මෙම මස 30 දින සේවා කාලය අවසන් වන වත්මන් මහ බැංකු අධිපති විසින් ජූලි මස 01 දින සිට නැවත වසර 6 ක නව සේවා කාලයම පුරා මහ බැංකු

අධිපති ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස දෙකක් සේවය කොට නික්ම යාමට නම් මෙම තනතුර භාර නොගන්නා බවත්, පසුගිය 17 දින බීබීසී මාධ්‍යය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කළ බව මාධ්‍යය විසින් වාර්තා කොට තිබිණ.

එසේම, ඔහු විසින් ඉතා කෙටි කාලයකින් ආර්ථිකය ස්ථායිකරණය කළ බැවින් ඔහු නැවතත් වසර 6 ක නව සේවා කාලයක් සඳහා පත් කළ යුතු බවට දේශීය සමාජ මාධ්‍ය රැල්ලක් ද පැතිරී ඇත. මෙම සමාජ මාධ්‍ය පෙරමුණෙහි බැංකු තැන්පතු හිමියන් සහ සමහර දේශපාලන නායකයන් විශේෂයෙන් දැකිය හැකිය.

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ මේ දක්වා මාස දෙක හමාරක් පමණ වූ ඔහුගේ සේවා කාලය තුළ ඔහු විසින් කළ සහ කී දේවල් සහ ඒ හේතු කොට 2021 අවසාන කාර්තුවේ සිට අර්බුදයෙන් පෙළෙමින් පැවති ආර්ථිකය සහ පොදුජනයා තවත් බංකොලොත් තත්ත්වයට පත් කළ බවට අදාළ සාක්ෂි දෙස බැලීමේ දී, ඔහු තවත් වර්ෂ 6 ක සේවා කාලයක් සඳහා පත් කිරීම සඳහා යෝග්‍ය පුද්ගලකු නොවන බවට ලිඛිත කරනු ඉදිරිපත් කිරීම යි.


මහ බැංකු අධිපති, මුදල් මණ්ඩල සාමාජිකයන් සහ ඉහළ නිලධාරීන් පත් කිරීමේ දී බැංකුවලට අදාළ යෝග්‍යතා පරීක්ෂණය සිදු නොකිරීම:


ශ්‍රී ලංකාවේ බැංකුවක අධ්‍යක්ෂක වරයෙකු හෝ විධායක නිලධාරියකු හෝ ලෙස පත් වීම කළ හැක්කේ බැංකු පනතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත නිර්නායකයන් යටතේ අදාළ පුද්ගලයාගේ යෝග්‍යතාවය පරික්ෂා කොට මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකගේ ලිඛිත අවසරය ලබා ගැනීමෙන් පසුව ය.

ඊට හේතුව, බැංකු ව්‍යාපාරික කටයුතු සඳහා අන් අයගේ මුදල් (තැන්පතු සහ කොටස් හිමියන්ගේ) භාවිතා කරනු ලබන බැවින් එම ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කරනු ලබන බැංකු නිලධාරීන් ඉතා ඉහළ අවංක සහ විශ්වාසනීය භාවයකින් හෙබි පුද්ගලයන් විය යුතු බැවිනි.

 

එහෙත්, මහ බැංකුවේ ව්‍යාපාරික කටයුත්ත වනුයේ රාජ්‍ය මුදල් මුද්‍රණය, එහි සංසරණය හැසිරවීම සහ එහි කොටසක් ලෙස බැංකු නියාමනය කිරීම වුව ද, මහ බැංකු නිලධාරීන් පත් කිරීමේ දී එවැනි නිර්නායකයන් මත යෝග්‍යතාවය පරික්ෂා කිරීමක් සිදු නොවීම අභාග්‍යයකි.

 

JohnExter

මහ බැංකු නිර්මාතෘ ජෝන් එක්ස්ටර්

 

2017 දී මා විසින් ඒ සඳහා බැංකු පනතේ නිර්නායකයන් අනුගමනය ලෙසට කරනු ලැබූ යෝජනාවට එකඟ මුදල් මණ්ඩලය විසින් එම නිර්නායකයන් මහ බැංකුව තුළ ද අනුගමනය කිරීමට තීරණය කළ ද එය තවමත් ක්‍රියාත්මක වී නොමැති බව පෙනේ.

මහ බැංකු නිර්මාතෘ ජෝන් එක්ස්ටර් මහතා විසින් තම වාර්තාවේ දක්වා ඇත්තේ මහ බැංකු අධිපති ලෙස පත් කෙරෙන පුද්ගලයා අවංකභාවය සහ වගකීම් දැරීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැගිය නොහැකි කෙනෙකු (A man of unquestioned integrity and responsibility) විය යුතු බව යි.

විශ්වාසනීයත්වයක් නොමැති බවට ලිඛිත සාක්ෂි පැවතිය ද, එවැනි පුද්ගලයන් මහ බැංකු ඉහළ තනතුරුවලට පත් කිරීම මෙන්ම මහ බැංකුවේ අඛණ්ඩ සිදු වන ජාතික ආර්ථික ප්‍රතිපත්ති සහ මූල්‍ය අක්‍රමිකතාවන් පිළිබඳ වාර්තාවන් සහ මහ බැංකුව විසින් විදේශ මුදල් සංචිතය සහ රාජ්‍ය ණය අවකළමනාකරණය කිරීම තුළින් වත්මන් ආර්ථික අර්බුදය හට ගැනීමේ සුලමුල දෙස බලන විට මහ බැංකු නිලධාරීන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ යෝග්‍යතා පරීක්ෂණ නිර්ණායකයක් මුදල් ඇමති විසින් වහාම නියම කිරීම අත්‍යවශ්‍ය වෙයි.

එසේම, වත්මන් මහ බැංකු අධිපති සහ මුදල් මණ්ඩල සාමාජිකයන් විසින් මේ දිනවල පාර්ලිමේන්තු දේශපාලනික කාරක සභාවන් ඉදිරියේ වෘත්තීය නොවන හැසිරීම දෙස බැලීමේ දී වෘත්තීය මෙන්ම තනතුරු වගකීම් විශ්වාසනීය භාවයක් ඇති පුද්ගලයන් පත් කිරීමේ වැදගත්කම පැහැදිලි වෙයි.

නව සේවා කාලයක් සඳහා වත්මන් මහ බැංකු අධිපතිගේ අයෝග්‍යතාවය:



වත්මන් මහ බැංකු අධිපති නැවතත් වසර 6 ක සේවා කාලයක් සඳහා පත් කිරීමට නුසුදුසු පුද්ගලයෙකු බවට පහත දැක්වෙන ලිඛිත සාක්ෂි  මගින් තහවුරු කරන අතර මෙම සාක්ෂි බොහොමයක් මා විසින් වත්මන් මහ බැංකු අධිපතිගේ ක්‍රියාකාරකම් පිළිබඳ ව මෙම වෙබ්අඩවියේ පළ කරන ලද ලිපි රාශියක විස්තරාත්මකව ඉදිරිපත් කොට ඇත.


(01) -

 අප්‍රේල් 8 දින වෙළෙඳපොළ මත පදනම් වූ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්ති සම්මතයන් කඩ කරමින් 7% කින් මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම හේතු කොට රජය සහ පෞද්ගලික අංශය වත්මන් අර්බුදය තුළ තවත් බංකොලොත් භාවයට ඇද දැමීම :


එදින පැවති මාධ්‍ය හමුවේ දී ඔහු විසින් පැවසුවේ එසේ පොලී අනුපාතයන් ඉහළ දැමීම මුදල් මණ්ඩල සාමාජිකයන්ට ඉතා පහසු දෙයක් බව යි. ඔහුගේ අති මූල්‍ය වාදී වෘත්තීය සහෘදයෙකු දැක්වූයේ මහ බැංකු පොලී අනුපාතය තවත් 25% දක්වා ඉහළ දැමිය යුතු බව යි.

උද්ධමනය පාලනය කිරීම සඳහා මෙසේ පොලී අනුපාතයන් ඉහළ දැමූ බව ප්‍රකාශ කළ ද, ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගත් ගෝලීය සැපයුම් අවහිරතාවන් සහ ශ්‍රී ලංකාවේ මහ බැංකු විදේශ සංචිත හිඟය තුළින් හට ගෙන ඇති උග්‍ර ආනයන හිඟය සහ 80% ක් පමණ විනිමය අනුපාතය අවප්‍රමාණය/ඉහළ යාම තුළින් හට ගෙන ඇති වත්මන් අධි උද්ධමනය පොලී අනුපාතයන් ඉහළ දැමීම මගින් පාලනය කළ නොහැකි බව සාමාන්‍ය දැනුමකි. එසේම, උද්ධමනය පාලන කිරීමේ ඉලක්කය මත මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන මුදල් නීති පනතේ අඩංගු නොවේ.


(02) - 
අප්‍රේල් මස 12 දින පාර්ලිමේන්තුවේ නිසි අවසරයක් නොමැතිව ව්‍යවස්ථාපිත රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් රාජ්‍ය විදේශ ණය සේවාකරණය පැහැර හැරීමෙන් ගෝලීය ආර්ථිකය තුළ සමස්ත ආර්ථිකය තවත් බංකොලොත් කිරීම:


(03) - 
විචක්ෂණකාරී නොවන ක්‍රමවේදයන් හරහා බැංකු ව්‍යාපාරික පරිචයන්ට එරෙහිව බැංකු තැන්පතු පොලී අනුපාතයන් ක්ෂණිකව ඉහළ දැමීමට බැංකු වෙත බලපෑම් කිරීම:

මෙහිදී, බැංකු ස්ථාවර තැන්පතු හිමියන් විසින් පෝලිම්වල සිට තම තැන්පතු අවලංගු කොට ඉහළ පොලී අනුපාතයන් මත නව තැන්පතු ඇරඹීම හේතු කොට බැංකු අරමුදල් පිරිවැය සහ නව ණය පොලී අනුපාතයන් හදිසියේ ඉහළ යාම තුළින් ආර්ථිකයේ පද්ධති මූල්‍ය අවදානම ඉහළ ගිය ද වත්මන් මහ බැංකු අධිපති කෙරෙහි බැංකු තැන්පතු හිමියන්ගේ ප්‍රසාදය ඉහළ ගොස් ඇත. බැංකු තැන්පතු පොලී අනුපාතයන් ඉලක්ක කොට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්ති උල්ලංඝණය කි.


(04) - 
වත්මන් ආර්ථික අර්බුදයට හසු වී බංකොලොත් වී ඇති බැංකු ණය කරුවන්ට කිසිම සහනයන් ලබා දිය නොහැකි බව කිසිම අධ්‍යනයකින් තොරව ප්‍රකාශ කිරීම :

ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ එවැනි සහනයන් තැන්පතු හිමියන්ට පාඩු හරහා ලබා දිය යුතු බව යි. එය අසත්‍ය ප්‍රකාශයක් වන අතර මෙය ද ඔහු වටා තැන්පතු හිමියන් රැස් වීමට හේතුවක් වී ඇත.


(05) -  
පසුගිය මැයි මස 12 සහ 13 දින වාණිජ බැංකු විසින් අන්තර් බැංකු වෙළෙඳපොළ ඩොලරය රුපියල් 360 මත රුපියල් 2.60 ක පරාසයක විනිමය අනුපාතයන් තීරණය කළ යුතු බවට කරන ලද නීති විරෝධී සහ ව්‍යාජ මාර්ගෝපදේශ විධානය:


එමගින්, බැංකු විනිමය අනුපාතයන් කෘතීම ලෙස 3% කින් පහළ ගිය අතර එය මහ බැංකු අධිපතිගේ අනගි කාර්යසාධනයක් ලෙස දේශපාලනික මුහුණුවරක් සහිත සමාජ මාධ්‍ය රාවයක් ව්‍යාප්ත වී ඇත. බැංකු පද්ධතියේ ක්‍රියාකාරී විනිමය වෙළෙඳපොළක් සහ නියම කරන ලද මට්ටමක වෙළෙඳපොළ විනිමය අනුපාතය පවත්වා ගෙන යාම සඳහා මහ බැංකු ද්‍රවශීල විදේශ මුදල් සංචිතයක් නොමැති බැවින් මෙය ව්‍යාජ විනිමය අනුපාත විධානයක් වන අතර එය ඊට පෙර මාර්තු මස 8 දින දක්වා පවත්වා ගෙන ගිය ඩොලරය රුපියල් 200 විනිමය අනුපාතයට නොදෙවෙනි එකකි.

එහෙත්, පසුගිය 6 දින පුවත්පත් නිවේදනයක් නිකුත් කොට නව විනිමය අනුපාත මාර්ගෝපදේශය හේතු කොට විනිමය වෙළෙඳපොළ ස්ථායී වී විදේශ මුදල් ප්‍රේෂණ ඉහළ යාම සහ කළු කඩ වෙළෙඳපොළ අධෛර්යමත් වීම ඇතුළු යහපත් ප්‍රතිඵල රැසක් ලැබී ඇති බව ප්‍රකාශ කරමින් මහජනයා නොමඟ යවන තොරතුරු ප්‍රසිද්ධ කොට ඇත.


(06) - 
අප්‍රේල් මස 8 දින පැවති මාධ්‍ය හමුවේ දී ආර්ථිකයේ අධි උද්ධමනකාරී තත්ත්වයට හේතුව නූතන මූල්‍ය න්‍යාය පිළි පදිමින් මුදල් මුද්‍රණය කිරීම බවට හිටපු මහ බැංකු අධිපතිවරුන්ට දෝෂාරෝපණය කොට මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම අඩු කොට ස්වාධීනව මුදල් මුද්‍රණය පහළ දමා උද්ධමනය පාලන කරන බව ප්‍රකාශ කළ ද මුදල් නීති සහ උද්ධමන පාලන මූල්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් මුදල් මුද්‍රණය ඉහළ දැමීම:


එහෙත්, ඔහු විසින් මුදල් නීති පනත උල්ලංඝණය කරමින් පෙර පරිදි වෙන්දේසිවලින් පිට මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම ඉහළ දමා ඇති අතර මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පිට භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව වෙත නිකුත් කොට රජයට ණය දීම සඳහා මුදල් මුද්‍රණය කිරීමේ නව නීති විරෝධී ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. අප්‍රේල් මස 8 දින සිට මේ දක්වා මුල් ක්‍රමය යටතේ රුපියල් බිලියන 196.4 ක් පමණ මුද්‍රණය කොට ඇති අතර නව ක්‍රමය යටතේ රුපියල් බිලියන 183 ක් පමණ මුද්‍රණය කොට ඇත.

මෙම අර්බුදකාරී අවස්ථාවේ මුදල් මුද්‍රණය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ මුදල් මණ්ඩලයට අවසර ඇති අතර එය මහ බැංකුවේ විවට වෙළෙඳපොළ කටයුතු සහ තාවකාලික අත්තිකාරම් හරහා සිදු කළ යුතුය.

එබැවින්, මෙවැනි ඍජු ලෙස රජයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් උල්ලංඝණය කිරීමක් වන අතර ඔහු විසින් තම පළමු මාධ්‍ය හමුවේ දී උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් මුද්‍රණය ස්වාධීනව අඩු කරන බවට ජනතාවට දුන් පොරොන්දුව ද අමු අමුවේ කඩ කිරීමකි.


(07) - 
නීති විරෝධී ක්‍රියාවක් වන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතයක් වන නිත්‍ය තැන්පතු අනුපාතය පවත්වා ගෙන යාම:


එය ආර්ථිකයේ ණය ව්‍යාප්තියට ද හිතකර නොවේ. ඊට හේතුව, බැංකු විසින් පහළ පොලී අනුපාතයන් මත තැන්පතු රැස් කර ගෙන එම මුදල් මහ බැංකුවේ තැන්පත් කොට දෛනිකව අවදානම් රහිත පොලී ආදායමක් ලබා ගන්නා බැවිනි.

උදාහරණ ලෙස දැනට එම පොලී අනුපාතය 13.5% ක් වන අතර බොහෝ බැංකුවල වාර්ෂික ස්ථිර තැන්පතු පොලී අනුපාතයන් ද 11%-12% පමණ වෙයි.

එසේ පොලී ගෙවීම සඳහා මහ බැංකුව විසින් වාර්ෂිකව රුපියල් බිලියන ගණනක මුදල් මුද්‍රණය කරන අතර පසුගිය වර්ෂ දෙක තුළ පමණක් රුපියල් බිලියන 12.4 ක් මුද්‍රණය කොට ඇත.

එබැවින්, බැංකු මුදල් වෙළෙඳුන් විසින් තම අරමුදල් මහ බැංකුවේ තැන්පත් කොට පොලී ලබා ගන්නා අතර මහ බැංකුවේ පොලී රහිත දින තුළ ණය පහසුකම යටතේ රුපියල් බිලියන ගණනක අරමුදල් ලබා ගෙන රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳාම ඇතුළු මුදල් වෙළෙඳපොළ ව්‍යාපාරික කටයුතු කරන බව දැකිය හැකිය.

එසේම, මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූල නොවේ.


(08) -
 රජයට ලාභ ප්‍රේෂණය නොකොට මුදල නීති පනත උල්ලංඝණය කරමින් එම ලාභ මහ බැංකු ප්‍රාග්ධනයේ රඳවා ගැනීම:


2021 වර්ෂයේ මහ බැංකු ලාභයෙන් රජයට හිමි විය යුතු රුපියල් බිලියන 27 ක පමණ මුදලක් රජයේ මූල්‍ය ගැටළු ද නොසලකා මහ බැංකුවේ ප්‍රාග්ධන සංචිත ලෙස තබා ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන් අනුව ගණනය කරන ලද ලාභයෙන් රුපියල් බිලියන 84 ක් පමණ ප්‍රාග්ධනයට වෙන් කොට ඇති අතර මෙම රුපියල් බිලියන 27 ඊට අමතරව වෙන් කොට ඇත.

එබැවින්, 2021 වර්ෂයේ මහ බැංකුව ලැබූ රුපියල් බිලියන 158 ක් පමණ වූ ශුද්ධ ලාභයෙන් රජයට ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් බිලියන 30 ක් පමණි. එසේම, 2021 මහ බැංකු වාර්ෂික වාර්තාවේ මූල්‍ය වාර්තාවට මහ බැංකු අධිපති විසින් අත්සන් තබා නැත.



(09) -  
විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විදේශීය පුරවැසියන්ගෙන් නීති විරෝධී ලෙස විදේශ මුදල් ආධාර අයැදීම:



මහ බැංකු අධිපති ලෙස පත් වූ සතියේම පොලී අනුපාතයන් 7% කින් ඉහළ දැමීම සහ විදේශ ණය සේවාකරණය පැහැර හැරීමෙන් පසුව ගන්නා ලද ඊළඟ තීරණය වූයේ ඖෂධ වැනි පොදුජනයාට අත්‍යාවශ්‍ය ආනයන සඳහා උපකාරී වීම පිණිස විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ මුදල් ආධාර ඉල්ලා සිටීම යි. එම අයැදීම දින කිහිපයකට පසුව විදේශීය පුරවැසියන් ද ආවරණය වන පරිදි පුළුල් කරන ලදි.

එහෙත්, මහ බැංකුවේ ව්‍යවස්ථාපිත කාර්යයන් සඳහා මෙසේ මුදල් ආධාර භාර ගැනීමට හෝ ආධාර සැපයීමට මහ බැංකු අධිපති වෙත මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් නොමැත.

එබැවින්, මෙය මුදල් නීති පනත උල්ලංඝණය කිරීමකි. එසේම, මාස දෙක හමාරක කාලයක් තුළ එම අයැදුම මත ලැබී ඇති ආධාර මුදල ඩොලර් 82,410 ක් පමණ වන සුළු මුදලක් වීමෙන් ඔහුට එවැනි ජාත්‍යන්තර පිළි ගැනීමක් නොමැති බව පැහැදිලි ය.

එහෙත්, මෑතක දී ඔහු විසින් විදේශ සේවක ප්‍රේෂණ ආකර්ෂණය කර ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදලින් දිරිදීම අසාධාරණ බවත්, මෙරට සිටින යැපෙන්නන් සඳහා එම ප්‍රේෂණ නිල මූලයන් හරහා එවීම විදේශ සේවා නියුක්තිකයන්ගේ වගකීම බවත් ප්‍රකාශ කරන ලදි.

එයට සමාජ මාධ්‍ය හරහා විදේශ සේවා නියුක්තිකයන්ගේ අප්‍රසාදය පළ වූ අතර ඊට දින කිහිපයකට පසුව අදාළ ඇමතිවරයා විසින් විදේශ ප්‍රේෂණ දිරිදීම් පැකේජයක් ඉදිරිපත් කරන ලදි.

එබැවින්, ඔහු විසින් විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති භාවිතා නොකොට නීති විරෝධී මුදල් ආධාර අයැදීම සිදු කොට ඇත.



(10) -  
මහ බැංකු අධිපති තනතුර භාර ගෙන මාසයකින් පසුව, එනම් මැයි 11 දින, රටේ ඇති වූ හදිසි දේශපාලනික අර්බුදය ගෙන හැර දක්වමින් ඉදිරි සති දෙක තුළ රජය විසින් දේශපාලනික ස්ථායිතාවයක් ඇති නොකළ හොත් තමා තනතුරෙන් ඉල්ලා අස්වන බවට මාධ්‍ය හමුවක් පවත්වමින් රජයට තර්ජනය කිරීම:
 
 
 
 
මෙය ඉතා මහජන වගකීම් රහිත ප්‍රකාශයකි. එම අවස්ථාවේ පැවති දේශපාලනික තත්ත්වය මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීම සඳහා කිසිම බලපෑමක් නොවීය. එම අවස්ථාවේ පූර්ණ බලැති ජනාධිපති කෙනෙකු සහ පාර්ලිමේන්තුවක් පැවතින. එම අවස්ථාවේ හට ගත්තේ හුදු සමාජීය උද්ඝෝෂණයක් තුළින් ඇති වූ අන්තර් කාලීන තත්ත්වයක් පමණි.

ඕනෑම අර්බුදකාරී අවස්ථාවක මහ බැංකුවේ මුදල් සංසරණ කාර්යය පවත්වා ගැනීම සඳහා මහ බැංකුවක ශක්තිමත් කළමනාකරණය අවශ්‍යය.

එවැනි අවස්ථාවක, මහ බැංකු අධිපති තනතුරේ කටයුතු කිරීමට කිසිම පුද්ගලයෙකුට නොහැකි බව දක්වමින් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ වගකීම් විරහිත බව ඔප්පු වන අතර බැංකු අර්බුදයක් පවා හට ගැනීමට ඉඩකඩ පැවතින. පසුව වාර්තා වූ තොරතුරු දෙස බැලීමේ දී ඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලැබූවේ දේශපාලනික වාසි පතා බව පැහැදිලි වෙයි.



(11) -  
පසුගිය 25 දින කෝප් සභාවේ දී 2020 අප්‍රේල් මාසයේ දී IMF ණය වැඩසටහනක් ලබා ගැනීමට නොහැකි වූයේ එවක IMF කොන්දේසිය වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය අකමැති වීම නිසා බව ඔහු විසින් දැක්වුව ද, එවැනි කොන්දේසියක් සකසා IMF ණය වැඩසටහනක් ලබා ගැනීම කඩාකප්පල් කිරීමට ඔහු විසින් එවක මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස IMF ණය වැඩසටහන් භාරව ක්‍රියා කිරීමේ දී කටයුතු කළ බවට සැකයක් මතු වීම:


ඊට හේතු ලෙස එම අවස්ථාවේ IMF ණය පහසුකම් ගෝලීය කොරෝනා වසංගතයට මුහුණ දීම පිණිස සීග්‍ර මූල්‍යකරණ මෙවලම සහ සීග්‍ර ණය පහසුකම යටතේ එවැනි කොන්දේසි නොමැතිව රටවල් 90 කට පමණ ඩොලර් බිලියන 171 ක පමණ හදිසි ණය සැපයීම, එම රටවල් අතර ශ්‍රී ලංකාවට වඩා උග්‍ර ණය බරින් පිරි දුප්පත් රටවල් සිටීම, හිටපු මහ බැංකු අධිපති වරයකු වන කුමාරස්වාමි විසින් ණය ප්‍රතිව්‍යුහගතකරන කොන්දේසියක් 2020 දෙසැම්බර් මස නොතිබූ බැවින් එකල ණය අයදුමක් කළා නම් IMF ණය වැඩසටහනක් ලබා ගැනීමට පහසුවෙන් හැකියාව තිබු බව මෑත දී ප්‍රකාශ කිරීම සහ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ණය තිරසාර භාවයක් නොමැති බවට ගැටළුව 2022 මාර්තු මස නිකුත් කළ IMF ආර්ටිකල් IV උපදේශන වාර්තාවේ සඳහන් වී තිබීම දැක්විය හැකිය.

ඔහු විසින් මෙම 17 දින බීබීසී සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී වේලාසනින් ණය ප්‍රතිව්‍යුහගත කොට IMF ණය වැඩසටහනක් ලබා ගත්තා නම්, වත්මන් අර්බුදයෙන් පෙළීමට සිදු නොවන බව ප්‍රකාශ කොට ඇත. මෙය හුදෙක් දේශපාලනික ස්වරූපයේ චෝදනාවකි.

එහෙත්, මහ බැංකුවේ විදේශ සංචිතය සහ විනිමය අනුපාතය 2020 දෙසැම්බර් දක්වා දශකයකට ආසන්න කාලයක් ඔහුගේ ඍජු පාලනය යටතේ පැවති බැවින් හුදෙක් ඩොලර් බිලියනයක හෝ දෙකක පමණ IMF ණය වැඩසටහනකින් මෙවැනි ඓතිහාසික කොරෝනා ගෝලීය සැපයුම් ජාල අවහිර අර්බුදයක දී ආර්ථික ස්ථායීකරණයක් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ ඉහළ විදේශ මුදල් පද්ධති අවදානමක් ආර්ථිකයේ පැවති බව නොරහසකි.

ඒ බව මීට පෙර 16 වතාවක් කළා මෙන් IMF ණය මුදලක් ලබා ගෙන මෙවර ද ආර්ථිකය නැවත ස්ථායී කළ හැකි බවත්, ඉන් ඵලයක් නොවන බවත් ඔහු විසින් මෑත දී සමුළුවක දී කළ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.




(12) -  
පසුගිය පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම්වල දී වත්මන් ආර්ථික අර්බුදයට දායක වූ හේතු පිළිබඳ ව හිටපු රජයේ සහ මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට චෝදනා කිරීම:



එහෙත්, 2020 අවසානය දක්වා ඔහු ද දශකයක පමණ කාලයක් ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කාර්යයේ යෙදුන අතර 2017 අවසානයේ සිට ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස අධිපති බලතල සහිතව ක්‍රියා කොට ඇත. මෙහි දී, විදේශ සංචිතය සහ විනිමය අනුපාත කළමනාකරණය, IMF ණය වැඩසටහන් ලබා ගැනීම, ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුන්, රජයට අයවැය උපදෙස් දීම සහ මුදල් මණ්ඩල උපදේශනය ඔහුගේ අධීක්ෂණ මත සිදු වී ඇත.

මෙහි දී, සියළු රාජ්‍ය නිලධාරීන්ට පවතින තත්ත්වයන් සහ තොරතුරු මත පදනම් වී තීරණයන් ගැනීමේ නෛතික අභිමතය පවතින බැවින් නිසි පරීක්ෂණ දත්ත නොමැතිව දේශපලනික න්‍යාය පත්‍රයන් තුළ එම නිලධාරීන්ට පශ්චාත් චෝදනාවන් එල්ල කිරීම මහ බැංකු අධිපති තනතුරකට යෝග්‍ය ක්‍රියාවක් නොවේ.

එසේම, ජනාධිපති වරයා විසින් 2020 ජුනි මස 16 දින කොරෝනා අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වෙනත් රටවල මහ බැංකු මෙන් යෝග්‍ය මූල්‍ය/ණය ප්‍රතිපත්ති නොගැනීම පිළිබඳ ව ඔහු ඇතුළු මහ බැංකු ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළ අතර ඊට පසුදිනම ප්‍රතිපත්ති රාශියක් කඩිනමින් ක්‍රියාත්මක කළ බව වාර්තා විය.

එහෙත්, ඔහු විසින් මහ බැංකුව බොහෝ කාර්යයන් කළ බවත්, ජනාධිපති වරයා විසින් යම් පුද්ගලයන්ගේ බහට මුලා වී මහ බැංකුවට චෝදනා කළ බවටත් සමාජ මාධ්‍යය හරහා දෝෂාරෝපණයක් මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති තනතුරේ සිටම එල්ල කරන ලදි.

එම ජනාධිපතිවරයා විසින්ම එම පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා නැවත මහ බැංකු අධිපති තනතුරට පත් කළ බවට පුවත දුටු මම විශ්මිත වූ බව ද, එබැවින්, එතැන් සිටම ඔහුගේ ප්‍රතිපත්ති සහ මාධ්‍ය ප්‍රකාශනයන් පිළිබඳ ව මා විසින් ආර්ථික ප්‍රතිපත්ති සංදර්භයක් තුළ අඛණ්ඩව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ බව ද මෙහි දී සඳහන් කරමි.



(13) -  
ව්‍යවසායක මණ්ඩල සමුළුවක දී පකිස්ථානය මෙන් ශ්‍රී ලංකාවේ ද විදේශ ණය මගින් මූල්‍යකරණය කළ ආනයන ආර්ථිකයක් පැවතීම හේතු කොට මෙම ආර්ථික අර්බුදය හට ගෙන ඇති බවත්, අර්බුදය විසඳිම සඳහා අපනයන ආර්ථිකයක් අවශ්‍ය බවත් ප්‍රකාශ කළ ද, තවමත් ඒ පිළිබඳ ව මහ බැංකු නිල ප්‍රතිපත්ති මාර්ගෝපදේශයක් මහජනයා වෙත ඉදිරිපත් කොට නැත.
 
 
 මෙම අපනයන ආර්ථික කතාන්දරය නව අදහසක් නොවන අතර ඊට දින කිහිපකට පෙර අගමැතිවරයා විසින් ද ඉදිරිපත් කොට තිබූ ප්‍රකාශනය තහවුරු කිරීමට කරන ලද එකකි:




(14) -  
වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුවක් වූ ස්වෛරිත්ව බැඳුම්කර මත අධික ලෙස රැඳීම පිළිබඳ ව පසුගිය රජයට චෝදනා කිරීම:


මෙහි දී කිවයුත්තේ 2007 සිට නිකුත් කළ සියළුම ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කිරීමේ තීරණයන් (බැඳුම්කර නිකුතු 14 ක් සහ ඩොලර් මිලියන 17,550 ක්) ගැනීමේ දී ඉහළ මට්ටමෙන් ඔහු ද සහභාගී වූ බව යි. ඒවා නිකුත් කළේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා බව එම නිකුතු ලේඛනවල ද සඳහන් වෙයි.

එහෙත්, සත්‍යය වන්නේ ඒවා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබුවේ තම විදේශ සංචිතය ගොඩ නැගීම සඳහා ය. එසේම, මහ බැංකුව විසින් රාජ්‍ය ණය කළමනාකරු වශයෙන් එම මුදල් උපයෝජනය පිළිබඳ ව කිසිම පසුවිපරමක් හෝ අධ්‍යනයක් සිදු කොට නොමැත.

එසේම, 2012 වර්ෂයේ සිට නිකුත් කරන ලද සියළුම ස්වෛරිත්ව බැඳුම්කර, එනම් බැඳුම්කර නිකුතු 10 ක් සඳහා ඩොලර් මිලියන 14,550 ක් පමණ, සඳහා එවක අධිපතිවරු සමඟ තීරණ ගැනීම (අළෙවිකරණ වැඩසටහනට සහභාගි වීම ඇතුළුව) නියෝජ්‍ය අධිපති ලෙස ඔහු විසින් සිදු කළ අතර 2015 සිට 2019 දක්වා නිකුත් කරන ලද ඩොලර් මිලියන 12,050 ක් පමණ වූ බැඳුම්කර නිකුතු 6 සඳහා පොලී අනුපාතය සහ මුදල් ප්‍රමාණය තීරණයන් ගැනීම ඔහු විසින් සිදු කරන ලද අතර එවක මහ බැංකු අධිපතිවරු හුදෙක් රබර් මුද්‍රාවක් පමණක් විය.

එබැවින්, මෙසේ ඉවක් බවක් නැතිව බැඳුම්කර නිකුත් කිරීමේ ආර්ථික අවදානම් ඔහුට නොතේරීම පුදුමයකි. මීට අමතරව, මහ බැංකු සංචිතය සඳහා ඩොලර් බිලියන ගණනක විදේශ මුදල් හුවමාරු ලබා ගැනීම ද ඔහුගේ මෙහෙය වීමෙන් සිදු විය.




(15) - 
මේ දිනවල දේශපාලන සමාජ මාධ්‍යය විසින් ව්‍යාප්ත කෙරෙන කතාවක් වන්නේ මහ බැංකු අධිපති විසින් චෝදනාවන්ට ලක් වී ඇති භාණ්ඩාගාර බැඳුම්කර පරීක්ෂණයන්ට නොබියව සාක්ෂි සැපයීම හේතු කොට ඔහු මෙම තනතුරින් ඉවත් කිරීමට ක්‍රියා කෙරෙන බව යි:


ඒ පිළිබඳ ව දැනට අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් එම සමාජ මාධ්‍ය තොරතුරු නීති විරෝධී වෙයි.

එම පරික්ෂණයන් තුළින් චෝදනාවන්ට ලක් වී ඇති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුන් සඳහා ඔහුගේ සහභාගිත්වය පිළිබඳ ව ද තොරතුරු එම පරීක්ෂණ වාර්තාවල අඩංගු වන අතර ඉහත දැක්වූ අධිකරණ ක්‍රියාවලියට ගරු කිරීමක් ලෙස එම තොරතුරු මෙහි ඉදිරිපත් නොකරමි.



(16) -  
පසුගිය 17 දින බීබීසී මාධ්‍යය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ දී වගකීම් විරහිත ප්‍රකාශයක් කිරීම:


මෙහි දී, ඔහු ප්‍රකාශ කොට ඇත්තේ තමා නව සේවා කාලය වසර 6 ම සේවය කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස දෙකක කාලයක් සේවය කොට නැවත යන්න නම් තමා මෙම තනතුර භාර ගන්නේ නැති බවත්, රජය සමඟ සාකච්ඡා කර උපදෙස් අරගෙන සවන් දෙන්න පුළුවන් වුව ද, තිරණ ගැනීම තමන්ගේ කාර්යයක් බවත්, මෙය මාස දෙකකින් විසදන්න පුළුවන් තත්වයක් නොවන බව හැමෝටම තේරෙන බවත් ය.

එබැවින්, දේශීය මාධ්‍යය සමඟ නොව බීබීසී මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවක් සැලසුම් කිරීම තුළින් මහ බැංකු ස්වාධීනත්වය ඔසවා ජාත්‍යන්තර මතයක් ඇති කිරීම හරහා තම තනතුර ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ.
 
 
මහ බැංකු ස්වාධීනත්වය සංකල්පය තුළ මාස දෙකක් සේවය කිරීමෙන් පසු නව සේවා කාලය සඳහා වෙනත් පුද්ගලකු මහ බැංකු අධිපති ලෙස පත් කිරීම සාධාරනීකරණය කිරීමට රජයට සිදු වන බැවින් රජය අපහසුතාවයට පත් කොට නව තනතුර ලබා ගැනීමට ඔහු උත්සාහ කරන බව පෙනේ. එබැවින්, ඔහු විසින් එම තත්ත්වයේ වාසිය ගැනීමේ අපේක්ෂාවෙන් මෙම තනතුර භාර ගෙන ඇති බවත්, මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් නොසලකා මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් පැහැදිලි ය.
 
 
එහෙත්, මුදල් නීති පනත සහ එක්ස්ටර් වාර්තාව තුළ මහ බැංකු ස්වාධීනත්වයක් පිළි නොගන්නා අතර මහ බැංකුව යනු රාජ්‍ය වගකීම් ආයතනයක් වන අතර රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ සහයෝගයෙන් සහ සම්බන්ධිකරනයෙන් මහ බැංකු ප්‍රතිපත්ති කලමනාකරණය කළ හැකි මුදල් මණ්ඩලයක් පත් කිරීමට රජයට ස්වාධිපත්වයක් ඇත.

එසේම, වෙළෙඳපොළ ආර්ථිකයන් පවතින සංවර්ධිත රටවල පිළි ගැනෙන මහ බැංකු ස්වාධීනත්ව සංකල්පය සංවර්ධනය වන රටවල අනුගමනය කිරීමක් දැකිය නොහැකිය.

තවද, මුදල් නීති පනත අනුව මුදල් මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ව රජය එකඟ නොවන අවස්ථාවල රජයේ මතය අනුව මුදල් මණ්ඩලය විසින් අනුගමනය කළ යුතු මූල්‍ය ප්‍රතිපත්තිය කුමක් ද? යන්න විධානයන් නිකුත් කිරීමට මුදල් ඇමති වෙත බලතල පවතී.

එබැවින්, මහ බැංකු අධිපති විසින් තමාට නව සේවා කාලයක් ලබා ගැනීම සඳහා නීති විරෝධී ලෙස ජාත්‍යන්තර මාධ්‍යය හරහා රජයට බලපෑමක් කිරීමේ අරමුණින් මෙහි දී අදහස් දක්වා ඇති බව පැහැදිලි ය.

එසේම, මෙම අර්බුදය විසඳිම මාස දෙකකින් කළ නොහැකි බව කිව යුතු දෙයක් නොවූ ව ද, මෙම මාස දෙක හමාර තුළ ඔහු විසින් අර්බුදය විසඳීමට නොව වැඩි කිරීමට පදනම දමා ඇති බව ඉහත දැක්වූ කරුණුවලින් පැහැදිලි වෙයි. එසේම, ඒ සඳහා යෝග්‍ය මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් අනුව කිසිම මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් ක්‍රියාත්මක කොට නැත. එසේ වගකීම් භාර ගෙන අඛණ්ඩව සේවය කිරීමට පැමිණියා නම්, මැයි 11 දින ඉල්ලා අස්වන බවට තර්ජනය නොකරනු ඇත.

එබැවින්, මෙම ලිපියේ දැක්වෙන සාක්ෂි අනුව නව සේවා කාලය සඳහා දේශීය තත්ත්වය තුළ ඔහු යෝග්‍ය නොවන බවට ඕනෑ තරම් කරුණු ඉදිරිපත් කිරීමට රජයට/මුදල් ඇමතිට හැකියාව පවතී.



(17) - 
භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි කිහිපයක් සඳහා ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන ලද ලංසු මිල ගණන් ප්‍රසිද්ධ කිරීම තුළින් මුදල් නීති පනත උල්ලංඝණය කිරීම:



මහ බැංකුවේ මතය අනුව තීරණය කෙරෙන ඵලදා අනුපාතයන් මත ණය රැස් කිරීම සඳහා ප්‍රමාණවත් ලංසු ලැබී නොමැති භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පිළිබඳ ව ප්‍රාථමික වෙළෙඳුන්ට දෝෂාරෝපණය කිරීමේ අරමුණින් මෙම තොරතුරු ප්‍රසිද්ධ කොට ඇත.

මෙසේ ලංසු ඵලදා අනුපාතයන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වනුයේ මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දමා අධික ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමත්, රාජ්‍ය විදේශ ණය සේවාකරණය පැහැර හැරීමත් හේතු කොට හට ගෙන ඇති මුදල් හිඟයත්, උද්ධමනය අඛණ්ඩව ඉහළ යාමත් ය.

පසුගිය දිනක අගමැතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ තෙල් නැවකට මුදල් ගෙවීම සඳහා ඩොලර් සොයා ගත්ත ද, රුපියල් සොයා ගැනීම අපහසු වූ බැවින් තෙල් ගොඩ බෑම ප්‍රමාද වූ බව යි.

නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් තුළ පවතින තොරතුරු මත මිල ගණන් සමපේක්ෂණය කිරීමේ අයිතිය වෙළෙඳුන්ට පවතින බැවින් එසේ තෝරා ගත් ලංසු මිල ගණන් ප්‍රසිද්ධ කිරීම වෙළෙඳපොළ මුලධර්මයන් ද උල්ලංඝණය කිරීමකි.




(18) - 
 ආර්ථිකයේ අරමුදල් හිඟයක් පැවතිය ද මහ බැංකුව විසින් තවත් ද්‍රවශීලතාවය ආර්ථිකයෙන් උකහා ගැනීමට උත්සාහ කිරීම:



පසුගිය 16 දින මහ බැංකුව සතු දින 189, 203, 252 සහ 259 කින් පරිණත වීමට නියමිත භාණ්ඩාගාර බිල්පත් 4 ක් ද්විතීය වෙළෙඳපොළේ අළෙවි කොට රුපියල් බිලියන 25 ක් පමණ එසේ උකහා ගැනීමට උත්සාහ කොට ඇති අතර මහ බැංකුවට හැකි වූයේ 21.9% ක සාමාන්‍ය ඵලදා අනුපාතයක් මත රුපියල් මිලියන 500 ක් පමණක් උකහා ගැනීමට යි.

මේවා ඉහළ මිල ගණන්වලට මිල දී ගෙන ඇති බිල්පත් බැවින් මෙසේ පහළ මිලට අළෙවි කිරීමෙන් මහ බැංකුවට දැරීමට සිදු වන මූල්‍ය අලාභයට  වගකිව  යුතුය.

ඊට හේතුව, බැංකු සහ පෞද්ගලික අංශය දැඩි අරමුදල් හිඟයකට මුහුණ දෙන විට සහ මහ බැංකුව විසින් රජයට ණය සැපයීම සඳහා අඛණ්ඩව මුදල් මුද්‍රණය කරන අවස්ථාවක මෙසේ මහ බැංකුව විසින් තවත් ද්‍රවශීලතාවය ආර්ථිකයෙන් උකහා ගැනීමට ක්‍රියා කිරීමේ සැබෑ අරමුණ කුමක් ද? යන්න ප්‍රශ්නකාරී වන බැවිනි.

එහෙත්, දැනටමත් ආර්ථිකය මුහුණ දෙන අරමුදල් හිඟය හේතු කොට අන්තර් බැංකු ණය වෙළෙඳපොළ දැඩි ලෙස පහළ ගොස් ඇති අතර බැංකුවලට අරමුදල් සැපයීම පිණිස මහ බැංකුව විසින් දෛනිකව රුපියල් බිලියන 700-750 අතර ප්‍රමාණයක් මුද්‍රණය කිරීම දැකිය හැකිය.



(19) - 
 IMF ණය වැඩසටහන මිරිගුවක් බවට පත් වීම:


ඔහු විසින් මහ බැංකු අධිපති තනතුර ලබා ගත්තේ ඔහු සතු ජාත්‍යන්තර සම්බන්දතාවන් මත IMF සීග්‍ර මූල්‍යකරන මෙවලම යටතේ කඩිනමින් ණය මුදලක් ලබා ගෙන ආර්ථිකයේ ස්ථායීතාවය නැවත ඇති කිරීමට ඔහුට හැකියාව පවතින බවට විශ්වාසය ජනාධිපති වරයා තුළ ඇති කිරීමෙනි.

එහෙත්, ඔහුට IMF-ලෝක බැංකු වසන්ත රැස්වීමට සහභාගී වීමේ අවස්ථාව නැවත ලබා ගැනීම හැර IMF සීග්‍ර මූල්‍යකරන මෙවලම් ණයක් ලබා ගැනීමට නොහැකි විය. ණය ප්‍රතිව්‍යුහගතකරන කොන්දේසියක් පැනවීම හේතු කොට සාමාන්‍ය ණයක් ලබා ගැනීමට ද නොහැකි වී ඇත.

එහෙත්, IMF ණය මුදලක් මාස තුනකින් පමණ ලබා ගත හැකි බව ආරම්භයේ දී මාධ්‍යට ප්‍රකාශ කළ ද, ඉහත දැක්වූ බීබීසී සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ණය ලැබීම පිළිබඳ ව කාල රාමුවක් කිව නොහැකි බවත්, එය ද්වි පාර්ශවික සාකච්ඡා මත පදනම් වන බවත්, නිලධාරී මට්ටමේ එකඟතාවයකට ඉක්මනින් පැමිණිය හැකි වුව ද, IMF විධායක මණ්ඩලයේ අනුමැතියට යාම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරන සාර්ථකත්වයක් පෙන්විය යුතු බවත් ය.
 
 
එබැවින්, IMF ණය වැඩසටහන මිරිගුවක් බව පෙනෙන අතර පසුකලෙක ණය මුදලක් ලැබුණ ද, ඒ සඳහා පැනවෙන කොන්දේසි දෙස බලන විට එම ණය මුදලෙන් මෙම ආර්ථික අර්බුදය නිරාකරණයට සැලසෙන සෙතක් නොමැති තරම් වෙයි.
 
 
ගෙවුම් ශේෂ ගැටළු සඳහා ශ්‍රී ලංකාව විසින් 16 වරක් එවැනි කොන්දේසි මත IMF ණය ලබා ගත්ත ද, ආර්ථිකයට සිදු වූ දිගු කාලීන සෙතක් නොමැති බැවින් ආර්ථිකයට දැන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට ද සිදු වී ඇති බව ද මෙහි දී සඳහන් කළ යුතුය. එහෙත්, මෑත කාලීන විශාලම IMF ණය වැඩසටහන් දෙකම (එස්.ඩී.ආර්. මිලියන 2,724 ක් පමණ) ක්‍රියාත්මක කිරීම නියෝජ්‍ය අධිපති ලෙස ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු වී ඇත.

IMF නිර්නායකයන් අනුව ඇමෙරිකාව ද ණය තිරසාර බවක් නොමැති රටක් ලෙස වර්ග කළ යුතු අතර සෑම වසරකම ණය සීමාව ඉක්මවා යාමේ අවදානමට මුහුණ දෙන අතර නව ණය ලබා ගැනීමට නොහැකි වීමෙන් රාජ්‍ය සේවාවන් වසා දැමීමට ද සිදු වූ මෑත කාලීන අවස්ථාවන් පවතී. එබැවින්, තවදුරටත් තනතුර ආරක්ෂා කර ගැනීමේ සුදුසු කමක් ලෙස IMF ණය බලාපොරොත්තුව සැලකිය නොහැකිය.



(20) - 
ආරාධනයක් නොමැතිව මැයි මස 28 දින මුදල් මණ්ඩල සාමාජිකයෙකු සමඟ ජනාධිපති වරයා හමු වී කෙටි කාලයකින් මූල්‍ය අර්බුදය පාලනයටත්, එය යහපත් අතට හැරවීමටත් ඔහුට හැකි වූ බව දක්වා ජනාධිපති වරයා වෙත සදොස් තොරතුරු ඉදිරිපත් කිරීම:

HE letter CBG

ඔහු විසින් ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන IMF, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව ඔහු විසින් ජනාධිපති වරයාට පැවසූ බව ජනාධිපති මාධ්‍ය නිවේදනයේ සඳහන් කොට ඇත.

මෙහි දී කිව යුත්තේ එම සාකච්ඡාවන් පැවැත්වීම සිදු කෙරෙන්නේ රජය විසින් බවත්, ඔහු විසින් ක්‍රියා කළ යුත්තේ ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් නොව අදාළ මහ බැංකු නිලධාරීන්ගේ දායකත්වයෙන් බවත් ය. IMF ණය වැඩසටහන තවමත් නොලැබී ඇති බැවින් ඔහුගේ සාකච්ඡාවල ප්‍රගතියක් ඇති බව දැන්වීම යෝග්‍ය නොවේ.

උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල ඔහු විසින් ජනාධිපති වරයා වෙත පැහැදිලි කළ බව ද එහි දැක්වෙයි.

එහෙත්, පොලී අනුපාතය ඉහළ දැමීම හැර වෙනත් දෙයක් ඒ සඳහා සිදු කොට නොමැති අතර එමගින් උද්ධමනය තවත් ඉහළ යාම සහ ආර්ථිකය තවත් කඩා වැටීම සිදු වී ඇති බව තම නිවස තුළින්ම මෙන්ම ඉන්ධන සපයා ගැනීමට විදේශ මුදල් සංචිත නොමැති බැවින් තෙල් පෝලිම් ඉහළ යාමට අමතරව සති ගණනක් රාජ්‍ය අංශය වසා දැමීමෙන් ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙයි.


මුදල් ඇමති සහ ජනාධිපති වරයා වෙත කෙරෙන උපදේශනය:
 
 
ඉහත දැක්වූ සාක්ෂි අනුව අවංක නොවීම, විශ්වාසනීයත්වය නොමැති බව සහ මහජන වගකීම් නොගැනීම මෙන්ම මෙම කෙටි කාලය තුළ සිදු කොට ඇති මුදල් නීති උල්ලංඝණයන්  පරීක්ෂා කිරීමේ දී වත්මන් අධිපති වසර 6 ක නව නිල කාලයක් සඳහා පත් කිරීමට සුදුසු නොවන පුද්ගලයකු බව සැකයෙන් තොරව සනාථ වෙයි. මුදල් නීති උල්ලංඝණය ඕනෑම අවස්ථාවක අධිපති සහ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ඉවත් කිරීමට කාරණයක් ලෙස මුදල් නීති පනතේ දැක්වෙයි.
 
 
පසුගිය වසර 15 ක පමණ කාලය තුළ මහ බැංකුවේ කාර්යසාධනය සහ නිලධාරීන්ගේ වෘත්තීය භාවය පිළිබඳ ව අඛණ්ඩව මහජන මැසිවිලි නැගීම දැකිය හැකිය. වර්තමාන ආර්ථික අර්බුදය ද මහ බැංකුව විසින් මුදල් නීති මූලධර්මයන් සහ ප්‍රතිපාදනයන් උල්ලංඝණය කරමින් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් බවට විවාදයක් නොමැත.

මහ බැංකු අධිපති යනු මුදල් මණ්ඩලය තුළ ආධිපත්වය සහ මහ බැංකු කළමනාකරණයේ පූර්ණ විධායක බලතල හිමි පුද්ගලයෙකි. මුදල් මණ්ඩලය වෙත ප්‍රතිපත්ති ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගෙන එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත්, මහ බැංකුවේ අභ්‍යන්තර පාලනය ගෙන යාමත් මහ බැංකු අධිපතිගේ මූලික වගකීම යි.

මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ට මහ බැංකුවේ තාක්ෂනික විෂයන් සහ අභ්‍යන්තරික තොරතුරු පිළිබඳ ව නිසි දැනුමක් නොමැති බැවින් මහ බැංකු අධිපති වෙත ඒකාධිපති බලතල සමුදායක් ලැබී ඇත.

එබැවින්, මහ බැංකුවේ සියළු ක්‍රියාකාරකම් අධිපතිගේ උපදෙස් මත හෝ ඔහුගේ මනාපයට උචිත ලෙස සිදු කිරීමට නිලධාරීන් පුරුදු වී ඇති බව රහසක් නොවේ. මහ බැංකු ක්‍රියාකාරකම් පිළිබඳ ව මහජන මැසිවිලි හෝ පරික්ෂණයන් සිදු කෙරෙන විට අධිපතිගේ උපදෙස් අනුව ඒවා කළ බව නිලධාරීන් විසින් සාක්ෂි දෙන්නේ එබැවිනි. එහෙත්, එම සමහර නිලධාරීන්ට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් යටතේ ඍජු බලතල සහ වගකීම් ලැබී ඇත.
 
 
 
එබැවින්, ඉදිරියේ දී මෙම ආර්ථික අර්බුදය නිමවා මහ බැංකුවේ මහජන කාර්යසාධනය තහවුරු කිරීමේ අභිලාෂයක් මුදල් ඇමති සහ ජනාධිපති වරයා වෙත පවතී නම් ඉහත දැක්වූ සුදුසුකම් සහිත පුද්ගලයෙකු මහ බැංකු අධිපති තනතුරට පත් කළ යුතුය. ඊට හේතුව, මහ බැංකු අධිපතිගේ ක්‍රියාශීලී සහයෝගය රජයට නොලැබේ නම් රජයන් පවා කඩා වැටිය හැකි බැවිනි.
 
 
 
මහ බැංකුවේ මහජන/ජාතික කාර්යසාධනය නැවත එසවීමට නම්, මීළඟට පත් වන මහ බැංකු අධිපති විසින් තමා වෙත ලිපි ගොනු සහ පරීක්ෂණ වාර්තාවන් හෝ නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ දී නිරන්තරයෙන් නිලධාරීන්ගෙන් ලිඛිතව ඇසිය යුතු ප්‍රශ්නයන් කිහිපයකි.


# පළමුව, එය අවශ්‍ය ඇයි? එය මහ බැංකු අධිපති වෙත ඉදිරිපත් කරන්නේ ඇයි? එය කුමන නිලධාරීන් විසින් අනුමත කොට ඇත් ද?

# දෙවනුව, එයින් මහ බැංකුවේ අරමුණුවලට හෝ මහජනයාට සැලසෙන සේවය කුමක් ද? ඒ සඳහා කොපමණ කාලයක් යයි ද? එය තහවුරු කිරීමට ඇති දත්ත මොනවා ද?

# තෙවනුව, එයට කුමන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයක් යටතේ අවසර ලැබී ඇත් ද?

# සිවුවනුව, එහි ව්‍යවස්ථාපිත වගකීම කවුරුන් සතු ද?



එසේ නොමැතිව, වර්තමානයේ මෙන් ලිපි ගොනුව නොතේරුන ද, ඒ බව නොපෙන්වා නිලධාරීන්ගෙන් බේරීම සඳහා තම අත්සන යෙදීමෙන් හෝ ලිපි ගොනු එහාට මෙහාට හෝ මුදල් මණ්ඩලයට දැමීමෙන් නව මහ බැංකු අධිපති ද ඉක්මනින් අමාරුවේ වැටෙන අතර මහ බැංකුව යනු රජයට සහ බැංකුවලට අවශ්‍ය විට මුදල් ටිකක් මුද්‍රණය කර ගෙන ලාභ ලබමින් කාටවත් නොතේරෙන ආර්ථික වාර්තාවන් ටිකක් ලියා ගෙන කාලය ගෙවන මළ ආයතනයක් වනු නියතය.

ජාතික මූල්‍ය ප්‍රතිපත්තිය තුළ විදේශ මූල්‍ය ස්ථායිකරණය සඳහා විදේශ මුදල් සංචිතයක් සහ විනිමය අනුපාත කළමනාකරණ හැකියාවක් නොමැති මහ බැංකුවක් නිසැකයෙන්ම අක්‍රීය මහ බැංකුවක් වෙයි.

එසේම, මහ බැංකුවේ ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්තිය, බැංකු නියාමනය සහ විදේශ විනිමය නියාමන ප්‍රතිපත්ති සහයෝගය නොමැතිව රජයට තනිවම මෙම අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි බැවින් මහජන විරෝධයෙන් බේරී ජනතාව ජීවත් කර වීම සඳහා ඉදිරියේ දී විදේශ මුදල් ප්‍රවාහයක් ලබා ගත හැකි ධනවත් රටකට ශ්‍රී ලංකාව උගස් කිරීමට ද සිදු වුව හොත් පුදුමයක් නොවේ.

වර්තමාන දේශපාලනික සහ පාලන පද්ධතියේ පිරිහීම සහ කඩා වැටීම දෙස බලන විට මහජනයා තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා එවැනි විකල්පයකට වුව ද මනාප වනු ඇත.

එබැවින්, රජය විසින් මහ බැංකුව වැනි ජාතික ආර්ථිකයට සහ ජන සමාජයට අතිශයින් වැදගත් වන රාජ්‍ය ආයතනයන් කඩිනමින් වගකීම් විරහිත දැඩි මතධාරින්ගෙන් මුදවා ගෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තුළට ගත යුතුය.

 (වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදු වන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායක වීමේ අරමුණින් මෙම ලිපිය කෙටියෙන් සකසන ලදි.)



2020 දී ශ්‍රී ලංකාවට IMF ණය නොලැබුණේ ඇයි? -(පි සමරසිරි)(පි සමරසිරි)
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 10 ක කතෘ)



(economydiscovery -June 19, 2022)



සබැඳි ලිපියක් :

2020 දී ශ්‍රී ලංකාවට IMF ණය නොලැබුණේ ඇයි? -(පි සමරසිරි)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්