75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ, ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි ඔහු සමග සාකච්ඡා පටන්ගත්තේය. ඒ සාකච්ඡා තුළ පැවති ඇල්මැරුනු ස්වභාවය තුළ, තවදුරටත් ඒවා පවත්වාගෙන යාමේ අරුතක් නැති බව මේ වන විට හොඳින්ම පෙනී ගොස් ඇති බැවින්, ඉදිරි සතිය ඇතුළත යම් ප්‍රගතියක් නොලැබුණොත් තමන් එම සාකච්ඡාවලින් ඉවත් වන බව දෙමළ ජාතික සන්ධානය මේ වන විට කියමින් සිටී.

 

lassa

යම් ප්‍රශ්නයකට ඉදිරිපත් කරන විසඳුමක්, බොහෝවිට එම ප්‍රශ්නයට නොව, වෙනත් ප්‍රශ්නයකට ‘විසඳුමක්’ වීමට පිළිවන. ජනාධිපතිවරයා මේ කියන විසඳුම ඉදිරිපත් කෙළේම, ඉලක්කගත ප්‍රශ්නය එල්ල කරගෙන නොව, දෙවැනුව කී ප්‍රශ්නය රහසින් හිතේ ධාරණය කරගෙන බව පැහැදිලියි. ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් අහවල් දාට කලින් සොයාගමු යැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන විට, ඉලක්කගත සැබෑ ප්‍රශ්නය ඔහුගේ හිතේ අහලකවත් තිබුණේ නැත. ඔහුගේ හිත තුළ රහසින් සැඟව තිබුණේ දෙවැනි ප්‍රශ්නයයි. ඒ වනාහී, කිසි දෙයක් කරකියාගත නොහැකි තත්වයකට පත්ව සිටින මොහොතක, හැකිතාක් විවිධ පරාසයන් ඔස්සේ රටේ අවධානය විවිධ දිසාවන් වෙත විසුරුවා හැරීම සඳහා පාලකයෙකු සිය සේවයට යොදාගන්නා අනාදිමත් තනුක අභ්‍යාසයකි.

 

පොහොට්ටුව හැරුණු විට රටේ වෙනත් කිසි පාර්ශ්වයක අනුග්‍රහයක් නොමැතිව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහට ටික කාලයකට හෝ උතුරු-නැගෙනහිර දෙමළ පාර්ශ්වයේ සෘජු සහයෝගය නැතත්, යම් හෙයකින් ඒ පාර්ශ්වයෙන් ඇති විය හැකි විරෝධයක් වෙතොත් එය සමනය කරගැනීමේ හෝ ක්‍රමයක් මේ මගින් ලබාගත හැකි වේය යන විශ්වාසයක් හිතේ තිබුණාට සැක නැත. ඒ කිසිවක්ම නැතත්, ඊට වඩා ආසන්නතම සහ පුපුරනසුළු දකුණේ ජනතාවකගේ දෛනික පැවැත්මේ කඨෝර භාවය පිළිබඳ කාරණාවෙන් වෙනත් දිසාවක් වෙත ඔවුන්ගේ අවධානය හරවා තබා ගැනීමත් පාලකයාට ප්‍රයෝජනවත් වන්නේය.

 

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම යනු ‘සෙල්ලම් ගෙවල්’ දැමීම වැනි වැලිකෙළියේ කාරණයක් නොවේ. “ආ එහෙනම් එන්න, අපි ඔක්කොම එකට වාඩි වෙලා පෙබරවාරි 04 වැනිදාට කලින් මේක ඉවරයක් කරගමු” යැයි කීමෙන් තමන්ගේ ප්‍රතිපත්තිගරුක භාවයක් සහ පරිණත භාවයක් පිළිබඳ අදහසක් උතුරේ සමස්ත සමාජයටත්, දකුණේ ප්‍රගතිශීලි ප්‍රජාවටත් ප්‍රක්ෂේපණය වෙතැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිතන්නේ නම්, එය පරණ ක්‍රමයටම තවමත් කටයුතු කිරීමට හැකියාව ඇතැයි ගත් මතිභ්‍රමයකට වැඩි දෙයක් නොවේ. 

maxresdefault

අවුරුදු පහක් අවසානයේ අප සිටියේ කලින් සිටි තැනමයි

 

අනිත් අතට, මෙය සති කිහිපයක වටමේස සාකච්ඡාවකින් විසඳාගත හැකි ප්‍රශ්නයක් යැයි මොහොතකට සිතුවත්, අවුරුදු 75 ක් තිස්සේ එවැනි පහසු ප්‍රශ්නයක් විසඳා නොගත්තේ මන්ද සහ ඊට වගකිවයුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය මෙහිදී මතුවෙයි. ජාතික ප්‍රශ්නය විසඳීමට පැහැදිලි ජනවරමක් ලැබුණු අවස්ථා මින් පෙර අපට ලැබී තිබුණි. ඉන් වඩාත් කැපීපෙනුණු අවස්ථාව වන්නේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයයි. ඒ ජනවරම අවුරුදු දහයක කාල පරාසයක් දක්වා විහිදුණි. එහෙත්, ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ කාලය තුළ එක අඟලක්වත් අප ඉදිරියට ගියේ නැත. ඉන්පසු 2015 දී නැවතත් ඒ කාරණයම අන්තර්ගත කරගත් වැඩපිළිවෙලක් සඳහා ජනවරමක් ලැබුණි. ඒ, මෛත්‍රීපාල සිරිසේන/රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවටයි. අවුරුදු පහක් අවසානයේ අප සිටියේ කලින් සිටි තැනමයි.   

 

ලංකාවේ ජාතික ප්‍රශ්නය අරභයා වන අවම ප්‍රායෝගික විසඳුමක් වශයෙන් සැලකිය හැකි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ අඩංගු පළාත් සභා ක්‍රමය පවා අපට ලැබුණේ, ඉන්දියාවේ මැදිහත්වීම/බලහත්කාරය මත මිස අපේ නායකයන්ගේ අවංක කැපවීමක් නිසා නොවේ. මෙයින් මා කීමට අදහස් කරන්නේ, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සැබෑ ජනවරමක් ලැබුණු අවස්ථාවලදී පවා අපෙන් මඟහැරුණු ඔය කියන විසඳුම, කිසි ජනවරමක් නැති වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කටවචනයෙන් අද ඉෂ්ට කරගත හැක්කේ කෙසේද යන කාරණයයි. ඊටත් වඩා, මීට කලින් ඔහු රටේ නායකත්වයට පත් සෑම අවස්ථාවකදීම සහ මේ ප්‍රශ්නය අරභයා ඔහු මැදිහත් වූ සෑම අවස්ථාවකදීම ඔහුගේ ප්‍රතිපත්තිමය සහායට සිටි (චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු) බලවේග සහ කඳවුරු වෙනුවට අද ඔහු සමග සිටින්නේ, ලංකාවේ ජාතික ප්‍රශ්නය යුද්ධයෙන් අහවර කළ හැකි යැයි ප්‍රතිපත්තිමය වශයෙන් ගත් කඳවුරකි. ඊට හොඳම උදාහරණය, ඔහු ළඟින්ම අද වාඩි වී සිටින අගමැති දිනේෂ් ගුණවර්ධනයි. ජනාධිපතිවරයාගේ වර්තමාන ඇමති මණ්ඩලය තුළ, රටේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම වෙනුවෙන් අතීතයේ සිට ක්‍රියාකාරී වූ එක් අයෙකු හෝ ඇතොත් කරුණාකර අපට පෙන්වා දෙන්නැයි ඔහුගෙන් අපට මෙහිදී ඉල්ලා සිටිය හැකිය.



දෙමළ දේශපාලනය

allpw

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැලිකෙළියේ සෙල්ලමට අත වැනූ සැණින් දෙමළ පක්ෂ එක පයින් ඊට සහභාගී විය


ඒ නිසා, ලබන පෙබරවාරි 4 වැනිදාට කලින් මේ ප්‍රශ්නය ඉවරයක් කරගමු යැයි ඔහු කියූ කතාව ප්‍රයෝග දේශපාලනයේ නිරූපණයක් මිස අවංක ආයාසයක් පිළිබඳ අපේක්ෂාවක් වශයෙන් ගත හැකි දෙයක් නොවන බව පැහැදිලියි. එහෙත්, කුඩා ළමයෙකුට වුවත් වැටහෙන එම සත්‍යය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු, මේ ජාතික ප්‍රශ්නයෙන් පරම්පරා ගණනක් එක දිගට විඳවා ඇති දෙමළ සමාජයට නොවැටහුණේ ඇයි? ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැලිකෙළියේ සෙල්ලමට අත වැනූ සැණින් දෙමළ පක්ෂ එක පයින් ඊට සහභාගී විය. ආර්. සම්බන්ධන් වැනි දීර්ඝ කාලීන අත්දැකීම් ඇති කෙනෙකුට මේ මායාව නොවැටහුණේද?

 

නැත, ඔවුන්ට ප්‍රෝඩාව නොවැටහුණා නොව, ඔවුනුත් දේශපාලනයක නිරත විය යුතුව තිබුණි. ඔවුන්ගේ දේශපාලනය දෙයාකාර ය. පළමුව, උතුරු-නැගෙනහිර ඡන්දයෙන් පත්ව සිටින තමන්, එම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමේ සමත්කමක් දක්වා ඇති බව එම ජනතාවට පෙන්නුම් කළ යුතුය. එය, ඔවුන්ගේ ඊළඟ මැතිවරණයේදී ප්‍රයෝජනවත්ව ය. දෙවැනුව, එය අසාර්ථක වෙතොත්, මහජාතියට එරෙහිව මුහුණටමුහුණ ලා සිටගැනීම වෙනුවට, මහජාතිය සමග එකට මැදිහත්වීම තුළින්, එකී මහජනතාවගේ නායකත්වයේ ප්‍රෝඩාව, දකුණේ සමාජයට නැතත් උතුරේ සමාජයට නිරාවරණය කිරීම ය.

banda chelva fact e1663439693375

ඉතිහාසය නැවතත් ඊට වඩා නරුම ආකාරයෙන් සිදු නොවීමට නම්...

 

මෙය, චෙල්වනායගම්ගේ කාලයේ සිට අත්හදාබැලූ දේශපාලනයකි. ඕනෑම රටක සුළු ජාතියකට, තමන්ගේ දේශපාලනය කිරීමට සිදුවන්නේ එවැනි සීමිත ආකෘතියක් තුළයි. 1950 දශකයේදී බණ්ඩාරනායක සමග චෙල්වනායගම්ගේ ගිවිසුම්ගත වීම අසාර්ථකත්වයකින් අවසන් වූවත්, ඒ චෙල්වනායගම්ම 1960 දශකයේදී ඩඩ්ලි සේනානායක සමගත් සම්මුතිගත විය. එයත් අවසන් වුණේ අසාර්ථකත්වයෙනි. එය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ඕනෑම සුළු ජාතියක් මුහුණදෙන කටුක යථාර්ථයකි. මෙසේ අසාර්ථක වන සෑම අවස්ථාවක් පාසාම, එම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින විශ්වාසයේ පළුදු වීමක් සුළුජාතිය තුළ ඇති කෙරේ. කැරලිකාරීත්වය සහ ප්‍රචණ්ඩත්වය උපදින්නේ ඒ පරිසරයෙනි. එහිදී, ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහය වෙනුවට ඉන් පිටස්තර ප්‍රචණ්ඩකාරී මාවතක්, විශේෂයෙන් තරුණ පරම්පරාව විසින් අත්හදාබලනු ලැබේ. එල්.ටී.ටී.ඊ. ඇතුළු උතුරේ තරුණ කැරලිකාරීත්වය එහිදී අපට අභිමුඛ විය. එය අවසන් වූ ඉතිහාස කතාව කවුරුත් දනිති.

දැන් මගේ යෝජනාව මෙයයි. ඉතිහාසය නැවතත් ඊට වඩා නරුම ආකාරයෙන් සිදු නොවීමට නම්, පරණ සෙල්ලම දැන්වත් නතර කළ යුතුය. දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සහ පාර්ලිමේන්තුවාදී දේශපාලන ප්‍රවාහය, දැනුවත්ව හෝ නොදැනුවත්ව, මහජාතික දේශපාලනයේ අවශ්‍යතාවන් වෙනුවෙන් නොමඟ නොයැවිය යුතුය. ජාතික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටි රනිල් වික්‍රමසිංහ වැනි කෙනෙකු, ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොදී සිටීමටත් වඩා, විසඳුමක් පිළිබඳ මායාවක් හිතාමතා ගෙතීම බරපතළ අනර්ථයකි.


ප්‍රායෝගික කාරණා දෙකක්


දැන් අපි වර්තමාන සන්දර්භයේ අතුරු කතාවකට යොමු වෙමු. මේ කියන සාකච්ඡාවලදී දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටි ප්‍රාථමික කාරණා දෙකක් තිබුණි.

 

1. එකක්, දැනට හිරභාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවයි.

2. දෙක, යුද්ධ කාලයේ හමුදාව සහ වෙනත් රාජ්‍ය ආයතන විසින් අල්ලා ගත් සාමාන්‍ය දෙමළ වැසියන්ගේ ඉඩම්කඩම් ආපසු එම වැසියන්ට පවරා දිය යුතු බවයි.

 

මේ ඉල්ලීම් දෙකම, පරිපාලනමය වශයෙන් ඉටු කළ හැකි ප්‍රායෝගික කාර්යයන් ය.

 

පළමු කාරණය හෙවත් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ගත්තොත්, දැනට හිරභාරයේ සිටින්නේ 50 දෙනෙකුටත් වඩා සුළු පිරිසක් බව කියැවෙයි. සමහර මාධ්‍ය වාර්තා කර තිබුණු පරිදි 20 දෙනෙකුටත් අඩු පිරිසකි. ඒ අතරින් 14 දෙනෙකු පමණක්, නඩු විභාගයකින් පසු වැරදිකරුවන් වූවන් ය. මොවුන් භයානක ත්‍රස්තවාදීන් යැයි අපි මොහොතකට උපකල්පනය කරමු. එවැනි පුද්ගලයන් සමාජයට මුදාහැරීම භයානක තමයි. එහෙත් කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් වැනි පුද්ගලයන්ගේ ගනයට වැටෙන කිසිවෙකු මේ කියන පිරිස අතර නැත. ඔවුන් දෙන්නාම, ඇමතිවරුන් දක්වා උසස් වුණි. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ව්‍යාපාර ජාලය භාරව සිටි කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන්, නැව් ඇතුළු එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහා ධනස්කන්ධයක් සහිතව රාජපක්ෂලාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් නිරුපද්‍රිතව ලංකාවට ගොඩබැස්සේය. ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ මාධ්‍යවේදී ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ විසින් මීට කලකට පෙර ඔහු සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක වාර්තාවකින් පසු, ඔහු පිළිබඳ කිසි තොරතුරක් අපට අසන්නට නැතත්, ඔහු හිරේකට නොගිය බව නම් සහතිකයි.

රාජපක්ෂලාගේ දෙපිට කාට්ටුකම : ''සිංහලයින් අතර ජාතිවාදය පතුරුවමින් ෆෙඩරල්  ඉල්ලන දෙමළ පක්ෂ සමඟ හාද වීම'' -සුනන්ද දේශප්‍රිය

එල්.ටී.ටී.ඊ. නායකයන්ට රාජ්‍ය ආරක්ෂාව සහ වරප්‍රසාද

 

ඉතිං, මෙකී එල්.ටී.ටී.ඊ. නායකයන්ට රාජ්‍ය ආරක්ෂාව සහ වරප්‍රසාද ආදී සියල්ලමත් සැපයිය හැකි නම්, අර කී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ඇති බාධකය කුමක්ද?

FgooO8nVUAAUb1f 365x365සුළු අතුරුකතාවකට අවසර: සිවලිංගම් ආරුරම් දෙමළ රැඳවියෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි. එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ අරමුණින් කොළඹ පිත්තල හංදියේදී දියත් කළ බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු වශයෙන් 2006 දී අත්අඩංගුවට පත්වන විට ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි අපේක්ෂකයෙකි. මතක තියාගන්න: දැන් අවුරුදු 17 ක් තිස්සේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඔහුව රඳවාගෙන සිටින්නේ, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ ය.

මේ කියන පනත ගැන මේ දවස්වල හැමෝම කතා කරති. ඒ පනත යටතේම මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වසන්ත මුදලිගේ රඳවාගෙන සිටින සිරකූඩුවේ යකඩ කූරු ගැන පවා මේ දිනවල සිංහල කවි-ගී ලියැවෙයි. එහෙත්, එම පනත යටතේම අවුරුදු 17ක් තිස්සේ රඳවාගෙන සිටින මේ දෙමළ සිරකරුවා ගැන දකුණේ ඇස්-කන් නෑරුණි. අපේ ඒ කුරිරු නිශ්ශබ්දතාව ඉදිරියේ ඔහු නිකම් සිටියේ නැත. අපේ ඇස් අරවන වැඩ හිරේ සිටම ඔහු කෙළේය.

 

අපේ හෘදසාක්ෂිය

 

PTA : රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී සිවලිංගම් අරූරන්ට නිදහස ලැබෙයි ද?

එවැනි මිනිසෙකු සැකකරුවෙකු වශයෙන් අවුරුදු 17 ක් හිරේ තියාගෙන සිටින ජාතියක හෘදසාක්ෂිය කොච්චර නම් බර විය යුතුද!

 

මොහොතකට මෙසේ සිතන්න: සිංහල සාහිත්‍යයේ විශිෂ්ටයෙකු වන එරික් ඉලියප්පාරච්චි මේ පනත යටතේ හෙට අත්අඩංගුවට පත්වුණොත් අපට කෙසේ දැනෙනු ඇත්ද? පසුගිය වසරේ හොඳම සිංහල නවකතාව සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය එරික් ඉල්යප්පාරච්චිට ලැබෙද්දී, හොඳම දෙමළ නවකතාව සඳහා වන සම්මානය දිනාගත්තේ ඉහත කී සිවලිංගම් ආරුරම් ය. ඊට කලින් 2008 දීත් හොඳම දෙමළ නවකතාවට හිමි සම්මානය ඔහු දිනාගෙන ඇත. ඊට අමතරව හිරගෙදර සිටම ඔහු ලියූ තවත් කෘති 8 ක් අපේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ කෙටි ලැයිස්තුගතව ඇත. එවැනි මිනිසෙකු සැකකරුවෙකු වශයෙන් අවුරුදු 17 ක් හිරේ තියාගෙන සිටින ජාතියක හෘදසාක්ෂිය කොච්චර නම් බර විය යුතුද! ඔහු විසින් ඝාතනය කිරීමට තැත් කෙළේ යැයි කියන ගෝඨාභය රාජපක්ෂ නමැති මිනිසා මුළු රටක්ම ඝාතනය කොට අද පූර්ණ රාජ්‍ය ආරක්ෂාව සහ වරප්‍රසාද යටතේ වෙසෙන බවත් නිකමට මෙන් දැන් මතක් කරගන්න.

 

දෙමළ ජාතික සන්ධානය සිය සාකච්ඡා තුළ ඉල්ලා සිටි ඊළඟ ප්‍රාථමික කාරණය වුණේ, උතුරු-නැගෙනහිර ජනතාවගෙන් හමුදාව විසින් පැහැරගත් ඉඩම් ආපසු එම ජනතාවට ලබා දෙන ලෙසයි. ඒ ඉල්ලීමේ අසාධාරණයක් තිබේද? ඉඩම් පවරාගත්තේ රාජ්‍ය ආරක්ෂාව සඳහා ය. 2013 සංඛ්‍යා ලේඛනවලට අනුව, එසේ පවරාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 7063 කි. යුද්ධය අවසන් වී දැන් අවුරුදු 14 කි. ප්‍රචණ්ඩකාරී දෙමළ තරුණ නැඟිටීමක් පිළිබඳ ඈතකින් හෝ කිසි ඉඟියක් පෙනෙන්ට නැත.

 

පෙබරවාරි 4 වැනිදාට තව සති තුනක් නැත. ඊට කලින් විසඳෙන ‘ජාතික ප්‍රශ්නයක්’ ගැන කතා කිරීම පවා නිරර්ථක ය. එහෙත් අඩු වශයෙන්, දෙමළ සිරකරුවන් නිදහස් කිරීමත්, දෙමළ ජනතාවගෙන් පැහැරගත් ඉඩම් ආපසු ඔවුන්ට ලබා දීමත් ඒ දවසට කලින් කළ හැකි නම්, ඒ මගින් ජාතීන් අතර සහෝදරත්වය සහ සංහිඳියාව ගොඩනැඟීමේ මාර්ගය යම් තරමකින් හෝ එළිය වනු ඇතැයි සිතිය හැකිය.      


22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මංගල කාරණයක් ද? - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


320723070 553561629955212 5233208659897488127 n


JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්