නූතන ආසියාව තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ ජාවාරමේ “රං ත්‍රිකෝණය” (Golden Triangle) පිහිටා ඇත්තේ මැලේසියාවට සමීප රාජ්‍යන් 3 ක් කේන්ද්‍ර කරගනිමිනි.
ඒ බුරුමය (Myanmar) තායිලන්තය (Thailand) සහ ලාඕසය (Laos) යන රාජ්‍යයන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම හා ජාලගත වූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජාලයක් එම කළාපය තුළ ක්‍රියාත්මකව ඇති බව ජාත්‍යන්තරයේ නිරීක්ෂණයයි. මත්ද්‍රව්‍ය ගනුදෙනු හරහා එම කලාපය තුළ වසරකට සංසරණය වන මුදල ඩොලර් මිලියන 45 සිට ඩොලර් මිලියන 90 අතර වන බව ඇස්තමේන්තු ගත කොට තිබේ.
 
 
Golden Triangle map Shutterstock 771x535
 
“රං ත්‍රිකෝණය” (Golden Triangle)
 
 
අතීතයේ බුරුමය ලෙස හැදින්වූ වර්තමාන මියන්මාරයේ නිපැදවෙන මෙතම්ෆෙටමින් (methamphetamine) නම් වූ මත්ද්‍රව්‍ය සඳහා ජාත්‍යන්තරව ඉහළ වෙළදපොළක් සැකසී ඇති බව කියැවෙයි. මියන්මාරයේ ෂාන් (Shan) ප්‍රදේශයේ කැරළිකාර හමුදා සිය සොල්දාදුවන්ගේ නඩත්තුව සහ නවීන අවි ආයුධ සපයා ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීමේ ප්‍රධාන මාර්ගය ලෙස භාවිතා කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ වෙළඳාමයි. මියන්මාරය තුළ නිපදවෙන අබිං ආසියානු ශාන්තිකර කලාපයේ පිලිපීනය, ස්ටේ්‍රලියාව සහ නවසීලන්තය ආදී රටවල අඳුරු වීදි තුළ අදත් විකිණෙමින් තිබේ. ලොව බොහෝ රටවල කම්කරුවන් අතර ඉතා ජනප්‍රිය මෙම මත්ද්‍රව්‍යය, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ ජාලය හරහා ලොව පුරා බෙදා හැරෙමින් පවති.

තායිලන්තය ලොව පුරා ජනප්‍රියව ඇත්තේ ලිංගික වෙළඳපොළ සඳහා ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙසය. ලිංගික කර්මාන්තය තුළ තායිලන්තයට ඉතා පැරණි ඉතිහාසයක් ඇත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව පුරා සිදු වූ සමාජීය සහ ආර්ථික ප්‍රවණතා හමුවේ තායිලන්ත ලිංගික වෙළඳපොළ වඩා සංවිධානාත්මක සහ එරට ආර්ථිකයේ ඉතා වැදගත් මූල්‍ය උපායමාර්ගයක් ලෙස වර්ධනය වී ඇති සැටි පෙනේ.
 
 
Facts about Human Trafficking in Thailand
       
වර්ෂ 2020 වන විට තම ජීවන මාර්ගය ලෙස ගණිකා වෘත්තිය තෝරා ගත් තරුණියන් සහ ගැහැණුන් ලක්ෂ තුනක් තායිලන්තය තුලින් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි. මෙම ගණිකාවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්, ඒජන්තවරුන් අතර සිදුවන ජාලගත වීමි ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍ය, අවි ආයුධ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ජාවාරම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. මිනිස් ජාවාරම මේ අතරින්  ප්‍රමුඛ ස්ථානයක් ගනී. තායිලන්තයේ වෙසෙන ලිංගික ශ්‍රමිකයන් අතර තායි ජාතික ගැහැනුන්ට අමතරව මියන්මාරය, ලාඕසය, වියට්නාමය ආදී රටවල ගැහැණුන් ද දැකගත හැකිය. මෙම විදේශික ගැහැනුන් හා තරුණියන් බොහෝවිට තායි ලිංගික වෙළඳපොළ තුළට රැගෙන විත් ඇත්තේ සංක්‍රමණික ජාවාරම්කරුවන්ගේ සහ මිනිස් ජාවාරම්කරුවන්ගේ අපරාධ ක්‍රියාවලියේ  ප්‍රතිඵලයක් ලෙස ය.
opium
 
 
වියට්නාමය, චීනය, මියන්මාරය, තායිලන්තය සහ කාම්බෝජියාවට මැදිව පිහිටි ලාඕසය (Laos) එතරම් ජනප්‍රිය රාජ්‍යයක් නොවුවද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී හිමිකරගෙන ඇති නාමය ඉතා ඉහළ එකකි. අබිං නිශ්පාදනයේදී භාවිතාවන පොපි (Opium poppy) ශාකය වගා කරන රටවල් අතර ඉහළින්ම සිටින ලොව තුන්වන රට වන්නේ ලාඕස් රාජ්‍යයයි. විශේෂයෙන් ලොව පුරා මත් ලෝලීන් අතර ජනප්‍රිය “අයිස්” (crystalline methamphetamine) නමැති මත්ද්‍රව්‍ය ලාඕසය තුළ ඉතා ඉහළ මට්ටමින් නිෂ්පාදනය වන බව ජාත්‍යන්තර ආයතන හඳුනාගෙන ඇත. එරට රජය මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මැදිහත්වීම් සිදු කරන බවක්ද පෙනෙන්නට නොතිබි. මත්ද්‍රව්‍යවලට අමතරව එවැනි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන විධාකාර වූ රසායනික ද්‍රව්‍ය කලාපීය රටවල් අතර බෙදා හැරීමේදී ලාඕසය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා වෙමින් තිබෙන බවද ජාත්‍යන්තර ආයතන පෙන්වා දී තිබේ. 2015 වසරේ සිට 2019 වසර අතර එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති විවිධාකාර වූ මත්ද්‍රව්‍ය ප්‍රමාණාත්මකව වාර්ෂික මට්ටමින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තුළ දැකගත හැකිය.
 
 
ලොව පුරා හෙරොයින් භාවිතා කරන්නන් විසින් වාර්ෂිකව හෙරොයින් මෙටි්‍රක් ටොන් 340ත් 350ත් අතර ප්‍රමාණයක් භාවිතා කරන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ වූ කාර්යාලය (UNODC) සඳහන් කරයි. මේ අතරින් මෙටි්‍රක් ටොන් 50 ක් පමණ මියන්මාරය සහ ලාඕසය රටවල්වලින් වෙළඳපොළට නිකුත් කෙරෙන අතර ඉතිරිය ඇෆ්ගනිස්තානය සහ දකුණු ඇමරිකානු කළාපය කේන්ද්‍ර කරගෙන නිපදවේ. ඇෆ්ගනිස්තානයෙ නිපැදවෙන මත්ද්‍රව්‍ය, පාකිස්තානය ඇතුළු ආශ්‍රිත රටවල් හරහා ලොව වෙනත් ප්‍රදේශ වෙත ජාවාරම් කෙරෙන අතර ගිනිකොනදිග ආසියාවේ නිපැදවෙන මත්ද්‍රව්‍ය දකුණු ආසියාව සහ ගිනිකොනදිග ආසියාව හරහා ආසියානු ශාන්තිකර කලාපයතෙක් ජාවාරම් කරනු ලැබේ.
 
 
180625093851 05 unodc drug report 2018
 
වර්ෂ 2008 දී ලොව පුරා විවිධ රාජ්‍යයන්හි ආරක්ෂක අංශ මගින් අතඩංගුවට ගෙන තිබූ සමස්ත හෙරොයින් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 73.7 ක් ලෙස දැක්වේ. මෙම අතඩංගුවට ගැනීම්වලින් බහුතරය සිදුවී ඇත්තේ මැදපෙරදිග කලාපය සහ නිරිතදිග අප්‍රිකානු කලාපීය රටවල් ආශ්‍රිතවය. වර්ෂ 2007 හා 2008 අතර කාලය තුළ ලොව පුරා මිලියන 16ත් 17ත් අතර පුද්ගලයන් පිරිසක් කොකෙන් භාවිතයට ඇබ්බැහිව සිට තිබේ. මේ අනුව බලන කල මත්ද්‍රව්‍ය වෙළෙඳාම ඉතා සංවිධානාත්මක ලෙස බිලියන ගණනින් මුදල් උපයමින්  ජාත්‍යන්තර ජාවාරමක් ලෙස ලොව පුරා පැතිර පවතී.
 
 
මිනිස් ජාවාරම හා ආශ්‍රිත ක්‍රියාකාරකම් මේ ආකාර වූ විවිධ ජාත්‍යන්තර ජාවාරම් හා සෘජුව හෝ වක්‍රව බැඳී තිබේ. සමස්තයක් වශයෙන් ගත් කල මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව ආදී වූ රාජ්‍යයන් පහිටි ගිනිකොණ දිග ආසියානු කලාපයත් ආසියානු ශාන්තිකර කලාපයත් මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකරගත් ලොව ප්‍රබලතම සංවිධානාත්මක අපරාධ සිදුවන කලාපයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන විසින් හඳුනාගෙන තිබේ. මෙම කලාපය තුළට සංක්‍රමණිකයකු ලෙස ඇතුළු වන්නට ඔබ වෙත කෙනෙකුගෙන් සිදුවන ආරාධනාව, යෝජනාව හා සැලසුම පිළිබඳව ඔබ දෙවරක් සිතා බැලිය යුත්තේ එබැවිනි. මේ මග ඔස්සේ ගොස් ජීවිතය අනවශ්‍ය ලෙස අනතුරේ හෙලාගත් සිය දහස් ගණන් මිනිස්සුන්ගේ ගැහැනුන්ගේ හා දරුවන්ගේ කතාන්දර සොයාගත හැක.
 
 
සංචරණය කිරීම, අළුත් ලොවක් සොයා යාම සඳහා සෑම මිනිසෙකුට අයිතියක් ඇති බව අවිවාදිතය. නමුත් සංචරණය සඳහා මිනිසුන් වෙත ඇති නොසිඳෙන බලවත් කැමැත්ත කිසිවිටෙක ජාවාරම්කරුවන්ගේ මනදොල පිරවීම සඳහා යොදා නොගත යුතු බව අවධාරණය කිරීම මෙම ලිපි පෙලෙහි අරමුණයි.
 
 
කෙනකු සංක්‍රමණික හෝ මිනිස් ජාවාරම්කරුවෙකුගේ ගොදුරක් වීමට ඇති සෑම අවස්ථාවක්ම වසා දැමීම  මිනිස් ප්‍රජාවේ යුතුකමක් වන්නාසේම වගකීමක්ද වේ. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක වන සංවිධාන, රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලිකව පුද්ගලයන් වශයෙන් හා පුරවැසියන් වශයෙන් දැනුවත් වීම මෙන්ම ආශ්‍රිතයන් දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක්ව තිබී.
 
 
වඩා හොඳ ජීවන තත්වයක් සොයා  මිනිසුන් භූමියකින් තවත් භූමියක් කරා සංක්‍රමණය වීම මානව පරිණාමයේ මුල් අවස්ථාවේ සිටම සිදු වූ දෙයකි. අප්‍රිකාවේ සිදු වූ බව කියැවෙන මානවයාගේ ආදිතමයා ගේ උපතින් පසුව දුරින් පිහිටි ආසියාවටත්, හිමෙන් වැසුණු ද්‍රැවාසන්න කලාප තුළටත්, යුරෝපයේ ඉතා ඈතින් පිහිටි භූමි කරාත් මානවයා ව්‍යාප්ත වූයේ මිනිසුන්ගේ මේ සංක්‍රමණ සඳහා වූ උනන්දුව හේතුවෙනි. පසු කාලීනව බැටලු රංචු ද රැගෙන වඩා සාරවත් තණබිම් කරා මිනිසුන් මහද්වීප හරහා සංක්‍රමණය වූහ. වසර මිලියන ගණනක් පුරා විවිධ හේතු මත මිනිසුන් ලෝකය පුරා සංක්‍රමණය කරමින් සිටී. විවිධ දේශගුණික හේතු මත හෝ  වෙනස් ගොත්‍රිකයන්ගෙන් එල්ල වූ තර්ජණ හේතුවෙන් මෙන්ම වඩා සැපවත් වාසස්ථාන සොයා ගැනීමේ අරමුණින් අතීතයේ මිනිසුන් සංක්‍රමණය කරන්නට ඇත.


migrate       
 
නමුත් වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් ඇතැම් කොටස් ස්වකීය වාසස්ථාන හැර දමා වෙනත් දේශයන් කරා සංක්‍රමණය වීමට හේතු වන සාධක වල පැහැදිලි හැඩතල හඳුනාගත හැකිව තිබේ. විශේෂයෙන් වඩා හොඳ ජීවන තත්ත්වයක්, නොමැතිනම් ඉතා හොඳ ආර්ථික වටපිටාවක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් මිනිසුන් රටකින් රටකට සංක්‍රමණය වීමට පෙළඹී ඇති බව හඳුනාගත හැක. ජාත්‍යන්තර වාර්තා සඳහන් කරන ආකාරයට 2019 වසරේ ලෝක ජනගහනයෙන් 3.5% ක් ජාත්‍යන්තර වශයෙන් සංක්‍රමණයෙ යෙදී ඇත. එය මිලියන 272ක් තරම් වූ  මිනිසුන් ප්‍රමාණයකි. මෙම තොරතුරු වාර්තා වන්නේ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) 2020 වාර්තාව තුළය.
 
 
එම වාර්තාවට අනුව ලොව සංක්‍රමණිකයන් බහුලව මුණගැසෙන රට ලෙස හඳුනාගෙන තිබෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියානුවන් මිලියන 17.5 ක් එරටින් බැහැරව වෙනත් දේශයන් කරා සංක්‍රමණය වී තිබේ. ඒ වර්ෂ 2019 වන විටය. මේ වන විටත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ගණන් ගැනෙන ඉන්දියාව තුළින් මේ සා විශාල ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිරිසක් වාර්තාවීමෙන් පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් වඩා හොඳ ජීවන තත්ත්වයක් කරා, නැතිනම් ඉහළ ආර්ථික පසුබිමක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් සංක්‍රමණයේ යෙදී ඇති බවයි.
 
 
පොදුවේ ගත්කල වර්තමාන ලෝකය ආර්ථික කලාප තුනකට බෙදා දැක්විය හැක. සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ඌන සංවර්ධිත රටවල් ලෙසය. තවත් ආකාරයකට එය ඉහළ ආදායම් ලබන රටවල් මධ්‍යම හා පහළ මධ්‍යම මට්ටමේ ආදායම්  ලබන රටවල් සහ පහළ ආදායම් ලබන රටවල් ලෙස පැහැදිලි කළ හැකිය.
 
 
මධ්‍යම හා පහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවල සහ  ඌන සංවර්ධිත රටවල පුද්ගලයන් වඩා හොඳ ජීවන තත්ත්වයන් සොයා ඉහළ ආදායම් ලබන රටවලට පිටත්ව යාමට උනන්දුවක් දක්වති. ඒ බව මනාව පැහැදිලි වන්නේ ඉතා ඉහළ සංක්‍රමණිකයන් පිරිසකගේ ආකර්ෂණය දිනාගෙන ඇති රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත්ව ඇති හෙයිනි. එරට තුළ වෙසෙන  විදේශීය සංක්‍රමණිකයන් පිරිස මිලියන 50.7 බව සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) 2020 වාර්තාව සඳහන් කරයි. එයින් පැහැදිලි වන්නේ සංක්‍රමණ‘කයන්ගේ ගලා යාම සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල හා ඌන සංවර්ධිත රටවල සිට ඉහළ ආදායම් ලබන රටවල් දක්වා යන්නයි- මොවුන් අතර යම් ප්‍රමාණයක් ආර්ථික කාරණා වලින් පරිභාහිරව තම රටවල උපන් දේශපාලනික අර්බුද හේතුවෙන් සරණාගතයන් ලෙස සංක්‍රමණයේ යෙදෙනු දැකිය හැකිය- ඉහත වාර්තාව සඳහන් කරන ආකාරයට 2018 වසරේ ලෝව පුරා වාර්තාවී ඇති සංක්‍රමණික සරණාගතයන් සංඛ්‍යාව මිලියන 25-9 කි.
 
 
තවදුරටත් වාර්තා වන්නේ ලෝකයේ වෙසෙන වැඩිහිටි ජනගහනයෙන් මිලියන 710 ස්වකීය වාසස්ථාන හැර වඩා හොඳ ජීවන තත්ත්වයක් හිමිකරගත හැකි වෙනත් රටක් කරා සංක්‍රමණය වීමට කැමැත්ත පළ කොට ඇති බවයි- එය ලෝක ජනගහනයෙන් 14% තරම් වූ ඉහළ ප්‍රතිශතයකි-
 
 
Shadows of group of people walking through the streets with painted Usa flag on the floor. Concept political relations with neighbors.

       
මෙලෙස සංක්‍රමණිකයන් ගේ ආකර්ෂණය දිනාගත් රාජ්‍යයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි- දෙවනුව ජර්මනිය ලැයිස්තුගත වී ඇති අතර පිළිවෙලින් කැනඩාව, එක්සත් රාජධානිය හා ඕස්ටේ්‍රලියාව යන රටවල් ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත- එයින් පැහැදිලි වන්නේ වඩා ඉහළ ජීවන තත්ත්වයක් සහිත  ප්‍රජාවන් සමග මුසුව ජීවත්වීමට සංවර්ධනය වෙමින් පවතින රටවල හා ඌන සංවර්ධිත රටවල මිනිසුන් සිහින දකිමින් සිටින බවයි.

         
දීර්ඝ කාලීන සිවිල් යුද්ධයකට මැදිව තිබූ බටහිර අප්‍රිකානු රටක් වන සියරාලියොන් (Sierra Leone) ලොවට සංක්‍රමණිකයන් පිටත්ව යන තවත් ලොව ප්‍රමුඛ රටක් ලෙස  ජාත්‍යන්තරව වාර්තා වී තිබේ. සිවිල් යුද්ධයෙන් කඩාවැටුණු දේශීය ආර්ථිකයත්, ඉතා පහළ ඒක පුද්ගල ආදායමත්, ඉහළ ජීවන වියදම සහ වෙනත් ආර්ථික සහ සමාජීය කරුණු හේතුවෙන් එරට වැසියෝ විවිධ මාර්ග හරහා ලොව වෙනත් රාජ්‍යයන් කරා සංක්‍රමණය වීමට පෙළඹී සිටිති. අප්‍රිකානු කලාපයේ පිහිටි හයිටි රාජ්‍යය (Haiti), ලයිබීරියාව (Liberia) සහ කොංගෝ ජනරජය (Democratic Republic of the Congo ), දකුණු දිග යුරෝපයේ පිහිටි ඇල්බේනියාව (Albania) ආදී රටවල පුද්ගලයන් ජාත්‍යන්තර සංක්‍රමණ කෙරේ ඉහළ උනන්දුවක් දක්වයි. දකුණු ආසියානු කලාපය තුළ වඩා ඉහළින් සිටින්නේ ඉන්දියානු සංක්‍රමණිකයන්ය. දෙවැනිව බංග්ලාදේශයද තෙවනුව පකිස්ථානයත් සිව්වෙනුව ඇෆ්ගනිස්තානයත් ලොවට සංක්‍රමණිකයන් බිහිකරන  ප්‍රමුඛතම රටවල් 20 අතර ලැයිස්තු ගත වී තිබේ. මෙම සියලුම රටවල් බොහෝවිට  පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් ලෙස  හෝ ඌන සංවර්ධිත රටවල් ලෙස ජාත්‍යන්තර මූල්‍ය වර්ගීකරණය හමුවේ හඳුනාගත් රටවල්ය.

             
රටක සංවර්ධනය කිරා මැන බලන සම්මත ජාත්‍යන්තර නිර්ණායකයන් ඇත. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධාන කිහිපයක මැදිහත්වීම සිදු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), ඡාත්‍යන්තර මූල්‍ය අරමුදල ( International Monetary Fund) සහ ලෝක බැංකුව (World Bank) යන ආයතන මේ අතරින් ලොව රටවල් වළ සංවර්ධන මට්ටම තීරණය කිරීම සඳහා නිර්ණායක හඳුන්වා දී තිබේ.
         
මානව තත්ව දර්ශකය (Human Development Index) ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා නිර්ණායකයකි. රටක වෙසෙන ප්‍රජාවේ ජීවන තත්ත්වය මැන බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම නිර්ණායකය උපයෝගි කරගනු ලබයි. එහිදී අපේක්ෂිත පාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය ලබන සම්පූර්ණ වසර ගණන (පාසැල් කාලය), උපතේදි අපේක්ෂිත ආයු කාලය සහ ඒක පුද්ගල ආදායම යන සාධක මත පදනම්ව ඒ ඒ රටවල් වර්ගීකරණය කරනු ලැබේ. ඉතා පහළ ජීවන තත්ත්වයක්, අඩු අධ්‍යාපනයක්, ඌණ සෞඛ්‍ය පහසුකම්,  අඩු රැකියා අවස්ථාවන්, ධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා විරල වීම සහ ප්‍රධාන වශයෙන් ඌන යටිතල පහසුකම් සහිත රටවල් සංවර්ධනය කරා මෙහෙයවීමට ගොලීය සංවිධාන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටී.
 
 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Programme) සඳහන් කරන පරිදි 2020 වසරේ ජාත්‍යන්තර මානව තත්ව දර්ශකය තුළ ශ්‍රී ලංකාව හිමිකර ගෙන සිටින්නේ ලොව රටවල් 189 අතරින් 72 වන ස්ථානයයි. අපට සමීපතම දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව එම දර්ශකයේ 131 වන ස්ථානයත්, බංග්ලාදේශය 133 වන ස්ථානයත්, පාකිස්තානය 154 වන ස්ථානයත්, ඇෆ්ගනිස්තානය 160  වන ස්ථානයක් හිමිකරගෙන සිටී. 2020 මානව තත්ව දර්ශකයේ සිංගප්පූරුව හිමි කරගෙන සිටින්නේ 11 වන ස්ථානය වන අතර මැලේසියාව 62 වන ස්ථානය හිමිකරගෙන සිටි. ලොව ඉහළම මානව තත්ව දර්ශකයක් සහිත රටවල් අතර අංක එකේ ස්ථානය දිනාගෙන සිටින්නේ නො(ර්)වේ රාජ්‍යයයි (Norway), දෙවනුව අයර්ලන්තයද (Ireland) පිලිවෙලින් ස්විස්ටර්ලන්තය (Switzerland), හොංකොං (HongKong), අයිස්ලන්තය (Iceland), ජර්මනිය (Germany), ස්වීඩනය (Sweden), ස්ටේ්‍රලියාව (Australia), නෙදර්ලන්තය (Netherlands) සහ ඩෙන්මාකය (Denmark) යන රටවල් මානව දත්ත දර්ශකයේ ඉදිරි පෙළේ  සිටින රටවල් දහය ලෙස හඳුනාගෙන තිබේ. එම දර්ශකයේ ඇමරිකා එක්සත් ජනපදයට හිමිව ඇත්තේ 17 වන ස්ථානය වන අතර දකුණු ආසියාතිකයන් සහ ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය මැද පෙරදිග රටක් වන එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates) හිමි කරගෙන ඇත්තේ 31 වන ස්ථානයයි.
 
 
වඩාත් සුබදායී ජීවන තත්ත්වයක් නොමැති, හෙවත් මානව තත්ව දර්ශකයේ පහතින් සිටින රටවල ජනතාව වඩා ඉහළ ජීවන තත්ත්වයක් සහිත හෙවත් මානව තත්ව දර්ශකයේ ඉහළින් තිබෙන රටවලට සංක්‍රමණය වීම මේ අනුව තාර්කිකව පැහැදිලි කරගත හැක.
         
මෙලෙස සංක්‍රමණය වන බොහොමයක් දෙනා සංක්‍රමණික ශ්‍රමිකයන් ලෙස සංවර්ධිත රටවල් කරා පිටත්ව යාමට උනන්දුවක් දක්වති. ඇතැම් පිරිස් අධ්‍යාපනය ලැබීම සඳහා එලෙස සංවර්ධිත රටවල් කරා යෑමට පෙලැඹී ඇති අතර තවත් පිරිසක් දේශපාලන සරණාගතභාවය  පතමින් එලෙස වෙනත් රටවල් කරා  ඇදී යති.
         
විදේශීය ශ්‍රමිකයන් ද කාණ්ඩ කිහිපයක් ලෙස හඳුනාගත හැක. වෘත්තිකයන්,  පුහුණු ශ්‍රමිකයන් සහ  නොපුහුණු ශ්‍රමිකයන් ලෙස පුද්ගලයන් වෙනත් රටවල් කරා ඇතුළුවේ.

image cc9d2f3a46           
 
සමීපතම වාර්තා සඳහන් කරන ආකාරයට දකුණු ආසියාතික පුද්ගලයන් මිලියන 38 විදේශීය ශ්‍රමිකයන් ලෙස හඳුනාගෙන තිබේ. ඒ 2017 වසරේ පලවන වාර්තාවකට අනුවය. මෙලෙස ශ්‍රමිකයන් ලෙස  විදේශගතවන දකුණු ආසියාතිකයන්ගේ ජනප්‍රිය ගමනාන්ත වන්නේ මැදපෙරදිග කලාපය, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු කොරියාවයි. 2017  වසර තුළ කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිට ඇති දකුණු ආසියානු ශ්‍රමිකයන් සංඛ්‍යාව 8,39,866කි.  එක්සත් අරාබි එමිර් රාජ්‍යය (UAE), සවුදි අරාබියාව (Saudi Arabia), ඕමානය (Oman), මැලේසියාව  (Malaysia), කුවේටය (Kuwait), බහරෙන් (Bahrain), සිංගප්පූරුව (Singapore) සහ නයිජිරියාව (Nigeria) යන රටවල බහුල ලෙස දකුණු ආසියාතික ශ්‍රමිකයන් තම සේවය ලබා දී තිබේ. එම වසරේ දකුණු ආසියාතිකයන් 45,085 ක් දකුණු  කොරියාව (South Korea) තුළ සේවය කරමින් සිට ඇත. ඔවුන්ගෙන් බහුතරය ඉදිකිරිමේ කර්මාන්ත, ගෘහ සේවය හෝ විවිධ සේවා සපයන ආයතන තුළ කම්කරුවන් ලෙස සේවය කරනු ලැබෙයි.

           
නමුත් ඉහළ වෘත්තීය සුදුසුකම් සහිත බහුතර සංක්‍රමණිකයන් දැකගත හැක්කේ කැනඩාව (Canada), ඇමෙරිකාව (USA), ඕස්ටේ්‍රලියාව (Australia) වැනි සංවර්ධිත රටවල් තුළය. ඔවුහු මැද පෙරදිග සේවය කරන කම්කරුවන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් සහිත සංක්‍රමණිකයන් පිරිසක් ලෙස හඳුනාගත හැක.

         
විදේශ ශ්‍රමිකයකු ගේ තරාතිරම, අධ්‍යාපන මට්ටම, ඔහු නියුතු වන රැකියාවේ ස්වභාවය කුමක් වුවත්  ජාත්‍යන්තර නීතිය යටතේ විදේශ ශ්‍රමිකයකු හට හිමිවන හිමිකම් ජාත්‍යන්තරව කෙටුම්පත් කොට තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (International Labour Organization), එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) වැනි ත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙම ක්‍රියාවලියෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකොට තිබෙන අතර අද වන විටත් ඔවුන්  විදේශ ශ්‍රමිකයින්ගේ හිමිකම් සහ අයිතිවාසිකම් වෙනුවෙන් කැපවීම් කරමින් සිටී.

     
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (United Nations High Commissioner for Human Rights) සංක්‍රමණික සේවකයන් සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තිය සිය නිල වෙබ් පිටුවෙහි ඇතුළත් කොට තිබේ. “වර්ෂ 1999 දෙසැම්බර් 18 දින /158 වන මහා සභා යෝජනාව” මගින් සම්මත කරන ලද “සියලුම සංක්‍රමණික සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” මැයින් ප්‍රකාශයට පත් කොට ඇති වගන්ති 99 කින් යුතු එම ප්‍රඥප්තිය තුළ සංක්‍රමණික සේවකයන් බලහත්කාරයෙන් සේවයේ නොයෙදවීම, ඔවුන්ගේ කතා කිරීමේ, සිතීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය නොකිරීම, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතියේ පිහිට පැතීමට ඇති අයිතිය උල්ලංඝනය නොකිරීම ඇතුළු සංක්‍රමණික සේවකයන් සහ පවුලේ සාමාජිකයන්ගේ සමාජීය සහ මානව අයිතිවාසිකම් තහවුරු කර දී තිබේ. ලොව පුරා රටවල් 68ක් පමණ මෙම ගිවිසුමට අත්සන් තබා ඇති නමුත් විශේෂත්වය වන්නේ මැදපෙරදිග රටවල් බොහොමයක් එම ගිවිසුම සමඟ එකඟව නොසිටීමයි. මැලේසියාව සහ සිංගප්පූරුව ද මෙම ගිවිසුමට එකඟ වී ඇති බවක් එම වෙබ් අඩවියේ සඳහන් නොවේ.
 
 
 
නමුත් ඒ ඒ රටවල නීති රාම තුළ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා නීති අණපනත් ඇතුළත්ව ඇත. සංක්‍රමණික ශ්‍රමිකයෙකු ලෙස විදේශ ගතවීමට බලාපොරොත්තුවන ඕනෑම පුද්ගලයෙකු තමා සතු අයිතිවාසිකම්, හිමිකම් සහ තමා සේවය කිරීමට බලාපොරොත්තු වන රටෙහි සංක්‍රමණික සේවකයන් සඳහා ඇති නීතිමය ආරක්ෂාව පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීම ඔහුගේ ජීවිතය පහසු කරවනු ඇත. නොදැනුවත්කමින් බොහෝ සංක්‍රමණික සේවකයෝ ලොව පුරා විවිධාකාර අතවර වලට ලක්වෙමින් සිටිති.
 
 
සංක්‍රමණික ශ්‍රමිකයෝ වඩාත් අවභාවිතයට සහ හිමිකම් උල්ලංඝනය කිරීම් වළට ලක්වන කලාපය ලෙස කැපී පෙනෙන්නේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයයි. විශේෂයෙන් සෞදි අරාබිය සංක්‍රමනික ශ්‍රමිකයන් ඉතා කුරිරු වද හිංසනයට ලක්කෙරෙන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර දෝෂාරෝපණයට ලක්ව තිබේ. සෞදි අරාබිය තුළ ගෘහ සේවිකාවන් ලෙස සේවය කළ ඉන්දුනීසියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක තරුණියන් හාම්පුතුන් විසින් ඉතා කුරිරු ලෙස පහරදී ඝාතනය කිරීම් මෑත ඉතිහාසයේ වාර්තා වී ඇත.
 
 65185903 38 rizana s passport 1
රිෂානා නෆීක් (Rizana Nafeek)
       
වසර 2020 අගෝස්තු මස 09 වැනි දින සෞදි අරාබියේ කින්ග් ෆයිසාල් රෝහල තුළ මියගිය කුල්සුම් (Kulsum) නැමැති 14 වියැති බංගලාදේශ ජාතික තරුණිය ඇගේ හාම්පුතුන් විසින් දණහිස්, වැලමිට සහ වළලුකර කැඩී බිඳී යන තෙක් පහරදී නිවස ඉදිරිපිට මහ මඟට විසිකොට දමා තිබියදී එරට පොලිසිය විසින් රෝහල්ගත කොට ඇත. නමුත් අවාසනාවන්ත ලෙස ඇය මිය ගියේය. 2013 වසරේ 17 හැවිරිදි  ශ්‍රී ලාංකික තරුණියක වූ රිෂානා නෆීක් (Rizana Nafeek) සෞදි අධිකරණය මගින් හිස ගසා දැමීමට ලක් කරන ලදී. මේ ආකාරයටම ඉන්දුනීසියානු ගෘහ සේවිකාවන් ගණනාවක්ම සෞදි අරාබිය තුළ හිස ගසා දැමීම් වලට ලක් කොට තිබේ. 2010 වසරේ දී සෞදි අරාබිය තුළ සේවය කරමින් සිටී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඇගේ හාම්පුතා විසින් ඉතා කුරිරු ලෙස සිරුරට ඇණ ගසා දමන ලදි. පසුව ඇගේ සිරුර තුළට ඇතුළු කොට තිබූ යකඩ ඇණ 24ක් වෛද්‍යවරුන් විසින් ඉවතට ගෙන තිබිණ.
 
 
 
 
සෞදි අරාබියේ පමණක් නොව, සමස්තයක් ලෙස මැදපෙරදිග කලාපය තුළ ගෘහ සේවිකාවන්, කම්කරුවන් ආදී වූ සංක්‍රමණික ශ්‍රමිකයන් ඉතා අවදානම් සහිත ජීවිතයක් ගත කරමින් සිටී. ඉතා අධික පැය ගණනක් සේවයේ යෙදවීම, වැටුප් අක්‍රමිකතා, ශාරීරික වද හිංසා පමණක් නොව ලිංගික බලහත්කාරකම් පවා ඇතැම් විදේශිය ශ්‍රමිකයන්ට එම කලාපය තුළ අත්විඳින්නට සිදුවෙමින් තිබේ.
 
 
මැලේසියාවේ ඈත නගරයක පිහිටි තරු පන්ති හෝටළයක මගේ ‍රැකියාව ‍ පිළිබදව ලබන සතියේ අපායේ කතාවෙන් කියවමු
 
 
 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්