මැති ඇමති වාද විවාද මැද උණුසුම් වූ පාර්ලිමේන්තුවේ දී ඊයේ (ජුලි 01වැනිදා) දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට

ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ජන්ද 60 කින් සම්මත විය. ඊට පක්ෂව ජන්ද 122 ක් සහ විපක්ෂව ජන්ද 62ක් ප්‍රකාශ කෙරිණි.

ඒ සඳහා වූ විශේෂ පාර්ලිමේන්තු විවාදය උදෑසන 9.30ට ආරම්භ විය. විවාදය රාත්‍රී 7.30 දක්වා පැවැත් වූ අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාවට ඡන්ද ලබාදුන් ආකාරය මෙතනින් බලන්න

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය දින 05ක බැංකු නිවාඩුවක් ද සමගින් මේ සතියේදී රජය ආරම්භ කළ අතර මේ සම්බන්ධව ඇතැමෙක් සැක පළකළ අතර, තවත් පිරිසක් තම ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු නිරීක්ෂණය කළ හැකිවිය. කෙසේ වෙතත් සාමාන්‍ය සමාජය තුළ තවමත් ඒ සම්බන්ධව ඇත්තේ වැඩෙමින් පවතින කුකුසකි.

මේ වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.67කි. ඩොලර් බිලියන 41.5ක විදේශ ණය ප්‍රමාණයක්ද, දේශීය ණය ඩොලර් බිලියන 42.1ක් ද ඊට අයත්ය.

dff1c180 182a 11ee 8cae 4785e93eadf1

ශ්‍රී ලංකාව සඳහා වූ IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ සිය කණ්ඩායම (GETTY IMAGES)

මෙම ණය ප්‍රමාණයෙන් බිලියන 19.8ක් මෙම යෝජනාවලියට අනුව පුතිව්‍යුගතකරණය කෙරෙනු ඇත.

විපක්ෂයේ විරෝධය මැද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනාව සම්මතයි.

 

විවාදයට පෙර ඇතිවූ ගැටලුකාරී තත්ත්වය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ රාජ්‍ය මුදල් කාරක සභාවේදී අනුමත නොවූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.

"මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රසන්ටේෂන් එක සහ සංකල්ප පත්‍රය මෙම යෝජනා පත්‍රයේ කොටසක් විය යුතුයි සෘජුවම. ඒක වරහන් ඇතුලේ දාලා හරියන්නේ නැහැ."

"මුදල් කාරක සභාවේදී මේක සම්මත කළේ මේ සංශෝධනය සමගයි." මන්ත්‍රීවරයා විසින් එහිදී සඳහන් කළේය.

පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ද සිය විරෝධය ප්‍රකාශ කරන ලදී. අනතුරුව සභානායකවරයා විසින් නැවත අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදය ආරම්භ කෙරුණි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කිව්වේ මොනවා ද?

377c7360 182a 11ee 8cae 4785e93eadf1

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තු සභාව අමතමින් (GETTY IMAGES)

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ 'දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන' සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සමාලෝචනය සඳහා ඉතා වැදගත් බවයි.

එහිදී අමාත්‍යවරයා 'දේශීය ණය ප්‍රශස්තකරණය' සඳහා ප්‍රධාන වශයෙන් කරුණු තුනක් හේතු වූ බව ප්‍රකාශ කළේය. එනම්

# රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 128% ක් වූ ණයබර, 2032 වනවිට 95 % ක් දක්වා අඩු කිරීම.

# දළ දේශීය නිෂ්පාදනයෙන් 34.6% ක්ව පවතින ශ්‍රී ලංකාවේ දළ මුල්‍ය අවශ්‍යතාවය, 2027-2032 වන විට වාර්ෂික සාමාන්‍ය 13% ක් දක්වා අවම කරගැනීම.

# 2022 වසර වනවිට දළ දේශීය නිෂ්පාදනයෙන් 9.4% ක්ව ඇති ශ්‍රී ලංකාවේ විදේශීය ණය සේවා කරණය 4.5% ක් දකවා අඩු කරගැනීම යන්නයි.



"මේ විවාදය පවත්වන්නේ 2019 දී බිහිවුණු පොහොට්ටු ජනාධිපතිවරයයි, පොහොට්ටු ආණ්ඩුවයි රට බංකොලොත් කරපු නිසා"

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී විපක්ෂය 'දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන' සඳහා සහාය ලබානොදෙමින් එම වැඩ පිළිවෙලට අකුල් හෙළන බවට එල්ල වූ චෝදනා වලට පිළිතුරු සපයමින් කියා සිටියේ එය විහිළුවක් බවයි.

"අද ඇයි අපි ණය ප්‍රශස්තකරණයක් ගැන කතා කරන්නේ ? අද ඇයි අපි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ගැන කතා කරන්නේ ? මේ විවාදය පවත්වන්නේ ? මේ විවාදය පවත්වන්නේ 2019 දී බිහිවුණු පොහොට්ටු ජනාධිපතිවරයයි, 2020 බිහිවුණු පොහොට්ටු ආණ්ඩුවයි රට බංකොලොත් කරපු නිසා."

"පුන පුනාම මහ බැංකු අධිපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන්නේ නැහැ කියලා."

"මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රසන්ටේෂන් එකේ සඳහන් වනවා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකේ දී එකඟතාවයක් ඇති කර ගත්තා කියලා. ඒ ඉදලා මාස 06කට වැඩි කාලයක් යනකම් ඇයි මේ ගැන පාර්ලිමේන්තුව හමුවට ඒක ඉදිරිපත් නොකළේ ? ඒකෙදි ගම්‍ය වුන තොරතුරු රටට හෙළි නොකළේ ?" ඔහු විමසා සිටියේය.

"දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ආවොත් EPF / ETF එක අල්ලන්නේවත් නැහැ කිව්වා. ඒකට කිසිම බලපෑමක් නැහැ කිව්වා.අපි කිව්වා IMF එකට යන්න කියලා. අපි අදත් කියනවා IMF එකට ගියපු එක හරි කියලා. නමුත් ඔබතුමන්ලා ගිහින් ගහපු ඩීල් එක වැරදියි. එතැනයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන IMF එක කියලා නැහැ. IMF කොන්දේසියක් නැහැ. මේක රජය රජයේ වුමනාවෙන් දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයකට මේ යන්නේ" විපක්ෂ නායකවරයා කියා සිටියේය.



"ආණ්ඩුව "ප්‍රශස්ත" කියන වචනය යොදාගෙන වැඩකරන ජනතාවගේ අරමුදල් විනාශ කරනවා"

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මෙමගින් සෘජුවම වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදලට පහරගැසීමට ආණ්ඩුව "ප්‍රශස්ත" යන වචනය යොදා ගෙන ඇති බවයි. එහෙයින් තමන් ඇතුළු කණ්ඩායම චෝදනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළේය.

"ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පි.බි. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන පුද්ගලයින් තමයි මේ රටේ නියම ආර්ථික ඝාතකයින්"

"ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පි.බි. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන පුද්ගලයින් තමයි මේ රටේ නියම ආර්ථික ඝාතකයින්" බව සමගි ජනබල වේගයේ පාර්මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ "ආණ්ඩුව බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන මහ බැංකු අධිපතිවරයා කිව්වා මිලියන 52ක බැංකු තැන්පතු සුරක්ෂිත කරනවා කියලා. නමුත් ඔවුන් සේවක අර්ථ සාධක අරමුදල ගැන එසේ තැකීමක් නැහැ. බැංකුකරුවන්, ඔවුන්ගේ බලවත් අධ්‍යක්ෂකවරුන් සහ ප්‍රයිම් ඩිලර්ස්ලා ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව බැංකු පද්ධතිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඇතුලත් කර ගෙන නැත්තේ."යනුවෙනි.

"අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා කිව්වා මේක ඔහු දැක්කෙත් ෆේස්බුක් එකෙන් කියලා"

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා : " අර්ථ සාධක අරමුදලෙන් ඇහුවා මේ කැල්කියූලේෂන් එක දෙන්න කියලා. මෙතන සමහර මන්ත්‍රීවරුන් කිව්වා වාගේම අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා කිව්වා මේක ඔහු දැක්කෙත් ෆේස්බුක් එකෙන් කියලා. එහෙනම් මේ අර්ථ සාධක අරමුදලට සිද්ධ් වෙන්න යන පාඩුව පාර්ලිමේන්තුවට ගණන් හදලා පෙන්වන්න වෙනවා"

"අද මේක සම්මත වුනා කියලා අඟහරුවාදා ඉදලා මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හතර වෙනිදා මේ යෝජනාව අර්ථ සාධක අරමුදලට සහ ETF එකට රජය විසින් ඉදිරිපත් කරනවා. ඔවුන්ට දවස් 21ක් තියනවා. ජුලි මාසයේ 25 වෙනිදා තමයි ඔවුන් තීරණය කරන්නේ මේ වැඩපිළිවලට ඔවුන් එකඟ වෙනවා ද? නැද්ද කියලා. මේ දවස් 21ක තුළ අර්ථ සාධක අරමුදලට සහ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මේ සාමාජිකයින්ට යම්කිසි අගතියක් සිදධ වෙනවද ? ඒ අගතිය කුමක්ද ? ගණන් හිලව් මාර්ගයෙන් ඒක සාකච්ජා කරන්න. මම විශ්වාස කරනවා ඒක කළ යුතුයි කියලා."

"අර්ථ සාධක අරමුදල වෙනුවෙන් මේ තීරණය ගන්නේ කියලා. මේ අර්ථ සාධක අරමුදලේ පාලක මණ්ඩලයේ කිසිදු ආකාරයකින් වෘත්තිය සමිති නියෝජිතයෙක්වත් නැහැ සාමාජිකයින් වෙනුවෙන් නියෝජනය කරන්න. පාලක මණ්ඩලයේ සිටින්නේ මුදල් මණ්ඩලයේ නියෝජිතයින්. ඔවුන් මේ තීරණය ගන්නේ අර ලක්ෂ 25ක් වන සාමාජිකයින් වෙනුවෙන් නම් ඔවුන්ගෙන් විමසීමක් කළ යුතුද නැද්ද කියන එක රාජ්‍ය මුදල් කාරක සභාවේදී දිගින් දිගටම මතු වුණා" ප්‍රකාශ කළේය.

"ඒක ඇහුවම මහ බැංකු අධිපතිවරයා දන්නෙත් නැහැ"

" ජුනි මස 30 වෙනිදා අපි මුදල් කමිටුවේ දී ඇහුවා අර්ථ සාධක අරමුදලට සිදුවන හානිය ගණනය කරලා තියෙනවද කියලා ? ඒක ඇහුවම මහ බැංකු අධිපතිවරයා දන්නෙත් නැහැ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා දන්නෙත් නැහැ, EPF එකේ සුපිරින්ටන්ඩන්වරයා දන්නෙත් නැහැ, මුදල් කමිටුව දන්නෙත් නැහැ, කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි යෝජනාවක් ගේනවා ට්‍රිලියන ගානක විශාල මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න" පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේය.

"නංගී පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක්"

"ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ අද අපි මේ විවාද කරලා සම්මත කරන්න යන්නේ ණය ප්‍රශස්තිකරණ වැඩසටහනට නෙමෙයි. අවාසනාවට අද මේ පාර්ලිමේන්තුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් කතා කලේ දේශීය ණය ප්‍රශස්තිකරණයේ ගුණ අගුණ. නමුත් අපිට ජන්දය දෙන්න තියෙන්නේ වෙන යෝජනාවකට. අන්න ඒකයි වැදගත්. ඒක නංගී පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක්. කථා කලේ ණය ප්‍රශස්තිකරණය කරන්න. ජන්දය ඉල්ලන්නේ වෙනත් දේකට." පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේය.

"මොකක් මේ වෙනත් දේ ? මේ යෝජනාවේ කියැවෙන්නේ දේශීය ණය ප්‍රශස්තිකරණය සඳහා වූ අවශ්‍ය සියලුම ණය ගැනීමට මුදල් අමාත්‍යවරයාට බලය පවරනවා කියනවා. අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව. පස්සේ අපි අමාත්‍ය මණ්ඩල තීරණය බැලුවා ඒකෙ මොකක්ද කියලා. ඒකෙ තියෙනවා මේ ණය ප්‍රශස්තිකරණයේ අවශ්‍ය පියවර ගැනීම සඳහා සියලුම බලය මුදල් ඇමතිවරයාට පවරනවා කියලා."

"මේක හරියට දිනයක් නැති, ලැබෙන්නා ගේ නමක් නැති, වටිනාකමක් සඳහන් කරන්නේ නැති චෙක් පතක් අත්සන් කරලා මුදල් ඇමතිවරයාගේ අතට භාර දෙනවා වගේ වැඩක්"

"මේ අනතුර අපිට කලින් නීතිපතිපතිතුමා දැක්කා. එතුමා මේ සියලු ලේඛණ පරික්ෂා කරලා ජූනි මාසේ 27 වෙනිදා භාණ්ඩාගාර මහ ලේකම්තුමාට ලිපියක් යවමින් එතුමාගේ මතය දැනුම් දෙනවා."

"මේ යෝජනාවේ මුදල් ඇමතිවරයාට දෙන බලය කුමක්ද කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන සංකල්ප පත්‍රිකාවේ තමයි සඳහන් වෙන්නේ මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ නිසා මේ සංකල්ප පත්‍රිකාවේ පියවරන් අනුගමනය කරන්න කියලා මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කරලා තියෙන්නේ. නමුත් නීතිපතිතුමාගේ නොසලකා හැරලයි මේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ." හෙතෙම විවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වීය.

රාජපක්ෂවරු ඡන්දයට නැද්ද ?

mara nara

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ (GETTY IMAGES)

පැය 10කට අධික දීර්ඝ වාද විවාද සහිත සභාවාරයකින් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට පක්ෂව වැඩි ඡන්ද 60 ක් ලැබී තිබුණද,කැපී පෙනන කරුණක් වුයේ ආණ්ඩු පක්ෂය නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෝඨාභය රාජපක්ෂ රජයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ එවකට රජයේ කැබ්නට් අමාත්‍යවරයෙකු වූ ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණ සිටිමයි.

කෙසේ වෙතත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ යෝජනාවලියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඊයේ සම්මත වූ මෙම යෝජනාව එළඹෙන ජූලි 04 වැනිදා රජය විසින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


එහිදී ඔවුන්ට ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා දින 21ක කාලයක් ලැබෙන අතර මෙම වැඩපිළිවලට එකඟ වෙනවා ද නැද්ද යන්න පිළිබඳ සේවක අර්ථසාධක අරමුදලේ තීන්දුව ජූලි 25 වැනිදා වනවිට ලබා දීමට නියමිතව තිබේ.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය )


සබැඳි පුවත් :

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු කුමක් ද?


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image