theleaderlk 01

මීට වසර කිහිපයකට පෙර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු එකතුව සාහිත්‍ය පිළිබඳ විවිධ මාතෘකෘ සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන මොහොතක

කාන්තාව සම්බන්ධයෙන් පවත්නා විවිධ මති මතාන්තර පිළිබඳව ද අදහස් මතුවිය.

එහි දී මතු වූ අදහස් අතර මගේ මිතුරකු සහ පොත් ප්‍රකාශකයකු (වෙසෙසින් ම බෞද්ධ පොත්) ද වන පුද්ගලයෙක් අදහසක් මතු කරමින් පවසා සිටියේ කාන්තාවන් පිළිබඳ අවතක්සේරුවෙන් සහ අවමානයෙන් වැඩිපුර ම අදහස් දක්වා ඇත්තේ බමුණන් බවයි. ඒ අදහසට එකඟ වන අතර ම මා පවසා සිටියේ ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් කාන්තාවන්: අපහාසයට, අවමානයට, උපහාසයට සහ පරිභවයට පත් කර ඇත්තේ බුදුන්වහන්සේගේ දේශනා තුළ බවයි.

 

0NkC73c10LvwoRX1 1මිතුරා එය ප්‍රතික්ෂේප කළ විට මා මතු කළ තර්කය වූයේ බෞද්ධ සාහිත්‍යයේ මුඳුන්මල්කඩ ලෙස සැලකෙන ‘‘ජාතකකතා පොත් වහන්සේ’’ නමැති කෘතිය තුළ කෙතරම් නම් කාන්තාව: අපහාසයට, අවමානයට, උපහාසයට සහ පරිභවයට පත් කර ඇති ද යන්න ය.

 

එහි දී ඔහුගේ තර්කය වුයේ ජාතක කතා යනු බුදුන් වහන්සේගේ නිර්මාණයක් නොවන බවයි. එය ම මුසාවකි. මන්ද ඒ සෑම කතාවක් ම බුදුන් වහන්සේ විසින් දේශනා කර වදාරනු ලැබ ඇති බව ඕනෑම කතාවක් ආරම්භයේ සඳහන් කර ඇත. සැම කතාවක් ම පාහේ ආරම්භ කෙරෙන්නේ ‘‘තවද සංසාරවාහ වූ සර්වඥයන් වහන්සේජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි ... ... ... (එක් එක් කතාවල එක් එක් පුද්ගලයන්ගේ මතු නොව භික්ෂුන් වහන්සේලාගේ සහ භික්ෂුණින් වහන්සේලාගේ නම් සඳහන්කර ඇත) අරබයා මේ ජාතක කතාව දක්වන ලදී’’ යනුවෙනි.

5
මිතුරාගේ අදහසට අනුව ජාතක කතා බුදුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ නොවේ නම් ජාතක කතා කතුවරයා කර තිබෙන්නේ බුදුන් වහන්සේ අපහාසයට ලක්කිරීම නොවේදැයි මා මිතුරාගෙන් විමසී ය. ඔහු ඊට පිළිතුරු ලෙස පැවසුවේ මුල් කතුවරයා එසේ ලියන්නට ඇත්තේ ජාතක කතාවේ සත්‍යාසත්‍යතාව මිනිසුන්ගේ සිතු තුළ රෝපණය කිරීම සඳහා ඒ සියලු කතා බුදුන් වහන්සේ විසින් වදරණ ලද බවට සඳහන් කරන්නට ඇති බවයි. එවිට මගේ අදහස වූයේ එසේ නම් ජාතක කතා සංග්‍රහය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ දී ඒ පිළිබඳ සඳහන් නොකළේ ඇයි ද යන්න ය. ඔහු, එවිට පැවසුවේ ‘‘ඒක නං ඉතිං මං දන්නෑ... කොහොම හරි ජාතක කතා කියන්නෙ බුදුන් වහන්සේ කියපු කතා නෙවෙයි. ඒක බෞද්ධ සාහිත්‍ය කතා පෙළක් නෙ. බෞද්ධ සාහිත්‍යයෙ හුඟක් තැන්වල අතිශයෝක්තිය තියනව නෙ...’’ යනුවෙනි.

 

ජාතක කතාවල මුල් කර්තෘ කවුදැයි නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි වුව ද පොත්පත්වල සඳහන්වන ආකාරයට එම කතා පෙළ සිංහල භාෂාවට පෙරළා ඇත්තේ පණ්ඩිත පරාක්‍රමබාහු (දෙවන) රජතුමා ය. ඒ සමග ම තවත් අදහසක් ද පවතී. එනම්, ම මහඟු කර්තව්‍ය කර ඇත්තේ පරාක්‍රමබාහු රජු නොව, පරාක්‍රම නම් අමාත්‍යවරයකුගේ ආරාධනාවක් පරිදි ප්‍රතිරාජ නම් ඇමතිවරයකු විසින් පරිවර්තිත බවයි. නමුත් විද්වතුන්ගේ මතය වන්නේ මෙය පුද්ගලයන් දෙතුන් දෙනකුගේ කටයුත්තක් නොව සාමුහික උත්සාහයක ප්‍රතිඵලයක් විය යුතු බවයි.

 

මෙම අදහස් කිහිපය ඉදිරිපත් කරන්නට යෙදුණේ පසුගිය අප්‍රියල් මාසයේ දිනක ශක්තික සත්කුමාර ඔහුගේ මුහුණු පොතේ පළ කර තිබූ පොස්ටුවක් නෙත ගැටුණු බැවිනි. ඔහු එම පෝස්ටුවෙන් ප්‍රශ්න කර තිබුණේ ‘‘ඇයි ලොකයෙ හැම ආගමක්ම ස්ත්‍රීන් පල්ලෙහට දාලා තියෙන්නේ’’ යනුවෙනි.

 

shakthika

මෙම පැනය සඳහා විවිධ පුද්ගලයන් විවිධ අදහස් දක්වා තිබිණ. ඒ අතර මා යට සඳහන් කළ මගේ මිතුරාගේ පන්නයේ පුද්ගලයන් ද සිටි බව මට මතක ය. ඔවුන්ට අනුව ‘‘නරක’’ යැයි සම්මත කිසිවක් බුදුන් වහන්සේ දේශනා කර නැත.

 

එහෙත් භික්ෂුණී ශාසනය පිහිටුවීමේ දී බුදුන් වහන්සේ ක්‍රියා කර ඇති ආකාරය අනුව විග්‍රහ කළ ද උන්වහන්සේ ද පුරුෂ පාර්ශ්වය කෙරෙහි දක්වන සාධනීය භාවය කාන්තා පාර්ශ්වය කෙරෙහි දක්වා නැතැයි කිසිවකු තර්ක කරන්නේ නම් එහි වරදක් ඇතැයි මම නොසිතමි. එසේ නොවේ නම් එම ඉතිහාසගත කරණු ද වැරැදි ය. එබැවින් ඒ මති මතාන්තර සියල්ල සාපේක්ෂ ය. තමන්ට වාසිසහගත කරුණු එකපැහැර පිළිගන්නට හෝ බාරගන්නටත්, අවාසි සහගතකරුණු එක හෙළා ප්‍රතික්ෂේප කරන්නටත් සැදැහවත් බෞද්ධ ජනතාව පෙලඹෙන්නේ එබැවින් විය හැකි ය. මෙය බෞද්ධ ආගම අදහන අයට මතු නොව සියලු ආගම් ලබ්ධිකයන් සතු පොදු ලක්ෂණයකි. ඒ සියලු දෙනාට අනුව තමන්ගේ ආගම අනෙක් ආගම්වලට වඩා උසස් ය; තමන්ගේ ආගමෙහි සඳහන් සියල්ල පරම සත්‍යය යි; අන් කිසිදු ආගමක නොපවත්නා මා හැඟි ගුණයක් තමන් අදහන ආගම සතුය. එහෙත් මට අනුව නම් ‘‘ආගම්’’ යනු ම මිනිස් සත්වයාට තමන් කෙරෙහි ආත්ම විශ්වාසයක් ගොඩනගාගන්නට ඉඩ හසර ලබා නොදෙන අදෘශ්‍යමාන හස්තයකි.

 

කෙසේ වතුදු මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ ආගම් සම්බන්ධයෙන් වාදයක් ආරම්භ කිරිම නොවේ. ශක්තික සත්කුමාර මතු කරන අදහස කෙතරම් දුරට සාධනීය ද යන්න විමසා බැලී ම ය. එසේ විමසා බලන්නේ ද මගේ පුද්ගලික මතය මත පිහිටා නොව බුදුන් වහන්සේ විසින් ම දේශනා කර වදාරණ ලදැයි සඳහන් ජාතක කතා මත පිහිටා ම ය.

 

khajuraho bb4023d4 2d2a 11e5 a8da 005056b4648e

එම පෝස්ටුව තුළ ශක්තික සත්කුමාර: කුස ජාතකය, අන්ධභූත ජාතකය, අසාතමන්ත ජාතකය, බන්ධනමොක්ඛ ජාතකය, රාධ ජාතකය, චුල්ලපදුම ජාතකය, ගහපති ජාතකය, කාක ජාතකය, චුල්ලධනුර්ධර ජාතකය, බිළාල ජාතකය, කරපත්ත ජාතකය, සත්තුහත්ත ජාතකය. හාරිත ජාතකය සහ මහා පලෝහන ජාතකය යනාදි වශයෙන් ජාතක කතා 14ක් උදාහරණ වශයෙන් දක්වා තිබිණ.

මෙම ජාතක කතා දාහතරට අමතරව තවත් බොහෝ ජාතක කතා ප්‍රමාණයක ස්ත්‍රිය පිළිබඳ අවතක්සේරුමය කතිකා ජාතක කතා සග්‍රහයේ අන්තර්ගත ය. මවිසින් පසුගිය කාලයේ මෙම වෙබ් අඩවියට සපයන ලද ‘‘ජාතක කතා විමර්ශන’’ ලිපි මාලාවේ ද මීට අදාළ ලිපි කිහිපයක් ම පළ කළේ ය. එමෙන් ම 2021 ජනවාරි මස 09වන දින පළ කළ, ජාතක කතා යනු හුදු කතන්දර පමණක් ද? යන මැයෙන් වු ලිපියෙහි ද මේ සම්බන්ධයෙන් කිසියම් විවරණයක යෙදිණ.

එතැනින් ඇරඹි ‘‘ජාතක කතා විමර්ශන’’ ලිපි පෙළ ලිවීම සඳහා මා පෙලඹවූයේ මගේ මිත්‍රයකු වන ආචාර්ය සුධීර ජයවීර විසින් රචිත ‘‘ජාතක කතාවල අපරාධ විද්‍යාත්මක ලක්ෂණ’’ නමැති පර්යේෂණ නිබන්ධනය යි. අදාළ ලිපි පෙළ තව දුරටත් ලිවීම ප්‍රමාද වූයේ මා තවමත් ජාතක කතා පොත සම්පූර්ණයෙන් ම පරිශීලනය කර නොමැති බැවිනි. නමුදු ශක්තික සත්කුමාර විසින් පළ කරන ලද පෝස්ටුව යළි ජාතක කතා පොත පරිශීලනය කිරීම සඳහා මා පෙලඹවී ය.

ind

මෙතැන් සිට මා උත්සාහ කරන්නේ ඔහුගේ මාතෘකාවට අදාළ ජාතක කතා කිහිපයක්, ඔහුගේ අදහස මත තබා විශ්ලේෂණය කිරීමට යත්න දැරීම ය. මේ අවස්ථාවේ දී මෙම ලිපි පෙළ කියවන පාඨක ප්‍රජාවගෙන් ද මම කාරුණික ඉල්ලීමක් කරමි. එනම්, යට සඳහන් කළ පරිදි මා තවමත් සම්පූර්ණ ජාතක කතා පොත පරිශිලනය කර නොමැති බැවින් ඔබ, අදාළ මාතෘකාවට සම්බන්ධ ජාතක කතා කියවා ඇත්තනම් ඒ පිළිබඳ (අදාළ ජාතක කතාව කුමක් ද යන්න පමණක් සෑහේ) මා දැනුවත් කරන ලෙස ය.

ඉදින් දැන් අදාළ මාතෘකාවට ප්‍රවේශ වෙමු.  

එම පෝස්ටුවේ ශක්තික පළමුවෙන් ම සඳහන් කර තිබුණේ කුස ජාතකය යි.

 

laa rasaමගේ කියවීමට අනුව නම් කුස ජාතකය යනු කාන්තාව පහත් තත්ත්වයට ඇද දමා ඇති හෝ කාන්තාවට පරිභවයට පත් කර ඇති කතාවක් නොවේ. එය, කාන්තාවකගේ ම මූලිකත්වයෙන් තවත් කාන්තාවක් අසීමාන්තික ලෙස පීඩනයට ලක් කිරීම පිළිබිඹු කරන කතාවකි. තවත් ආකාරයකට විග්‍රහ කරන්නේ නම් දේශපාලන බලාධිකාරිය යොදා කාන්තාවකගේ අයිතිවාසිකම් අමු අමුවේ ම උල්ලංඝනය කිරීම පිළිබඳ කතාවකි.

 

එහි දී පීඩාවට පත්වන්නී පබාවති කුමරිය යි. ඇය කෙතරම් පීඩාවට පත්වෙනවා ද යත් ඇයට ඇගේ විවාහක ස්වාමියාගේ රුව දැකීම පවා වළක්වන්නේ වංචාකාරි ලෙසිනි. කුසට ද එකී පීඩාව ඒ ආකාරයෙන් ම දැනුණ ද ඔහු සිය රාජකීයත්වය ආයුධයක් ලෙස භාවිත කරමින් පබාවතීගේ රුව ඇයට නොපෙනෙන, නොදැනෙන ලෙස නරඹයි. එහෙත් පබාවතීට එබඳු අවස්ථාවක් පවා නොලැබේ. ඒ, කුසගේ මව විසින් යොදනු ලබන ප්‍රෝඩාකාරී උපාය හේතුවෙනි. කුසට පබාවති දැකගැනිමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්‍රශ්කිරිමට අයිතියක් පැවතිය ද පබාවතීට එම අයිතිය පවා අහිමි කර ඇත. ඇය ඒ සියල්ල ඉවසා දරා සිටින්නී කුල චාරිත්‍ර නමැති ඊනියා සංකල්පයට යටත්ව ය.

සමස්ත කතාව පුරා ම විදාරණය වන්නේ කුසගේ බලපරාක්‍රමය සහ පබාවතීගේ පීඩිත භාවය යි. අවසන ඇය එය ප්‍රශ්න කරන්නේ ද කුසගේ නොමනා හැසිරිම් හෙළිදරව් වීමෙනි. තවත් ආකාරයකින් පවසන්නේ නම් කුස සිය බල පරාක්‍රමය යොදා ඇගේ රුව නැරඹීමට දරන උත්සාහ අතුරෙන් එක් උත්සාහයක් වැරදීම හේතුවෙනි. එතෙක් කුස පවා පබාවතිය කෙරෙහි දක්වන්නේ වෛරි සංකල්පයකි. රාත්‍රී ගන අන්ධකාරයේ ඇය සමග සසඟෙහි යෙදෙන කුස ම තම මානසික ව්‍යාධිය පිළිබිඹු කරමින් දහවල් කාලයේ ඇයට අශ්ව අසුචිවලින් පහර දෙන්නේ ය. එය කෙතරම් අශිෂ්ට ද යන්න කිසිවකු ප්‍රශ්න නොකරයි. ඒ අන් කිසිවක් නිසා නොව කුසගේ රාජකීය බලපරාක්‍රමය යි.

 

ජාතක කතා විමර්ශන 08 : ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ස්ත්‍රී ලිංගික චර්යා

 

ඉදින් ශක්තික සඳහන් කර ඇති පරිදි කුස ජාතකයේ දී කාන්තාවකගේ දුර්ගුණ පිළිබඳ කතිකාවක් ගොඩ නොනැගෙන්නේ ය යන්න මගේ පුද්ගලික අදහස ය. නමුත් ඔහු සඳහන් කර ඇති අනෙක් සියලුම ජාතක කතාවල මුඛ්‍ය හරය ගතහොත් ඒ සියල්ල තුළ කාන්තාව නිග්‍රහයට ලක් කර ඇත; ඇයට පරිභව කර ඇත; ඇය ඉතා නීච මිනිස් ජීවියෙක් ලෙස සඳහන් කර ඇත. එය කෙතරම් දුරට අශිෂ්ට ද යන්න පිළිබඳ කිසිදු බුද්ධ පුත්‍රයෙක් ප්‍රශ්න නොකරයි. ඒ වෙනුවට අද වෙසෙන ඇතැම් බුද්ධ පුත්‍රයින් කරන්නේ කාන්තාව තව තවත් පරිභවයට ලක් කිරීම ය. ඒ සඳහා නිදසුන් අවැසි තරම් සොයාගත හැකි බැවින් ඒ පිළිබඳ ලිවීමෙන් වළකිමි.

 

ඉදිරියේ දී, ශක්තික මතු කළ කරුණ සම්බන්ධයෙන් ඔහු විසින් ම උදාහරණ සපයන ලද ජාතක කතා තුළින් කාන්තාව කෙතරම් පහත හෙලා ඇති ද යන්න සාකච්ඡා කරමු.



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/05/08  




JW

pe2024 2

worky sin

නවතම පුවත්