ජනාධිපති වික්‍රමසිංහ හැත්තෑ පස් හැවිරිදි බව වාර්තා විය. මා කිසි විටෙක රනිල්ට උපන් දින සුබ පැතුමක් යවා නැතිවාට

සමහර අවුරුදුවල රනිල් නමින් මට උපන් දින සුබ පැතුම් පත් දෙක බැගින්ද, ලැබී තිබිණ. හේතුව සුබ පැතීමේ වටිනාකමත් රනිල් ගණන් නො ගැනීම විය හැකිය.

මහින්ද රාජපක්ෂ නම් ගෙවුණ 2024 පෙබරවාරියේ හිමිදිරියේම මට දුර කතනයෙන් සුබ පැතීය. එහෙත් මා රනිල්ට මිස මහින්දට කවදාක හෝ ඡන්දයක් දී නැත.  

මගේ ලිපිය රනිල්ට හැත්තෑ පහක්...ලු? යනුවෙන් යොදන්නේ මේ එක හේතුවක් නිසා හෝ නොවේ. මගේ උපන් දිනයවත් වැදගත් ලෙස මා නො සලකන බැවිනි.


රනිල්ගේ එජාප නායකත්වය මම කවදත් ප්‍රශ්න කළෙමි. ඒ පිළිබඳ  බොහෝ කරුණු හේමලයා නම් මගේ ස්වයං චරිතාපදානයේ ඇතුළත් වේ. හේමලයා කෘතිය රටේ ජනාධිපති හැටියට රනිල්ට පිළිගැන්වීමට දිනයක් ඉල්ලා මා යැවූ ලිපියට උත්තරයක් ලැබුණේ මාස හතරකට පසුවය. කාර්ය බහුල නිසා හමුවිය නොහැකි හෙයින් තැපෑලෙන් පොතේ පිටපතක් එවන ලෙස එහි සඳහන් විය. සමහර විට මේ ගැන රනිල් කිසිවක් නො දන්නවාත් විය හැකිය.


රනිල් සහ මා අතර අවකාශය එවැන්නක් වුවද, 1994න් මෙපිට හැමදාමත් එජාප ජයග්‍රහණයට කැපවී ක්‍රියා කළෙමි. විශේෂයෙන් 2015 ජනාධිපති සහ මහ මැතිවරණ දෙකේදී වෘත්තීය කටයුතු නතර කොට මාස ගණන් කොළඹ නතරව මාධ්‍ය කටයුතු මෙහෙයවීමි. රනිල්ගේ නායකත්වයට එරෙහිව වසර විසි හයක් පුරා නැගුණ විවේචන 2020 මහ මැතිවරණයේදී ජනතාවද අනුමත කළේය.  
z p11 RANASINGHE PREMADASA 1
එකී පරාජයෙන් පසුව මම රනිල් රටට කළ එහෙත් රටේ මිනිස්සු නො දන්නා බොහෝ දේ පුවත් පත් හරහා කියවන්නට සැලැස්වීමි. මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ඩඩ්ලි සේනානායක යුගයේත් එජාපය සමග සිටියෙමි. ඩඩ්ලි, ජේ.ආර්. ප්‍රේමදාස රනිල් යන නායකයන් ගෙන් භූමියේ එජාපය පැල කොට උස් මහත් කළේ  ජේ.ආර්.ජයවර්ධනය. ජේ.ආර්.ට සාපේක්ෂව රනිල් යනු කිසි විටෙකත් එජාපය ආරක්ෂා කළ නායකයෙක් නොවේ. එහෙත් ජේ.ආර්.ජයවර්ධනට නො තිබුණ බොහෝ   ශක්තීන් රනිල් වික්‍රමසිංහ සතුව පවතී.  


උතුරු නැගෙනහිර ගැටලුව විසඳීමට 2002දී රනිල්ට ලැබුණ ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ජේ.ආර් සමත් නො වීය. ජනතාව වශී කිරිමේ වාසනාව රනිල්ට නැත. යහ පාලන කාලයේ ඉන්ධන පැට්‍රල් අඩු මිලට දීම මෙන්ම වැටුප් වැඩිවීම් කාටත් සිහිපත් වුණේ 2022දීය. 2022 බංකොලොත්වූ රට දෙ වසරක් තුළ ගොඩ දැමීමෙන් රනිල් කළ හපන්කම ජනතාවට දැනෙන්නේ 2024දී රනිල් පරද්දා වෙන ජනාධිපතියෙක් පත් වුණොත් පමණකි. එය 2020දී රනිල් පරාද කර ගෝටා ගෙන් කෑ පරිප්පුවට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනු ඇත.

JR RW
ජේ.ආර්.ටත් සම නොවේ නම්.....? කෙනෙකු මගෙන් ඇසුවොත් මගේ උත්තරය රනිල් සමාන වන්නේ ලී ක්වාං යූට පමණක්  යන්නය. ලී යනු සුළඟටත් බදු ගැසිය යුතු බව කියමින් මැතිවරණ සටන් මොහෙයවා බලයට පත්ව සිය දේශය ශක්තිමත් කළ පාලකයෙකි. රනිල් වික්‍රමසිංහ රටේ බදු ආදායම වැඩි කිරීමට ප්‍රමුඛත්වය දෙමින් එළඹෙන ජනාධිපති මැතිවරණයට සූදානම් වීමේදී ඔහු ලී ක්වාන් යූට සමපාත වේ. ලංකාවේ ජනතාවට ශ්‍රී ලංකාව තවත් සශ්‍රීක සිංගප්පූරුවක් කිරීමේ අවස්ථාව උදාවී ඇති බව තේරුම් ගත යුතුවේ.

 2020 පරාජයෙන් පසුව එළඹි ඔක්තෝබරයේදී අපට රනිල් වික්‍රමසිංහ මහනුවරදී හමුවිය. රනිල් නිල නො වන උවමනාවන් සඳහා මහනුවර පැමිණි බොහෝ අවස්ථාවල මහනුවර නිතීඥ වෘත්තිකයන් කිහිප දෙනෙකු සමග හෝ කතාබහ කිරීමේ සිරිතක් විය. ඔහු විපක්ෂ නායකව සිටියදී  මහනුවර නීතිඥයන් සමඟ විනෝදයෙන් රාත්‍රී භොජනයට එක්වූ අවස්ථා බොහෝය.


2020 ඔක්තෝබර් හමුවේදී 2020 එජාපය ලත් පරාජය ගැන ඔහු කතා කළේ මහත් සැහැල්ලුවෙනි. ලංකාවේ බහුතර ජනතාව සතුටු කළ කිසිදු නායකයෙකුගෙන් රටට යහපතක් නොවූ බව  ඔහු අවධාරණය කළේය. මත් වතුර මත් කුඩු බෙදන්නා සේ පොරොන්දු දේශපාලනයට ජනතාව ඇබ්බැහිවීම නිසා හාල් හඳෙන් හෝ ගෙනැවිත් දෙනවා කී විට මැතිනියට තුනෙන් දෙකක බලයක් ලබා දුන් බව ඔහු කීය. රටක් තබා දරුවෙකු හෝ රැවටීම හානිකර බවත්  ජනතාවට සත්‍ය පවසා  රට ශක්තිමත් කළොත් ජනතාව ඉබේම දියුණු වන බවට සිංගප්පූරුව උදාහරණයට ගෙන දැක්වීය. ඒ කෙටි හමුව අවසානයේ රනිල් වික්‍රමසිංහ නිශ්චිතව කී යමක් නැවත ලියනු කැමැත්තෙමි.

“තව වසර දෙකකින් අපි හමුවෙලා කවුද හරි කියලා කතා කරමු.” සිනාසෙමින් ඔහු එදා අදහස් කළේ කුමක්ද යන්න අද රහසක් නොවේ.

Argalaya S
අප්‍රේල් අරගලයේ පියා  රනිල්ද? නැත. රටේ ජනතාව කළ අරගලයේ ප්‍රතිපලය රනිල් නිර්මානය වීමය. අරගල භූමියේදී සජිත් අනුර කුමාර දෙදෙනාම ගුටියට බියෙන් පළා යාමෙන්  තහවුරු වන්නේ ඔවුන් රටට විකල්පය නොවන බවය.



”මොනවා වුණත් මිනිසුන්ටම එපා වෙන කල් මේ ආණ්ඩුවට බාධා නො කළ යුතු යයි එදා හමුවේදී මා කී විට ඔහුගේ ප්‍රතිචාරය මෙවැන්නකි.  

” 1994- 99  චන්ද්‍රිකාගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබුණේ එක් බහුතර ඡන්දයක්. එදා විපක්ෂ නායක හැටියට මම ඒ ආණ්ඩුව පෙරළන්න ගියේ නෑනේ.


2021 රනිල් පාර්ලිමේන්තු ගිය පසුව ඔහු කෙටි කලකින් විපක්ෂ නායක වේවි කියා සමහරු හිතූහ. ඒ රනිල්ගේ හැටි නොවේ. මෑතක රනිල් හමුවූ සජබ මන්ත්‍රින් කණ්ඩායමකට රනිල් කීවේ කලබල නොවී ඉන්න වෙලාව මම කියන්නම් කියාය.

මාගේ විවේචන ගැන කරදර නොවූ රනිල් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටි අවස්ථාවේ මා සජිත්ට එල්ල කළ ප්‍රහාරයන් අතර මා මහනුවරදී හමුවූ රනිල් මට කීවේ අපට මිනිහා  ඉදිරිපත් කරවන්න වේවි. ඒ නිසා ගහන්න එපා කියාය. රනිල් සහ මා අතර පැවති එකම එකඟතාව එය විය හැකිය. එසේම 2019 දී සජිත්ට සුළු ජාතික සහාය ලබා දීමට රනිල් දැඩි සේ කැපවූ බව මම පුද්ගලිකව දනිමි.

image 86bd33f1ff
රනිල් දිනුවාට වඩා වැඩි ඡන්ද ගණනකින් හැමදාම පරාද විය. හේතුව ඔහු පාලකයෙකු මිස නායකයෙකු නො වීමය. එහෙත් සැර පරුෂ විදුහල්පතිගේ අගය සිසූන්ට වැටහෙන්නේ කල් ගතවූ පසුවය යන්න වර්තමාන රටට ගැලපෙන  කතාවකි. 2001 දී පැවති ඍණ ආර්ථිකය යහපත් වන තෙක් රාජ්‍ය සේවා බඳවා ගැනීම් නො කිරීමට අගමැති රනිල් ගත් තීරණය එජාපයට තීරණාත්මක විය.

එදා එජාපය එපාවූ සමහර පාක්ෂිකයන්ට අදටත් රනිල් අරහන්ය. ඔවුන් ගෝඨා බලයට පත්ව උපාධිධාරින් හැට පන් දහසකට රස්සා දුන් බව කියන්නේ උජාරුවෙනි. එහෙත් ගෝඨා විසිවී ඇබෑර්තුවූ ජනාධිපති තනතතුරට රනිල් පත්වීම අනුව නිවැරදි විය යුත්තේ රනිල් නොවේ රස්සා ගැනීමට වාසි ලැබීමට ආණ්ඩු පෙරළන රටේ ජනතාවය.


රනිල් වික්‍රමසිංහ මෙවර රටේ පාලකයා ලෙස පත් කළේ රටේ ජනතාව හෝ දේශපාලන පස මිතුරු රාජපක්ෂලා නොවේ. ඔහුට බලය දුන්නේ එතෙක් නිදහස් ලංකා ඉතිහාසයේ අත් නොදුටු පීඩනයෙන් මිරීකී නැඟුණ අඳෝනාව විසිනි. ඒ පීඩනය කොතෙක්ද යත් විපක්ෂ නායක අතට පත් අගමැතිකම එපා ලැබුණ බලය එපා කියන තරමට බරපතල විය. ඒ අවස්ථාවේ රනිල් පාර්ලිමේන්තුවේ බහුතරය ගැන සිතුවේ නැත. විශ්වාස කළේ තමන් සතු ශක්තිය ගැන පමණකි.

fuel queues
සජිත්ලා අනුරලා මතු නොව අදටත් රාජපක්ෂලා රනිල්ට කැමති නැත. එහෙත් බැසිල්ට අනුව තමන්ට නිරුපද්‍රිතව ගුවන් තොටු හරහා පන බේරා ගෙන යාමට අවකාශය හෝ සැලසුණේ රනිල්ගේ පාලනය යටතේය. අර්බුදය ඔඩු ගියේ රටේ  ඉන්ධන හිඟකම නොවේ. පවත්නා තොග බෙදා හැරීමට පාලකයා අසමත්වූ නිසාය. එක් රැයින් පෝලිම් අවසන් කළ ජනාධිපති වික්‍රමසිංහ රටේ අර්බුදයේ හේතුව සියතට ගත්තේය. රජයේ කාර්යාල සහ  පාසල් විවෘත කිරීමත් සාපෙළ උසස් පෙළ විභාග පැවැත්වීම තවත් එවැන්නකි.


පාලකයෙකු නොවූ ගෝඨා එහිදී ෆේල් වූ අවස්ථාවේ මහින්ද බැසිල් නාමල් සජිත් අනුර ආදි කිසිවෙකු රටට විකල්පය නොවුණේ අරගලයට අර්බුධයට බිය වූ නිසාය. ඒ ප්‍රායෝගික අත්දැකීම තේරෙණ බසින් රටට විස්තර කිරීමට හැත්තෑ පස් හැවිරිදි රනිල් හෝ ඔහු තෝරා ගත් කණ්ඩායම අසමත්ව සිටීම රටේ අවාසනාවකි.


2022 ඔක්තෝබරයේ දවසක මගේ ජංගම දුර කතනයට ඇමතුමක් ලැබිණ. තමා ප්‍රේමරත්න බව කියා ගත් හෙතෙම, මගේ දුරකතන අංකය පුවත් පත් කාර්යාලයකින් ලබා ගත් බව කීය. මා ගැන ඔහුට කියා තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂ ශිවගුරු නාදන් ය. ප්‍රේමරත්නට අවශ්‍යව තිබුණේ රනිල් වික්‍රමසිංහ ගැන මා ලියු ලිපි කියවීමටය. ඒ සමග හෙතෙම සිය ඊමේල් ලිපිනයද මට එවීය. නිතර ලැබෙන මෙවැනි ඉල්ලීම් හුරු ම දෙ වරක් නො සිතා මම ඔහුගේ ඉල්ලීම ඉටු කළෙමි.  සතියක් හෝ දෙකක් ගෙවුණ තැන නැවත අර ප්‍රේමරත්න යළි මා ඇමතීය.

”කොහොමද ප්‍රේමරත්න මහත්තයා මගේ ලිපි කියෙව්වාද මොකද හිතෙන්නේ ... මම විමසා සිටියෙමි.

”මෙයා මිනිහෙක්නේ. අපි මෙයා ගැන අහලා තිබුණේ වැරදි විතරයිනේ. අනේ බොහොම ස්තුතියි ලිපි එවීම ගැන කී ඔහු තමන් උද්දික ප්‍රේමරත්න බව කියා තවත් ලියැන්නැයි ඉල්ලා සිටියේය.

”උද්දික ඔයා මොකාටද එන්න හදන්නේ...  මම වහා විමසා සිටියේ ඔහු මාව සමච්ච්ලයට ගත් බවක් හැඟී ගිය නිසාය.

”මිස්ටර් සෙනෙවිරත්න අපි අලුතෙන් හිතන්න සිද්ධ වෙලා තියෙන්නේ. රනිල් කියන්නේ මාර චරිතයක්නේ. එයා කළ දේවල් රටේ කී දෙනාද දන්නේ. ...

”උද්දික ඒක රනිල්ගේ වරද නොවෙයිනේ. ආණ්ඩුවේ සල්ලි වලින් වැඩ කරලා බෝඩ් ගහන එක රනිල්ගේ ක්‍රමය නො වෙන්න ඇති...

MP Uddika 

උද්දික ප්‍රේමරත්න නළුවා හෝ දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ හඳුනා ගත්තේ රට උඩු යටිකරු කළ රටේ පාලකයා හැටියටය. රනිල් වික්‍රමසිංහ කිසි විටෙකත්  උද්දිකගේ නායකයා නො වීය. මා රනිල්  විවේචනය කළේ එජාපයේ නායකයා හැටියටය. තරුණ උද්දිකගේ සහ වියපත් මගේ රනිල් පිළිබඳ අවබෝධයට හේතු මෙසේ දෙ ආකාරවේ. මා ලිපිය ආරම්භයේ රනිල් පාලකයෙකු මිස නායකයෙකු නොවේ යයි කීවේ උද්දිකගේ කතාව නිසා නොවේ. සිංගප්පූරුව ගොඩ දැමූ ලී ක්වාන් යු පිළිබඳ මා තුළ පවත්නා ගැඹුරු අවබෝධය නිසාය. සිංගප්පූරුව යනු සිය රට ගැන පමණක් කල්පනා කළ තනි මිනිසෙකුගේ ජයග්‍රහණයකි.

ලී සිංගප්පූරුවේ ස්ථාපිත කළ නෛතික විනය අදටත් සිංගප්පූවේ ආගම විය හැකිය. 2018 දී ත්‍රී විලර් සංවිධාන කැඳවූ මහින්ද රාජපක්ෂ මේ ආණ්ඩුව දඩ සල්ලි වැඩි කරලා නේද මම ඒක බලා ගන්නම් යනුවෙන් අත් පොළසන් මැද කීවේ පාරේ මාරයාට ලයිසන් දීමේ හානිය නොදැන නොවේ, ලී ඊට වෙනස් ය. එවැනි පාලකයෙකු  ලංකාවට අවශ්‍ය වුණේ අද ඊයේ නොවේ. රනිල් ඡන්ද වලට මෙන්ම ජනතාවටද  බිය නැත. බදු ගහන්නේ ඒ නිසාය.  ප්‍රතික්ෂේප වීම  ඔහු දකින්නේ ජනතා කැමැත්ත හැටියටය.

ranil 1200x550 
ඉස්සර රනිල්ට අකමැති අය කළේ රනිල් බලයෙන් පහ කිරීමට වැඩ කිරීමය. 2005දීත් 2020දීත් සිද්ධ වුණේ එයමය. වර්තමානයේ රනිල්ට අකමැති බොහෝ දෙනා රනිල් ඡන්ද ව්‍යපාරය ආරම්භ නො කිරීම ගැන පසුවන්නේ කෝපයෙනි. ඒ ගැන සමහරු කතා කරන්නේ “මේ ගමනත් මේ..... කෙළවා ගන්නවා” යනුවෙන් සුද්ධ සිංහලෙනි. අද එජාප, පොහොට්ටු, ශ්‍රී ලංකා බොහෝ දෙනා මාලිමාට ළංවී සිටිති. සාකච්ඡාවලට යති. මාලිමා රැස්වීම් වලට එන්නැයි ගෙයින් ගෙට යමින් අසල්වාසින් උනන්දු කරවති. ඒ මාලිමාව හොඳ හින්දා නොවේ. ගමේ ජෙවීපි කාරයන්ට බය නිසාය. මේ මැතිවරණ වසර රනිල්ට තීරණාත්මකය. කතා නො කරන බහුතරයක් රනිල්ට කැමති වුවද ඒ කිසිවෙකු රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. හේතුව හැම තැනින්ම ඇසෙන්නේ වැඩක් නෑ රනිල් පරදිනවා යන මාලිමා සූත්‍ර පාඨය පමණක් නිසාය.  


මව්බිම නැත්නම් මරණය අපි දුවන්නෙමු වැනි උද්යෝග පාඨයක් ලියා ගන්නට රනිල්ලා අසමත්ව සිටිති. තවමත් රනිල් වික්‍රමසිංහ සිය ඡන්ද ව්‍යාපාරය පටන් ගෙන නැත. මාලිමාව වසර එක හමාරක සිට ඡන්ද ව්‍යාපාරය පටන් ගෙන දැන් රටේ ජනාධිපති වී හමාරය. එහෙත්  විශ්වවිද්‍යාල ප්‍රජාව සමග කළ සාකච්ඡාවේදී ලංකාවේ විශ්විවිද්‍යාල පද්ධතිය ගැන ජනාධිපති වික්‍රමසිංහ පළ අදහස් කිසිවෙකුට මග හැර යා නොහැකි බව මාලිමා ක්‍රියාකාරි තරුණ නීතිඥයෙක් මා සමග කීය.


වයස හැත්තෑ පහකින් වියපත් හතළිස් පස් වසරක් දේශපාලනය කළ රනිල් තවමත් ඇඟිල්ල කටේ දමා ගෙන මොන්ටිසෝරි සෙයියාවෙන් මැතිවරණ සටන දෙස බලා සිටීම නම් ඔහු බේරා ගත් රටේ හෙට දවසට හූනියමකි. රනිල්ට හැත්තෑ පහක්ලු කියන්නේත් ඒ නිසාය.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image