The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද? - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

August 4, 2024 • 10:52 AM

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද? - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි.
  • තම විෂය ක්ෂේත්‍රයට අමතරව බුදුදහම පිළිබඳව ද මනා දැනීමක් තිබූ ඔහු මහරගම සිරි වජිරඥාන ධර්මායතන දහම් පාසලේ ගුරුවරයෙකු ලෙස ද දිගු කලක් ස්වේච්ඡාවෙන් සේවය කොට තිබිණි.
  • සිංහල බෞද්ධ සමාජයේ සාම්ප්‍රදායික විශ්වාසයන් අභිබවමින් ඉස්මතු වූ ‘දොළුකන්දේ ආසිරි පැන්’ නම් වූ විපරීත අංගයක් එවක සමාජයේ ශීඝ්‍ර ජනප්‍රියත්වයට පත්වීම නිසා දිනපතා ලක්ෂ ගණන් බෞද්ධයන් එම ආසිරි පැන් ලබාගැනීම පිණිස බෝතල්, කෑන්, බූලි ආදිය රැගෙන දොළුකන්දට ඇදෙන්නට වූහ.
  • ඒ කිසිදු වෛද්‍ය ක්‍රමයකින් සුව කළ නොහැකි බරපතළ රෝග පවා එම පැන් බීමෙන් නිට්ටාවටම සුව වන බවට පැතිර ගිය මිථ්‍යා විශ්වාසයක් මුල්කර ගනිමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මට ද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ රෝග සුවය’යන්න ය.

1000 QL80 ඒ සඳහා මා හැරුණුකොට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනක් ද ඇරයුම් ලැබ සිටියහ. ඉන් එක් අයෙකු වූයේ බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව සේම බුදු දහම පිළිබඳවද ගැඹුරු අධ්‍යයනයක් කොට තිබූ දිවංගත විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍රයන් ය. ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ‘ජාතක කතා මනෝ වෛද්‍ය විද්‍යාත්මක දුෂ්ඨියෙන්’ (Psychiatric aspect of jataka stories) යන කෘතියට එවක විද්වත් සමාජයේ ඉහළම පිළිගැනීමක් ලැබී තිබූ අතර ඊට සාහිත්‍ය සම්මාන පවා හිමි විය.

සම්මන්ත්‍රණයට එක්වූ අනෙක් විද්වතා වූයේ විකලාංග ශල්‍ය වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා ය. තම විෂය ක්ෂේත්‍රයට අමතරව බුදුදහම පිළිබඳව ද මනා දැනීමක් තිබූ ඔහු මහරගම සිරි වජිරඥාන ධර්මායතන දහම් පාසලේ ගුරුවරයෙකු ලෙස ද දිගු කලක් ස්වේච්ඡාවෙන් සේවය කොට තිබිණි.

සිංහල බෞද්ධ සමාජයේ සාම්ප්‍රදායික විශ්වාසයන් අභිබවමින් ඉස්මතු වූ ‘දොළුකන්දේ ආසිරි පැන්’ නම් වූ විපරීත අංගයක් එවක සමාජයේ ශීඝ්‍ර ජනප්‍රියත්වයට පත්වීම නිසා දිනපතා ලක්ෂ ගණන් බෞද්ධයන් එම ආසිරි පැන් ලබාගැනීම පිණිස බෝතල්, කෑන්, බූලි ආදිය රැගෙන දොළුකන්දට ඇදෙන්නට වූහ. ඒ කිසිදු වෛද්‍ය ක්‍රමයකින් සුව කළ නොහැකි බරපතළ රෝග පවා එම පැන් බීමෙන් නිට්ටාවටම සුව වන බවට පැතිර ගිය මිථ්‍යා විශ්වාසයක් මුල්කර ගනිමිනි. එය එවකට දොළුකන්දේ භාවනා කුටියක් බලහත්කාරයෙන් අත්පත් කරගත් භික්ෂුවක් සහ ඔහු වටා ඒකරාශී වූ කපටි කයිරාටිකයන් කිහිපදෙනෙකු එක්ව සිදුකළ කට්ට කයිරාටික ක්‍රියාදාමයක් බව කෙමෙන් අනාවරණය විය.

Holy water

 

එසේ එම ආසිරි පැන් බලයෙන් රෝග සුව වනුයේ දොළුකන්දේ ඉදි කිරීමට නියමිත රන් දාගැබ සඳහා රත්‍රන් පූජා කරන්නවුන්ට පමණක් බව පසුව හීන්සීරුවේ සමාජය පුරා පැතිරවීමට තරම් එම පිරිස සටකපට විය. දොළුකන්දේ තිබී හමුවූ රන් කොතක් එම භික්ෂුව සියලු ලෝබකම් නසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමේ කතාවක් ඇතුළු ගල් පැලෙන බොරු කන්දරාවක් ද ඔවුන් විසින් පතුරුවා තිබිණි.


ඒ වන විට පඬුවස් නුවර පුරා විද්‍යා කාර්යාලයේ ආරක්ෂිතව තැන්පත් කොට තිබූ එය යාන්තම් රන් පැහැයක් මතු පිට ගල්වා තිබූ මැටි කොතකි. නමුත් ඔවුන් රට පුරා ප්‍රචාරය කර තිබූ අන්දමට එම භික්ෂුවට එලෙස ඇල් වතුරවලින් රෝග සුවකිරීමේ බලය හිමිව ඇත්තේ රන් කොත පරිත්‍යාග කිරීම සමඟ සිදුකළ සත්‍ය ක්‍රියා බලයෙනි. 

 

සංඝ කල්ලි, සිවුරු අඳින රස්තියාදුකාරයෝ සහ මංගල කරුණු -ශ්‍රීලාල් සෙනෙවිරත්න

ඒ කෙසේ හෝ බුදු දහමින් ඉඳුරාම වෙනස් මෙම ‘මගඩි සූත්‍රය’මගින් එම භික්ෂුව සහ ඔහු වටා එක්රොක්ව සිටි ඉර හඳ උලා කෑ කපටි ජාවාරම්කරුවන් රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් බඩු ජනතාවගෙන් කොල්ලකෑහ. පසුව එම ජාවාරම්කරුවන් විසින් ඒ භික්ෂුවගේ ‘ජාවාරම් පංගුව’ ද සොරාකන බව දැනගත හැකි විය. මෙම සම්පූර්ණ කතා ප්‍රවෘත්තිය මවිසින් ලියන ලදුව 2001 වසරේ නිකුත් කරන ලද ‘ජනකාන්ත මිථ්‍යා මත’ නම් කෘතියට ඇතුළත් ව තිබේ.

thilkyuytuy
‘‘මිනිසුන්ට වැළඳෙන රෝග සුවපත් කිරීම සඳහා යොදා ගැනෙන විශ්ව ශක්තිය පිළිබඳව ඔබ දක්වන මතය කුමක්ද?’’ එම දේශනය අවසානයේ පැවති සංවාදයේදී සභාවෙන් නැගී සිටි එක් සරසවි ශිෂ්‍යයෙක් මගෙන් ප්‍රශ්න කළේය.

‘‘මිනිසාගේ පැවැත්ම සඳහා මේ අනන්ත අපරිමාණ විශ්වයේ ඇති මෙතෙක් හඳුනා නොගත් යහපත් සහ අයහපත් කිරණ විශේෂවල බලපෑම් පවතින බවට වර්තමාන සමාජයේ ජනප්‍රිය මතයක් පවතිනවා. නමුත් ඒ මතය ඒ ආකාරයෙන්ම බුද්ධ කාලයටත් වඩා බොහෝ ඉපැරණි වෛදික ඉගැන්වීම්වලත් ඒ ආකාරයෙන්ම තියෙනවා. නමුත් මිනිසාගේ පැවැත්ම විශ්වීය කිරණ මගින් තහවුරු වන බවට පැවැති ඒ පැරණි මතය බුදු දහමින් ප්‍රතික්ෂේප වෙනවා. විශේෂයෙන් මිනිසාට වැළඳෙන රෝග සහ ඒවාට හේතු ඉදිරිපත් කරන බෞද්ධ සූත්‍ර කිසිවක එවැනි කිරණක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම නූතන වෛද්‍ය විද්‍යාවේ පියා විදිහට සළකන ග්‍රීසියේ (ක්‍රිස්තු පූර්ව පස්වන හතරවෙනි සියවස් අතර) විසූ හිපොක්‍රටීස් කියන දාර්ශනිකයාත් ඔය කිරණ සංකල්පය බිඳහෙළීම නිසයි ඔහුට වෛද්‍ය විද්‍යාවේ පීතෘත්වය පවා හිමිකොට දී තිබෙන්නේ.’’ මම සභාවට කරුණු හෙළි කළෙමි. එහෙත් එම කරුණු හෙළි කිරීමත් සමඟ සභාවෙන් නැගී සිටියේ තරුණ ශිෂ්‍ය හිමි නමකි.

 

pt867gvt
‘‘මම පුංචි කාලේ ඉඳලම ඇදුම රෝගයෙන් පීඩා විඳපු කෙනෙක්. කාලයක් තිස්සේ ඒකට ඉංග්‍රීසි, සිංහල බේත් බිව්වත් කිසිම සුවයක් දැනුණේ නැහැ. ඒත්, පස්සේ විශ්ව ශක්තියෙන් රෝග සුව කරන කෙනෙක් මගේ ඒ ඇදුම රෝගය නිට්ටාවටම සුවපත් කළා. ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ?’’ එම හිමි නම අසා සිටියේ එක්තරා අභියෝගාත්මක ස්වරූපයෙනි.

‘‘බුදු දහමේ දාර්ශනික න්‍යෂ්ඨිය තමයි පටිච්ච සමුප්පාදය කියන හේතුඵල වාදය. හේතුව පවත්නා විට ඵලය පවතිනවා. හේතුව හට ගැනීමෙන් ඵලය හට ගන්නවා. හේතුව නැති විට ඵලය පවතින්නේ නැහැ. ඒ අනුව හේතුව නැති කිරීමෙන් ඵලය නැති වෙනවා කියන එකනේ ඒකෙන් කියන්නේ. ඒ අනුව ඔබවහන්සේට වැළඳුණු ඔය රෝග ලක්ෂණ අසාත්මිකතා, ආසාදන වගේම මානසික සාධක හින්දත් ඇතිවෙන්න පුළුවන්. ඒ විදිහට මානසික හේතූන් මත ඇතිවුණු කායික රෝග ලක්ෂණ තීව්‍ර මානසික බලපෑම් ඇතිකරන තොවිල් පවිල්, යාඥාවලින් වගේම ඔය වගේ වෙනත් විකල්ප ක්‍රමවලින් සුව කරන්න පුළුවන්. නමුත් ඒක ස්ථිරසාර සුවයක් විදිහට සලකන්න බැහැ. ඒ වගේම ළමා වයසේ දී ඇති වන ඔය වගේ ආබාධ යොවුන් වයසේ දී ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමත් එක්ක ස්වාභාවිකට යටපත් වීමේත් පැහැදිලි ඉඩක් තියනවා.’’ මම සභාවට හෙළි කළෙමි.

g567657

 

මා එසේ කීමට හේතුව මෝහන ශාස්ත්‍ර විශාරදයෙකු වන ආචාර්ය නෙවිල් ද සිල්වාගේ අනුග්‍රහයෙන් ඒ පිළිබඳව විමර්ශන කරනු ලැබූ අවදියේදී මෝහනයට පත්කළ විවිධ පුද්ගලයන් වෙතින් ඇදුම, පීනස ආදිය සම්බන්ධ එවැනි රෝග ලක්ෂණ කෘත්‍රිමව පැන නැංවීමට පවා මා හට හැකි වූ බැවිනි.

‘‘ඇදුම රෝගයේ ලක්ෂණ කායික වගේම මානසික හේතූන් මතත් හටගන්න පුළුවන්. තමන්ගේ නාසයට දූවිලි ගියාම ඇදුම රෝග ලක්ෂණ ඉස්මතු වෙනවා කියලා තදින් විශ්වාස කරන කෙනෙකුට ඇමරිකානු කව්බෝයි චිත්‍රපටියක දූවිල්ලෙන් පිරුණු දර්ශන දැකීමෙනුත් එහෙම වෙන්න පුළුවන්. මොකක් හරි මලක පරාග ආඝ්‍රහණය වුණාම තමන්ට ඇදුම රෝග ලක්ෂණ පළවෙනවා කියලා තදින්ම සිතන කෙනෙකුට වීදුරු තලයකින් එහා පැත්තේ තියෙන ඒ කියන ජාතියේ මලක් ඉඹින්න දුන්නත් ඒ රෝග ලක්ෂණ ඒ වගේම මතු වෙන්න පුළුවන්. නමුත් හැම ඇදුම රෝගියෙක් සම්බන්ධයෙන්ම ඒ තත්ත්වය බලපාන්නේ නැහැ. ඒ හින්දා තමයි ඇදුම කායික රෝග ගණයට දාලා තියෙන්නේ. නමුත් ඒ වගේ රෝග මානසික තත්ත්වත් එක්කත් සම්බන්ධයි.’’

 

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිලිබඳ පනත වහාම වෙනස් කරන්න ඉල්ලයි
එම තරුණ හිමි නමගේ පැනයට විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් විසින් ද එබඳු අතුරු පිළිතුරක් දුන් අතර, ඔහු වැඩිදුරටත් කියාසිටියේ විවිධ ඇතැම් සහ ජන වෙදකම්වල එන එවැනි තුටුපහටු මානසික බලපෑම් (Placebo effect) විධිමත් වෛද්‍ය ප්‍රතිකාර සේ වරදවා වටහා නොගත යුතු බව ය.

‘‘අපි හිතමු කාටහරි කාලයක් පවතින තදබල හිසරදයක් තියෙනවා.එතකොට ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කරලා ඒකට හේතුව මොළය තුළ තියෙන ගැටිත්තක්, පිළිකාවක් වගේ දෙයක් ද කියලා ඒ වගේ දෙයක් නැති බව විද්‍යාත්මකව තහවුරු කරගන්න ඕනේ. එහෙම නැතුව තොවිල්පවිල්, යාඥා වගේ දේකින් දෙන තීව්‍ර මානසික ඇණවුම්වලින් වුණත් ඒ හිසරදය මැඬ පවත්වන්න පුළුවන්. ඒත් අන්තිමට වෙන්නේ වේදනාවකින් තොරවම ඒ තත්ත්වය උග්‍රවෙලා රෝගියා මියයන එක.’’මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර කීය.

‘‘වයින් හිරවුණු ඔරලෝසුවක් බිම වැටුණට පස්සේ ආයිමත් වැඩ කළා කියලා වයින් හිරවුණ ඔරලෝසු පො‍ළොවේ ගහන්න විතරක් එපා.’’එම සංවාදය සමාප්ත කරමින් මම කීවෙමි.

(තිලක් සේනාසිංහ)

ගවේෂණාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...