇතු දසුන නොදැකම දිවියක් නැති තරම් විය. ඔහුට එක් විටම ඇතු අල්ලා කීකරු කර පස්වන බුවනෙකබාහු රජුට ඔප්පු කල යුතු යැයි සිතුනේය.

ඒත් හැඩිදැඩි හිරිමල ඇතෙකු අල්ලා හීලෑ කිරීම කල හැකි නොවේය. ඒ අතර ආලෝක දු‍ටුවේ ඇතු තනිකඩව වනයේ සරන අයුරුය. මිදෙල්ල වැටිය වන ගම්මුන් කී පවත සැබෑය. මේ අන්තිම පුරුකය. ඇතු ඇතින්නියක සමඟින්වත් හැසිරෙන බවක් නොපෙනේ.

 ආලෝක වන්නි වනාන්තරයේම ජීවිතය ගෙවන්නට තීරණය කලේය. ඇතු සමඟම ජීවත් විය. ඇතු ඇසුරේම දිවි ගෙවන්නට විය. ඇතු පසු පස්සේම යන්නට විය. ඇතු බුදින පලවැල පමණක් ආහාරය කොට ගන්නේය. ඇතු දිය බොන දිය විල පමණක් දිය පවසට ගත්තේය. ඇතු ස්නානය කරන දිය විලෙහි දිය කඩහි පමණක් ස්නානයට තෝරාගනී.

ඇතු වගේම ආලෝක ඇතුහාම දිවිගෙවමින් වන්නි වනාන්තරයේ සිවු වසරක්ම ගෙවි ගියේය. ඇතෙකුට පෙම්බැඳ ඇතෙකු සමඟ ජීවත් වන්නේ සාරුමාරු ලේකම් මුදියන්සේ ආලෝක කුමාරසිංහ යැයි කිසිවෙක් නොදන්නේය.



කල්යත්ම පස්වන බුවනෙකබාහුගේ හදවතද රෝගීවූයේ ආලෝකට කල පළිගැනීම පිළිබඳ වරද පැටවෙමිනි. ඔහු වනසන්නට රාජපුරුෂයන් යෙදූ රජුම ඔහුව සොයාගෙන එන්නට රාජ පුරුෂයන් යොදවන්නේ මේ අතරය. රාජ්‍ය බැඳීම් වලට වඩා ආත්ම බැඳීම ගැඹුරුය. එවන් ගැඹුරු බැඳීම වෛරයෙන් කෙළවර විය හැකිය. මරණයෙන් ලියවෙන්නටද හැකිය. එමෙන්ම සෙනහසින් යලි දළුලා වැඩි ඉමක් කොනක් නැති තරම් පැතිර යන්නට පුළුවන.


ළතැවිල්ල පසුතැවිල්ල උග්‍ර වූයේය. රජුගේ පාලනය වියවුල් ගහණය. ඒත් රජුට තම හෘද කම්පනය කියන්නට කිසිවෙක් නැත. එක් දිනෙක රජුට සැලවූයේ ආලෝක කුමාරසිංහ ගම ගිනිබත් කරන දා ඔහු වෙල් ගොයමේ සැඟවී සිට පිළිස්සී මියගොස් ඇති බවය. මේ පුවත පස්වන බුවනෙකබාහු නිරිඳුව ආත්මීයව ඔත්පල කලේය.

ලක් රජ සිරිත හෙබවූ රජුන් මේ තරම් ආත්ම වියෝගධාරීන්ව සිටි වග අමතක කර දමා ඉතිහාස දේශපාලන ලේඛණ වීමෙන් දේශපාලනයම මානව වියෝගයක් වී ඇත. පස්වන බුවනෙකබාහු රජතුමාගේ ජීවිතය මෙසේ ආත්ම වියෝගයෙන් බැඳී ගෙවී යන විට වන්නි වනාන්තරයේ අපූරු සිදුවීමක් සිදුවේ.

ඒ වන්නියේ මල් සමය වන දහන වට වැස්සෙන් තෙත් වී කොළ දළු පිපී මල් ඵල සිනා පාන සමයය. මල් ඵල වලින් පිරුණු වනය මී පිරි පැණි සුවඳ පුරන පැණි සමයද විය.

මල් සමයේ පැණි සමයේ වන්නි ඇත්තු මද වගුරා පේමාලිංගන උමතුවේය. පුදුමය ඇත් කුමරු මද වගුරුවා පේමාලිංගනයට පි‍ටුපා හිටි සැටිය. ආලෝක කුමාරසිංහයන්ට සිහිවූයේ රාජධානියේ ඇත් පංතියේ ඇත් රජුන් මංගල ඇතුන් ගැන ඉතිහාස වාර්තාය. ඇතුන් අතර විශේෂ ඇතුන් ඇති අතර ඒ  විශේෂ ඇතුන්, ඇතුන් සේ ජීවත් වීමට රිසි නොවේ. එවන් ඇතුන්  ඇත් රජුන් සේ මානව රජුන් සමඟ ජීවත් වීමට ඉපදී ඇත්තේමය. මේ එවන් ඇතෙකුමය.


 ආලෝක කුමාරසිංහ ඇතු පතාම ඇතුට පේ විය. මල් සමයේ පැණි සමයේ වන්නි වන පෙත ආල රාග ආතුර ඇතුන්ගේ රාග පොරයන්ගෙන් කලබලය. ඒත් මේ ඇතු නිසලය. ආලෝක ඇතු සමීපයටම ගියේය. ඇතුගේ දළ සඟල නීල උත්පල මල් ගවසා සැරසුවේය. ඇතු සොඬවැල කරකවා ආලෝකව බදා ගත්තේය. ආලෝක ඇතු සිඹගෙන ඇතුගේ තුරුලේම වෙලුනේය. ඒසේ වෙළුනු  ආලෝකගේ වම් අත සුළඟිල්ල ඇත් දළයේ සිරවී කැඩී වෙන්විය. වෙන්වී ගිය  සුළඟිල්ලෙන් ලේ දහරාවක් විත් ඇතු දළ මත පතිත විය. ඇතු වම් පාදය පෑවේය. ආලෝක ඇතුගේ වම් පාදයේ තම පාදය තබා ඇත් හිස මතට ගොඩවිය. ඇතු ගමන් ඇරඹීය.




ආලෝක කුමාරසිංහ සාරුමාරු ලේකම් දළ සඟල විහිදුනු ඇතෙකු පිට ඇවිත් වග සැල විය. පස්වන බුවනෙකබාහු රජතුමා වහා සිරියහනෙන් පිබිද නැඟිට වා කවුළුවෙන් බැලුවේය. සැබෑවක්මය. සෙනෙහෙවන්ත සඟයා පැමිණ ඇත. රජු සාරුමාරු ලේකම් මුදියන්සේ ආලෝක කුමාරසිංහට පැමිණෙන්නට බිහිදොර හැර වූවේය. ආලෝක විත් රජුට ඇතු ඔප්පු කොට සිටියේය.

මේ ක්‍රි.ව. 1408 දීය. රජු තම මිතුරාගේ අත දු‍ටු විට එහි සුළඟිල්ල නැති වග දු‍ටුවේය. රජු වහා රාජ රන් ආචාරියා කැඳවීය. ආලෝකගේ අහිමි සුළඟිල්ල රනින් නිමවූ කොපුවක් තබා එක් කලේය.  ආලෝක කුමාරසිංගේ සුළඟිල්ල රනින් නිමවා පැළඳවූ පස්වන බුවනෙකබාහු වහා නීති ලේනාද මහ ලේනාද කැඳවීය.

සුළඟිල්ල රනින් නිමවා පැළඳවූ බැවින් එතැන් පටන් ආලෝක කුමාරසිංහට ''රන්ගේ ආලෝක කුමාරසිංහ වන්නි මුදියන්සේ'' යන ගෞරව නාමය පටබැඳ නාම ගත කර ලක් වංශ කතාවට යළි ප්‍රවේශ කලේය. එමෙන්ම නමසිය පස් පනස් අමුණක වපසරියකින් යුත් එරියාව ගම යලි ප්‍රදානය කරන්නේය. මුලින් ආලෝක කුමාරසිංහ සිටි මුල් - එරියාව එතැන් පටන් මුල් එරියාව වී මුල්ලේරියාව වූයේ එලෙසය.



මුල්ලේරියාව ලෙස මුල් - එරියාව ඉතිහාස පොතට එක්වන්නේ එතැන් පටන්ය. ඒ අනුව කෝට්ටේ යුගයට පෙර මුල්ලේරියාව නමින් ග්‍රාම නාමයන් ඉතිහාස පොත පතේ ගම් නම් වහර තුළ නොමැත්තේ එබැවිණි. සන්නසක් පිට මුල්ලේරියාව වරම් ලද ආලෝක කුමාරසිංහ යලි ඉතිහාසයේ නැඟ එන්නේ කෝට්ටේ ජයවර්ධනපුර රාජ යුගය එන විටය.



ඒ වන්නි මහ වනයෙන් විත් ලක් ඉතිහාසයට එක් වූ ''වන්නි කුමාර'' ඇතු  සමඟය. වන්නි කුමාර නම් සඟල ඇතෙකු දළඳා වහන්සේ වැඩමවන්නට කෝට්ටේට පැමිණියේය. මුල්ලේරියාව වරම් ලද ආලෝක කුමාරසිංහගේ පරපුර මෙරට සටන් කලාවේ අගපත් පරපුරක්ව යලි මතු වන්නේය.

ඒත් හයවන පරාක්‍රමබාහු රජතුමා බියකින් තැවුනේය. ඒ දළඳා වහන්සේ වැඩමවන්න වරම් ලද වන්නි කුමාර ඇතු ගැනය. වන්නි කුමාරගේ මානව ප්‍රේමියා වූයේ ආලෝක කුමාරසිංහය. ආලෝක කුමාරසිංහගේ ඇත් ප්‍රේමය මත දළඳාව වඩින බැවින් රාජ්‍යය උඳුරා ගැනීමට හැකි යැයි ඔහු බියකින් සිටියේය. එහි ප්‍රතිඵලය ආලෝක කුමාරසිංහට කෝට්ටේ යුගයේදී සාරමාරු ලේකම් පදවිය නොලැඹීමය.

එකී අවිශ්වාසය නිසා ආලෝකව රාජ්‍ය පාලනයෙන් ඈත්ව තැබීමට හයවන පරාක්‍රමබාහු නිරිඳුන් කටයුතු කලේය. නමුත් පසුකලෙක කෝට්ටේට පෘතුගීසින් පැමිණ සතර අත වනසන විට එයට එරෙහි මහා පවුර වූයේ ආලෝක කුමාරසිංහගේ පරපුරය.

ඔහු රාජ ධූර පදවි අහිමි යුගයේ දාම වැල් ශිල්ප පරපුරක් තැනුවේය. ඒ ශිල්පීන් සීතාවක රාජසිංහ සමඟ එක්ව මුල්ලේරියා වෙලේ යුරෝපීය ජාතිය දණින් දණ නැමීමේ සටන ජය ගැන්වීය.

පසුව පෘතුගීසින්ගේ එකම පැතුම වූයේ ලංකාව ගැන සිහින දකින්න නම් කුමාරසිංහගේ දාම වැල් ගුරු කුලය සමූල ඝාතනය කිරීමය. එය පරංගි ඉ‍ටු කරගනිමින් ජයපැන් බීවේය.

මුල්ලේරියා වෙලේ රණ ගී ගයන කිසිවෙක් ආලෝක කුමාරසිංහව සොයා ගත්තේ නම් නැත.

Sujith Akkarawathe
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වායාම පසුගිය ලිපි 36 මෙතනින්

 

Leader Whats app

  

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58