ඉතාලී ජාතික වෙළෙන්දෙකු හා දේශාඨකයෙකු වූ “මාකෝ පෝලෝ” ( ක්‍රිස්තු වර්ෂ  1245- 1324 Marco Polo )7, තවලම්කරුවන් සමඟ ඉතාලියේ සිට චීනය
දක්වා සේද මාවත ඔස්සේ ඇවිද ගොස් තමන් ලැබූ අත්දැකීම් සටහන් තබා ඇත. වර්ෂ 1275 දී ඉතලියේ “වැනිස්” (Venice) නුවර සිට එවකට චීනයේ ප්‍රසිද්ධ වෙළෙඳ නගරක් වූ “ෂැන්ඩු” (Shangdu) වෙත  ගොස්, වැනිස් නගරය වෙත නැවත ලඟා වන්නට ඔහු ගතකල කාලය වසර 24 ක් වූ බව කියැවෙයි. ඒ අනුව එකල ගොඩබිම් සේද මාවත ඔස්සේ සිදුවූ ජාත්‍යන්තර වෙළඳාම කොපමණ දුෂ්කර කටයුත්තක් වන්නට ඇතිදැයි වටහා ගත හැකිය. ඔහුගේ එම ඉතිහාස සටහන් කියැවීමේදී සේද මාවතේ ඉතිහාස කතාව මනාවට චිත්‍රයට නගා ගත හැකිය. 
 
Marco Polo and Writing 635
 
මාකෝ පෝලෝ
 
අරාබි ජාතික දේශාඨකයෙකු වූ ඉබන් බතූතා (ක්‍රි.ව 1304- 1369- Ibn Battuta )8 එලෙස සේද මාවාත ඔස්සේ නැගෙනහිර ලෝකය සොයා සංචාරය කළ තවත් පුද්ගලයෙකි. ඔහු සිය ජීවිත කාලය තුළ ඇවිද ගිය දුර කිලෝමීටර 1,77,000 ලෙස සැලකේ. ඔහුගේ සංචාරයේ විශේෂත්වය වන්නේ වෙනත් ගවේශකයන් ලඟා නොවූ පෙරදිග පිහිටි ඉතා කුඩා දූපත් රාජ්‍ය පවා ඔහුගේ නිරීක්ෂණයට ලක්වීමය.
 
 
පෙරදිග බලා පිටත්වන්නට පෙර ඔහු මැදපෙරදිග හා අප්‍රිකානු රාජ්‍යයන් රැසක සංචාරය කළ බව කියැවෙයි. එහෙයින් ක්‍රිස්තුවර්ෂ 13 වන සියවසේ ජාත්‍යන්තර වෙළඳ මාවත පිළිබඳව, එම මාර්ගයේ පිහිටි සශ්‍රීක වෙළෙඳ නගර පිළිබඳව, රජවරුන්, සිටුවරුන්, වෙළෙන්දන් පිළිබඳව මෙන්ම වහලුන් පිළිබඳව සවිස්තරාත්මකම වාර්තා ලියැවෙන්නේ ඔහු අතිනි. ක්‍රිස්තු වර්ෂ 1344 දී ශ්‍රී ලංකාව වෙතද පැමිණි ඉබන් බතූතා පැරණි ශ්‍රී ලංකාව පිළිබදව වටිනා සටහන රැසක් වාර්තා ගත කොට තිබේ.
 
 
ක්‍රිස්තුවර්ෂ පහළොස්වන සියවසේදී මෙතෙක් කල් සියවස් ගණනාවක් මුළුල්ලේ ගොඩබිමින් ඇදුන සේද මාවතේ හැඩතල වෙනස් වී යයි. ඒ යුරෝපීයයන් ලොව වටා ගමන් කිරීම සඳහා මුහුදු මාර්ග සොයා යාමට උත්සුක වීමත් සමගය. වර්ෂ 1497 දී පෘතුගීසි ජාතික වස්කූ දී ගාමා ( කිස්තු වර්ෂ  1460-1524-Vasco da Gama), පෘතුගාලයේ ලිස්බන් (Lisbon-Portugal) නුවරින් පිටත් වී මුහුදු මගින් විත් ඉන්දියානු කැලිකට් (Calicut - India) වෙරළට ළඟා විය. ඒ අප්‍රිකානු වෙරළටත් මුහුදු මර්ගයෙන් ළඟාවිය හැකි බව තහවුරු කරගැනීමෙන් පසුවය.
 
 
QvrakBn6 400x400 1වර්ෂ 1505 දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝ දී අල්මෙදා ( කිස්තු වර්ෂ  1480-1508 Lorenzo De Almeda) ඇතුලු පිරිස ඉන්දියන් සාගරය තරණය කොට ශ්‍රී ලංකවට ගොඩ බටහ.
 
 
වර්ෂ 1520 වන විට ලොව වටා ගමන් කිරීමට මුහුදු මාර්ග පවතින බව යුරෝපීයයෝ තහවුරු කර ගනිති. ඒ සඳහා පුරෝගාමී වූයේ පෘතුගීසි ජාතික නාවිකයෙකු වූ ෆර්නැන්ඩ් මැගලන් ( කිස්තු වර්ෂ 1480-1521-Ferdinand Magellan) විසිනි. තවදුරටත් බූරුවන් හෝ ඔටුවන් බැඳි තවලම් සමඟ ගිරි දුර්ග, වන දුර්ග, කාන්තාර හරහා සැතපුම් දහස් ගණනක් ගොඩ බිමින් ඇදුන සේද මාවත ඔස්සෙ වර්ෂ ගණන් සංචාරය කිරීමට වුවමනා නොවීය. කෙටි කාලයකින් මහද්වීප අතර යාත්‍රා කළ හැකි නව මුහුදු මාර්ග ලෝකය හමුවේ විවර විය. පැරණි ගොඩබිම්  මාර්ග  වෙනුවට නව සේද මාව  “ සමුද්‍රීය සේද මාවත” (Maritime Silk Road) ලෙස මහද්වීපික සාගර හරහා ඇදී යන්නට විය9.
 
Maritime Silk Road History and Society 1 
 
සමගාමීව සේද මාවත ඔස්සේ සිදු කෙරුණු පැරණි වෙළදාම් එදාටත් වඩා වේගයෙන් දියුණු වන්නට විය. වහල් වෙළඳාම ද නව සමුද්‍ර මාර්ග හරහා වෙනදාට වඩා  පුළුල් ව්‍යාපාරයක් බවට පත්වෙමින් අප්‍රිකානු මෙන්ම ඉන්දියානු වහල්ලු ද සාගරය හරහා වෙළදාම් වන්නට වූහ.
 
වර්ෂ 1690 දශකය ඉංග්‍රීසිහු මහා පරිමාණයෙන් අප්‍රිකානු වහලුන් අන්ත්ලාන්තික් සාගරය හරහා විවිධ රටවලට රැගෙන ගිය බව ඉතිහාසය වාර්තාකොට තිබේ. අලුතින් ජනාවාස වූ “නව ඇමෙරිකවේ” (New America) සහ බ්‍රිතාන්‍යය  කිරීටයට අයත්ව තිබූ රටවල අලුතෙන් ගොඩනගන ලද ගොවි බිම් තුළ  සේවය කිරීම සඳහා මෙන්ම යුධමය කටයුතු සඳහාද අප්‍රිකානු වහලුන් බහුලව භාවිතා කොට ඇත. අමතරව, පතල් කර්මාන්තය සඳහා හෝ දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා යොදාගත්  කම්කරුවන්  ලෙස  මෙම  “වහල්  මිනිසුන්” සිය ජීවිත කැප කොට තිබේ.10.
 
US Slave Trade 1830
      
පෙරදිගින් බ්‍රිතාන්‍ය කිරීටයට ඈඳුන නව යටත් විජිත රටවලට අවශ්‍ය මිනිස් ශ්‍රමය බොහෝ විට ඉංග්‍රීසින් සපයාගත්තෙ අධික ජනගහනයකින් යුතු වූ ඉන්දියාවෙනි. දකුණු ඉන්දියාවෙන් එලෙස විවිධ රටවලට රැගෙන ගිය පිරිස්වල නූතන පරම්පරා අදටත් මැලේසියාව, සිංගපූරුව, ශ්‍රී ලංකාව වැනි රටවල ජීවත්ව සිටිති. මෙම පිරිස් පසු කාලීනව වහලුන් ලෙස නොව කුලී කම්කරුවන් ලෙස ඉතා අඩු ජීවන තත්වයක් සහිතව අධිරාජ්‍යයට  මෙහෙ කොට ඇත.
 
 
බ්‍රිතාන්‍යන් පමණක් නොව බටහිර ජාතීන්  කීපයක්ම  මෙලෙස ලොව පුරා තම අණසක  ව්‍යාප්ත කළ මේ යුගයේ, ඒ හැමකෙකුම පාහේ අප්‍රිකානු සහ ඉන්දියානු වහලුන් සමග සිදුකළ ගනුදෙනුව ඉතිහාස ගත එකකි. 19 වන ශතවර්ෂය දක්වාම යුරෝපියයන් හා ලොව අනෙකුත් ජාතින් සමඟ බැඳුන වහල් වෙළඳාම ඉතා සංවිධානාත්මක ව්‍යාපාරයක්ව පැවැතින.11. 
 
ytfgd
       
අද අපි තුන්වන  සහශ්‍රයේ තුන්වන දශකයට එළඹි සිටිමු.පළමුව ගොඩබිමිනුත්, දෙවනුව මුහුදු මාර්ග හරහාත් සිදුවූ ජාත්‍යන්තර ගමනා ගමනය, කාර්මික විප්ලවයෙන් පසුව ගෙවීගිය දශක කීපය තුළ වේගයෙන් වැඩි දියුණු වී, අද වන විට “උඩුගුවන”  දක්වා ඔසවා තබා තිබේ.
 
 
මානව සංහතිය ලෝක යුද්ධ දෙකක් පසුකොට පැමිණ  සිටින අතර එයින් උපන් ප්‍රතිඵල ලෙස, ජාත්‍යන්තර සාමය සහ මානව ආරක්ෂාව, මානව ගරුත්වය, මානව හිමිකම් පිළිබඳව ඉතිහාසයේ නොවූ විරූ තරම් මිනිස්සු කතාබහ කරමින් සිටිති. ඒ වෙනුවෙන්ම සංවිධානය වූ ජාත්‍යන්තර ආයතන ස්ථාපිතව  ඇති  අතර  ලොව වෙසෙන සෑම මිනිසෙකුගේම “නිදහස සහ ගරුත්වයෙන් යුතුව ජීවත් වීමට ඇති අයිතිය” තහවුරු කෙරෙන ජාත්‍යන්තර අණ පණත් ලොව පුරා රටවල් අතර අත්සන් කෙරෙමින් තිබේ.
 
 
මෙවැනි වට පිටාවක එදා පැරණි සේද මාවත ඔස්සෙ ගොඩබිමින්ද, යටත් විජිත යුගයේ මුහුදින් ද සිදුවූ “මිනිස් ජාවාරම” නූතන තාක්ෂණික යුගයේ නතර වී ඇතැයි උපකල්පනය කිරීමට ඉක්මන් නොවිය යුතුය. මගේ මේ අකුරු වියමන නූතන සේද මාවතේ, මවුබිමින් එපිට කුප්‍රකට නගර කීපයකම පෞද්ගලිකව නූතන වහලෙකුව, මානව ජාවරම්කරුවන්ගේ ගොදුරක්ව අත්විදි කටුක  අත්දැකීම් අතරින් මගේ මතකයේ ඇති සමහරක් ඔබ සමග බෙදා හදා ගැනීමය. මම නැවතත් කියමි, එය ඉතා නීරස අත්දැකීම් වලින් පිරි කතාන්දරකි. නමුත් මට එය ඔබ සමඟ බෙදා ගැනීමෙන් තොරව මිය යා නොහැකිය.
 
අපායේ කතාව ලබන සතියටත්... ලබන සතියේ , මගේ හිතුවක්කාර සිංගපූරු සංචාරය,
 
 
FB IMG 1660744664414රසික එස් චන්ද්‍රසේකර
 
සබැඳි ලිපිය
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්