ශ්‍රී ලංකා මහ බැංකුව වරින් වර රට තුළ පුවත් මවන ආයතනයකි.
පසුගිය වකවානු තුළ හෙජින් ගනුදෙනුව, බැඳුම්කර ගනුදෙනුව, විශාල වශයෙන් මුදල් මුද්‍රණය, රට ආර්ථික විපතට ඇද දැමීම වැනි නොයෙකුත් චෝදනා මහ බැංකුවට කලින් කලට එල්ල විය.
එහෙත් මෙවර එල්ල වී ඇති චෝදනාව වන්නේ මහ බැංකු සේවකයින්ගේ පඩි ඔවුන් විසින්ම ඉතාමත් අසාධාරණ ලෙස වැඩි කරගෙන ඇති බවය. මෙම චෝදනාව ප්‍රධාන වශයෙන්ම ගැලරිය පිනවීමට සිදුකරන්නක්දැයි යන්න මධ්‍යස්ථව කරුණු සලකා බලන්නෙකුට හැඟෙයි. මේ පිළිබඳ කරුණු කාරණා මධ්‍යස්ථව විමසා බැලීමට දේශපාලකයෙක්, ජනමාධ්‍යවේදියෙක් හෝ මධ්‍යස්ථ මතධාරියෙක් ඉදරිපත් වී නොමැත.
මේ පිළිබඳව මැදිහත්ව විවරණය කිරීමේ අවශ්‍යතාවය තදින්ම දැනුනු හෙයින්, ඒ හා සම්බන්ධ විශේෂඥයින් කිහිප දෙනෙක් සමග, මහ බැංකුවේ සේවකයන්ද ඇතුළුව, සම්මුඛ සාකච්ඡාවට භාජනය කොට මෙම ලිපිය සකසා ඇත. කෙටි කාලීන වාසි නොලබා, මැදිහත්ව අප රටෙහි ආර්ථික දියුණුව ඇති කිරීමට මහ බැංකුවෙන් සිදුවිය යුතු සේවාවත් ඒ සඳහා අවශ්‍ය වටපිටාව කෙසේ සකස්විය යුතුද යන්නත් පිළිබඳව සංවාදයක් ඇති කිරීම මෙම ලිපියේ අරමුණයි.
එහිදී මහ බැංකුව තවත් එක බැංකුවක් පමණද? මහ බැංකුවේ කාර්යභාරය කුමක්ද? මහ බැංකු ස්වාධීන විය යුත්තේ ඇයි? මහ බැංකුව රට ආර්ථික අර්බුදයට පත්වීමට කෙලින්ම සම්බන්ධද? රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මහ බැංකුව සම්බන්ධද? මහ බැංකු පාලක මණ්ඩලය සහ මහ බැංකු කාර්ය මණ්ඩලය යනු එකක්ද දෙකක්ද? මහ බැංකුවේ සේවකයින්ගේ පඩි වැඩිවීම සාධාරණද නැද්ද? යන කරුණු පිළිබඳ කෙටි විමසුමක් මෙම සටහන මගින් ඉදිරිපත් කෙරේ.
මහ බැංකුවක් රටකට අවශ්‍ය ද? මහ බැංකුව තවත් එක බැංකුවක් පමණ ද? මහ බැංකුවේ කාර්යභාරය කුමක් ද?
රටක පවතින ආයතන ප්‍රමාණය වැඩිවීම එහි කාර්යක්ෂමතාවය අඩුවීමට බලපෑ හැකිය. ඒ අනුව මහ බැංකුවක් නොමැතිව රටකට වඩා හොද ආර්ථික ප්‍රතිඵල ලබාගත නොහැකිද යන්න ඔබට මතුවන ගැටලුවක් විය හැකිය. එම ගැටලුව සඳහා පිළිතුරු සපයා ගැනීමට නම් මහ බැංකුවක් පැවතීමේ අරමුණු පිළිබඳව අප සලකා බැලිය යුතුය. ලොව පුරා මහ බැංකුවලින් බහුතරයකට එක් පොදු අරමුණක් ඇත. ඒ රට තුළ අඩු උද්ධමන තත්ත්වයක් පවත්වා ගැනීමයි. මෙමගින් පුළුල් පරාසයක ප්‍රතිලාභ බලාපොරොත්තු වන අතර ඉන් ප්‍රධානතම වන්නේ තිරසාර ආර්ථික වර්ධනයකට රුකුල් සැපයීමයි. එනම් දිගු කාලයක් තුළ ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යාමෙන් රටක පුද්ගල ජීවන මට්ටම උසස් කිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට පහසුකම් සැලසීමයි. අඩු හා ස්ථාවර උද්ධමනයක් පවත්වා ගෙන යාමේ වටිනාකම එය නොමැති වූ විට ඉතා හොදින් දැනේ.
නිදසුනක් වශයෙන්, මෑතකදී, අප රට තුළ පැවති අධික උද්ධමන තත්ත්වය අප සැවොගේම ආර්ථික තත්ත්වයන් පහළට ඇද දමන ලදී. මේ සඳහා නොයෙකුත් හේතු බලපෑ අතර, එකල මහ බැංකු මුදල් මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයත් එකල පැවති මුදල් නීති පනතෙන් මුදල් මුද්‍රණයට ලබාදී තිබු හැකියාවත් මේ සඳහා හේතු විය. එහෙත් 2023 සැප්තැම්බර් මාසයේදී බලගන්වන ලද නව මහ බැංකු පනත මගින් මෙලෙස මුදල් මුද්‍රණය සම්පුරණයෙන් නවතන ලදී. මහ බැංකුවක අනෙක් ප්‍රධානතම අරමුණ වන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමයි. එනම් රටක ජනතාවට විශ්වාසයෙන් යුතුව ගෙවීම් හා පියවීම් කටයුතු කිරීම මෙන්ම අනෙකුත් තැන්පතු ඇතුළු සියලුම මුල්‍ය කටයුතු සුරක්ෂිතව පවත්වාගෙන යාමට ඇති හැකියාව සනාථ කිරීමයි. ඒ අනුව රටක උද්ධමනය ඉලක්ක කරමින් එරටෙහි ආර්ථික වර්ධනයට පහසුකම් සැලසීම මෙන්ම රටෙහි මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යාම සදහා රටකට මහ බැංකුවක් අත්‍යවශ්‍ය වේ.
මහ බැංකුවකට ස්වාධීනත්වයක් අවශ්‍ය වන්නේ ඇයි?
මහ බැංකුවක් ස්වකීය අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මූලික වශයෙන් තීරණ ගත යුත්තේ පවතින දත්ත පදනම් කරගෙනය. ප්‍රධාන වශයෙන් මිල මට්ටම් පිළිබදව වන තීරණ අතිශයින්ම දුෂ්කර වන්නේ ඒවායේ පූර්ණ බලපෑම ආර්ථිකය තුළ පිළිබිඹු වීමට අවම වශයෙන් වසර දෙකක්වත් ගත වීම හේතුවෙනි. නිදසුනක් වශයෙන්, මහ බැංකුව විසින් අද දින පොළී අනුපාතික අධික ලෙස පහත හෙළීම හෝ ආර්ථිකයට විශාල ලෙස නැවුම් මුදල් සැපයීම මඟින් ඉදිරියේදී රට තුළ අනවශ්‍ය ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ජන ජීවිතය අපහසුතාවයට පත්වීමේ හැකියාවක් ඇත. අඩු පොළී අනුපාතික යටතේ වෙළඳපොලේ ඇති මුදල් සුලබ වීම නිසා පුද්ගලික අංශයට ණය ලබාදීම් අතිශය පහසු වීමෙන් වෙළඳපොලෙහි ඇති භාණ්ඩවලට වඩා ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි වීමේ හැකියාවක් ඇත.
ජනතාව අත ගැවසෙන සුලභ මුදල් භාණ්ඩ මිල ඉහළ නංවන අතර අතිශය පරිස්සමින් නොහැසිරවුයේ නම් අවසානයේ එය අධි උද්ධමනයකට වුව හේතු විය හැකිය. ඒ අනුව, බාහිර බලපෑම්වලින් තොරව, ස්වාධීනව, මූලිකවම දත්ත පදනම් කර ගෙන මහ බැංකුවක් තීරණ ගැනීම අතිශයින්ම වැදගත් වේ.
මහ බැංකුව රජයේ දෙපාර්තමේන්තුවකට පැවරිය නොහැකි ද?
මහජනතාවගේ යහපත උදෙසා, දේශපාලනිකව තේරී පත් වූ නායකයින්ගෙන් ස්වාධීන ආයතනයක් ලෙස එහි නීතිමය රාමුව තුළ හිඳමින් රජයට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහාය දීම එහි කාර්යභාරයයි. කෙටි දේශපාලන චක්‍රයන් විශාල වශයෙන් ආර්ථිකයකට කෙටිකාලීන මුදල් සහන සැපයීමෙන් පවතින ආර්ථිකය තාවකාලිකව උත්තේජනය කිරීමට උත්සාහයන් දැරිය හැකියි. එසේම ඔවුන් මැදිකාලිනව ඇතිවිය හැකි ආර්ථික දුෂ්කරතා ගැන නොසිතා මුදල් සහන පිළිබඳ තීරණ ගැනීමේ හැකියාවද පවතී.
ආර්ථික අර්බුදය සහ මහ බැංකුවේ කාර්යභාරය
මහ බැංකුව ආර්ථික අර්බුදයෙහි වගකිවයුතු පාර්ශවයක්ද යන්න නීතිය හමුවේද සලකා බැලිණි. මෙලෙස සලකා බැලීමේදී 2022 වසරේ රටට සිදු වූ විපත පිළිබඳව එයට වසර කිහිපයක සිටම මහ බැංකු සේවකයින් මහ බැංකු මුදල් මණ්ඩලය නිවැරදි ලෙස දැනුවත් කළ බව 2022 වසරේ ආර්ථික හානිය පිළිබද නඩු වාර්තාවේ දක්වා ඇත. මෙහිදී අප කවුරුත් දැනුවත්විය යුතු ප්‍රධාන කරුණක් නම් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු මුදල්/පාලක මණ්ඩලය සහ මහ බැංකු සේවකයින් යනු කොටස් දෙකක් බව තේරුම් ගැනීමය. තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු මුදල්/පාලක මණ්ඩලය එය සිදු කරයි. මහ බැංකු සේවකයින්හට සිදුකළ හැක්කේ තීරණ ගැනීම සදහා තාක්ෂණික වශයෙන් පහසුකම් සැලසීම පමණකි. මහ බැංකු සේවකයින්ට මහ බැංකු මුදල්/පාලක මණ්ඩලයේ විධිවිධාන අනුව කටයුතු කිරීමට සිදු වේ. එබැවින් මහ බැංකු කටයුතු පිළිබද මනා දැනුමක් ඇති දේශපාලනීකරණය නොවූ පාලක මණ්ඩලයක් මහ බැංකුව සදහා පත්කිරීම රජයේ වගකීමකි.
එහෙත් 2022 වසරේ අප්‍රේල් මාසයෙන් පසු මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය සම්පුර්ණ වෙනස් මගක් ගත්තේය. වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පත්වීමත් සමග මහ බැංකුවට අවශ්‍ය නායකත්වය ලැබුණි. එතැන් පටන් රට අගාධයෙන් ගොඩ ගැනීමට එතුමාගේ මෙන්ම මහ බැංකු පාලක මණ්ඩලයේ කැපවීම ප්‍රධාන වශයෙන් හේතුවිය. මේ සඳහා මහ බැංකු සේවකයින්ගේ දායකත්වය පිළිබඳව මහ බැංකු අධිපති කිහිපවරක්ම ස්තුති කර ඇත.
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මහ බැංකුව සිදුකළ කාර්යභාරය
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සාර්ව ආර්ථිකය ස්ථායී කිරීමට නොයෙකුත් ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය 2022 වසරේ මුලදී දැනෙන්නට විය. ඒ අනුව, නව අධිපති පත් වීමත් සමග මහ බැංකුව මුලින්ම පොලී අනුපාතික සියයට 7ක ප්‍රමාණයකින් විශාල වශයෙන් 2022 අප්‍රේල් මාසයේදී ඉහළ නංවන ලදී. ඒ ඉදිරියේදී සිදුවන බවට පුරෝකතනය කර තිබු උද්ධමනය පාලනය කිරීමටත් විදේශ විනිමය අනුපාතිකය කෙරෙහි පැවති පීඩනය අඩුකිරීමටත්ය. ඒ සමගම තෝරාගත් විදේශීය ණය ගෙවීම් අත්හිටුවීමට රජය වෙත නිර්දේශ සපයන ලදි. මෙම තීරණ ඉතාමත් නිර්භීත මෙන්ම නිවැරදි තීරණ බව දැන් ඔප්පු වී හමාරය. ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වී සමස්ත ජන සමාජයම විශාල උවදුරකින් මුදවාගැනීමට මෙම තීරණ හේතු විය.
උද්ධමනය වැඩි වීමේ සීග්‍රතාවය 2022 සැප්තැම්බර් මස සිට අඩුවී දැන් උද්ධමනය සියයට 5 මට්ටමේ පවතී. විනිමය අනුපාත පීඩන පහව ගොස් දැන් රුපියල තවදුරත් ශක්තිමත් වෙමින් පවතී. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් වීමත් සමග පොලී අනුපාත අඩු වෙමින් පවතී. ආර්ථික අර්බුදය මධ්‍යයේ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය රැක ගැනීමට ක්‍රියා කරන ලදී. මෙවැනි කාලීන මෙන්ම නිර්භීත තීරන ගැනීමට මහ බැංකු සේවකයින්ගේ වෘත්තීමය හා තාක්ෂණික නිර්දේශ අතිශයින් වැදගත් වන්නට ඇත. දැන් අප කාහටත් පෙනෙනා පරිදි රට ආර්ථික අර්බුදයෙන් ක්‍රමානුකුලව ගොඩ එමින් පවතී. 2023 තුන්වන කාර්තුවේදී මෙන්ම 2023 හතරවන කාර්තුවේ දීද දළ දේශීය නිෂ්පාදිතය ප්‍රසාරණයක් පෙන්වන ලදී. එයට පෙර එක දිගටම කාර්තු හයක් ආර්ථිකය සංකෝචනය විය.
මහ බැංකුවේ වේතන වැඩි කිරීම සදහා ඇතිවූ සන්ධර්භය මුලින්ම සලකා බැලිය යුතුයි. අනෙකුත් සේවකයින්ගේ මෙන්ම මහ බැංකු සේවකයින්ගේ වැටුපත් 2023 වසරේ සිට සියයට 36ක් දක්වා ආදායම් බදුවලට යටත් විය. ඒ සමගම උද්ධමනය හේතුවෙන් ක්‍රය ශක්තිය අඩුවිය. මහ බැංකු සේවකයින්ගේ වැටුප් සංශෝධනය වන්නේ වසර තුනකට වරකි. ඒ අනුව 2024 වසරේ වැටුප් සංශෝධනය නියමිතව තිබුණි.
මහ බැංකු පාලනාධිකාරිය විශාල බදු පැනවීම හේතුවෙන් පීඩිත සේවකයින් සදහා 2023 වසරේදී කිසිදු වැටුප් වැඩිකිරීමක් ලබා නොදුණි. ඒ රටේ තිබු ඉතා අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙනි. මේ තත්ත්වය තුළ මහ බැංකු පාලක මණ්ඩලය උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිහත් විය. පඩි වැඩි නොකිරීම ප්‍රධාන කොටගෙන මහ බැංකු සේවක මණ්ඩලය විශාල වශයෙන් අපහසුතාවයට පත්විය. මූලික ආර්ථික කටයුතුවලට බාධා නොවන අයුරින් වැඩ වර්ජනයන්ද වරින් වර සිදු කරන ලදී. ඉන් ඉදිරියට ගොස් මූල්‍ය ක්ෂේත්‍රයේ ගෙවීම් හා පියවීම් කටයුතුවලට බාධා ඇති කිරීමක් සිදුවි හැකි බවටත් කරුණු ඉදිරිපත් විය. මෙම තත්ත්වය තුළ කාර්යමණ්ඩලයෙන් දහයෙන් එකක එනම් 100කට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුව හැර යන ලදී. මහ බැංකුවේ සැලකියයුතු කාලයක් සේවය කර තිබීම වෙනත් රටවල මහ බැංකුවලට මෙන්ම අනෙකුත් මූල්‍ය ක්ෂේත්‍රවලට පිවිසීමටද පහසු කරයි. අපි දැනගත් පරිදි පසුගිය වසරේ සැලකිය යුතු සේවකයින් පිරිසක් මෙරට හැර දියුණු රටවල මහ බැංකුවල සේවයට ද ගොස් ඇත.
රටේ අනාගතය ගැන සලකා මහ බැංකු පාලක මණ්ඩලයට සාධාරණ ප්‍රමාණයකින් වැටුප් වැඩි කිරීමට සිදු විය. ඒ අවශ්‍ය නිපුණත්වය මහ බැංකුව තුළ රඳවාගැනීම මෙන්ම අලුත් අදහස්, තාක්ෂණය මෙන්ම නිපුණත්වය මහ බැංකුව තුළට ආකර්ෂණය කර ගැනීම සඳහායි. මහ බැංකුවේ කාර්යය ඉතාමත් තාක්ෂණික බැවු මෙම ලිපිය මුලදීම පෙන්වා දුණි. මෙහිදී අවධාරණයට ලක්කළ තවත් කරුණක් නම් මහ බැංකු සේවය සදහා වෙනත් ක්ෂේත්‍ර තුළ පළපුරුද්ද හෝ නිපුණතාවය ඇති සේවකයින් බදවා ගත්තද දැඩි පුහුණුවීම් සහ අත්දැකීම්වලින් තොරව ඔවුන් ඍජුවම මහ බැංකු කටයුතු සදහා නිරත කරලීමේ ඇති නොහැකියාවයි. සාමන්‍යයෙන් මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ නිපුණත්වය හෝ නොහැකියාව දින කිහිපයකින් හෝ මාස කිහිපයකින් ආර්ථිකය තුළ පිළිබිඹු නොවේ. එහෙත් එහි අනිසි ප්‍රතිවිපාක මධ්‍ය සහ දිගුකාලීනව රටක් විසින් අත්විදීමට සිදුවනු ඇත.
මහ බැංකුවේ හත් දෙනෙකුගෙන් සමන්විත පාලක මණ්ඩලය (ඉන් මහ බැංකු අධිපති හැර ඉතිරි සාමාජිකයින් පෞද්ගලික අංශයට සම්බන්ධයි) ඉහත සියලු කාරණා සලකා බලා වැටුප් වැඩිවීමේ අවශ්‍යතාවය පිළිබඳ තීරණය ගත්තා විය හැකිය. පෞද්ගලික අංශය හා සම්බන්ධ පාලක මණ්ඩලයේ සාමාජිකයින් පෞද්ගලික අංශයේ වැටුප් සමග මහ බැංකුවේ වැටුප් ගැළපීමක් සිදුකළා විය හැකිය. මෙම වැටුප් වැඩිවීමෙන් මහ බැංකු අධිපතිතුමා ඇතුළු පාලක මණ්ඩලයේ සාමජීකයින්ට වැටුප් වැඩිවීමක් හෝ වෙනත් කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොලැබේ. මහ බැංකුවේ පැවැත්මත් රටට අවශ්‍ය හොදම ප්‍රතිපත්ති නිර්දේශ මහ බැංකු සේවක මණ්ඩලයෙන් ලබාගැනීමත් ඔවුන්ගේ අභිලාශය වන්නට ඇත.
තවත් කරුණක් නම් මෙලෙස වැටුප් වැඩි කිරීමේ තීරණ ගැනීමේ බලය නව මහ බැංකු පනතෙන් මහ බැංකු පාලක මණ්ඩලයට ලැබුණු සුවිශේෂ බලයක් නොවන අතර එය පැරණි මුදල් නීති පනත යටතේද එලෙසම පැවතුණි. යම්හෙයකින්, දැනට මතිමතාන්තර පලවී ඇති පරිදි, මෙම වැටුප් පිළිබඳ තීරණ ගැනීමේ බලය පාලක මණ්ඩලයෙන් ඉවත් කොට මුදල් ඇමතිවරයාට ලබාදුනහොත් මහ බැංකුවේ ස්වාධීනත්වයට දරුණු බලපෑමක් ඒ හරහා එල්ලවනු ඇත.
(විශේෂ වාර්තාකරුවෙකු විසිනි )
සබැඳි ලිපි :
මුදල් මුද්‍රණ පාඩුත් ස්වාධීන ද? මහ බැංකුවට ඉහළ වැටුප් - පාඩු රජයට - (පි සමරසිරි)
මහ බැංකු වැටුප් ප්‍රශ්නය හා වෘත්තීය සමිති සද්භාවය - (නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි - (ගාමිණී වියන්ගොඩ)
බංකොලොත් වුවත් මහ බැංකු වැටුප් ඉහළට ම : වගකිව යුත්තා රජය ද? මහ බැංකුව ද? IMF එකෙන් ගොඩ යයි ද? - (පි සමරසිරි)