මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

WhatsApp Image 2022 11 14 at 09.15.10සම්පූර්ණ නම - හෙට්ටියා කොන්තලගේ ප්‍රශිලා ඈන් දීපිකා

වයස - අවුරුදු 56

අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ වාණිජ අංශය

රැකියාව - සමෘද්ධි සංවර්ධන නිලධාරී

විවාහක අවිවාහකභාවය - විවාහකයි,  

සැමියාගේ රැකියාව - රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කරනවා

ඔබේ දේශපාලන පවුල් වටපිටාව මොකක්ද? - මගේ පවුලේ කවුරුත් දේශපාලනයට සම්බන්ධ නෑ.

ඔබ නියෝජනය කරන්නේ මොන සභාවද? - ජා-ඇල නගර සභාව / දඬුගම කොට්ඨාශය- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

 

ඔබේ දේශපාලන ගමන පටන්ගන්නේ කොහොමද?


මම 2006දි තමයි මුලින්ම පත්වුණේ. ඊට පස්සේ 2011 දි සහ 2018දී ඡන්දයෙන් දිනලා තමයි පත්වෙන්නේ.

 

ඡන්ද කොච්චර ලබාගන්නවාද?


අවසන් මැතිවරණයේදී කොට්ඨාශ මට්ටමෙන් ඡන්ද අටසිය තිහක් ලබාගත්තා. ප්‍රතිශතය සීයට පනස් එකක්.

 

ඔබ කාන්තාවක් විදිහට දේශපාලනයට එන්න කැමැත්ත ඇතිවෙන්නේ කොහොමද?


පොඩි කාලේ ඉඳලම සමිති සමාගම්වල නිරතවුණා. පාසල් යන කාලේ ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ආවා. මම පමුණුගම මහා විද්‍යාලයේ ක්‍රීඩා නායිකාව විදිහටත් හිටියා. එයින් ලැබුණු පන්නරය එක්ක යෞවන සමාජය ඇතුළු සමිති සමාජ ගණනාවක් එක්ක වැඩ කලා. කාලයක් ගියාට පස්සේ ගමේ අයම කිව්වා ඡන්දේ ඉල්ලන්න කියලා.

 

ඔබට අනුව දේශපාලනය කාන්තාවන්ට සුදුසු දෙයක්ද?

 

ගොඩක් කාන්තාවන් දේශපාලනයට එන්න මැලිකමක් දක්වනවා, මොකද කාන්තාවක් හරි ලේසියි වට්ටන්න. බොරු චෝදනා, සම්බන්ධකම් මතුකරලා වට්ටන්න ලේසියි.

 

ඔබ කියන්නේ ලිංගිකත්වය සම්බන්ධ මඩ ගැසීම් ගැනද?


ඔව්. ඒ කියන දේවල්වලට කාන්තාවන් දේශපාලනයට එන්න මැලිකමක් දක්වනවා. සමාජ කටයුතු කලාට දේශපාලනයට එන්නේ නෑ. ඒ වගේ කටකතා නිසා තමන් හරිවුනත් පවුලේ අය අපහසුතාවයට පත්වෙයි කියලා ටිකක් පස්ස ගහනවා. ඒ වගේම ටිකක් රැඳිලා ඉන්නත් අමාරුයි. ගොඩක් කල් ඉන්න අපි වගේ අය තමයි ටිකක් අල්ලගෙන ඉන්නේ.

 

කාන්තාවක් විදිහට දේශපාලනයට එද්දි ඔබට මුහුණදෙන්න වුණු අභියෝග මොනවද?


මුල ඉඳලම කිව්වා වගේ මගේ ජීවිතේ මුල ඉඳලම පටන්ගන්නේ අභියෝග එක්ක. මම අභියෝග දකින්නේ ශක්තියක් විදිහට. මගේ පවුලේ අය වුනත් දේශපාලනයට ලොකු තල්ලුවක් දෙන්නේ නෑ. ඒත් මම හැමතිස්සෙම හිතන්නේ අපිට සමාජයට යමක් කරන්න පුළුවන්නම් ඇයි ඒකට පස්ස ගහන්නේ. මට අභියෝග කරන්න කරන්න තව ඉදිරියට යනවා.

 

ඔබට නාගරික මන්ත්‍රීවරියක් විදිහට හිටිද්දි මුහුණදෙන්න වුණු පුද්ගලික අභියෝග මොනවද?


මේ පාර නගරාධිපති තනතුර ලැබෙන්න තිබුණෙත් මට. ජ්‍යෙෂ්ඨ කෙනත් මම. අපේ හිටපු සංවිධායකතුමා ටිකක් වංචා, දූෂණවලට බර කෙනෙක්. ඒ නිසා මට අවස්ථාව ලබාදුන්නේ නැතිව වෙන කෙනෙක්ට සභාපති තනතුර ලබාදුන්නා.

 

දේශපාලනය තු පිරිමි සහ ගැහැණු දෙකකට බෙදලා ගත්තොත් පිරිමි නිසා ගැහැණුන්ට අසාධාරණයක් වෙනවාද?


අනිවාර්යයෙන්ම. අපි මොනවාහරි දෙයක් ජනතාවට කරලා ජනප්‍රිය වෙලා එද්දි අපිව වට්ටවන්න බලලා. උදාහරනයක් විදිහට මට තිබුණා කුඹුරු අක්කර තුනක්. මම ඒකේ සෝජාන් ක්‍රමයට පොල් වගා කරන්න ගොවිජන සේවා එක එක්ක කටයුතු කලා. පස් පුරවන්නේ නැතිව කරපු වැඩේ පත්තරවලට දාලා මම කුඹුරු ගොඩකරනවා කියලා බොරු චෝදනා කලා මම ඒ වැඩේ නතර කලා. ඒත් මට නැවත අනුමැතිය ලැබුණා. අන්න ඒ වගේ නොකරන වැරදි පටලවලා නැතිම කරන්න හදනවා.

 

ඔබ දේශපාලනයේ ඉදිරි පියවර ගැන හිතලද තියෙන්නේ?


මම මේ පාර මැතිවරණයට තරඟකලේ සභාවේ සභාපති තනතුර ඉලක්ක කරගෙන. නමුත් මේපාරත් මට ඒක නැතිව ගියා. එතැනට ගිහිල්ලා තමයි ඉදිරියක් ගැන හිතන්න ඕන. අපි අලුත් යෝනාවක් කලත් ඒක සභාවට දාන්න දෙන්නේ නෑ. මෑතකදි කරපු හෙළ බොජුන් හළක් ඉදි කරන යෝජනාවත් ප්‍රතික්ෂේප කලා.ඒ වගේ අවස්ථාව දෙන්නෙම නෑ.

 

WhatsApp Image 2022 11 14 at 09.28.53

 

ජා-ඇල කියන්නේ සංකීර්ණ ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ අවශ්‍යතා හඳුනගෙන තියනවද?


මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා ඉන්න දරුවෝ ගොඩක් ඉන්නවා. වැඩිහිටි අයත් ඉන්නවා අලෙවියට පවා යොමුවුණු. ළමා සමාජ හදලා වර්ල්ඩ් විෂන් ආයතනය එක්ක එහෙමත් සම්බන්ධවෙලා වැඩකරනවා දරුවෝ ඒවායින් බේරගන්න. ඇතැම් තැන්වල කාන්තාවන් රැකියාවට යන තැන්වලදි දරුවන් ගොඩක් වෙලාවට වැරදි දේවල්වලට යොමුවෙලා තියනවා. ඒ නිසා කාන්තාවන් ස්වයං රැකියාවලට යොමුකලාම ඒ වගේ තත්වයන් මගහැරෙන නිසයි ඒ වගේ යෝජනා කලේ.

 

ඔබ දේශපාලනයට එද්දි ඒ සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් තියෙන්නේ නැතිව ඇති. ඒත් දේශපාලනයට ආවට පස්සේ ඒ විෂය තු වැඩකරන්න අවශ්‍ය දැනුම ලබාගත්තේ කොහොමද?


ඒ දැනුම අත්‍යවශ්‍යයි. මොකද මම මීට කලින් අවුරුදු දහයක් මන්ත්‍රීවරියක් විදිහට ක්‍රියාකලාට සමාජ කටයුතුවලින් ලැබුණ දැනුම මිස වෙනත් දැනුමක් ලැබිලා නෑ. ඒත් සීයට විසිපහේ කාන්තා කෝටාව ආවට පස්සේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින් කාන්තා නියෝජිතයන් ඉලක්ක කරගෙන ගොඩක් වැඩසටහන්,පුහුණු ක්‍රියාත්මකවුණා. ඊට කලින් පළාත් පාලන ආයතනවල හිටියේ සීයට දෙකයි දශම පහක් විතර කාන්තාවන්. ජා-ඇල නගර සභාවට සහ ප්‍රාදේශිය සභාවට කියන දෙකටම හිටපු එකම මන්ත්‍රීවරිය මම විතරයි. ඒ නිසා මේ ලැබුණු පුහුණුවීම් තුලින් ලබාගත්ත දැනුම ගොඩක් ඉහළයි. විශේෂයෙන්ම ඕ.ටී.අයි ආයතනයෙන්, පළාත් පාලන ශ්‍රී ලංකා ආයතනයෙන් වගේ ලබාගත්ත දැනුම බොහොමයි.

 

එතකොට ඒ දැනුම ඔබට ප්‍රයෝජනවත් වුණාද?


අනිවාර්යයෙන්ම. ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අපිට ඉස්සර අවබෝධයක් තිබුණේ නෑ නීති ගැන, පනත් ගැන, ගැටළුවක් වුණාම යන්න ඕන කොතනටද, සම්බන්ධ කරගන්න ඕන කව්ද කියලා. ඒත් මේ දැනුමත් එක්ක ඒ ගැන හොඳ අවබෝධයක් ලැබුණා.

 

දැන් ලංකාවේ කාලයක් තිස්සේ දේශපාලනයේ පවුල් දේශපාලනය කියන එක බොහොම තදින්ම ක්‍රියාත්මක වෙනවා. පවුල් දේශපාලනයෙන් තොරව බලයට ආපු කෙනෙක් විදිහට ඔබ කොහොමද මේ පවුල් දේශපාලනය දකින්නේ? මේක ඉදිරියට අරගෙන යන්න ඕන ද? නැත්නම් වෙනත් තරුණ කණ්ඩායම්වලට ඉඩ දෙන්න ඕනද?

 

පවුල් දේශපාලනයට මම තරයේම විරුද්ධයි. ඇත්තටම තරුණ පරපුරේ ඉන්නවා බොහොම දක්ෂ සහ දැනුම තියන තරුණ තරුණියන්. ඔවුන්ට දේශපාලනයට එන්න ඉඩකඩ ලබාදෙන්න ඕන. පවුල් දේශපාලනය නිසා පාර්ලිමේන්තුවේ ඒ ඉඩකඩ ලැබෙන බවක් පේන්නේ නෑ. ඡන්ද දායකයොත් පුරුදුවෙලා ඉන්නේ පවුලෙන් එන කෙනෙක්ටම දෙන්න. ඒ නිසා මේ හීනය හැබෑවෙයිද කියලා දන්නේ නෑ.

 

ඔබ නියෝජනය කරන්නේ මොන පක්ෂයද?


මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මුලින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කලේ, පස්සේ තමයි පොදුජන පෙරමුණ එක්ක එකතුවුණේ.

 

ඔබ පක්ෂය තෝරගත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති මතද? නැත්නම් නායකයාගේ ප්‍රතිපත්ති මතද? ඒත් නැත්නම් ඔබ බලාපොරොත්තුවෙන් හිටපු අපේක්ෂාව අනුවද?


ඒ දවස්වල මට දේශපාලනයට එන්න කියලා යෝජනා එද්දි මගේ දැනුම අනුව අත්දැකීම් අනුව මම බැලුවා මොන පක්ෂයටද සම්බන්ධ වෙන්නේ කියලා. එතනදි මට හිතුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙන්න. ඒ ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්මයා නිසා නෙවෙයි, අපේ සංවිධායක ෆීලික්ස් පෙරේරා ඇමතිතුමා නිසා. පක්ෂයේ සේවාව සලකලා බැලුවම මම හිතුවා ඒ පක්ෂය එක්ක සම්බන්ධවෙන්න.

 

ඔබ තවදුරටත් හිතනවද ඔබ ඉන්න පක්ෂයේම ඉන්න එක හොඳයි කියලා?


මෙහෙමයි දැනට මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනප්‍රසාදයක් නැතිවුණත් එතුමා රටට ලොකු වැඩක් කරපු කෙනෙක්. ඒත් එතුමාගේ අඩුපාඩු තියනවා, මොකද සර්ව සම්පූර්ණ නායකයෝ නෑනේ. ඒත් දැන් තියන ජනමතය අනුව අපිට දෙපාරක් හිතන්න වෙලා තියනවා ඉදිරියේදී ගන්න ඕන පියවර මොකක්ද කියලා. අපි පක්ෂයකින් පත්වුණු අය නිසා ධූරකාලය අවසන් වෙනකල් මගේ සේවාව කරනවා. පස්සේ හිතනවා ඊළඟට මොකද කරන්නේ කියලා.

 

ඔබේ පක්ෂය ඇතුලේ කාන්තාවන්ට තියන තැන මොකක්ද?

 

මම දන්න තරමින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මැදිහත්වීමෙන් තමයි සීයට විසිපහේ කාන්තා කෝටාව ලැබුණේ කියලා. ඒත් පක්ෂය තුල නම් කාන්තාවන්ට එතරම් තැනක් ලබාදීලා නෑ. නමුත් අපේ පක්ෂය බලයේ හිටිද්දි පවා කැබිනට් එකේ අවස්ථාව ලැබුණේ කාන්තාවන් කීප දෙනෙක්ට විතරයි. ඒ අතින් ගත්තම ඩයනා ගමගේ වගේ කාන්තාවන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. ඇය මම කැමතිම චරිතයක්. ඒත් කාන්තා ප්‍රතිශතය ප්‍රමාණවත්ව ඉන්නවානම් රටේ සංවර්ධනය ඉක්මණින් සිදුවේවි.

 

ඔබ කියන්නේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි අය දේශපාලනයේදී දූෂණ වංචා වලට සම්බන්ධයි කියලද?

 

ඇත්තෙන්ම. කාන්තාවෝ වැඩිපුර ඉන්නවනම් ඒක ඉතා හොඳ දෙයක්. මොකද පිරිමි අය ගොඩක් දේශපාලනයට එන්නේ මැරකම් වලට, දූෂණවලට, වංචාවලට තමයි. වෙන රටවල් වල කාන්තා නියෝජනය වැඩිවෙද්දි ඒ රටවල් දියුණුවෙලා තියනවා. ඒත් සීයට පනස් දෙකක් කාන්තාවන් ඉන්න අපේ රටේ තාම ප්‍රමාණවත් නියෝජනයක් නෑ. කොහොමහරි අපි ඒක ප්‍රවර්ධනය කරගන්න ඕන.

 

ඔබ කියනවනම් ඔබේ පක්ෂය ඇතුලේ කාන්තාවන්ට විශේෂ තැනක් ලැබෙන්නේ නෑ කියලා ඔබ කියනවා. එතකොට නාගරික මන්ත්‍රීවරියක් විදිහට හිටිද්දි ඔබ මේක මුහුණදෙන්නේ කොහොමද?


මේකට අපිට තනි තනිවම මුහුණදෙන්න බෑ. ඒත් වැඩසටහන්වලට ගියාම, අපි එකතුවෙලා මේකට වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරනවා. අපි යන වැඩසටහන්වල ඉන්න සම්පත්දායකයන් පවා අපිව ඒක වෙනුවෙන් යොමුකරනවා. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිතයන්ගේ සංසදයත් අපිට උදව් කරනවා.

 

ලංකාවේ දේශපාලනය බොහොම සාම්ප්‍රදායිකයි. බොහෝ දෙනෙක් කියන විදිහට අපේ දේශපාලන නියෝජිතයන් ඡන්ද කාලෙට ඡන්ද ගන්න ආවට පස්සේ ජනතාව අතරට එන්නෙ බොහොම අඩුවෙන්. දැන් මේක ඔබේ පැත්තෙන් බැලුවම, ජා-ඇල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියන් විදිහට ඔබ කටයුතු කරන්නෙත් ඒ විදිහටම ද?


දැන් මෙහෙමයි, පළාත් පාලන මන්ත්‍රීවරු ගොඩක් දෙනෙක් ඉන්නේ ගම්වලමයි. ඒ නිසා නිතර ගමේ මළගෙවල්, මගුල් ගෙවල් වලට යන්න වෙනවා, ගම මැදින් යන්න වෙනවා. ඒ නිසා නිතරම මිනිස්සු එක්ක කටයුතු කරන්න වෙනවා. ඒ වගේම තමයි මිනිස්සුත් පුළුවන් තරම් මන්ත්‍රීවරු එක්ක කතාබහ කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගන්න නිසා එහෙමයි කියලා කියන්න බෑ. ඒත් ඉතින් පිටින් ඇවිත් ඡන්දේ ඉල්ලපු සහ සුළුතරයක් මන්ත්‍රීවරු ඉන්නවා එහෙම කාලෙකට විතරක් ගමට එන. ඒ ඇරෙන්න අනිත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට මිනිස්සු මගහරින්න බෑ. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වගේ නිල නිවාස නෑනේ.

 

අරගලයට පෙර සහ පස්සේ කාලය සලකා බැලුවම ඔබේ දේශපාලන ව්‍යූහය හෝ වටපිටාව, ආකල්පමය වශයෙන් වෙනස්වෙලා තියනවද?


ඔව් ඇත්තෙන්ම. ඉස්සර තිබුණේ බොහොම සාම්ප්‍රදායික දේශපාලනයක්නේ. දැන් ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුනත් බොහොම පරිස්සමින් තමයි වැඩකරන්නේ. ජා-ඇල මන්ත්‍රීතුමා වුනත් තමන්ගේ පඩිය පවා ගන්නේ නැතිව ඒක සමාජ සේවා කටයුතු වලට වැය කරනවා. පළාත් පාලන මන්ත්‍රීවරු ගත්තත්, කලින් අපේ නගරාධිපතිතුමා තමන්ට හිතුනු හිතුනු යෝජනා සභාවට දාලා ක්‍රියාත්මක කරනවා. ඒත් අරගලයෙන් පස්සේ දැන් එහෙම නෑ. අනිත් අයගේ මතය අහනවා, යෝජනා චෝදනා පිළිගන්නවා වගේ ස්වභාවයක් තියනවා. අනවශ්‍ය ගමන් බිමන් පවා සීමා කරලා, අනවශ්‍ය වියදම් පවා නතර කරලා. මම හිතන්නේ ඒක බොහොම හොඳයි. මිනිස්සු සෑහෙන්න පීඩා වින්දා, වංචා හෙළිවුණා. ඒත් එයාලා හිතුවා මිනිස්සු හැමදාම කටවහගෙන ඉඳීවි කියලා. ඒත් මින්ස්සු එළියට බැහැලා විරෝධය පිටකරපු එකෙන් ධනාත්මක ප්‍රතිඵල තියනවා. මොකද ඔවුන් දන්නවා වැරදි කරොත් ඉස්සරහටත් ගුටිකන්න වෙනවා කියලා. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණු ඒවා අනුමත කරන්නේ නෑ, ඒත් අරගලය සාධාරණයි සහ හොඳයි.

 

ඔබ මැතිවරණයේදී ඡන්ද ලබාගන්න මොනවගේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කලේ?


කලින් ක්‍රමයට ඡන්දේ ඉල්ලද්දි ඉතා විශාල සීමාවක මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්න වෙද්දි අපිට හරි අමාරුයි. මොකද කාන්තාවන් තමයි වැඩිපුර මට උදව් කරන්නේ. ඒත් කොට්ඨාශ ක්‍රමයේදී මගේ කොට්ඨාශයේ සීමාව මට තනිවම අත්පත්‍රිකා අරගෙන ගෙදරින් ගෙදරට ගිහින් මැතිවරණ කරන්න ලැබුණා. කොට්ඨාශ ක්‍රමයට මම කැමතියි.

 

සමහරු කොට්ඨාශ ක්‍රමයට අකමැතියි නේද?


බොහෝවිට පිරිමි පාර්ශවය තමයි අකමැති වුණේ. මොකද සල්ලි ගොඩක් වියදම් කරලා ඡන්ද ගොඩක් අරගෙන මුල් පුටුවට යන්න දැන් පුළුවන් කමක් නැති නිසා.

 

කෝටා ක්‍රමයේදී පත්වෙන්නේ නිවැරදිම කෙනාද කියන ගැටළුවක් තියනවා. මොකද සංවිධායක අතේ ලොකු වගකීමක් තියනවා. මෙතනදි සංවිධායක කියන පුද්ගලයාගේ භූමිකාව ගැන ඔබේ අදහස මොකක්ද?


දැන් ඉන්න සංවිධායක නම් අලුත් කෙනෙක්. කලින් හිටපු කෙනාගෙන් ඡන්දේ ඉල්ලන්න අවස්ථාව ඉල්ලගන්න හරි අමාරුයි. කවුරුහරි ඉදිරියට යන්න හදනවනම් කපලා දානවා.

 

මේ සංවිධායකයන්ගේ ක්‍රියාකලාපය ගැන දේශපාලන පක්ෂ නායකයන්ට අවබෝධයක් නැද්ද?


ඒ ගැනනම් හරියටම දන්නේ නෑ. මොකද පක්ෂ නායකයන්ට ලැදි අයනේ සංවිධායකයෝ විදිහට දාලා තියෙන්නේ. ඒ වගේම පක්ෂ නායකයන්ට ඕවා ගැන හොයන්න වුවමනාවක්, කාලයක් තියනවද කියලා හිතෙන්නේ නෑ.

 

කෝටාවෙන් පස්සේ ලංකාවේ කාන්තාවන් දේශපාලනයට ප්‍රවිශ්ටවීමේ නැඹුරුවක් තියනවා. එහෙම තත්වයකදි කලින් ක්‍රමය එක්ක සලකලා බලද්දි දැන් කාන්තාවන්ට දේශපාලනයට යොමුකරන්න හැකිවෙන පසුබිම කොහොමද?

 

ඇත්තම කිව්වොත් කාන්තාවට ඉඩක් ලැබුනේ මේ කෝටාව නිසා. කාන්තාවන් පවා දක්ෂ වෙන්න ඕන මිනිස්සු එක්ක වැඩකරලා තමන්ට අනන්‍ය ක්‍රමවේදයකින් බලය ලබාගන්න. මොකද එතනදි මිනිස්සු කාන්තාවන් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒක ඉතින් අපිම තමයි හදාගන්න ඕන, නැත්නම් පිරිමි ටික අවස්ථාව බෙදාගන්න පොරකනවා. අපිට මිනිස්සු අතරට ගිහිල්ලා ජනතාවට කාන්තා දේශපාලනඥයින්ගේ වටිනාකම දැනෙන විදිහට කටයුතු කරන්න වෙනවා.

 

ඔයාලට මොකක්හරි සැලසුමක් තියනවද සමස්ත ලංකා කාන්තා නාගරික මන්ත්‍රීවරියන්ගේ සංසදයක් පිහිටවාගන්න, එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන්ගේ මොනවාහරි හමුවීම් තියනවද?


ඇත්තටම එහෙම දේවල් කරන්න අරමුදල් නෑ. ඒත් රාජ්‍ය නොවන සංවිධානවලින් වගේ කරන වැඩසටහන් වලින් පස්සේ එක එක කණ්ඩායම් හදාගෙන ඒ වගේ සංසද පිහිටුවාගන්න යෝජනා ඇතිවෙනවා.

 

ඡන්දදායකයන් පොදුවේ කාන්තාවන් දේශපාලනයට ඒම ගැන දරන්නේ මොනවගේ මතයක්ද?

 

සමහරු කියනවා කාන්තාවන් කාන්තාවන්ට ඊරිසියයි, ඒ නිසා කාන්තාවන්ට ඡන්දේ දෙන්නේ නෑ කියලා. ඒත් මගේ කොට්ඨාශයේ නම් මගේ ඡන්දයට වැඩිපුරම උදව් කරන්නේ කාන්තාවන්. පොදුවේ කාන්තාවන් ඊරිසියා කරනවා කිව්වත් මට නම් සෑහෙන්න සහය කාන්තාවන්ගෙන් ලැබෙනවා. සමහරු කියනවා ඔයා නිසා ඉන්නවා අපිටනම් ඕක කරන්න බෑ වගේ අදහසක් තියන දේවල්. හැබැයි ඉතින් ගෙවල් වලින් පවා අපිට සහයක් ලැබෙන්නේ නෑ. හිතන තරම් සුන්දර නෑ. හිතේ හයියෙන් තමයි අමාරුවෙන් වුනත් කාන්තාවන් දේශපාලනය කරගෙන යන්නේ.

 

දේශපාලනයේ නිරත වෙන කාන්තාවන්ට තියෙන්න ඕන ප්‍රධාන දේවල් මොනවද?


මිනිස්සුන්ට උදව් කරන්න කැමැත්ත තියෙන්න ඕන. අභියෝග බාරගන්න කැමතිවෙන්න ඕන.

 

ඔබේ දැක්ම මොකක්ද?


WhatsApp Image 2022 11 14 at 09.28.50විශේෂයෙන්ම දරුවන්ට හරි අධ්‍යාපනයක් ලබාදීලා ඔවුන්ට මගපෙන්වීම. විශේෂයෙන්ම ආර්ථික අපහසුතා තියන පවුල්වල. ඒ වගේ පවුල්වලට අපිට හැකි ආකාරයෙන් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න මැදිහත්වෙන්න ඕන. ඒ පවුල්වල විවිධාකාර අවශ්‍යතා හදුනාගෙන ඒවාට පිළියම් යොදන්න කටයුතු කිරීම.

 

ලංකාවේ සමස්තයක් හැටියට ගත්තම අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජයක් විදිහට පිළිගන්නේ. ඒ කියන්නේ කාන්තාවන්ට පුරුෂයන්ට සමානව හිමිකම් ලැබෙන්න ඕන කියලා ව්‍යවස්ථාවෙන්ම සඳහන් වෙනවා. ඒත් රට වැසියෙක් විදිහට, කාන්තාවක් විදිහට ඔබට, මේ රටේ කාන්තාවන්ට ඒ දේවල් ලැබෙනවා කියලා ඔබ හිතනවද?

 

නෑ මම හිතන්නේ නෑ එහෙම ලැබෙනවා කියලා. ව්‍යවස්ථාවේ තිබුණට අපේ කාන්තාවන්ට සමතැන ලැබෙන්නේ නෑ. කාන්තාවන්ගේ හැකියාවන් අනුව විතරයි අවස්ථාව ලැබෙන්නේ. විවිධ ක්ෂේත්‍ර ගත්තම තම තමන්ගේ හැකියාවෙන් ගිහින් මිසක් සමතැන නිසා ලැබුණු දේවල් නෙවෙයි.

 

ඒ වගේ තත්වයන් වෙනස් කරන්න හැකියාව ඔබලාට තියනවද?

 

තනි තනිවම බැරිවුනත් කණ්ඩායමක් විදිහට එකතුවුනොත් අපිට මොනවාහරි දිනාගන්න පුළුවන් වෙයි. හරියටම අරගලය වගේ. තනියම බලපෑමක් කරන්න බැරිවුණාට කණ්ඩායමක් විදිහට පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

 

ඉන්දියාවේ බැලුවොත් කාන්තාවන්ට වෙන්කරපු දුම්රිය මැදිරි තියනවා. මම උත්සහ කරා නගර සභාවේ යෝජනාවක් කරලා කුමාර වෙල්ගම මහත්මයට යෝජනාවක් කලා වෙනම දුම්රිය මැදිරියකට. ඔහු කිව්වේ මම විතරයි වෙන්න ඇති කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක් ඉල්ලන්න, අනිත් කාන්තාවෝ නම් කැමති පිරිමින්ගේ ඇගේ වැදි වැදි යන්න නේ කියලා.

 

මීට අමතරව ඔබට මොනවාහරි අදහසක් ප්‍රකාශ කරන්න තියනවද?

 

මම හිතන්නේ ව්‍යවස්ථාවෙන් හරි වෙනත් නීතියකින් හරි දේශපාලනයට එන්න කාන්තාවන්ට මීට වඩා අවස්ථාව හිමිවෙන්න ඕන. අපි පොඩිකාලේ ඉඳලම මේ රට සංවර්ධනය වෙන රටක්. නවසීලන්තයේ අගමැති ඉන්නේ කාන්තාවක් ඒ රට තමයි හොඳටම කොරෝනාවලට මුහුණ දුන්නේ. සංවර්ධිත රටවල්වල කැබිනට් මණ්ඩලයේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්. කාන්තාවන්ගේ ප්‍රශ්න හොඳටම තේරෙන්නේ කාන්තාවන්ට. කාන්තාවන් තමයි පවුලේ විශාල කැපකිරීමක් කරන්නේ. ඒ නිසා කාන්තාවන් වැඩිපුර දේශපාලන තීන්දු ගන්න තැන්වල හිටියොත් මේ රටේ වඩා හොඳ තීන්දු තීරණ ගන්න පුළුවන්. මොකද රටේ වැරදි ඇතිවෙන තැන්වල බොහොමයක් ඉන්නේ පිරිමි, ඔවුන් මේවා වෙනස් කරන්න දෙන්නේ නෑ. ඒ තැන්වලට වැඩිපුර කාන්තාවන්ට යන්න අවස්ථාව දෙන්න ඕන.

 

Mawbima 

 

සැබැඳි ලිපි
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්