දොන් මායා, ස්වකීය ‘යූ ට්‍යුබ්’ චැනලයට මුදා හළ ‘අරගලයට පසු දේශපාලනය’ නොහොත් ‘ඉතින් ඊට පස්සෙ’ නමින් පානදුරේ පැවති දේශපාලන සංවාදයේ

දේශන නරඹමින් සිටින විට එක්වරම අපට එරික් ඉලයප්පාරච්චි ‘මැස්සා’ යන නාමකරණයෙන් සහෘදගත කළ බරපතල නොවෙල්ලාව මෙනෙහි වී යළි එහි පිටු පෙරලන්නට සිතක් පහළ විය‍.

එහි දෙවැනි කෙටි පරිච්ඡේදය ‍ඇරඹෙන්නේ මෙසේ ය:

img 20210802 0005''මම හැම විට ම සිතුවේ අහස අපේ පියස්සට උඩින් හොඳට ම ළංවෙලා තියෙන බවකි. උදේට ඉර පායන්නේ අපේ සිංහල උළු වහල අගිස්සෙනි. එතකොට පරණ ලී වඩිම්බුවේ මල් මෝස්තරය සමර බිත්තියට වැටෙයි. දවල් වෙද්දී ඉර පියස්ස මුදුනට එයි. හැන්දෑවේ අනික් කෙළවරින් බැස යයි. රෑට වහල උඩින් තරු දිලෙයි. පෝයක් තිබුණ හොත් සඳ පියස්ස උඩ රැඳෙයි. වහිද්දී වලාකුළුවලින් වහළට වතුර වැටෙයි. අකුණු ගහන්නේ වහල මුදුනේ හෙණ කඳයා යකඩ ඇණේට ය. මට සිතුණේ උස ඉණිමඟක් තිබුණහොත් පියස්සයි, අහසයි අල්ලන්න පුළුවන් බවකි. එවැනි ඉණිමඟක් මට නිතර හීනෙන් පෙනුණි."

එරික්ගේ ‘මැස්සා’ නොවෙල්ලාවේ පදනම් චරිතය ‘මැස්සා’ ම ය. සරසවි උප සංස්කෘතය විසින් පටබැඳින ලද එකී නාමකරණය එරික් ඉහඳ පනුවන් දඟළන සමස්ථ සමාජ දේශය මත තබා වර නඟයි. සමස්ථ ආඛ්‍යනය ගොඩනැඟෙන්නේ බුද්ධිමය පාපොච්චරණයක සෙයියාවෙනි. පාපොච්චාරණය යන්නෙහි ස්වභාවයෙන්ම ‘පාපය’ අඩංගු වන්නේ වෙයි. එවන් සමාජයක් යනු මෙවන් බුද්ධිමය මැස්සන් ගහණ සමාජයකි. ප්‍රස්තුත එරික්ගේ සිම්බොලික ‘මැස්සා’ පාපොච්චරණ සෙයියාවෙන්, ස්මරණය කරමින් සිටින්නේ තමන්ගේ සමාජ ජීවිතයේ පදනමයි. කොටින්ම ඒ වනාහී ස්වකීය හෘදය සාක්ෂියේ නිම්නාදයයි.  එය අයස්කාන්ත ඉතිහාසයක් නොවේ; එබැවින් එය මනස්කාන්ත හෘදය සාක්ෂියක් ද නොවේ. එය, ආතතිමය උද්වේගයෙන් නැරඹිය හැකි නරාවළක මෝටර් සයිකල් සවාරියක් බඳු සර්කස්මය විකාරයකි.

Eric Elayaparachiඑරික් ඉලයප්පාරච්චි

මැස්සා ඔස්සේ ප්‍රතිනිර්මාණය වනුයේ කථකයාගේ ජීවිත වින්‍යාසය පමණක් නොවේ; ඒ වනාහී සමකාලීන බුද්ධිමය ජරාජීර්ණභාවයේ හරස්කඩකි. ‘මැස්සා’ අතිශය බරපතළ සිම්බොලික රූපයක් වන්නේ දද හොරි කුෂ්ට ගහණ දුර්ගන්ධ සමාජ දේහයේ මත පතිතවෙමින් එහි සැරව උරා බොන දන්න කියන කෘමියකු සහෘදයාට අබිමුඛ කරවන නිසා ය. ඉතිහාස සාක්ෂරතාව අහිමිවීම ඔස්සේ දැනුම, ව්‍යාකූල ලෙස කඳ බැඳගත්, ඊනියා බුද්ධිමතුන් ගහණ සමකාලීන ජාතික රාජ්‍ය ව්‍යුහය තුළ බුද්ධිමය සෝදාපාලුව කෙතරම් ම බරපතළ ද යන්න කලාත්මකව ග්‍රහණය කරගැනීමට ‘මැස්සා’ සමත්ව ඇත. බුද්ධිමයභාවය යනු සමාජ බලයක් ද? නො එසේ නම් එය අසරණකම දක්වා පිරිහෙළනු ලද හීනමානය ද? මෙම සංකීර්ණ මනෝභාවයන් සමාජ කැන්වසය මත, අතිශය ඉසියුම් රේඛා, වර්ණ හැඩතල ඔස්සේ එරික් චිත්‍රණය කරයි.

MW 2377

සමාජ පුරා මමංකාරී ස්වරයෙන් පිළිරාව නැඟෙන්නේ ග්‍රාම්‍ය ගූඪත්වය නොවේ ද? කතානායක ‘මැස්සා’ බුද්ධිමය ලීලාවකින් ස්මරණය කරන්නේ එයයි.

 "මුලදී ලොකු උනන්දුවකින් ඉගෙන නොගත් නමුත් අතට හසුවන පිටස්තර දේවල් කියවීමේ පුරුද්දක් තිබුණු මා ඇතුළුගෙයි දිනපොත් අල්මාරිය ළඟට දිව ගිය හොත් අම්මා එතනට දුවගෙන ආවේ විදුලි වේගයෙනි. ‘ගුරා’ ලෙස හඳුන්වනු ලැබූ සිංහල ගුරුවරයෙකු, ‘වෙදා’ ලෙස හඳුන්වනු ලැබූ වෙද මහත්තයකු, ‘බණ්ඩියා’ ලෙස හඳුන්වනු ලැබූ ගම්මුලාදෑනියෙකු, ‘කසාදයා’ ලෙස හඳුන්වනු ලැබූ විවාහ රෙජිස්ත්‍රාර්වරයෙකු, ‘කකියා’ ලෙස හඳුන්වනු ලැබූ පොලිස් කොස්තාපල්වරයකු හා මහණ වුණු පසුත් ‘රෙද්දා’ හෝ ‘උපාසක හාමුදුරුවයන්’ යන මොවුන්ගේ දිනපොත් වලින් සමන්විත ලී කැටයම් සහිත බුරුම වීදුරු අල්මාරිය මට තහනම් අඩවියක් විය."

මැස්සා පසුකලෙක මෙම තහනම් පොත් අල්මාරිය කොළඹට රැගෙනවිත් ඒ  එකින් එක නිරාවරණය කරයි; එවිට නිරාවරණය වන්නේ පොත් අල්මාරියක් නොව ග්‍රාම්‍ය සංස්කෘතික ගූඨත්වයේ හරස්කඩකි. මෙම නිෂ්චිත සංසිද්ධිය ඔස්සේ පවා එරික් ගොඩනංවන්නේ අතිශය බරපතළ සිම්බොලික පද්ධතියකි. එපමණක් නොව, ගමේ තිබූ අබලං මෝටර් රථය කොළඹට පටවාගෙන එන්නට මැස්සාට අවශ්‍ය වෙයි. එය ධාවනය කළ නොහැක්කකි. ඊට සරිලන වාහනයක් සොයමින් සිටියදී එරික්ට ගාලුමුවදොර හෝටලයේ සංගීත ප්‍රසංග උදෙසා පතරංග පියානෝ ප්‍රවාහණය කරනා ලොරියක් හමුවෙයි. දිනපොත් අල්මාරිය ද පැටවෙන්නේ එකී වාහනයට ම ය. මේ වනාහී බරපතළ සමාජ කතිකාවක් යෝජනා කරන එරිකියානු පරිකල්පනයකි. මේ බලන්න!

"කාරය පටවාගෙන ආපසු එන්නට සූදානම් වූ විට අක්කා මට කීවේ මම කටුබැද්දේ කුලියට ගෙන තිබෙන උඩතට්ටුවේ ඉඩ තිබෙන නිසා දිනපොත් අල්මාරියත් ලොරියේ දමාගෙන යන ලෙස ය. සෝමසිරි අයියා ඒවා කියවන්නට පටන් ගෙන තිබුණි. අක්කාගේ සිතේ ඒ ගැන කැමැත්තක් තිබුණේ නැත. ඔහුට ඕනෑම අල්මාරියක් අරින්නට පුළුවන් නිසා යතුරු හැංගීමෙන්ද ප්‍රයෝජනයක් නැත."

ඔහු ගාලුමුවදොර හෝටලයට සම්බන්දයක් පෙන්වන ලොරියේ පටවාගෙන එන්නේ, සමාජය වෙලා ගත් දෛනික ජීවිතටය තදින්ම බලපෑ අති සමීප දේශපාලන සංසිද්ධීන් දෙස දුරදක්නයකින් බැලූ බටහිර දාර්ශනික උරුමය සොයා යන්නවුන්ගේ විලාසිතාවාදී බටහිර උරුමය සහ ගූඪ දේශිය ගැමි උරුමය යන උරුමයන් දෙකම එකම විට ය. මෙකී ඊනියා බටහිර උරුමයේ මූලය වැටී තිබෙන්නේ ඔහුගේ සහෝදරයා හරහා ය. මෙකී අත්භූත පැවතුම් සහිත සහෝදරයාගේ භෞතික මෙන්ම සිම්බොලික මරණය හරහා මැස්සා සසල වෙයි. කෘතිය පුරා හෙවණැල්ලක් සේ වැටී ඇත්තේ මෙකී ආත්මීය හොල්මංවීම යි.

MW 3 2377
මැස්සාගේ නන්නත්තාරික අධ්‍යාත්මිය පැල්ම ස්ථාපනය වී ඇත්තේ  මෙම ධ්‍රැවිකරණය මත ය. ඔහුගේ බුද්ධිමය හීනමානයේ ද, අසරණභාවයේ ද  පදනම ගොඩ නැඟෙන්නේ ඊට සමාන්තරව ය. නූතනවාදී යැයි පරිකල්පිත, බටහිර ආකෘතියක තබන්නට මැස්සා සිහින මවන්නේ මෙකී අතිශය ග්‍රාම්‍ය උරුමය යි. මැස්සාගේ මමංකාරී කටහඬ මෙයාකාර ය. මේ බලන්න!

"මා සිතාගෙන උන්නේ පවුලේ දිනපොත් මගේ සාලයට ගැළපෙන ඉකෙයා අල්මාරියක තබන්නට ය. ඒ සැලසුම ටැක්සියේ එල්ලා තිබුණු කාරඩෙකෝ පයින් ගස මෙන් දෙපැත්තට වැනුණේ ය. නිවෙස් වෙනුවෙන් එකලස් කර තැබිය හැකි දාර්ශනික පෙනුමේ හෘහ භාන්ඩ සාදන ඉකෙයා ස්විඩන් ඩච් සාප්පු දාමයේ කොළඹ ශාඛාවක් තිබේදැයි මම කල්පනා කළෙමි."

ඔහු සිහින මවන්නේ සකලාකාර බුද්ධිමය දෙදරායෑම් අබියස වුව තමන් තවමත් මුළුමනින්ම නිරාවරණය කරගෙන නැති, සිය ග්‍රාම්‍ය උරුමය වූ දිනපොත් සමූහය දාර්ශනික ආකෘතියක රඳවාගන්නට ය.  

අතිමූලික සමාජ සත්තාවන්ට පවා ප්‍රතිමුඛව එරික් විසින් ‘මැස්සා’ ලවා හේතුවාදීන්ගේ සංගමයට ප්‍රතිපක්ෂ ‘පෘථිවි සමතලවාදීන්ගේ සංගමය’ පිහිටුවා  මධ්‍යකාලීන අඳුරු යුගයේ තෙල්සියානු ප්‍රවාද දක්වා වන ව්‍යාකූලභාවයන් වෙත අපගමනය වන ආඛ්‍යනයක් ගොඩනැඟෙනා හේතුව සමකාලීන බුද්ධිමය සංවාද වෙත කැටපතතක් අල්ලා පෙන්වීමක් වැන්න. ඒ වනාහී, කොටින් ම, එය සමකාලීන ‘’තග්වාදී’’ බුද්ධිමය ව්‍යාකූලත්වය පිළිබිඹු කරයි.  පානදුර ‘අරගල සංවාදය බලා ‘මැස්සා’ යළි කියවූ විට එරික් ‘මැස්සා’ හරහා සමාජගත කරන කතිකාව මනාව අපට අබිමුඛ වෙයි.

.

වාමවාදී කතිකාමය අවකාශය තුළ පවා බුද්ධිමය හීනමානය ම අධිමානය බවට රූපාන්තරණය වී ඇත. එබැවින් මහා නාමකායන් ලෙස ළෙලදෙන්නට යත්න දරන්නන් තුළ පවතින අඩංගුව කෙතරම් කුඩාදැයි දෘෂ්‍යමාන වෙයි.

ස්වරූපරාගය බලවත් දේශපාලන ව්‍යාසනයකි. සෙල්ෆීකරණය වූ හිනාවන් අධිපරිභෝජනයේම දිගුවක් බව ඔවුන්ට හැඟෙන්නේ නැත. තමන් නිස්කාරණයේ වචන විසිකරමින් විරෝධය පානා පරිභෝජන ධනවාදය, තමන් ගොදුරු කරගෙන අවසන් බව ඔවුන් හඟින්නේ නැත. ඔවුන්ගේ භාවිතය ඇත්තේ අන්තර්ජාල අවකාශයේ මිස මහපොලොවේ නොවන බව භාවිතයේ අඛන්ඩතාව නිරීක්ෂණය කිරීමෙන් ම වුව අවබෝධ කරගැනීමට අපහසු නැත. තවමත් රටේ කේන්ද්‍රීය දේශපාලන ගැටළුව වන්නේ ජාතික ප්‍රශ්නය බව අවබෝධ කර නොගන්නා තාක් තාර්කික හීනමානය දුරුතු කරගන්නට කිසිවකුටක් බැරි ය. සහෝදර ජනයා මරා කඳු ගැසූ රටක විකල්ප ධාරාවේ ක්‍රියාකාරිකයකු රැඩිකල්ද නැද්දැයි තීන්දුවන ලිට්මස් පරීක්ෂාව ජාතික ප්‍රශ්නයදැයි ප්‍රශ්න කරන ස්වරූපරාගීන්ට කිවයුත්තේ, ඒ වනාහී රැඩිකල්ද නැද්ද යන්න තීන්දු කිරීමට එහා ගිය, මිනිසකුද නැද්ද තීන්දු කරන ලිට්මස් පරීක්ෂාව බවයි.

බුද්ධිමය අනෙකා සිටින්නේ තමාගෙන් පරිබාහිරව නොව තමාගේ පරිකල්පන ලෝකය තුළම බව නොදත් මෙම ස්වරූපරාගීන් ගැටෙන්නේ තමන් සමඟම බව හඟින්නේ නැත. අභ්‍යන්තර ‘’භාෂණය’’ ඔවුන් භීතියට පත් කර එතරම්ම ව්‍යාකූල කරනා සංලාපයක් බව අවබෝධ වන විට පෙරහැර ගොසින් තිබෙන්නට පිළිවන.  

තමන්වම විශාලනය කර පෙන්වීමට අනවරතව දඟලන ආත්මරාගීන් මොන තරම් කුඩා මිනිසුන් ද යන්න පිළිබඳ සවිඥානික වීම සමකාලීන දේශපාලනයේ වැදගත් කියවීමක් විය යුතු වන්නේ එබැවිනි.


Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 ජූලි 9)


This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Anida


 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්