ගෝල්ෆේස් අරගලය පාවාදීමත් එක්ක විපක්ෂයට නියමිත දේශපාලන භූමිකාවේ තවත් එක වැප්ටර් එකක් අවසන් වෙමින් තියනවා .විපක්ෂ දේශපාලන භූමිකාවකට සාපේක්ෂව දැන් අපේ රටේ විපක්ෂයේ උත්පාත කාලය

අවසන් වෙමින් අවපාත කාලයට ළගා වෙමින් තියනවා.

දැන් සියලු රැලි අවසානයි. මේ වෙනකොට සජබයවත්, ජාජබයවත් එහෙමත් නැත්තං වෙන පොදු බලවේගයක්වත් ස්ථාවර විපක්ෂයක් විදිහට මතුවේලා නෑ. අර කවුද කිව්වා වගේ රැල්ල ඇවිත් සියල්ල වැල්ලට ගොඩගහලා යන්න ගිහින්.

මේ විපක්ෂ ඛේදවාචකයේ පළවෙනි ගොඳුර බවට පත් වෙන්නේ සජබයයි. ජාතික ජන බලවේගයටත් ඒ කටුක අද්දැකීම ඇවෑමෙන් එන්න නියමිතයි. ඒත් ජාජබයට ඉස්සෙල්ලා සජබය ඇඳවැටෙනවා.

අපි ඉස්සෙල්ලාම බලමු සජබයේ මේ ඇඳ වැටීමේ වරද කොතනද කියලා.

ඔයාලා දන්නවා කාලයක් තිස්සේ එජාප නායකත්වය වෙනුවෙන් රනිල් සජිත් අතර ගැටුමක් තිබුණා. ඒ ගැටුම විසින් එජාප ගමන සෑහෙන දුරට අඩපන කළා. සජිත් එජාප ජනාධිපති අපේක්ෂකයා වෙන්කොට එජාපයට තිබුණේ පරාජිත මානසිකත්වයක් නෙවෙයි. සජිත් සහ එජාපය බලවේගයත් හිටියේ ජයග්‍රහී මානසිකත්වයක.

සජිත් ජනාධිපතිවරණ අපේක්ෂකයාවීම විසින්ම එජාපය ජයග්‍රහී මනසකට තල්ලු කළා. මොකද සජිත්ලා ඒ වෙනකොටත් රනිල් ගැන හදලා තිබුන මතය එජාප පහල බලවේගයට කාන්දුවෙලා තිබුණා.

 
 සජිත්ලා කිව්වේ රනිල්ට කවදාවත් බලය ගන්න බෑ, රනිල්ගේ කොන්ද පණ නෑ. නායකත්වය බලෙන් තියාගෙන ඉන්නේ, රනිල් ඉන්නකං එජාපයට අනාගතයක් නෑ. රනිල්ගේ නායකත්වය දුර්වලයි කියලයි. ඒක නිසා එජාප බලවේගය සජිත් ජනාධිපතිවරණයට පැමිණීම දැක්කේ සකලාංග සම්පුර්ණ, ආරොහ පරිමාහ දේහධාරී මහා යුග පුරුෂයෙක් ලැබුනා කියලයි. මහා ප්‍රාඥයෙක් ලැබුනා කියලයි.
 

හැබැයි ජනාධිපතිවරණයේ මැද හරිය යනකොට පොහොට්ටුවේ කට්ටියට ගෝඨාභයගේ අවුල නොතේරුණාට එජාප ගොඩක් දෙනෙකුට සජිත්ගේ අවුල තේරුණා. සජිත් ගැන එජාප පාක්ෂිකයාට හරියටම අවබෝධ උනේ සජිත් ජනාධිපතිවරණය පැරදිලා වනගත උනාට පස්සෙයි. ඒ වනගතවීමෙන් සජිත් එයාගේ පෞරුෂය නැත්තටම නැති කරගත්තා. හැබැයි සජිත් වනගත ජීවිතය අවසන් කරලා ආයෙත් එලියට ආවේ රනිල්ට ගහගෙනමයි.

 ජනාධිපතිවරණ පරාජයේ වගකීම් සජිත් කිසිම හිරිකිතක් නැතිව රනිල්ට පැටෙව්වා. ඒ මතය එජාප පාක්ෂිකයා ඇතුලේ පැල කළා. ඒකෙන් උනේ එජාපය ඇතුලේ රනිල් සහ සජිත් කියලා බෙදිණු කණ්ඩායම් දෙකක් නිර්මාණයවීමයි. ඒකේ අවසන් ප්‍රතිඵලය හැටියට එජාපය දෙකඩ වුනා. එජාපය දෙකඩවීම නවත්තන්න කරූට සැහෙන උත්සාහයක් ගත්තත් ඒකත් අසාර්ථක වුනා. දෙකඩ වෙලා සජිත් සජබය විදිහටත් රනිල් එජාපය විදිහට මහ ඡන්දයට ගියා, සජිත්ලගේ කැම්පේන් එකේ ප්‍රධාන ටාගට් එක උනේ රනිල්.


සජිත්ලා එජාප බලවේගයට කාන්දු කරපු රනිල්ගේ අඩුපාඩු ප්‍රසිද්ධ වේදිකාවට ගෙනාවා. ඇත්තටම ඒ විවේචනවල සීමාවක් තිබුණේ නෑ. රනිල් තමන්ගේ හිටපු නායකයා කියලාවත් නොසලකා රනිල්ට ගහන්න සජිත් තමන්ගේ බලවේගය මෙහෙව්වා. හිරුණිකා කියන්නේ ඒකේ එක ගොඳුරක්. රටේ රාළ හැමදාම කිව්වේ පව් හිරුණිකා කියලා. සජිත්ගේ මේ ප්‍රහාරය ඉස්සරහා එජාප බලවේගය තුනකට කැඩුනා. බහුතරය රනිල් විරෝධීව සජිත් එක්ක හිටගත්තා. තවත් සැලකිය යුතු කොටසක් සජිත් සහ රනිල් දෙන්නම අතෑරියා. එයාලා ඡන්ද පොලට ආවේ නෑ. සුළුතරයක් රනිල් එක්ක හිටියා.



 
  අන්තිමට සජිත් ආසන 54 ක් දිනාගෙන ඇවිත් විපක්ෂ නායකයා වුනා. එජාපයට එක මන්ත්‍රී ධුරක් දිනා ගන්න බැරි වුනා. හම්බ වෙච්චි ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයට එජාපය රනිල්ව පත් කළා. රනිල් පාර්ලිමේන්තු ඇවිත් දැන් රටේ ජනාධිපතිත්වෙලා. සජිත්ට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 54 ක් එක්ක හිතන්නවත් බැරි වැඩක් දැන් රනිල් කරලා ඉවරයි.එතනදී සජිත්ට කටඋත්තර නැති වෙන්නේ ඒ අවස්ථාව රනිල්ට කලින් සජිත්ට ඇවිත් ඒකට බයේ සජිත් හැංගුන හින්දයි.
 
රනිල් ජනාධිපතිධූරය බාර අරගෙන රාජපක්ෂලත් ආණ්ඩු මට්ටු කරගෙන, රටේ තත්වයත් මොන ක්‍රමයකට හරි සන්සුන් කරගෙන ඉස්සරහට යමින් ඉන්නවා. සජිත්ගේ 54 දෙනාම එකට තියලා රනිල් එක්ක සන්සන්දනය කළත් එතන අහසට පොළොව වගේ වෙනසක් තියනවා.

සජිත්ට දැන් වෙලා තියෙන්නේ අර ගලේ පැහැරපු බලලාට වෙච්චි වැඩේ. වහන්න බෑ. රනිල්ට එරෙහිව එල්ල කරපු චෝදනා සියල්ල දැන් අවලංගුයි. රනිල්ට බැ කියපු එක. රනිල්ට කවදාවත් බලය ගන්න බෑ කියපු එක. රනිල් දුර්වල නායකයෙක් කියපු එක. රනිල්ගේ කොන්ද පණ නෑ කියපු සියලු චෝදනා ආපිට සජිත්ගේ පැත්තට හැරිලා.

රනිල්ට එල්ල කරපු සියලු චෝදනා සියල්ලම දැන් අදාල සජිත්ට. සජබය වටා ඒකතු වුන එජාප බලවේගය දැන් රනිල් දිහා බලන්නේ විශ්ව කර්මයා දිහා බලන විදිහට. ඔයාලට මතක ඇති රටේ රාළ මීට ඉස්සෙල්ලා කිව්වා සජිත්ට දැන් තියෙන්නේ උත්තර තුනයි කියලා.

එක්කෝ දෙවෙනි වරටත් වනගත වෙන්න ඕනි. නැත්තම් රනිල්ට යටත් වෙන්න ඕනි. එහෙමත් නැත්තං මේ යන ගමන තවදුරටත් ගිහින් දේශපාලන වශයෙන් සියදීවි නාසා ගන්න ඕනි.

දැන් සජබ සහ එජාප බලවේග ඉන්නේ එජාපය සහ සජබය එකට එකතු වෙන්න ඕනි කියන තැනක. සජිත් එක්ක දහයක, දෙලහක විතර කණ්‌ඩායමක් විතරයි ඒකට විරුද්ධ. සජිත් පරක්කු වෙන හැම මොහොතක් පාසාම සජිත්ගේ ගොඩ වේගයෙන් පුංචි වෙනවා.

ඇත්තටම පක්ෂයක් හදනවා නම් ඒ පක්ෂයට දේශපාලන උපාය මාර්ගයක් තියෙන්න ඕනි. සජිත් එජාපය කඩාගෙන ආවේ එජාප උපායමාර්ගයේ අවුලක් හින්දා නෙවෙයි. තමන්ට එජාප නායකයා වෙන්න ඉඩක් නැතිවීමේ කුහක චේතනාව හින්දයි.


 
 එජාප දේශපාලන මතය ලිබරල්වාදය. රනිල් සහ සජිත් දෙන්නම ලිබරල්වාදය පිලිගන්නවා. හැබැයි මෙතන ලොකු වෙනසක් තියනවා. රනිල් කියන්නේ ඇත්ත ලිබරල්වාදියෙක්. ජේආර්. ලලිත්, ගාමිණී, චන්ද්‍රිකා, කරූ, මංගලලාත් එක්ක එකට තියන්න පුළුවන් ලිබරල්වාදියෙක්. හැබයි සජිත් ලිබරල්වාදය පිලිගත්තට ඒ පේලියේ තියන්න බෑ. සජිත් තියන්න පුළුවන් රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂලා ඉන්න පේලියේ. ඒ කියන්නේ පෙනුමෙන් ලිබරල් උනාට මනසින් වැඩවසම් පේලියේ.
රනිල් ලිබරල්වාදය ලිබරල් මනසකින් ක්‍රියාත්මක කරනවා. සජිත් කියන්න පූර්ණ වශයෙන් වැඩවසම් චරිතයක්. මේ යන විදිහට සජබ පාක්ෂිකයාට රනිල් අතෑරලා සජිත් ළග ඉන්න බෑ. ඒකයි එයාලා සජිතුත් අරන් රනිල් ලගට යන්න හදන්නේ.

සජිත්ට හෙට දවසේ රනිල් ගාවට බඩගාගෙන හරි යන්න වෙනවා. සජිත්ට යම් ගෞරවයක් සභිතව ඒ වැඩේ කරන්න තිබුණ අවස්ථාවත් සජිත් නැතිකර ගත්තා. ඒ තමයි රනිල් යෝජනා කරපු සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රියාවලියට සහය නොදීමෙන්. සජිත්ගේ දේශපාලනයේ මුල් ළමාවිය සංවර්ධන නොවීම මේ ගොඩක් නොමේරූ දේශපාලන තීරණවලට බලපාන්න ඇති. රටේ රාළ කියන්නේ සජිත්ට තවත් ඔප්සන් එකක් තියනවා.

දැන් සිංහල දෙමල අලුත් අවුරුද්ද එනවා. සිංහල, දෙමල අලුත් අවුරුද්ද කියන්නේ පරණ තරහා මරහා අමතක කරලා මිනිස්සු අලුත් වෙන කාලයක්. ආරංචි විදිහට රනිල් සිංහල අවුරුදු නිවාඩුව ගත කරන්නේ නුවර එළියේ.

විපක්ෂ නායකතුමා ...පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් ආවොත් නරකද?

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ සම්පුර්ණ සටහන POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්