හිතවත් පුර-වැසියනි, ගම්-වැසියනි, මූකලන්-වැසියනි,



මේ පුංචි කොදෙව් ඇබිත්ත ඇතුළේ කරක්ගහන ගොඩක් චන්දදායක උදවිය හිතන් ඉන්නේ යටත්විජිත යුගයෙන් පස්සෙ ලංකාව ඇතුළෙ පොලිටික්ස් කරන බොහෝ උදවිය හැබෑවට ම පොලිටික්ස් දන්නවා සහ ඒ උදවිය කරන කියන දේවල් හැබෑම පොලිටික්ස්මයි කියල.

අනික් අතින් මේ ඡන්දදායක උදවිය වන අපි හැමෝම එසේ මෙසේ පොලිටික්කෝ එහෙම නෙවෙයි. බලන්න, අපිත් මගුලකට, මළගේකට, කොටහළු ගේකට, උපන්දින සාදෙකට, අඩියක් ගහන තැනකට විතරක් නෙවෙයි, එදිනෙදා තේ කඩේකට, බස් එකකට ගොඩවුනත් තමන්ට හමුවන අනික් කෙනාව දැනහඳුනගන්න කියල කයිවාරුව පටන් ගන්නේම, කවුරුහරු පොලිටික්කෙක් අනාගත්තු ආසන්නත ම සිදුවීමක් වමාරගෙන කාල.

හැබැයි ඒ කතාබහ ඇතුළෙ අපි හැමෝට ම තමන් පොලිටිකලි අලකරගෙන සහ අනාගෙන ඉන්න තැන් අතපසු වෙනව. ඒ හින්ද ලක් දූපතේ පුරවැසි, ගම්වැසි සහ මූකලන්වැසි ජන ජීවිතය ඇතුළෙ දේශපාලනය කියල බොහෝවිට කතාබහට යොදාගන්නේ මේ ගෙවෙන මොහොතේ ආසන්නත ම සිදුවීමක්.

අතහරින දේ තමයි ඒ සිදුවීමට අදාළ විද්‍යාත්මක ඉතිහාසය. ඒ සිදුවීමට පාදක වෙච්ච ඉතිහාසයක් හොයල හදාගන්නා දේශපාලන අඩංගුවක් ඇතුළකට විනයගතවෙලා කතාබහ කරන උදවිය සහ අවස්ථා මේ කොදෙව්වට අල්පමාත්‍රයි.

 

දැනට අපි අතරෙ නැති උතුරු-නැගෙනහිර කැරලි නායක ප්‍රභාකරන් ලක් දූපතේ උදවියට “ඉක්මනින් මුල අමතක වෙනව” කියල කිව්වෙත් ඔන්න ඔය ගැන ප්රැක්ටිකල් නොලේජ් එකක් එයාට තිබුන හින්ද වෙන්න ඕන. කොටින් ම කියතොත්, ලංකාවේ දේශපාලන කතාබහවල්වලින් ගොඩනගන කතිකා වැඩිපුර ම සාංසිද්ධිකයි. හරියට එවෙලෙට ගෙතෙන ටේස් කඩල වගේ. එවෙලෙම කටේ දියවෙලා යනව.

 

මේක දන්න හින්ද තමයි සමහර දේශපාලක උදවිය දැන දැන ම මොන කඩප්පුලි වැඩේ කරල අහුවුණත්, කාලයට ඉඩදී බලන් ඉඳල, ආයෙමත් රෙදි නැතුව රෙදි ඇඳගෙන ඡන්දෙ ඉල්ලන්න එන්නේ. ඒ වගේ ම තමන් මෙතෙක් අවුරුදු ගාණක් තිස්සෙ බැන බැන හිටපු ඡන්ද අපෙක්ෂක එකා ම ඉලෙක්ෂන් ලංවෙනකොට කරකවන මොකක්හරි එවෙලට පත්තුකරපු ජල්තර් ගිනිබෝලෙකට අහුවෙන අපේ මේ පුරවැසි, ගම්වැසි සහ මූකලන්-වැසියෝ ආයෙත් අන්ධවෙලා වගේ අතපුරෝල එයාට ම ඡන්දෙ ගහල තව දශක භාගයක් හමාරක් විතර ඉල්ලං පරිප්පු කන්නෙත් මේ හින්ද ම යි.


අලුත් හයිවේ එකක් පාදල සහ පෙන්නල දීමට ...


මේ අවරසික, අවිචාර නවනිග්‍රාහාත්මක ඩිස්ග්‍රේසිව් දේශපාලන වගුරුබිමේ ඉවුරට ඇවිත් විසංකාරයා මෙගොඩට එන්නැයි කියා මේ කොදෙව් වැස්සන්ට අතවනන්න තීන්දු කළේ, ඉතිහාසය මතක තියගෙන හෝ ස්ටඩි කරල, මේ ගෙවෙන මොහොතට මැදිහත්විය යුතු පොලිටික් එකක් ගොඩනගන අලුත් හයිවේ එකක් පාදල සහ පෙන්නල දෙන්නට යි.

මෙහෙම පාදල සහ පෙන්නල දෙන්න කියල මීට කලින් ආපු අතලොස්සක් උදවියට නම් සිද්ද වුණේ හොම්බෙන් යන්න. කොදෙව් වැස්සෝ බොහෝ දෙනෙක් ඉන්නෙ ගෙවෙන මොහොතේ ටේස් කඩල පොලිටික්ස් වලින් ඩෝප් වෙලා හින්ද, මෙතුවක් කල් එයාල අර සුළුතර සුධීමතුන්ව හොම්බෙන් යැව්ව. ඒ බව දන්න හින්ද ම මෙදා පාර විසංකාරයා ඇවිත් ඉන්නේ හොම්බට රෝද දෙකක් හයි කරගෙන.

 

සජිත්ගේ එකම සහ නියම කෝන්තරකාර හතුරා සහ අනෙකා රනිල්.

 

අද අපි විසංකාර කරන්න යන්නේ සමහර කොදෙව් වාසීන්ට වීරයෙක් වගේ පෙනුනට, මේ කොදෙව්වාසීන්ගේ ඉතිහාස විරෝධයෙන් හටගත් නූගත්කම දඩමීමා කරගෙන තාවකාලිකව සහ සාංසිද්ධිකව පොලිටිකල් ග්‍රව්න්ඩ් එකේ පොරක් වෙන්න හදන, ඔහෙල කවුරුත් දන්නව වගේ පෙනුනට හැබෑ ම ස්වරූපය දන්නෙ නැති සජිත්ව.

බොහෝ කොදෙව් වැස්සන්ගේ අනුදැනුමට අනුව සජිත් ඇවිත් ඉන්නේ අපිට රාජපක්ෂ දේශපාලනයෙන් රට ගලවල වෙන් කරල දෙන්න. ඒ කියන්නේ සජිත්ගේ එකම පරම හතුරා රාජපක්ෂ වරිග පූට්ටුව.

එත් විසංකාරගේ ඇනලයිස් එකට අනුව නම්, සජිත්ගේ අනෙකා හෙවත් පරම හතුරා රාජපක්ෂ වරිග පූට්ටුව නෙවෙයි. සජිත්ගේ එකම සහ නියම කෝන්තරකාර හතුරා සහ අනෙකා රනිල්.

එහෙම වෙන්නෙ, ඒ කියන්නෙ සජිත් තුළ ඒ වගේ අනෙකෙක් ගොඩනැගිච්ච ඉතිහාස සිද්ධි-සංධිය (Conjuncture) මේ කොදෙව්ව ඇතුලෙ ගොඩනැගෙන්නෙ සජිත් ඉපදෙන්නටත් කලින් 1956දි.

ඒ හින්දා සජිත් ඔහු නිර්මාණය නොකළ වෙනත් දේශපාලන ඉතිහාසයක ගොදුරක් කියල කිව්වොත්, සමහර ලක් කොදෙව් වැස්සන්ට නොතේරෙන්නත් පුළුවන්.

 

දේශපාලනයේ දී යම් දේශපාලනයකට නායකත්වය දෙන කෙනෙක් දැනගන්න ඕන මූලික ම දේ තමයි, තමන්ගේ දේශපාලන අනෙකා එක්ක සමබර ගණුදෙනුවකට යන්නෙ කොහොමද කියන එක. ඒක දන්නැත්තං හිටිගමං තමංගේ මුළු දේශපාලන සර්කිට් පිටිං ගහල යන තත්වයක් තමයි උදාවෙන්නේ. සජිත් උන්නැහැ මේක පිළිගන්නෙ නැත්තං, ඒකට හේතුව, උන්දැත් අවිඥානිකව හෝ මේ කොදෙව්වෙ බහුතර සාංසිද්ධික දේශපාලන කතිකාවේ සරල සාමාන්‍ය ගොදුරක් වීම යි.



ඒ හින්ද තනි මිනිහෙක් වෙච්ච නාහෙට නාහන සජිත් ගැන කෙසේ වෙතත්, ඔහු කරමින් ඉන්නේ යථා දේශපානයක්ය කියල දුරවබෝදයට පත්වෙලා ඉන්න කොදෙව් වැස්සන්ගේ ඇස් පාදන්න තමයි මේ විසංකාරාත්මක යොමුව දිගහැරෙන්නේ. මේකෙන් සජිත් ම ඇස් පාදගන්නව නම් තමයි වඩා හොඳ.

ඒත් මේ වෙලාවෙ සජිත් ඉන්නේ, තමන් තමන්ගෙම පියාගේ එක ම පක්ෂය සුළුතරයකට බැස්සුවා කියන තාවකාලික මමත්වයෙන් ගල්වෙලා සහ ඩෝප්වෙලා හින්ද, මෙදාපාර විසංකාරයාගේ යොමුව වෙනතකට හැරෙනව.

සාමාන්‍යයෙන් ෆීන්ක්ස් පක්ෂියා විනාශ නොවී අළුත් පක්ෂියෙක් බවට පත් වෙන්නේ නැහැනේ. විනාශය කියන්නේ ඉවක් බවක් නැතුව කරන හො සිදුවන කුඩුසංසාර කිරීමක්. විසංකාරය කියන්නේ ඊට වඩා විධිමත්ව සහ සබුද්ධික අයුරකින් අනවශ්‍ය සමස්තයක අවයව ගැලවීමක් හෙවත් බොඩිපාට් ඩිස්මැන්ටල් කිරීමක්.

උදාහරණයක් විදිහට මස්කඩකාරයා මාංශයට කරන්නේ කපල කොටල කරන විනාශයක්. ශල්‍ය වෛද්‍යවරයා මාංශ කොටස් ඉසියුම්ව කපා ඉවත් කරන්නේ විසංකාරාත්මකව. ඒ හින්ද විසංකාරය කියන්නෙ විනාශයේ ම යම් නව-නූතනවාදී පරිණත-පරිණාමීය දිගුවක්. විනාශය ග්‍රාම්‍යයි නම් විසංකාරය විද්‍යාත්මකයි, ඒ නිසා ම නාගරිකයි. විනාශය ගම්-වැසියන්ගේ සහ මූකලන්-වැසියන්ගේ යි. විසංකාරය පුරවැසියන් හෙවත් සිටි ලිමිට්ස්වල ඉන්න මෙට්රොපොලිටන්ට්ස්ලගේ.  

යූඇන්පියෙන් ගැලවිලා ගිහිං සජිත් උන්නැහේ හදාගෙන තියෙන මේ සමගි-වරිග-සමස්තය රටට අනවශ්‍ය සමස්තයක් විදිහට තමයි විසංකාරයාගේ සමාජ මනෝ-විශ්ලේෂනික මනසට අනුසාර වෙන්නේ. ඉතින් සමගි-වරිග-සමස්තයේ කෑලි ස්වයංව ගැලවිලා අසමගි-වරිග-කැබලි බවට පත්වෙන රෝග ලක්ෂණත් දැන් දැන් මතුවෙලා තියෙන හින්ද ම, ඒකට තව පොඩි තල්ලුවකුත් දීල විධිමත් ආකාරයකට ඒ සමස්තයම මකබාවල යවන්න තමයි මේ නාගරික විසංකාරයා මේ විදිහට කැසකවන්නේ.  

 

දැන් කාටහරි හිතෙන්න පුළුවන් මේ මොන පිස්සුවක්ද, මේ හොඳට ඉන්න එකමුතුවක් මකබාවන්න හදන්නෙ (?), කියල. ඒත් හැබෑවට ම සමගි-වරිග-සමස්තය ඉතිහාසයක් මත පදනම්වෙලා හදාගත්තු එකක් නෙවෙයි. ඕක හිතේ එදිරිවාදිකමට එවලෙට අටවගත්තු අනඓතිහාසික ජුන්ටාවක්. ඒ හින්ද ඔය වරිග-සමස්තය ඇතුළෙ ඉන්න අනික් වරිග ඇත්තන්ගෙත් දැනගැනීම පිණිස ඉතිහාසය පොඩ්ඩක් කතා කරන එක තමයි යුගයේ කාරිය.

 

පුළුල් විමසා බැලීමක් !

Sri Lanka President Jayawardene (Left) wanted to protect relations with Indian Prime Minister Indira Gandhi (center).

ජේ.ආර්.ජයවර්ධන වගේ උදවිය ඉන්දියාවේ නිදහස් සටනට වක්‍රව සහ සෘජුව උදව්කළේ මොළේ පාදං හිටපු හින්ද.

 

ඒ කියන්නේ ලක් අතීතය පුරා එදිරිවාදිකමට පක්ෂ පාවා දෙන, කඩාගෙන යන දේශපාලනයටත් යම් ඉතිහාසයක් තියෙනව. ඒ ඉතිහාසයෙන් අපි අදාළ කේන්ද්‍රීය ඉතිහාස ධාරාව වෙන්කරගෙන විමසල බලමු ඉතිං.

1948ට පස්සෙ මේ කොදෙව්වෙන් ඉංග්‍රීසීන් ඉවත්වෙලා යනකොට කොදෙව් වැස්සෝ අවුරුදු 500ක කොලනිවාදයක් පහුකරල ඉවරයි. ඒ අවුරුදු 500න්ම ආපස්සට ටයිම් ටනල් එකකින් ගිහින් රජකාලෙ තිබුණ ලෝකය වර්තමානයට හරවගන්න බැහැනේ.

 එතකොට 1948ට අවුරුදු 500කට කලින් අපිට තිබ්බෙ (අඩුමතරමින් අවුරුදු 100ට කලින් අපිට තිබ්බෙ) මොනවගේ ආර්ථික සහ පරිපාලන ව්‍යූහයක්ද කියන එක කවුරුත් අත්දැකීමෙන් දැනං හිටියෙ නැහැ. ඒව දැනගත්තෙ තැනින් තැනින් අහුලගෙන එක එක්කෙනා කියපු ගොතපු කතන්දරවලින්. ඒ කතන්දරවලටත් කිසිදු විද්‍යාත්මක ඓතිහාසිකත්වයක් (Scientific historicity) හෝ මානව-වංශ-විද්‍යාත්මක (Anthropological) පදනමක් තිබුණෙ නැහැ.

අනිත් එක තමයි, අපිට නිදහස ලැබුණෙ ඉන්දියාව වගේ මහා පරිමාණයෙන් අරගල කරල හෝ හිරබත්කාල එංගලන්ත පරිපාලනය සමඟ මූණට මූණ කරපු සටන් හින්ද නෙවෙයි. අපිට නිදහස ලැබුණෙ ඉන්දියාවට නිදහස දෙනකොට අපිව විතරක් වෙනම තියාගෙන ඉන්න තරං නැගෙනහිර ඉන්දීය කොම්පැනියට මහ කැක්කුමක් තිබුණෙ නැති හින්ද.  ජේ.ආර්.ජයවර්ධන වගේ උදවිය ඉන්දියාවේ නිදහස් සටනට වක්‍රව සහ සෘජුව උදව්කළේ මෙන්න මේ ගැන මොළේ පාදං හිටපු හින්ද.

අනන්‍යතාව හොයං ගමට යෑම !


ඉතිං 1948දි ඉංග්‍රීසී කොලනිවාදීන් යනකොට එයාලගේ ආර්ථික-පරිපාලන-දේශපාලන ව්‍යුහයෙන් ගැලවිලා අලුතෙන් හදාගන්න තරම් අපේ ම මොඩල් එකක් අපිට තිබුණෙ නැහැ. එහෙම ප්‍රායෝගික දැනුමක්වත් තිබුණෙ නැහැ. මොකද, එතකොට යටත්විජිතයක් වෙන්න කලින් තිබුණු අපේ නගර හරාත්මකව ම විනාශ වෙලා වසර සිය ගාණකුත් ගිහිං ඉවරයි. ඒ හින්ද අනන්‍යතාව හොයං යන්න වුණේ සුදු මිනිස්සුන්ට අඩුවෙන් මැදිහත් වෙන්න සිද්ධවුණු ගම්වලට. ගම්වලට ගියහම ලැබෙන අනන්‍යතාව ග්‍රාම්‍ය වීම. ඒත් ග්‍රාම්‍යවීම ලෝකයට මුහුණ දෙන්න පුළුවන් තරම් විකල්පයක් වුණේ නැහැ.


ඉන්දියාවට පවා ඒ අභියෝගයට මූණ දෙන්න සිද්ද වුණා. එයාල අපිට වඩා වෙනස් විදිහකට ඒකට මුහුණ දුන්නේ, එයාල කොලනිවාදීන්ට විරුද්ධ භෞතික නිදහස් සටනක් කරල කොලනිවාදීන්ට එරෙහි ඉන්දියානුකමක් අපට වඩා හොයං හිටපු හින්ද.

අනික ඉන්දියාවට හැම අතින් ම අපිට වඩා බලවන්ත මහා සම්ප්‍රාදායක් තිබුණ. ඉතිං කොදෙව් වාසීන්ගේ හිතසුව පිණිස කරන්න තිබුණ එක ම විකල්පය කොලනිවාදී ඉංග්‍රීසීන් පවත්වාගෙන ගිය ආර්ථික, පරිපාලනමය සහ දේශපාලන ව්‍යූහයේ ම වාටිය හරියෙ කරන සුළු සුළු වෙනස්කම් සහිතව ඉදිරියට පවත්වාගෙන යාම විතරයි.

හර්තාලය දේශපාලන ජයග්‍රහණයක් දක්වා ගෙනියන්න බැරිවීම !



1953 හර්තාලය දක්වා මේ පද්ධතිය මහ අර්බුදයක් නැතුව පවත්වගෙන යන්න කොලනිවාදී හරපද්ධතීන්ගේ ඉසියුම් දේශපාලන ව්‍යුත්පන්නයක් වෙච්ච යූඇන්පියට පුළුවන් වුණා. ඒත් හර්තාලයට නායක්තවය දුන්නු ඉංග්‍රීසි උගතුන් හදපු සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවලටත් හර්තාලය සමස්ත දේශපාලන ජයග්‍රහණයක් දක්වා ගෙනියන්න පසු-විජිතවාදී ජාතික ආර්ථික-පරිපාලන-දේශපාලන මොඩලයක් තිබුණෙ නැහැ.

 තියෙන්න විදිහකුත් නැහැනේ. ඒගොල්ලොත් සමාජවාදය ඉගෙනගත්තෙ එංගලන්තයෙදි. ඒ උදවියත් කොලනිවාදී පදනමක බිහිවුණ ඉංග්‍රීසයෙන් උගත්තු මිසක් ඊට වසර 500කට කලින් හිටපු රජ්ජුරුවන්ලගෙ නෑදෑයො නෙවෙයිනේ. ඒ හින්ද ඒ අයත් බැලුවෙ පාර්ලිමේන්තුවේ සීට් ටික වැඩිකරගෙන කොලනිවාදී පාලන ව්‍යූහයේ ම බලය අල්ලගන්න.


''එදිරිවාදීකමට දේශපාලනය මාරුකරන එක ලාංකේය වරිගවාදයේ ගෝත්‍රිකමය හරය යි.''

 

1956දි යූඇන්පියට විරුද්ධව නැගී හිටපු බණ්ඩාරනායකත් සිංහල නූගත් දේශීය කොලනිවාදියෙක්.

 

1956දි යූඇන්පියට විරුද්ධව නැගී හිටපු බණ්ඩාරනායකත් සිංහල නූගත් දේශීය කොලනිවාදියෙක්. මුලින් යූඇන්පීකාරයෙක්. එයා ඇත්තට ම යූඑන්පියෙන් ගැලවිල ගියේ ලාංකේය පසු-විජිතවාදී ජාතික රාජ්‍ය හදන්න නෙවෙයි. ඩී.එස්ගෙන් පස්සෙ මට නායකත්වය නොදී ඩඩ්ලිට දුන්න කියන එදිරිවාදීකමට.

 

ඇත්තට ම ඩී.එස් නායකත්වය බණ්ඩාරනායකට දුන්න නම් එහෙම, 1956දි ලංකාවට බොරු බොල් පුනර්ජීවන පක්ෂයක් වෙච්ච ශ්‍රීලනිපය බිහිවෙන්නේ නැහැ. එහෙම වුණා නම් “සිංහල පමණයි” ප්‍රතිපත්තිය එන්නෙත් නැහැ. ඒක පදනම් කරගෙන වසර 30ක ජනඝාතන යුද්ධයක් දක්වා යන ජාතිවාදී යුද්ධයක් සිද්ධ වෙන්නෙත් නැහැ. රටේ බුහුතර දුගී දරුවන්ට ඉංග්‍රීසිය අහිමි වෙන්නෙත් නැහැ.

 

ඒත් එදිරිවාදීකමට දේශපාලනය මාරුකරන එක ලාංකේය වරිගවාදයේ ගෝත්‍රිකමය හරය යි. එහි ජානයක් බණ්ඩාරනායකටත් තිබිල තියෙනව. මතුපිටින් ඉංග්‍රීසීන්ගේ දේශපාලන ව්‍යුහයේ වෙස්මුහුණ පොරවගෙන අවිඥානිකව තම වරිග ජානය සැමරීමක් තමයි එයා එදා සිද්ධ කරල තියෙන්නෙ.

මේ වරිග හුටපටත් දරාගෙන රටක ආර්ථිකයත් සමබර කරගෙන යන්න සුදු කොලනිවාදීන් 1948ට වෙනවකං මාර පරිප්පුවක් කන්න ඇති කියල තමයි විසංකාරයාට හිතෙන්නේ.


ඒ හින්ද 1948දි ඇත්තට ම නිදහස ලැබුවෙ ලක් කොදේව්වෝ වන අපිද, නැත්තං සුදු කොලනිවාදීන් ද මන්ද ...


1956 වෙනකං ඉංග්‍රීසිමය ආර්ථික-පරිපාලන ව්‍යුහයේ ම ව්‍යුත්පන්නයක් වෙච්ච ඉංග්‍රීසිමය දේශපාලනය, 1956න් පස්සෙ තනි සිංහලවාදී දේශපාලනයක් බවට පත් කරන්නේ වඳ සැත්කමක් කරනව වගේ. ඉතිං එතනින් එහාට ඒ දේශපාලන ව්‍යූහයට සිංහලවාදී ආර්ථික ව්‍යූහයක් සහ පරිපාලන ව්‍යූහයක් නැහැ.


ඉතිං එතනිං එහාට ලක් ඉතිහාසය තුළ දේශපාලනයේදී සිංහලෙන් කතා කරන කතිකා ඉංග්‍රීසි ආර්ථිකයට නෛසර්ගිකව (organically) කිසිම සම්බන්ධයක් හෝ අදාළත්වයක් නැතුවයි පැවතුණේ. ඒක කොහෙද යන්නෙ මල්ලෙ පොල් දේශපාලන ව්‍යුහයක්. අදටත් ආර්ථික හරයක් නැතිව පාවෙන ඕන අතකට වනල ගහන්න පුළුවන අදේශපාලනික දේශපාලන ව්‍යුහයක්.


මේ බොරු-පරිකල්පනික-සිංහලකම කතා කරන්නේ කොතරම් ද, කතා කරන කෙනාව භෞතික ආර්ථික හර පද්ධතීන්ගෙන් එතරම්ම ඈත් වෙනව. පැවතුන ඉංග්‍රීසිමය ආර්ථිකයේ ආර්ථික සංකල්පවලින් 1956තෙක් මේ සිංහල වලාකුළු දේශපාලන ව්‍යූහයට හිසම ඔසවන්න නොදුන්නට, 1956දි ව්‍යවස්ථාවෙන් ම ඒක නවත්තල දාපු හින්ද, ඕන ගම් මූකලන් බයියෙකුට ඇවිත් නගර දේශපාලනය ඇතුළේ කැමති බිලියට් එකක් ගහගන්න පුළුවන් තත්වයක් ඇති වුණා.

අද ඒ රෝගය හොඳට ම උත්සන්න වෙලයි දැන් තියෙන්නේ. කොච්චර උත්සන්න වෙලාද කිවේවොත්, මේ පරිකලපනීය සිංහල ඔන්ලි දේශපාලනය කරේ තියාගෙන බඩගින්නෙ මැරෙන තත්වයට යමිනුයි දැන් ඉන්නේ.

 

ආර්ථිකය සහ දේශපාලන මතයන් අතර ඇති මේ අසම්බන්ධිත තත්වයෙන් ඇතිවුණු ආතතිය නිසා වසර 70කට විතර පස්සෙ දැන් රටේ ආර්ථික ව්‍යූහය අභාවප්ප්‍රාප්ත වෙන තැනට කටයුතු සිදුවෙමිනුයි පවතින්නේ.

 

ඉතිං අද වෙකොට දේශපාලනය යන්න ආර්ථිකයට හොඬට ම අසම්බන්ධ නිසා, විරුද්ධ මතවලට කූනුහරුපයෙන් සහ අර්ධ කුණුහරුපයෙන් බැන අඬගහගන්න විනයක් නැති භාෂාමය ව්‍යූහයක් විතරයි දේශපානය කියල නඩත්තු වෙන්නෙ. ඒ නිසා මේ භාෂා හුටපටේ ඇතුළෙ ආර්ථිකය ගැන පට්ට පල් බොරු කියල අසන්නාව ගඟේ යවන්න පුළුවන් නිසඟ හැකියාවක් පවතිනව. මොකද ආර්ථිකයට අසම්බන්ධ වුණාට දැන් වෙනකොට මේ පඩික්කං භාෂාමය කතිකාව මහ වලාකුළක් තරමට ලොකු වෙලයි තියෙන්නේ.

 මේ පවතින “සිංහල පමණයි” ජාතික දේශපාලන ව්‍යූහය එහි හරයෙන් ම අනාර්ථිකයි. හරියට ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ භෞතික පදනමක් නැති සිතුම් පද්ධතියක් විතරයි. වසර 500කට පෙර තිබුනාද දන්නෙත් නැති, ඒ වුණාට තිබුනාය කියල හිතින් පරිකල්පනය කරල, ආර්ථික සංකල්ප නොතකා ගොඩනගපු, ආර්ථිකව භෞතික නැති කල්පිත (Fictional) සිංහලකමක් පදනමේ හදපු කල්පිත දේශපාලන ව්‍යුහයක් මේක.

 

“මං බැඳල දාපු බල්ලො බණ්ඩා ලිහිල දැම්ම” - අගමැති සර් ජෝන්

 

ඉතිං 1956දි රාජ්‍ය බලය යොදල රටේ ආර්ථික ව්‍යුහයට දේශපාලන ව්‍යූහයක් නැති කෙරෙනව. 1956න් පස්සෙ යූඇන්පිය හුදු ආර්ථික පක්ෂයක් බවට විතරක් පත්වෙලා තනිවෙනව. එයාල කරමින් හිටපු ඉංග්‍රීසිවාදී දේශපාලනය ව්‍යවස්ථාවෙන් අවලංගු කරපු හින්ද “සිංහල පමණයි” ව්‍යුහය මුලිනුපුටා ගලවන්න තරම් එයාලත් නිර්භීතව ඉදිරියට එන්නේ නැහැ. සමහරවිට බන්ඩාරනායකටත් සිවුරුදාරියෙක්ගෙන් වෙඩිකන්න වුණා නම් අපිට මොනව වෙයිද කියල හිතපු බයට වෙන්නත් පුළුවන්.  

මොකද බන්ඩාරනායකගේ මලගෙදරදි ඔරිජිනල් යූඇන්පීකාරයෙක් වෙච්ච සර් ජෝන් කිව්වෙ, “මං බැඳල දාපු බල්ලො බණ්ඩ ලිහිල දැම්ම” කියල.


සිලෝන් එක ඇතුළේ ධනවාදයට දේශපාලන තර්කයක් නැති වෙනව !

 

ඉතිං 1956දි, රටේ කොලනිමය ආර්ථික ව්‍යූහයට දේශපාලනයක් නැති වුනා කියන්නේ, යූඇන්පිටත් තමන්ගේ ඔරිජිනල් දේශපාලනය නැතිවුණා කියන එකයි. ඉතිං ඊටපස්සෙ යූඇන්පියටත් ජනතාව ඉදිරියේ සිංහල ජාතික දේශපාලනය තවරා කතා පවත්වන ගමන්, කැබිනට් එකේ ආර්ථික තීන්දු ගන්නා සංවාද ඉංග්‍රීසියෙන් සිදුකරන දෙබින්න ප්‍රතිපත්තියක් නඩත්තු කරන්නට සිද්ධ වෙනව.

 

ශ්‍රීලනිපයට තමන්ගෙ  “සිංහල පමණයි” දේශපාලනය කරන ගමන්, මෙලෝ හසරක් නැතුව එතෙක් තිබුණ ඉංග්‍රීසි ආර්ථිකයට ම බොරු සුභසාධනවාදී පැලැස්තර අලවමින් ආර්ථිකය තුළ අතිරික්ත ප්‍රාග්ධන ගොඩනැගීමේ සහ ළාභ ඉපැයීමේ ඔරිජිනල් කාර්මික විප්ලවානුකූල ධනේෂ්වර ක්‍රියාවලියට බාධා කරන්න සිද්ධවෙනව.

සිලෝන් එක ඇතුළේ ධනවාදයට දේශපාලන තර්කයක් නැති වෙනව. රටේ බහුතරය වෙච්ච කොළඹට එහා පහළ පංතියේ ළමයින්ට ඉංග්‍රීසි භාෂාව අහිමි වෙනව. ඉංග්‍රීසියෙන් ආර්ථිකය හැදෑරීම අවම වෙනව.

ග්‍රාම්‍යවීම ලෝකයට මුහුණ දෙන්න පුළුවන් තරම් දේශපාලනාර්ථික විකල්පයක් වුණේ නැති බව 1948දි බණ්ඩාරනායකත් හිටපු යූඇන්පිය ප්‍රායෝගිකව තේරුම්ගත්තට, 1956දි බණ්ඩාරනායකට කත් ඇදපු පූර්ව වැඩවසම් “ග්‍රාම්‍ය-ගොවි-වරිග බලවේගය” හෙවත් සඟ-වෙද-ගොවි,ගුරු බලවේගය මේ යථාව පිලිගන්න තරම් බැහැපත් වුණේ නැහැ.

 

බණ්ඩාරනායක තම බලවේගයට නම දාන්නෙ ම සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු කියලයි. එතනම නාගරික කම්කරුවා ග්‍රාම්‍ය සඟ-වෙද-ගුරු-ගොවි වරිගෙ ඈයන්ට වඩා අප්‍රධාන කරවනව. මේ සංකල්පය ම පූර්ව වැඩවසම් පරිකල්පනයකින් ආපු පඩික්කං පුරවන නගර විරෝධී සංකල්පයක්.

 

දන්සැල් මානසිකත්වය :


මොකද, 1956යේ ග්‍රාම්‍ය දේශපාලන ව්‍යුහය ගොඩනැගෙන්නෙ ම ඉංග්‍රීසින්ගෙන් අපි ඉගෙනගත්තු ප්‍රාග්ධන සමුච්චකරණ තර්කයට ප්‍රතිපක්ෂව. ඒක ලාභ ගොඩනගන තර්කය වෙනුවට නිකං ඉඳං කන්න දෙන ඩෝල් ප්‍රතිපත්තියක් වගේ එකක් ජනතාවට පෙන්වන්නේ. ඒ සංකල්පය ලංකාවට එන්නෙ දන්සැල් මානසිකත්වයෙන්.

මොකද රජකාලෙ ශ්‍රමිකයෝ රජ්ජුරුවොට ශ්‍රමය දන් දුන්න ශ්‍රමදාන සිද්ධ වුණ බව සහ පෝසතුන් ධනය දන් දුන්න බවත් මේ වරිග කතිකා නිර්මාණය කළවුන්ගේ අවිඥානයේ තිබිල තියෙනව. ඒක් කාර්මික විප්ලවානුකූල ආර්ථික දැනුමට අනුව මේක ඩෝල් එකක්.

ඉතිං මෙහෙම ඩෝල් දීල දීල ආර්ථිකය හිඳුනම ඩෝල් දෙන්න බැරිනිසා ආයෙමත් යූඇන්පියට දෙනව. යූඇන්පිය ආර්ථිකය හදල දුන්නහම ආයෙමත් වරිග ආදරය ඇවිස්සිල ශ්‍රීලනිපයට දෙනව. 1970වෙන් පස්සෙ සමසමාජෙ එන්.එම්. පෙරේරා සමගිපෙරමුණ වරිග පූට්ටුවේ මුදල් ඇමති වෙනකම් ම සිද්ධ වුණේ මේක. ඉතින් මේ දෙගොල්ලො මේ විදිහට කරමින් මාරුවෙන් මාරුවට ඉදිරියට ආවා.

 

ආර්ථික පදනමක් නැති මේ භින්න ජාතිකවාදී කුහක දේශපාලන බොරුවට පළමුවෙන් ම ක්‍රියාවෙන් සහ වචනයෙන් අභියෝගාත්මක ප්‍රහාර එල්ල කරපු රැඩිකල් දේශපාලන නායකයා ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ඔරිජිනල් යූඇන්පීකාරයෙක්.

 

ඒත් ජේ.ආර්.ටත් බලයට ඇවිත් කරන්න වුණේ, එකවර ඒ බොරු ජාතිකවාදය මුලිනුපුටා දමනවාට වඩා තම පක්ෂය ඇතුළෙ ම ආර්.ප්‍රේමදාස, විජමු ලොකු බණ්ඩාර වැනි ව්‍යූහ එක පැත්තකිනුත් අනික් පැත්තෙන් තොණ්ඩමන්-හමීඩ් වැනි ව්‍යූහත්, තවත් පැත්තකින් ලලිත්-ගාමිණී-රනිල් වැනි ව්‍යූහත් බඳු ක්ෂද්‍ර ව්‍යූහ සමස්තයන් එකිනෙකට සමබර කරන ව්‍යූහ-විද්‍යාත්මකව නූල් සූත්තරවාදී සහ උපයෝගීතාවාදී දේශපාලනයක්.

ඒ කරන ගමං තමයි ජේ.ආර් ධනවාදයට මුල් තැන දුන්නේ. ඒත් තමන්ගේ ධනේෂ්වර ආර්ථිකවාදී ප්‍රවේශයට සඟ-වෙද-ගුරු-ගොවි වරිගවාදීන් එරෙහි වන හැම මොහොතක ම ඔහු ඒවට දෙකට නොවැනී සෘජු ප්‍රකාශ කරන්න තරම් නිර්භය වුණා.

 

සිවුරුදාරීන්ට පාරට ඇවිත් උද්ඝෝෂනය නොකර පන්සලට වෙලා තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න කියන්න තරම් නිර්භීත වුණ එක ම නායකාය ජේ.ආර්.  ඔහු ඒවා හරහා නැවත ප්‍රාග්ධන සමුච්චකරණ තර්කය පනගන්වන්න උත්සහ කළා. ලාභ උපයන නාගරික ධනේෂ්වර මනසක් ජනයා තුළ පැලපදියම් කරන්න වෙහෙසෙකර වුණා.

 

කළු ජූලිය: ලංකා ආර්ථික වර්ධනය මකබාවන සිද්ධි-සංධිය (Conjuncture) වුණේ 1983 යි.

 

ඒත් 1956 ජාතිකවාදී වෙස්මුහුණකින් පැමිණි බණ්ඩාරනායකගේ වරිගවාදී දේශපාලනය වෙන පැත්තකින් මස්තකප්‍රාප්ත වෙලා “සිංහල පමණයි” යන්නෙහි කූටප්‍රාප්තියක් ලෙස 1983නේ ජූලියේදී දකුණු ලක් කොදෙව්වේ සාමාන්‍ය දෙමල මිනිස්සු 3000 පමණ මරාගෙන තග් ආකෘතියක් බවට පත්වීම නිමිත්තෙන්, ඊට ප්‍රතිපක්ෂව, ඊට ආවඩායි කියාගෙන එහි ම නිවුන් දරුවා විදිහට ලක් කොදෙව්වේ උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ගේ “දෙමල පමණයි” යන ව්‍යාපාරයක් හිස ඔසවලා, 1987දී  අන්තර්ජාතික නීතියත් උල්ලංඝනය කරමින් ඉන්දියාවේ රජීවී අගමැති ලවා අහසෙන් පරිප්පු දම්මවන තත්වයකට උත්සන්න වෙලා, ජේ.ආර්ගේ ආර්ථිකවාදී දේශපාලනය තාවකාලිකව පරදවනව.

 

බොහෝ උදවිය ලංකා ආර්ථිකය කඩන් වැටුණේ 1978 ව්‍යවස්ථාවෙන් සහ ඊට සමාන්තරව ගෙනා විවෘත ආර්ථිකය හින්ද කියල කිව්වට, ලංකා ආර්ථික වර්ධනය මකබාවන සිද්ධි-සංධිය (Conjuncture) වුණේ 1983 යි.  

 

යූ ඇන්පිය ඇතුළේ බන්ඩාරනායකගේ වරිගවාදී වෛරසය බලය ඇල්ලීම:

 

ඊළඟට 1987දි රජීව් සමඟ ගිවිසුම්ගතවී දිර්ඝකාලීන ආරක්ෂක පියවරක් ගන්නා ජේ.ආර්ට ඒ ක්‍රියාව හින්ද පහර කන්නට වෙන්නේ මාක්ස්-ලෙනින් සමාජවාදයට බණ්ඩාරනායකගේ වරිගවාදී ජාතිකවාදය දේශප්‍රේමය නාමයෙන් නොගැලපෙන ලෙස හාමු කරගෙන ගිය ජවිපෙ සන්නද්ධ සහ සන්නද්ධ නොවන දෙබින්න දේශපාලනය යි.

සමහරවිට විජේවීර ජාතිකවාදය යන්න සමාජවාදය බිහිකිරීම වෙනුවෙන් උපායශීලිව යොදාගෙන බහුතර දකුණේ ජනයා හරහා බලයට එන්න එකස්පෙරිමන්ට් එකක් කළා වෙන්න පුළුවන්.  ඒත් ඒකෙන් සිද්ධවුණේ යූන්පිය තුළ සහ රට තුළ ප්‍රේමදාස බලයට පත් වෙන එක.

ඒ කියන්නේ යූ ඇන්පිය ඇතුළේ බන්ඩාරනායකගේ වරිගවාදී වෛරස් එකක් බලය ඇල්ලීම. ඒ කියන්නේ රෑ ඉස්කෝලේ ගිහිං ඉංග්‍රීසි උගත් බණ්ඩාරනායකගේ අර්ධ අවතාර ව්‍යූහයක් යූඑන්පියෙන් බලයට ඒම.

ප්‍රේමදාස බලයට පත්වෙලා ගෙනාවෙ සහ ඊට පෙරත් ඇදහූයේ ඉංග්‍රීසි ආර්ථිකයට සුභසාදන පැලැස්තර අලවන ආර්ථික ප්‍රතිපත්තියක් නිසා, ශ්‍රීලනිපය බලයට පත්වුණ කාලවල වගේ ධනවාදී සංවර්ධනය ආයෙමත් අතරමග අඩාල වෙනව. මොකද ප්‍රේමදාස, විජමු වැනි අය සෘජුව සහ වක්‍රව (දැන හෝ නොදැන) 1956 “සිංහල පමණයි” ප්‍රතිපත්තියේ මතවාදී ගොදුරු.

 

“ගම හදා රට හදන්න” පුළුවන් යැයි කියා හිතින් මවාගත්තු පරිකල්පනීය සිංහලකමකින් නගර විරෝධීව සහ ධනේෂ්වර විරෝධීව දේශපාලනය කරන්න පුළුවන් කියල ජනතාව අන්දවපු උදවිය.

 

පුරා-විද්‍යා විරෝධී වන මහාවංසය ඇතුළු අනෙකුත් කල්පිත ග්‍රන්ථ හෝ අටුවා ටීකා කියවා ඒවායේ අතීත කතන්දර ඇත්තට ම පූර්ව යටත්විජිත යුගයේ ඒ විදිහට ම ලක් දූපතේ තිබුණයි කියල හිතින් මවාගෙන, 1956වෙත්දි පන්සල්වල මුලාදෑනිල වගේ හිටපු සිවුරුදාරීන් සහ උපාසකයින් ගොඩනගපු පසුවිජිතවාදී නගර විරෝධී සංකල්පවලට ප්‍රේමදාසගේ ගමහදා රට හදන සංකල්පය විරුද්ධ නැහැ.  

ගැඹුරින් සලකල බැලුවොත් එයාල හරහාත්මකව ම යූඇන්පිය ඇතුළේ බණ්ඩාරනායකට විරුද්ධ නැති සහ බණ්ඩාරනායකට කැමති උදවිය.


ප්‍රේමදාසගේ අර්බුදය ඉදිරියේ රනිල් කළ කී දේ සොයමු :


දෘෂ්ටි පදනම එහෙම වුණත්, ප්‍රේමදාසටත් තම අවස්ථාව එනකන් බලන් ඉන්න තිබුණු ඉවසීම ගැන යමක් කියන්න ම වෙනව. ඒ සඳහා අපි සජිත් කියවීම සඳහා ප්‍රේමදාසගේ අර්බුදය ඉදිරියේ රනිල් කළ කී දේ සොයමු.
 
රනිල් කියන්නේ යූඑන්පිය ඇතුළේ සහ පිටත තියෙන බොරු ජාතිකවාදී බොරු සුභසාදන ව්‍යූහයට ප්‍රතිපක්ෂ ජේ.ආර්මය ව්‍යුහයේ අවසන් නියෝජනය.
 
රනිල් කියන්නේ යූඑන්පිය ඇතුළේ සහ පිටත තියෙන බොරු ජාතිකවාදී බොරු සුභසාදන ව්‍යූහයට ප්‍රතිපක්ෂ ජේ.ආර්මය ව්‍යුහයේ අවසන් නියෝජනය. ජේ.ආර්ගේ ඊළඟ දිගුව. ඒ කියන්නේ ආර්ථිකයට බොරු ජාතිකවාදී සුභසාදන ව්‍යුහ අලවා අතිරික්ත ප්‍රාග්ධනය අඩාල කරවන ශ්‍රීළනිප වරිග ව්‍යුහයට ප්‍රතිවිරුද්ධ යොමුව.

ඒ හින්දා ආර්ථික ඉතිහාසය සහ ධනවාදය දන්නෙ නැතුව දැන් ආර්ථික අර්බුදයේ නාහෙට ම එරිල විසඳුමක් නැතුව ඉන්න 1956යේ දරුවන්ට රනිල් කියන්නෙ නව ආර්ථිකවාදී ඔප්ෂන් එකක්.

පාර්ලිමේන්තු පුස්තකාලය ඇතුළෙ මහින්ද රනිල් එක්ක කුටු කුටු ගානව කියල මැසිවිලි කියන අනුර කුමාරට ඇත්තටම මේ වෙන්නෙ මොකක්ද කියල දැන් තේරෙන්න ඕන.
 
 
ශ්‍රීලනිපයටත් යූඇන්පීයේ රනිල්ගේ ආර්ථික උපදෙස් නැතුව පැවැත්මක් නැහැ. විසංකාරයාට අනුව නම් ලංකාවට යථා ධනවාදය (මේ වන විට ගෝලීය ධනවාදය) කැන්දගෙන එන්න තියෙන එකම දේශපාලන විකල්පය රනිල්. ඒ හින්ද රනිල් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි දෙස්-විදෙස් සම්භවනය වුණු නව-නූතන දකුණු ආසියානු සබඳතා ජාල ව්‍යූහයක්.
 
 
දැන් කාටහරි ප්‍රවාදයක් ගොඩනගන්න පුළුවන් “මේ එන පොට හොඳ නෑ” කියල. මොකද, දැනට රනිල්ව තේරුම් ගන්න බැරි නිසා ම සහ එදිරිවාදීකමට ජාතිකවාදීන් රනිල් ගැන රට ඇතුළ මවල තියෙන බොරු කටකතන්දර ලෝකය තාවකාලිකව හිස උස්සල නිසා ම, ඒකට අහුවෙච්ච කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් තමයි.

 විසංකාරයා ඒවට බය නැත්තෙ, විසංකාරය කාලෙන් කාලෙට ඉල්ලන ඉල්ලන එකාට හිතූ මනාපේ චන්දෙ දාගෙන දාගෙන ගිය ගැමි-ගොවි වරිග-පූට්ටු-කාරයෙක් නෙවෙන හින්ද.

ඒත් විසංකාරයාට අනුව වෙනත් පැත්තකින් රනිල්ව රටට අවශ්‍ය වෙලා තියෙන්නෙ ආර්ථික අර්බුදයක් හිස ඔසවල ව්‍යසනයක් කරා යමින් තියෙන හින්ද යි. ඒ කියන්නේ 1956දි ආර්ථිකය සහ දේශපාලනය විසන්ධි වීමේ ප්‍රශ්නය අද වෙනකොට ක්‍රමයෙන් ගැටළුවක් සහ ගැටළුව පහුකරපු අර්බුදයක් බවට පත්වෙලයි තියෙන්නේ.

තව අවුරුදු 3-4කින් ඒ අර්බුදය විනාශයක් බවට පත්වෙනවා. ඒකෙ පොයින්ට් ඔෆ් නෝ රිටර්න් එක පනින්න කලින් තමයි විසංකාරය මැද්දට පැනල මේ බේරගන්න හද්නේ.


ඒ නිසා මේ කොදෙව් ඇබිත්ත, මේ ගෙවෙන මොහොතේ, 1956ට ගැති වරිගකාරයන්ට හිමි භෞතික පදනමක් නැති ජාතකවාදී දේශපාලන මතවාද ග්රවුන්ඩ් එකක් වගේ පෙනුනට, ඊට සමාන්තරව ඇත්තටම භෞතික ආර්ථික අර්ථ පද්ධතිය තුළ මේ ඉදිවෙන්නේ 1956 “සිංහල පමණයි” පරිකල්පනීය කල්පිත ප්‍රතිපත්තියට එරෙහි යූඇන්පියේ කාර්මික විප්ලවවාදී සහ නව තාක්ෂණ විප්ලවවාදී ආර්ථික ග්‍රවුන්ඩ් එක.  



ඒ හින්ද මේ විසංකාරයේ පළමු අරමුණ යූඇන්පිය ඇතුළේ තියෙන ශ්‍රීලනිපවාදී, වරිගවාදී බොරු ජාතිකවාදී වෛරස් කුඩුපට්ටම් කිරීම. අවසන් අරමුණ ඒ වෛරස් එක රටෙන්ම හැඳිගෑවිලා අතුගෑවිලා යන්න කටයුතු කිරීම.

විසංකාරයා මේ ගෙවෙන සිද්ධි-සංධියේදී රනිල් නම් ව්‍යුහයට විශ්වාස-පක්ෂ වන්නේ, රනිල් කියන පුද්ගලයා කරන කියන සියල්ල ම හොඳට ම හොඳයි කියා එයාව සර්වතෝභද්‍රයෙක් විදිහට සලකාගෙන නෙවෙයි. ලෝකෙ කොහොවත් සර්වතොභද්‍රයෝ නැහැනෙ හලෝ. ඉන්නෙ සාපේක්ෂ චරිත.

චරිතයක් ව්‍යූහාත්මකව ප්‍රභල නම්, වෙන විකල්පයකුත් නැත්තං, ඒ චරිතය එක්ක ප්‍රතිපත්තිමය සහ විවේචනාත්මක සංධානයකට ඇවිත් එයාට කියල රටට අවශ්‍ය වැඩේ කරවගන්න එකයි කරන්න ඕන.
 
 
දැන් ඔය බොරු ජාතික වීරයෝ හැට හුටහමාරකට ම චන්දෙ දීල කෙලවගෙන බඩට කන්න පසුත් නැති වෙලා ඉන්න මේ වෙලාවෙ, රටේ බහුතරයක් වෙච්ච යූඇන්පීකාරයෝ නැගිටින්න ඕන. බණ්ඩාරනායකවාදී වරිගවාදීන්ට වඩා රට ගැන වගකීමක් තියෙන්න ඕන ඔහෙලට.
 
 
 
ඒ නැගිටින්න ඕන සමගි-වරිග පූට්ටුව වගේ පඩික්කංවලට මුක්කුගහගත්තු 1956යේ වක්‍ර වරිගවාදී වෛරස් එකක් වටා නෙවෙයි. යූඇන්පිය නැගිටින්න ඕන ජේ.ආර්ගේ ඊළඟ අනුප්‍රාප්තිකයා වන රනිල් එක්ක. ඒ හින්ද යූඇන්පීකාරයන්ට රනිල් කියන්නේ එයාලගෙ අන්තිම චාන්ස් එක.

ඒ නිසි එකපැත්තකින් ශ්‍රීලනිපමය හෝ වෙන ආකාර වෛරස් නැති ඔරිජිනල් යූඇන්පියක් හදා ගන්නත්, අනික් අතින් රට ඇතුළට ලාභ ලබන ධනවාදය කැන්දන් එන්නත් තියෙන් අන්තිම ඔප්ෂන් එක රනිල්.  
 
 
මේකට රනිල් තෝරගන්න වෙන්නෙ, රනිල් කියන ව්‍යූහය දේශීයව සේම විදේශීයවත් ලංකාවෙ ඊළඟ ධනේෂ්වරමය ආර්ථිකය පිහිටුවීමේ එකම සහ අවසන් නියෝජනය වන හින්ද. ජේ.ආර්ගේ අවසන් නිෂ්පත්තිය රනිල් හින්ද.
 
 
ඒ හින්ද හැබෑ ආර්ථිකවාදී ඔරිජිනල් යූඇන්පී නායකත්වයක් බලාපොරොත්තු වෙන හැම යූඇන්පීකාරයෙක් ම පුද්ගලවාදී කෝන්තර අතහැරල, ගෝලීයකරණය යන දිසාව සහ වේගය දිහා ව්‍යූහාත්මකව හිතල බලල, ලෝකය ඉස්සරහ අපි ආර්ථිකව කොච්චර කෙලවගෙන කියල ගණිත මිනිත දත්ත සලකල බලල, මේ ගෙවෙන තීරණාත්මක මොහොතේ වෙනිං බැතිවල යමින් පිස්සු කෙලින්නේ නැතිව, විසංකාරයා විසින් මේ කියන දේත් ගැඹුරින් සලකල බලනව නම් තමයි සැබෑ ආර්ථික හයිවේ එකට ගොඩවෙන්න පුළුවන් වෙන්නෙ.

එහෙම නොකර මෙදාපාරත් අවසිහියෙන් සහ අඩසිහියෙන් කතිර සෙල්ලම කළොත් සිද්ධවෙන්නේ, දියුණු ආර්ථික නගරවලින් ගම්මාන, මූකලන් සහ දිවයින ම පාලනය කරන නව-නූතන ව්‍යූහයක් එනවා වෙනුවට, ගම්වලින් සහ ගැමියන් විසින් ග්‍රාම්‍ය ලෙස නගර පාලනයට අතදාල අලකරගත්තු විකෘති ආනාර්ථික විපරිපාලන ව්‍යුහයක් හැදිල රට ම ගමක් වෙලා ගම කැවිල යන එක.

තෝරා ගැනීම ඔබේ අතේ. විශේෂයෙන් ම චන්දදායකින්ගෙන් බහුතරයක් වන අවංක යූඇන්පීකාරයන් අතේ.



ඒ නිසා විසංකාර වන මම මේ ගෙවෙන තීරණාත්මක මොහොතේ රනිල් ව්‍යුහය විධායක බලයට ගෙන එන්න එහෙයි පදනමකින් තොර විවේචනාත්මක විශ්වාස-පක්ෂ සහයෝගයක් සපයනව. කාටහරි ඒ යොමුව ගැන විචිකිච්චාවන් සහ මොළේ කෙඩෙත්තු වෙලා වගේ දැනෙනව නම්, පරිකල්පන-මූලික වැල්වටාරම්  නැතුව මේ වියමනේ කේන්ද්‍රීය තීසිසිය අලලා විසංකාරයාට විවේචන ලියල එවන්න. විසංකාරයා ඒවට උත්තර බඳින්න ලෑස්තියි.
 
Tamil Tigers surrender: Tamil Guerillas in Sri Lanka 1986
 
ප්‍රේමදාස බලයට පත්වුණේ රටේ අභ්‍යන්තර යුද්ධ 02ක් තිබුණ වකවානුවක.
 
 
ප්‍රේමදාස බලයට පත්වුණේ රටේ අභ්‍යන්තර යුද්ධ 02ක් තිබුණ වකවානුවක. ජවිපෙ නම් පක්ෂය සහ සන්නද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විදිහට දේශපාලනය කෙරෙන වකවානුවක. උතුරු නැගෙනහිර එල්ටීටිය ඉන්දියන් හමුදාවට විරුද්ධව යුධ වදින වකවානුවක.

ජේ.ආර්. විසින් ප්‍රේමදාසට ජනපති අපේෂකත්වය දෙනතුරු ප්‍රේමදාස අවුරුදු 17ක් අගමැති පුටුවෙ ඉඳන් ඉවසුව. රාජතාන්ත්‍රිකභාවයෙන් පරිණතව හිටපු ජේ.ආර් සමඟ කොයිතරම් බුද්ධිමය සහ පංතිමය නොගැලපීම් තිබුණත් ඒව ඉවසා දරාගෙන තම නැණ පමණින් ජේ.ආර්වත් හදාරගෙන, දරාගැනීම් මැද්දෙ ඉදිරියට ආව.

1987 ජේ.ආර්. විසින් රජීව් එකක් අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම ඉදිරියේ තමන්ගේ බණ්ඩාරනායකවාදී අකමැත්ත යටපත් කරගෙන ගිවිසුමට පක්ෂව පාර්ලිමේන්තුවේදි ඡන්දෙ දෙන්න තරම් උපායශීලී වුණා.
 
 
ඉන්දු-ලංකා ගිවිසුම නිසා පක්ෂයක් නෙවෙයි පක්ෂ දෙකක් තුනක් වුණත් කඩාගෙන යන්න තරම් විවාදාත්මක අර්බුදකාරී දේශපාලන මොහොතක් දකුණු ලංකාවට පැමිණ තිබුණා වුණත්, ඉවසීමෙන් යුතුව කටයුතු කළා. ජේ.ආර් පුද්ගලයෙක් විදිහට රහත්වෙලා හිටපු මාර හොඳ චරිතයක් හින්ද නෙවෙයි ඒ. ජේ.ආර්. කියන අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික ව්‍යූහයේ අවැසිතාවය අවබෝධ කරගන්නට සහ ඒ ව්‍යූහයේ හැප්පිලා තියෙන ටිකත් නැති කර නොගන්න තරම් මේරූ දේශපාලන හික්මීමක් ප්‍රේමදාසට තිබුණ නිසයි ඒ.



''අර්බුදකාරී අවස්ථාවල තනි අලියෙක් වෙන්න හදන බොළඳ ආකල්පය ප්‍රේමදාසට තිබුණෙ නැහැ''


අර්බුදකාරී අවස්ථාවල තනි අලියෙක් වෙන්න හදන බොළඳ ආකල්පය ප්‍රේමදාසට තිබුණෙ නැහැ. අර්බුද අවස්ථාවල අන්ත විරුද්ධවාදියා එක්ක වුණත් සන්ධානයකට යාමට තරම් දේශපාලන විවෘතභාවයක් ප්‍රේමදාසට තිබුණා. විශේෂයෙන් ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි වගේ ප්‍රේමදාස එක්ක නායකත්වයට කරට කර තරඟ කළ උදවිය එක්ක තිබුණ නොහොඳ නෝක්කාඩුත් ප්‍රසිද්ධියට ඒමට නොදී යටපත් කර තබාගන්න තරම් නිසඟ බුද්ධියක් ප්‍රේමදාසට තිබුණ.
 

රණසිංහ ප්‍රේමදාස මහතා දැයෙන් සමුගෙන අදට වසර 25ක්

 
ප්‍රේමදාස තමන්ට නොගැලපෙන උදවියගෙනුත් ඉගෙන ගත්තු ඔරිජිනල් හස්තියෙක් වෙන්න පෙරුම් පිරූ මිනිසෙක්.
 
 
පක්ෂෙ කඩං යනව වගේ ඒව ප්‍රේමදාස හීනෙකින්වත් හිතුවෙ නැහැ. ඔහු එතරම් ම යූඇන්පියට ආදරය කළා. අනෙක් පැත්තෙන් පක්ෂයක් කඩන් යෑමෙන් පස්සෙ කාලයාගේ ඇවෑමෙන් තමන්ව ඉබේ ම සුළුතරයක් බවට පත්වෙනව කියන දේශපාලනය ප්‍රේමදාස දැනං හිටිය. මං හිතන්නෙ ප්‍රේමදාසට මේ පාඩම පුතාට උගන්නවන්න අතපසු වෙලා තියෙන හැඩයි.
 
 
බලන්න, යූඇන්පියට දුර්වල හෝ දක්ෂ මොන නායකය ආවත්, ඒ අය සමඟ කල් අල්ලන සබඳකමක් හසුරුවගන්න තරම් දරාගැනීමේ සහ දිගුකල් ඉවසීමේ ශක්තියක් ප්‍රේමදාසට තිබුණ. සමහරවිට තම අවස්ථාව එනකං අවුරුදු 40ක් විතර ඉවසීමෙන් බලා හිටපු ජේ.ආර්.ගේ දේශපාලන ආකල්පය සහ යොමුව ඔහු තම ගුරුහරුකම කරගත්තා වෙන්න ඕන.
 
 
 
ප්‍රේමදාස තමන්ට නොගැලපෙන උදවියගෙනුත් ඉගෙන ගත්තු ඔරිජිනල් හස්තියෙක් වෙන්න පෙරුම් පිරූ මිනිසෙක්. එහෙම කරලත් ප්‍රේමදාසට අවුරුදු 02ට වඩා ජනාධිපති පුටුවෙ ඉන්න ලැබුණෙ නැත්තේ, අර්බුද අවස්ථාවල ඉවසීම තිබුණට අර්බුද ජයගන්න අවශ්‍ය දේශපාලන ප්‍රඥාව ජේ.ආර්. තරමට නොතිබීමත්, 1956යේ ආපු ව්‍යාජ බන්ඩාරනායක අප්පොගේ වරිග දේශපාලයෙන් මතවාදීව ගැලවිය හැකි නව දේශපාලන කතිකා ගොඩනැගීම සහ බිඳවැටීම පිළිබඳ විද්‍යාත්මක දැනුම ඔහුට නොතිබීමත් හින්දයි.

දැන සිටිය නම්, ඔහු සෘජුව ම ජේ.ආර්ගේ ඔරිජිනල් අනුප්‍රාප්තිකයා වෙන්න පැකිලෙන්නෙ නැහැ.
 
 
සජිත්ට මේ ඉවසීම සහ ප්‍රඥාව යන දෙක ම හිඟ යි. ඒ වගේ ම බණ්ඩාරනායකගේ වරිග පූට්ටු දිස්ටියෙනුත් එයා ගැලවිලා නැති බව ගොලීයකරණය ගැන ව්‍යාපාර ප්‍රජාවන්ට කරපු කියපු දේවල්වලින් පේනවා.
 
 
ඉතිං ප්‍රේමදාසගේ ඉවසීම සහ ජේ.ආර්ගේ ඉවසීම ද, ජේ.ආර්ගේ ප්‍රඥාව ද, ජේ.ආර්ට තිබුණු ඔරිජිනල් යූඇන්පීකාර ගති ස්වභාවද, ගෝලීය සහ කලාපීය දේශපිලනාර්ථිකය පිළිබඳ රනිල්ට තියෙන දැනුම ද යන මේවා සම්බන්ධයෙන් ඉසියුම් හැදෑරීමක් කර තමන්ගේ ඥානවිභාගය ඛණ්ඩනය කරගන්නකං සජිත්ට කවදාවත් ජනාධිපති කෙනෙක් වෙන්න නම් බැහැ. එහෙම වෙනස් නොවුණ සජිත් කෙනෙක් එනවට වඩා හොඳයි බණ්ඩාරනායකගේ වරිග පූට්ටුවේ ම කෙනෙක් එන එක.

සජිත්ට රනිල්ව පේන්නේ “හතුරු අනෙකෙක්” විදිහට නම් ඒක එයාගෙ ආර්ථික ගමනට තියෙන ප්‍රධානත ම දේශපාලන බාධකය. ඔර්ජිනල් යූඇන්පීකාරයෙක් වෙන්න තියෙන බාධකයත් ඒක. අපිට යමෙක් ගැන හතුරුකම සහ එදිරිවාදිකම හිතේ තියෙනකම්, ඒ පුද්ගගයාව හදාරන්න අවශ්‍ය තරමේ සාධාරණ සහ නිරවුල් සිතිවිලි පහළ වෙන්නේ නැහැනේ.


ප්‍රේමදාස හමුවේ රනිල් කෙසේදැයි යන කැඩපතකින් බලමු :


ඒ නිසා සජිත්ගේ සමගි-වරිග-සමස්තයට පැටලිලා ඉන්න අනික් ඡන්ද දායක වැසියන් සේ ම, සජිත් ගැතිව දේශපාලනය කරන උදවිය දැනුම්වත් කිරීමට අපි රනිල් හමුවේ සජිත් කෙසේදැයි දකින්නට, ප්‍රේමදාස හමුවේ රනිල් කෙසේදැයි යන කැඩපතකින් බලමු.

රනිල්, ප්‍රේමදාස ජනාධිවරයා සමඟ එකට දේශපාලනය කළේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලෝකයේ ජනාධිපති කෙනෙකුට වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය වන දෝශාභියෝගයකට ප්‍රේමදාසට මුහුණ දෙන්නට සිදුවූ අසීරු දේශපාලන මොහොතක.

අවිඥානිකව 1956යේ දිස්ටියෙන් හික්මිලා හිටපු ප්‍රේමදාස බලයට ආවට පස්සෙ තමන්ගේ කරට කර දේශපාලකයන් වෙච්ච ගාමිණී දිසානයක සහ ලලිත් ඇතුලත්මුදලි වැනි 1956ය දිස්ටියට ප්‍රතිපක්ෂ අයට යම් යම් කෙනෙහෙලි කම් කරනව.

Lalith Hamini

ලලිත් සහ ගාමිණී කියන නාගරිකයන් දෙන්න ම අගමැතිකම බලාගෙන හිටියත්, ලලිත් අගමැතිකම ගන්න තරම් වැඩි ඡන්ද අරගත්තත් ප්‍රේමදාස අගමැතිකම දෙන්නේ ඩී.බී.විජේතුංග කියන ගොවියට.



ඒ හින්ද ඒ ලලිත් සහ ගාමිණී දෙන්නගෙ ඉහළ-මධ්‍යම පංතික නාගරික ලජ්ජාව මාන්නෙ ඇවිස්සිලා එයාල ප්‍රේමදාස ජනාධිපතිට දෝශාභියෝගයක් ගෙන්න කටයුතු කරල පක්ෂෙනුත් ඉවත්වෙලා එක්සත් ජාතික පෙරමුණ කියල එකක් හදාගෙන පක්ෂයෙන් දොට්ට බැස්ස.

ප්‍රේමදාස සමඟ ඒ නොගැලපීම ඒ තරමින් ම රනිල්ටත් තිබුණා වුණාට, රනිල් යූඇන්පිය දමා ගියේ නැතුවා විතරක් නෙවෙයි, විසංකාරය දන්න තරමින් ලලිත් සහ ගාමිණීට කෝල් දාල දෙපාර්ශවය අතර සමගිකමක් කරන්නත් උත්සහ කළා. එහෙම කලේ පක්ෂයේ ආත්මගරුත්වයේ නාමයෙන් කරන එවැනි වැඩ ඔහු ජේ.ආර්ගෙන් උපුටාගෙන තිබුණ හින්ද.

මොකද රනිල් ජේ.ආර්.වාදියෙක්. ජේ.ආර්. පවා ඒ විදිහට ලලිත් ගාමිණී පක්ෂ දාල යෑම අනුමත කළේ නැහැ. ඒ වෙලාවෙ පක්ෂෙ දාල ගිය ලලිත් සහ ගාමිණී ගැන විග්‍රහ කරමින් ඉහළ-මධ්‍යම-පංතික විප්ලවවාදී දායන් ජයතිලක කිව්වේ ඒක දේශපාලන කුහකකමක් කියල යි.

එතකොට වරිගවාදීන් ලක් දූපත ආර්ථික අර්බුදයේ නාහෙට ම නැගල ඉන්න මේ මොහොතේ, පක්ෂයේ ආර්ථිකවේදියා වූ රනිල්ට කොකා පෙන්නල ලක් දූවේ එක ම ආර්ථික පක්ෂය දෙකට කඩාගෙන ගිය සජිත් උන්දැ ගැන දයාන් නම් විප්ලවාදී ඩිප්ලොමැට් මහතුනට කියන්නට ඇත්තේ මොනවාද?

අරක කුහකකමක් මේක එහෙම නෙවෙයි කියලද?
 
 
 
දේශපාලනයට කුහකකමේ ඔරිජිනල් ෆෝම් එක එන්නෙ පුහුණුවකින් තොරව ඉංග්‍රීසි නූගත් ගැමියන් නගරයේ දේශපාලනයට සහ පරිපාලනයට ගේන 1956යේ “සිංහල පමණයි” වරිග ප්‍රතිපත්තියත් එක්ක.
 
 
ලෝකයේ ඕන රටක නිලයක් ඉල්ලං ගමෙන් නගරයට එන ඕන කෙනෙක් නගර ආර්ථිකයේ ලාභ උපයන ප්‍රාග්ධන සමුච්චකරණ තර්කයට එකඟ විය යුතුයි. නැතුව එයා ඇවිත් නගරය නිකං ඉන්නවට ප්‍රාග්ධනය දෙන දන්සැලක් කරන්න කියල කිව්වට ඒක කරන්න බැහැනේ. හම්බානක ග්‍රෝත්‍ර ජනයා ඉන්නක  ඉන්දියාවෙත් ඒක සිද්ධ වෙන්නෙ නැහැ. ඒත් ලංකාවෙ වෙනව.

1948 පෙර කොලනිවාදී සමයේ නගරයට ගෙනෙන ඕන ම ගැමියෙක්ව නාගරිකයෙක් විදිහට පුහුණු කෙරුණා. එහෙම පුහුණු වෙන්න සිද්ධ වුණා. ඒක තමයි කොලොනියල් ක්‍රම-පද්ධතිය. එහෙම නැතුව එයාව නගරයේ වරප්‍රසාද සහිතව පිලිගත්තේ නැහැ.

නමුත් 1956න් පස්සේ ගමෙන් නගරයට ආපු වරිගවාදී බයියො පරිපාලන ව්‍යුහයට දූෂණය සහ වරිගවාදය ගෙනවිත් ඒව අඩපන කළා. ඉංගිරිසිය නැතිවුණ රාජ්‍ය පරිපාලන ව්‍යූහ ඇතුළු සියළු රාජ්‍ය ආයතන මේ වෙනකොට දවසේ වැඩිකාලයක් නිකං ඉඳල පඩිගන්න, වැඩකරන නාගරිකයාට ඉරිසියා වෙලා බෙල්ලකපන පඩික්කංවාදී ඇවිදින මලමිනී වැනි බිල්ඩින් විතරක් බවට පත්වෙලා තියෙන්නේ මේ හින්දයි.

ආයතන කියන්නේ බිල්ඩිමක් ඇතුළට මොක්කු හරිදාල පඩිගෙවන නිල අම්බලන් නෙවෙයිනේ. ඒක පාලනයට පත්වෙන පක්ෂයක වැරැද්දක් නෙවෙයි, වරිගවාදය ව්‍යවස්ථානුකූල කිරීමේ වැරැද්ද.
 
 
 
මේ රටේ ඉඳල වැඩක් නෑ කියල සිරි ලංකාවෙ උදවිය පුරවැසිභාවයන් පතා බටහිර රටවල් ම හොයාගෙන යන්නේ, ඒ රටවල් සුදුද කළුද කියලවත් දැනගෙන නෙවෙයි. එයාල ඒ අවිඥානිකව හොයාගෙන යන්නේ 1956 පසු බිහිවුණ සිරි ලංකාවට පෙර මේ කොදෙව්වේ තිබුණ සිලෝන් එක. ඒක තමයි මේ රටේ ගොඩක් උදවිය තමන් ගැන නොදන්න තමන්ගේ සමෘද්ධි ජානය.  
 
 
 
රටේ මේ බොහෝ කරදර 1956යේ වරිග පූට්ටුව හින්ද. ඒ හින්ද ආර්ථිකය අමාරුයි කන්න නෑ, බොන්න නෑ කියල කෑ ගහන ඕන කෙනෙක් 1956යේදී රටේ දේශපාලනාර්ථික ව්‍යුහයට වෙච්ච අකරතැබ්බය මහන්සි වෙලා අධ්‍යනය කරොත් තමයි යහපත්.

සජිත් රටේ නායකය වුණොත් ශ්‍රීලනිපය කරනව වගේ ජනතාවට කෙටි කාලීන දොල පිදේනි දෙනවා ඇරෙන්න, එයාට කරන්න පුළුවන වෙනත් ධනේෂ්වර සංවර්ධනයක් තියෙනව නං අනේ අපිට ලියල එවන්න! අපිත් කැමතියි ඒ ඇත්තාගෙන් ටියුෂන් ගන්න.

කොලනිවාදී එංගලන්ත පරිපාලනය තම යටත් විජිත සිලෝන් එකට කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ වන නිෂ්පාදන උපකරන හෝ ඊට යාදෙන උපකරන (Means of
Production) හඳුන්වාදීම නෙවෙයි සැබෑ වැරැද්ද.

ඒ ප්‍රතිලාභ එංගලන්තයේ ආර්ථික උවමනාවට අනුව භාගෙට හඳුන්වල දුන්නු එකයි වැරැද්ද.

කාර්මික විප්ලවය මොන රටේ සිද්ධ වුණත් ඒ ප්‍රතිලාභ මුළු ලෝ වැසියන්ට සමසේ ලැබිය යුතුයි.

නමුත් කාර්මික විප්ලවයෙන් අවුරුදු 50ක් විතර යනකං එංගලන්තය ඒ ප්‍රතිලාභ අසල්වැසි යුරෝ රටවල් එක්කවත් හරි හමං විදිහට බෙදාගත්තේ නැහැ. බාධක දැම්ම.
 
 
 
ඉතිං කොලනිවාදීන් ගිය පසුව අපිට හැබෑ ආර්ථිකමය මොළේ කළඳක්වත් තිබුණ නම්, කරන්න තිබුණේ, කාර්මික විප්ලවයේ ඉතිරි ප්‍රතිලාභ ටිකත් කොදෙව්වට කැන්දන් එන එක. එංගලන්තකයින්ට හැබෑ විද්‍යානුකූල ලෙස විරුද්ධ වෙනවා කියන්නේ ඒකට යි. අපි කළේ ඒක පැත්තක තියල ඕක්ස්ෆර්ඩ් ගිය බලලෝභියෙකුගේ ඒක-භාෂාවාදී කල්පිත වරිගවාදී පූට්ටුවක් කරේ එල්ලගන්න එකයි.
 
 
ඒකෙන් වුණේ කාර්මික විප්ලවානුකූල ධනවාදය මුළුමනින් රටට එන එක තව තවත් පරක්කුවෙලා අවුරුදු 56න් අවුරුදු 66ක් ගෙවෙන මේ මොහොතේ, මේක කරත්ත එළවන කරත්තකාරයින් පොදු බස්රථ පදවන, මාළුකාරයින් සහ ස්මග්ලිං කරන උදවිය දේශපාලනය කරන අයාලකාමී රටක් බවට පත් වෙන එක.

කොම්පියුටරය කියන නව-නිෂ්පාදන උපකරණය සහ ඒ ආශ්‍රිත අනෙක් නව තාක්ෂණ උපකරණ (Neo Means of Production) බිහිවීමත් එක්ක ලොව සිදුවූ තාක්ෂණික විප්ලවයේ ප්‍රතිලාභත් 1980-1990 දශකවල මේ රටට යන්තං සේන්දු වෙන්න පටන් ගත්තත්, ඇමෙරි-යුරෝ රටවල් ඒවා තම කාර්මික ආම්පන්නවලට ගලප්පාගෙන හැම කාර්මික උපකරණයක් ම කොම්පියුටරයිස් කිරීමත්, ඔරිජිනල් ම කොම්පියුටරයිස් තාක්ෂණ උපකරන බිහි කිරීමත් සිද්ධවෙලත් දැන් දශක කිහිපයක් ගෙවිල ගිහිං ඉවරයි.
 
 
 
අපි විතරක් ඉන්දියාවටත් වඩා ආර්ථිකයට කෙලවගෙන ගෙවත්තේ තක්කාලි මිරිස් වගාකරගෙන කන්න කියන පූර්ව වැඩවසම් කෘෂිකර්මයක් ගැන කතා කරනව. ඒ අර වරිග පූට්ටු මතවාදය හින්ද.
 
 
නව යූඇන්පියට අභියෝගාත්මක වගකීම් දෙකක් !


 ඒ හින්ද රනිල් බිහිකරන ගෝලීය ආර්ථිකවාදී සහ දකුණු ආසියානු කලාපවාදී නව යූඇන්පියට අභියෝගාත්මක වගකීම් දෙකක් තියෙනව.

එකක් තමයි මේ කල්පිත (Fictional) වරිග පූට්ටු දේශපාන මතවාදයට ඇතුළ් නොවී ඊට බැහැරකින් ප්‍රයෝගිකවාදී සහ ආර්ථිකවාදී වන නව-නූතන දේශපාලන කතිකාවක් ගොඩනැංවීම සහ ඒ මගින් වරිග පූට්ටු දේශපාලනය අවරෝහනය කර අවලංගුකර දැමීම.

දෙවැන්න කාර්මික විප්ලවයේ සහ තාක්ෂණික විප්ලවයේ ප්‍රතිලාභ හෙවත් නිෂ්පාදනය කරන කාර්මික සහ තාක්ෂණික උපකරණ (Neo Means of Prduction) උපයොගීතාව අනුව රටට තුලට කැන්දන් ඒමට රට විවෘත කරන නව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් නැවත ජනගත කිරීම.
 
 
ඒ හින්ද රනිල් තම උරහිස් මත්තේ තියෙන වගකීම සහ අභියෝග නිවැරදිව හඳුනාගත යුතුයි. ගෝලීය ධනවාදය රට තුළට කැන්දන් ඒමටත්, එය දකුණු ආසියානු කලාපීය සහයෝගීතාවක් පදනමෙහි පිහිටා සිදුකිරීමටත් දිගින් දිගට ම වැඩ කළ යුතුයි.
 
 
උදාහරණයක් විදිහට යුරෝපයට තනි මුදල් ඒකකයක් ගෙන ඒමත් සමඟ වසරකට ඉතුරුවන මුදල් ප්‍රමාණය වැනි දේ සැලකිල්ලට ගත යුතුයි.

ඒ සලකා ඉන්දියාව මුල්කරගෙන දකුණු ආසියානු කලාපීය රටවලට තනි මුදල් ඒකකයක් ගෙන ඒම වැනි තවත් ප්‍රවර්ධනාත්මකද මූල්‍යාර්ථික සංකල්ප මතුකරන නව කලාපීය කතිකාවන් බිහිකිරීමත්, රටතුළින් දේශිය වශයෙන් බිහිවන ගෝලීය මට්ටමේ කතිකා සහ නව-නිපැයුම් නිෂ්පාදන ගෝලීයගත කිරීමටත්, කොදෙව්ව තුළ ඉන්න පුරවැසියන්ගේ, ගම්වැසියන්ගේ සහ මූකලන් වැසියන්ගේ අධ්‍යාපන පද්ධතියට ගොලීය ආර්ථිකයක් තුළ ජාතික රාජ්‍යයයක් වැඩ කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රායෝගික දැනුම සහිත කතිකා ඇතුළ් කිරීමටත්, ගෝලීය ආර්ථිකය හා යාදෙන නව-ගෝලීයවාදී විවෘත ආර්ථිකයක් හා ඊට සමාන්තර නව-ගෝලීයවාදී දේශීය ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුයි.

එක එක කාලෙට තොරොම්බල්කාරයන්ට පොදු අපේක්ෂකයින් ලෙස පක්ෂෙ ඇතුළෙ කරක්ගහන්න දෙන දේශපාලන පිලිවෙත අතහැර යුතුයි. තමන් රටේ විධායක ජනාධිපති ධූරයට සුදුසු බව සියල්ලට ම ඒත්තු ගන්වන දේශපාලනයක් හෙවත් ඔරිජිනල් නව ජේ.ආර්.වාදී යූඇන්පී දේශපාලනයක් ආරම්භ කළ යුතුයි.

 
රනිල්ට මේක කරන්න පුළුවන්. ඔරිජිනල් යූඇන්පීකාරයින් ඊට රනිල්ට බල කළ යුතුයි.

Sri Lanka’s ousted prime minister Ranil Wickremesinghe speaks at a protest against his removal in Colombo. Photograph: Ishara S Kodikara/AFP/Getty

හිතවත් පුරවැසියනි, ගම්වැසියනි, මූකලන් වැසියනි,

ගෝලීය ආර්ථිකයට යාවන ජාතික ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් රනිල් ජනපති වුණොත් විතරයි කියල පුරවයන් පුරා, ගම් දනව් පුරා, හැම මූකලානයක් පුරාම කියමින් සංවිධාන කටයුතු අරඹන්නටයි කාලය පැමිණ තිබෙන්නේ.

රනිල් කියන පුද්ගල ව්‍යූහය ගැන ඔය ඇත්තො විශ්වාස කරන කයි කතන්දර අතහැරල, රනිල් ගැන රටේ බොරු දේශප්‍රේමී වූ 1956ට දාව උපන් වරිග පූට්ටුකාරයින් කනට දාන වරිගවාදී කතා බැහැර කරල, රනිල් ගැන කලාපීය සහ ගෝලීය ආර්ථික උගතුන් සහ බුද්ධිමය ශාස්ත්‍රඥයින් කියන දේවල් හොයල බලන්න.

තවදුරටත් කළ යුත්තේ තම අවසන් ඔප්ෂන් එක තෝරගැනීමද වරිගපූට්ටුකාරයින් ගොඩනගන නව බඩගින්නට මුහුණදීමද කියල හිතල බලග තීරණයක් ගන්න.
 
එහෙම නැත්තං ඔහෙලටත් වෙන්නේ, සමගි-වරිග සන්ධානයෙන් හෝ බොහෝවිට රාජපක්ෂ වරිග පූට්ටුවෙන් එන හේමා ප්‍රේමදාස මොඩල් කෙනෙකුට ආර්යාව කිය කියා ඉන්දියාවට හූල්ල හූල්ලා බඩගින්නේ ඉන්න!
 
 
 
දොස්තොව්ස්කි කියන ශ්‍රේෂ්ට රුසියානු ලේඛකයා කිව්වා, සමහරු බුද්ධියෙන් හිතල මතල අනතුර වෙන්න කලින් ඉගෙන ගන්නවා සහ තවත් සමහරු කෙලවාගෙන ඉගෙන ගන්නවා කියල. මට පේන විදිහට මේ රටේ පුරවැසි ගම්වැසි මූකලන් වැසියෝ කෙලවාගෙනත් ඉගෙන ගෙන නැහැ.
 
 
 
ආසාව ඒක නම්, ඒක ම කර කර ස්වයංව විනාශ වෙන්න!

ආසාව ඒක නෙවෙයි නම් රට ගෝලීයව ගොඩනගන දේශපාලනය සොයා යූඇන්පිය වටා රොද බඳින්න.

ලබන සඳුදාත් හම්බ වෙනකං

මීට ලෙන්ගතු,
රටට පාරක් කපන,

විසංකාරයා


(සංවාදයට විවෘතයි )
 

Leader Whats app


 
 
 
 
වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip

 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්