ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් පිරිසක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පසුගිය සමයේ දකුණු ඉන්දීය ධීවරයෝ විරෝධතා මාලාවක් දියත් කළහ.

එහිදී ඔවුන් පැවසූවේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන දකුණු ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන්නේ නම් තමන් 2024 කච්චතිව් දේව මංගල්‍යයට සහභාගි වීම වර්ජනය කරන බව ය.


කච්චතිව් දූපතේ පිහිටීම
kjzdf
කච්චතිව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි දූපත වන්නේද කච්චතිව් දූපතයි.

දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව කච්චතිව් දූපත පිහිටා ඇති අතර, ඇතැම් අවස්ථාවල රාමේශ්වරන්හි පවතින උසින් වැඩි කුළුනු ශීර්ෂ කච්චතිව් දූපත අවට මුහුදු සීමාවට නිරීක්ෂණය වන බව ධීවරයෝ පවසති.

දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 24 කට ආසන්න දුරක් පවතින අතර, යාපනය සිට කච්චතිව් දූපත දක්වා කිලෝමීටර 63 කට ආසන්න දුරක් පවතින බව ගූගල් සිතියම පෙන්වාදෙයි.

කච්චතිව් දූපත භූමි ප්‍රමාණය අක්කර 280 කට ආසන්න වපසරියකින් යුතු අතර,ඉන්දු ලංකා ධීවරයින්ගේ ධීවර නවතැන්පොළක් ලෙස එකල කච්චතිව් දුපත භාවිත කෙරුණි.

ස්වභාවික සම්පත්වලින් අනූන කච්චතිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් බහුලව ධීවර කර්මානයේ නිරත වෙයි.

lkpxrft
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථාන දේව මෙහෙය

ඉන්දු - ලංකා ධීවරයින් සහෝදරත්වයෙන් යුතුව සමරනු ලබන දේව මංගල්‍ය වන්නේ කච්චතිව්හි පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මංගල්‍යයයි.

ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් සෑම වසරකම පෙබරවාරි මස හෝ මාර්තු මාසයේදී කච්චතිව් මංගල්‍ය පවත්වන අතර, මෙවර කච්චතිව් මංගල්‍යය පෙබරවාරි 23 වැනිදා හා 24 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

කච්චතිව් සාගර සීමාවේ මසුන් ඇල්ලීමට හා සාමාන්‍යයෙන් කච්චතිව් දූපතට පිවිසීමට ඉන්දීය ජනතාවට ආගමන විගමන නීති අනුගමන කළ යුතු වුවත්, කච්චතිව් ශාන්ත අන්තෝනි දේව මංගල්‍ය සමයේ වීසා නොමැතිව ඉන්දීය බැතිමතුන්ට කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගිවීමට හැකිය.

දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් ධීවර වරායේ ඉන්දීය බළධාරීන්ගේ අවසරය හා ලියාපදිංචිය මත ඉන්දීය බැතිමතුන්ට කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ මෙහෙයට සහභාගිවීමට හැකිය.

ශාත්ත අන්තෝනි දේව මංගල්‍ය වසර සිය ගණනාවක සිට පැවැත්වෙන අතර, සෑම වසරකම ඉන්දීය බැතිමතුන් 3000 කට ආසන්න පිරිසක් හා ශ්‍රී ලංකා බැතිමතුන් 5000 කට ආසන්න පිරිසක් වාර්ෂික දේව මංගල්‍යයට සහභාගි වෙති.

මෙරට පැවති සිවිල් යුද්ධය හේතුවෙන් 1982 වසරේ සිට 2010 වසර දක්වා ඉන්දු ලංකා බැතිමතුන්ට කච්චතිව් දේව මංගල්‍යය වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව අහිමිවූහ.

2010 වසරේ සිට මේ දක්වා යාපනය දිසාව භාර රඳගුරු සභාව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීම මත කච්චතිව් වාර්ෂික මංගල්‍යය අඛණ්ඩව පවත්වති.

kachchathivකච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ගැටළුව ඉතිහාසය පුරාවටම දක්නට ලැබුණු අතර,මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනාය හා ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි අතර 1974 ජුනි 26 වැනිදා අත්සන් කළ ගිවිසුමක් මත කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය.


කච්චතිව් දූපත සම්බන්ධයෙන් වන ඉන්දු ලංකා ගිවිසුම

කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ගැටළුව ඉතිහාසය පුරාවටම දක්නට ලැබුණු අතර,මෙරට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනාය හා ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි අතර 1974 ජුනි 26 වැනිදා අත්සන් කළ ගිවිසුමක් මත කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවිය.
‘කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට’, ‘මව්බිමේ අයිතිය මැතිණිය දිනාගනී’ යනුවෙන් එකල පුවත්පත්වල ශීර්ෂපාඨ වාර්තා තිබුණි.

කච්චතිව් දුපත ඉන්දියාවේ කොටසක් නොවන බවත්, දූපත ශ්‍රී ලංකාවේ කොටසක් වන බවත් ගිවිසුමේ සඳහන් වෙයි.

කච්චතිව් අයිතිය 1974 දි ශ්‍රී ලංකාවට හිමිවුවද, කච්චතිව් අයිතිය හා කච්චතිව් සාගර සීමාව සම්බන්ධ ගැටළුව 20 වැනි සියවසේ මුල් කාලවකවානු දක්වා දිවගොස් තිබුණි.

කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් 1921 වසරේ ඉන්දීය නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අතර, සාකච්ජාවක් පවත්වා තිබු අතර, එහිදි ඉන්දීය නියෝජිතයින් සඳහන් කොට ඇත්තේ කච්චතිව් දූපත බ්‍රිතාන්‍ය පාලන සමයේ රාමන්ඩි පාලකයෙකු යටතේ පැවති බවය.

එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින් පවසා ඇත්තේ කච්චතිව් දූපත කිසිදු කාලයක ඉන්දියාවට අයත්ව නොතිබු බව ය.

වර්ෂ 1800 දී පමණ ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් පාදක කර කරමින් 1950 දී ආර්. එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව දක්වා ඇති අතර, ඉංග්‍රීසි ජාතික සිවිල් පරිපාලකයෙකු වු සර්.ජේම්ස් එමර්සන් 1860 දී "සිලෝන්” නමින් එළිදක්වා තිබු ග්‍රන්ථයක සිතියමක ද කච්චතිව් දූපත ඇතුළත් කොට තිබු බව පුරාවිද්‍යා නිලධාරීන් පෙන්වා දෙයි.

1974 දී අත්සන් කළ ගිවිසුම අනුව කච්චතිව් දූපත ආශ්‍රීත ධීවර කටයුතු හා කච්චතිව් දූපත ආශ්‍රිත සාගර සීමාව සම්බන්ධයෙන් වු ගැටලු හේතුවෙන් එදා සිට මේ දක්වා ඉන්දීය ධීවරයින් හා ශ්‍රී ලංකා ධීවරයින් අතර ගැටුම්හට ගනිමින් පවති.

1976 වසරේ ඉන්දු ලංකා නායකයින් අත්සන් කළ තවත් ගිවිසුමක් අනුව කච්චතිව් දූපත ආශ්‍රිතව මසුන් ඇල්ලීමට ඉන්දීය ධීවරයින්ට අවසරය අහිමිකොට තිබුණි.

xdfgdg1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සිදුකළද, දකුණු ඉන්දීය ධීවරයින් හා දකුණු ඉන්දීය දේශපාලන නායකයෝ කච්චතිව් දූපත ඉන්දියාවට නැවත පවරා ගත යුතු බවට ඉල්ලීම් කරති.


කච්චතිව් දූපත සම්බන්ධයෙන් තමිල්නාඩු මතය

1974 ගිවිසුම මඟින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සිදුකළද, දකුණු ඉන්දීය ධීවරයින් හා දකුණු ඉන්දීය දේශපාලන නායකයෝ කච්චතිව් දූපත ඉන්දියාවට නැවත පවරා ගත යුතු බවට ඉල්ලීම් කරති.

දකුණු ඉන්දීය හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වු ජෙයලලිතා ජෙයරාම් හා එම්. කරුණානිධි ඉන්දීය මධ්‍යම රජයට අවස්ථා ගණනාවකදී බලපෑම් කරමින් පැවසූවේ කච්චතිව් දූපත නැවත ඉන්දීයාවට පවරාගත යුතු බව ය.

දකුණු ඉන්දීය ධීවරයින්ගේ ඉල්ලීම අනුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස පත්වු ජෙයලලිතා ජෙයරාම්ගේ මෙහෙයවීම යටතේ 2008 වසරේදී දකුණු ඉන්දීය නියෝජිතයින් පිරිසක් විසින් 1974 වසරේ ගිවිසුම්ගත කළ ගිවිසුම අහෝසි කරන ලෙසට ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනු කර තිබුණි.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයට විරුද්ධව වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හිතවාදී කණ්ඩායම ගෙනගිය විරෝධතා වලදී, ඔවුන් ප්‍රකාශ කොට තිබුණේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමට ඉන්දිරා ගාන්ධි ඇතුළු කොංග්‍රස් පක්ෂය සිදුකළ ක්‍රියාව අනුවණ තීරණයක් වන බවය.

ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පසුගිය සමයේ දකුණු ඉන්දීය ධීවරයින් විසින් විරෝධතා මාලාවක් දියත් කළ අතර, එහිදි ඔවුන් පැවසූවේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන දකුණු ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන්නේ නම් තමන් 2024 කච්චතිව් මංගල්‍ය වර්ජනය කරන බව ය.

ශ්‍රී ලංකාව භාරයේ සිටින දකුණු ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙසට ඉල්ලා වර්තමාන තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය එස්.ජ‍ෙයශංකර්ගෙන් ඉල්ලීම් කොට තිබිණ.

රාමේශ්වරම්, විශාකපට්ටිනම් ධීවර සංගමයේ සභාපති ඒ.ජේසුරාජ් ඉන්දු - ලංකා ධීවර ගැටළුව හා කච්චතිව් මංගල්‍ය වර්ජනය කිරීම සම්බන්ධයෙන් පැවසූවේ මෙලෙසය.

“අපේ ධීවරයින් 30 කට වැඩි පිරිසක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ අය නිදහස් කරන්න කියලා අපි ඉල්ලීම් කළා.ඒත් ශ්‍රී ලංකා රජය අපේ ධීවරයෝ හා අපේ ධීවරයින්ගේ බෝට්ටු තවම නිදහස් කරලා නෑ.අපි කියන්නේ අපේ ධීවරයෝ නිදහස් කරලා දෙන්න කියලා.”

zcvfsretශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන දකුණු ඉන්දීය ධීවරයින් නිදහස් නොකරන්නේ නම් තමන් මෙවර කච්චතිව් දේව මංගල්‍යයට සහභාගිවීම වර්ජනය කරන බව ඉන්දීය ධීවර නියෝජිතයින් පවසා තිබේ.


අපි අවස්ථා ගණනාවකදි තමිල්නාඩු රජය එක්ක මේ ගැන කතා කළා.ඒත් තමිල්නාඩු රජය අපේ ධීවරයෝ නිදහස් කරලා දුන්නේ නෑ.ශ්‍රී ලංකා රජය එක්ක කතා කරලා අපේ ධීවරයෝ නිදහස් කරන්න ඕනේ.”

“කච්චතිව් කියන්නේ රාමේශ්වරම්වලට ඉතාම ආසන්න දූපතක්. රාමේශ්වරම්වලට ආසන්න දූපතක් වන කච්චතිව් මුහුදේ මාළු ඇල්ලුවත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව අපේ අය අල්ලගෙන යනවා ශ්‍රී ලංකා මුහුදේ මාළු ඇල්ලුවා කියලා.”

“අපිට ආසන්න දූපතක අපිට මාළු අල්ලන්න බැරි නම් ඒක මොන තරම් අසාධාරණද. මේ 2024 අවුරුද්දේ බෝට්ටු 100 කින් කච්චතිව් මංගල්‍යය වෙනුවෙන් සහභාගිවෙන්න දකුණු ඉන්දීය ධීවරයින් බලාපොරොත්තුවෙලා හිටියේ.”

"ඒත් ශ්‍රී ලංකා රජය අල්ලපු අපේ ධීවරයින් නිදහස් කරන්නේ නැත්නම් අපි ඒකට විරෝධය දක්වමින් කච්චතිව් මංගල්ලයට සහභාගි වෙන්නේ නැතුව ඉන්න අපේ ධීවර සංගම්වල ධීවරයින් තීරණය කළා. මංගල්‍යයට අපේ රටේ බැතිමතුන් පිරිසක් යයි.ඒත් අපේ ධීවරයෝ යන්නේ නෑ."හෙතෙම කියා සිටියේය.

ඉන්දු ලංකා ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයින්ගේ මතය

ඉන්දීය ධීවර ගැටළුව හේතුවෙන් යාපනය,මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින අතර, ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදුකරන මත්ස්‍ය ජාවාරම නවතා දෙන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය දිස්ත්‍රික් ධීවරයින් පසුගිය සති කිහිපයේම විරෝධතා වැඩසටහන් හා රැස්වීම් මාලාවක් පැවැත්වූහ.

යාපනය ධීවර සංගම් සභාපතිවරයෙකු වන එස්.පුනිදප්‍රකාශ් ඉන්දීය ධීවර ගැටළුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

“අපි දැක්කා පහුගිය දවස්වල තමිල්නාඩුවේ ධීවරයෝ විරෝධතාවයක් තියලා කියනවා ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්න ඉන්දීය ධීවරයෝ නිදහස් කරේ නැත්නම් ඒ අය කච්චතිව් මංගල්ලයට එන්නේ නෑ කියලා.”

“දකුණු ඉන්දීය ධීවරයෝ ආවේ නෑ කියලා මංගල්‍යය නවත්වන්නේ නෑ.ඒත් දකුණු ඉන්දීය ධීවරයෝ දැන ගන්න ඕනේ ලංකාවේ මුහුදු සීමාවේ අනවසරයෙන් මාළු අල්ලන්නේ නැතුව ඉන්න.”

“ඒත් ඒ අය එහෙම කරන්නේ නෑ.එයාලා ලොකු ට්‍රෝලර් යාත්‍රාවලින් ඇවිල්ලා අපේ මුහුදු සීමාවේ මාළු අල්ලගෙන යනවා.සමහර අවස්ථාවල ඉන්දීය ධීවරයෝ එකතුවෙලා මුහුද මැදදී ලංකාවේ ධීවරයොන්ට ගහනවා.ඒ වගේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේදී සිදුවුණා.”

“ඉන්දීය ධීවරයෝ අපේ මුහුදු සීමාවේ කරන මාළු ජාවාරම නවත්වලා දෙන්න කියලා අපි අවස්ථා ගණනාවකදී ධීවර ඇමතිතුමාට, ආණ්ඩුවට හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන්නා."

"ඒත් ඒ අය කියනවා මාස හයකින්, අවුරුද්දකින්, අවුරුදු දෙකකින් ප්‍රශ්නය විසදනවා කියලා.ඒත් අද වෙනකම් විසදපු ප්‍රශ්නයක් නෑ.”

(BBC සිංහල සේවය)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්