බලය බෙදා ගැනීමේ කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් ජනවාර්ගික ගැටුම් උත්සන්න කිරීමට වාර්ගික නායකයන්ට

සහ මධ්‍යම ආණ්ඩුවේ නායකයන්ට උත්තේජනයක් ලැබෙන බවත්, විශේෂයෙන්ම බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් ඇති කරන එකිනෙකට සම්බන්ධ ප්‍රතිපල තුනක් නිසා එය සිදුවන බවත් පසුගිය සතියේ ලිපිය මගින් කෙටියෙන් සාකච්ඡා කෙරුණි. එකී එකිනෙකට සම්බන්ධ ප්‍රතිපල තුන සම්බන්ධයෙන් සවිස්තරාත්මකව මේ සතියේ සාකච්ඡා කරමු.

පළමුව, කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ විසදුම මගින් සෑම ප්‍රතිපත්තිමය ගැටළුවක්ම ජනවාර්ගික ප්‍රශ්නයේ ම දිගුවක් ලෙස සැලකීමට පරිසරයක් නිර්මාණය වීමත්, එමගින් ගැටලු වලට හේතු වන අනෙකුත් සමාජ, ආර්ථික, දේශපාලන බෙදීම් වල වැදගත්කම නැති වී යන බවත් සදහන් කෙරුණි.

ජනවාර්ගික ප්‍රශ්නයට සම්බන්ධ නොවන ප්‍රතිපත්තිමය ගැටලු වලට පවා ජනවාර්ගික මුහුණුවරක් ලබා දීමට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන්ට පරිසරයක් නිර්මාණය කර දෙන අතර, එය මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන රටවල සුලභව දැකිය හැකි බව මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් පෙන්වා දෙයි.

Prof. Pilip Rodderඑමෙන්ම, කොතරම් යහපත් ප්‍රතිපත්තියක් වුව ද, එමගින් තම වාර්ගික කණ්ඩායම තුළ බෙදීමක් හට ගනී නම් හෝ, තම වාර්ගික කණ්ඩායමෙන් කොටසක් තවත් කණ්ඩායම් වෙත බෙදී වෙන්වී යාමක් සිදු වේ නම්, කොන්සොසියේෂනල් විසදුමක් තුළඑයට විරුද්ධ වීමට වාර්ගික ප්‍රභූන්ට ඉඩ කඩ ලබා දෙයි.

එසේම, වෙනත් කණ්ඩායම් තුළ බෙදී වෙන්වී යාම් ඇති කරන සහ තමන්ගේ හෝ තම කණ්ඩායමේ බලය සහ වරප්‍රසාද වැඩි කරන ප්‍රතිපත්තිමය කරුණු විශේෂයෙන් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට වාර්ගික ප්‍රභූන්ට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් අවස්ථාව උදා කරයි.

''වෙනත් කණ්ඩායම් තුළ බෙදී වෙන්වී යාම් ඇති කරන සහ තමන්ගේ හෝ තම කණ්ඩායමේ බලය සහ වරප්‍රසාද වැඩි කරන ප්‍රතිපත්තිමය කරුණු විශේෂයෙන් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට වාර්ගික ප්‍රභූන්ට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් අවස්ථාව උදා කරයි.''

මීට අමතරව, රැකියා වලට අදාල ප්‍රතිපත්තිමය ගැටලු, අධ්‍යාපනයට අදාල ප්‍රතිපත්තිමය ගැටලු, කම්කරු ප්‍රශ්න වලට අදාල ගැටලු පවා ජනවාර්ගික දෘෂ්ඨි කෝණයකින් විග්‍රහ කර, තම වාර්ගික කණ්ඩායමේ බලය හා වරප්‍රසාද වැඩි කර ගැනීමට කොන්සොසියේෂනල් ක්‍රමවේදය මගින් වාර්ගික ප්‍රභූන් පොළඹවයි.

මේ ආකාරයට සෑම ලොකු, කුඩා ප්‍රතිපත්තිමය ගැටලුවකටම ජනවාර්ගික මුහුණුවරක් ලබා දීම මගින් කොන්සොසියේෂනල් ක්‍රමවේදය ක්‍රියාත්මක වන රටවල අනෙකුත් සමාජ ඉරිතැලීම්, නිදසුනක් ලෙස උගත්-නූගත් බව, දුප්පත්-පොහොසත් බව යනාදී බෙදීම් වල ප්‍රතිපත්තිමය වටිනාකම නොසලකා හැරීමට ජනවාර්ගික ප්‍රභූන්ට  හැකි වන අතර, සියලු ප්‍රතිපත්තිමය ගැටලු වලට අනවශ්‍ය ලෙස වාර්ගිකත්වය පදනම් කර ගත් ප්‍රවේශයක් ලබා ගැනීමට වාර්ගික ප්‍රභූන්ට හැකියාව ලබා දෙයි.

 

සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රතිපත්තිමය ගැටලු

නිදසුනක් ලෙස, සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රතිපත්තිමය ගැටලු, එනම් සමාජවාදී ආර්ථික ක්‍රමය ප්‍රතිශෝධනය කිරීම වැනි ප්‍රධාන ප්‍රතිපත්තිමය ගැටලු මෙන්ම, අධිවේගී මාර්ග වලට අදාල බදු ගැසීම් යනාදී සුලු ගැටලු පවා සමූහාණ්ඩුවේ ප්‍රාදේශීය කලාප වල විසින් තීරණය කළ යුතු, එකී ප්‍රාදේශීය ජනතාවගේ ස්වෛරී අයිතීන් ලෙස අර්ථ ගන්වා ඒවාට ප්‍රාදේශීය ප්‍රභූන්ට අවශ්‍ය ලෙස විසඳුම් ඉදිරිපත් කිරීමට ප්‍රාදේශීය සමූහාණ්ඩු ප්‍රභූන් ක්‍රියා කළේය.

දෙවනුව, කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් තමන්ගේ පංගුව ක්‍රම ක්‍රමයෙන් වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ජනවාර්ගික ප්‍රභූන්ට උත්තේජනයක් ලබා දෙන බවත්, එසේම සෙසු ජනවාර්ගික ප්‍රභූන් වෙතද මෙම වැඩි ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාව බෝවීමේ පරිසරයක් නිර්මාණය වෙන බවත් සඳහන් විය.

එමගින් ජනවාර්ගික ප්‍රභූ කණ්ඩායම් එකිනෙකා එකට එකතු වී මධ්‍යම රජයේ නායකයන්ට එරෙහිව බලපෑම් කිරීමට ඇති හැකියාව ආයතනීකරණය වීමක් කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරයි.

''එමගින් ජනවාර්ගික ප්‍රභූ කණ්ඩායම් එකිනෙකා එකට එකතු වී මධ්‍යම රජයේ නායකයන්ට එරෙහිව බලපෑම් කිරීමට ඇති හැකියාව ආයතනීකරණය වීමක් කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරයි.''

එනම්, ඇති කර ගත් බලය බෙදා ගැනීමේ එකඟතාවන්ගෙන් බැහැරව හෝ ඒවා කඩ කොට ගිවිසුමට එකතු නොවී සිටින ජනවාර්ගික නායකයන්ට, එම බලය බෙදා ගැනීමේ ගිවිසුමට එකඟවීම සඳහා අන් අයට වඩා වැඩි පංගුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැකි අතර, එසේම ප්‍රධාන රාජ්‍යයට අදාලව තීරණ ගැනීමේ වැඩිබලයක් ද ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හැකිය.

මෙය දකින මෙතෙක් ගිවිසුම්ගතව සිටින සෙසු ජනවාර්ගික නායකයන්ට ද ගිවිසුමෙන් බැහැරව යාමට හෝ එය කඩ කර, යළිත් ගිවිසුමට ඇතුළුවීමට නම් වැඩි පංගුවක් ඉල්ලා සිටීමට මේ නිසා ආශාවක් සහ පෙළඹවීමක් ඇති කරයි.

එසේම මේ නිසා, ගිවිසුමෙන් බැහැරව නොගොස් හෝ එය කඩ නොකර හෝ අනෙක් ජනවාර්ගික නායකයන් මෙන් වැඩි පංගු ඉල්ලීම් ඉදිරිපත් නොකර සිටින නායකයන්ට අඩු පංගුවක් අවසානයේ හිමි වීමේ ඉඩ කඩක් උදා වන අතර, එයින් ඔවුන් මෝඩයන් බවට පත්වීමේ හෝ රැවටීමට ලක්වීමේ තත්ත්වයක් ඇති වෙයි.

මේ ආකාරයට එක් ජනවාර්ගික නායකයෙකු වැඩි පංගුවක් ඉල්ලා කරන ඉල්ලීම් අනෙක් නායකයන්ට ද බෝවී, සියලු දෙනා සමාන පංගුලාභීන් බවට පත් කරන තෙක් හැමට වැඩි පංගු ලබා දෙන ලෙස දිගින් දිගට ඉල්ලීම් කිරීම මෙම ක්‍රමය තුළ ගිවිසුම්ගත වන ජනවාර්ගික නායකයන්ගේ ප්‍රධාන උපාය මාර්ගයක් බවට පත්ව තිබේ.

ඒවා නොලැබුණහොත්, ඔවුන් බලය බෙදා ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වනු ඇත.

9bbe92ce 2236 4b43 b4b9 bd2b51b1a077යුගෝස්ලාවියාව බලය බෙදා ගැනීමේ ක්‍රමය නිසා බෙදී, වෙන්වී ගිය අයුරු

උදාහරණයක් ලෙස පැරණි යුගෝස්ලෝවියාවේ, තම බලය ෆෙඩරල් රාජ්‍යය තුළ ව්‍යාප්ත කිරීමට සර්බියාව ගත් උත්සාහයේ ප්‍රතිපලය වූයේ ස්ලොවේනියාව සහ ක්‍රොඒෂියාව බෙදී වෙන්වී යාමයි.

 ස්ලොවේනියාව සහ ක්‍රොඒෂියාව ෆෙඩරල් ආණ්ඩුවෙන් ඉවත්ව, බෙදී වෙන්වී යන බව මුලින් ඉඟි කළ අවස්ථාවේ දී, සර්බියාව යටතේ කුඩා කොටස්කරුවන් ලෙස සිටීමට නොහැකි බව මැසිඩෝනියාවට සහ බොස්නියාවට ද හැඟුණි.

තෙවනුව, තම බලය සදහා සටන් කිරීමට අවශ්‍ය ආයතනිකමය ආයුධ (institutional weapons - මෙය ශාස්ත්‍රීය යෙදුමකි), නිදසුනක් ලෙස වාර්ගික ප්‍රභූන්ට ව්‍යවස්ථානුකූලව ලැබෙන බලය, ජනවාර්ගික ප්‍රභූන් අත සම්මුච්ඡගත කිරීම මගින් සිය ඉල්ලීම් දිනා ගැනීමට සටන් කරන මාර්ග රාශියක් කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් ජනවාර්ගික ප්‍රභූන් වෙත ලබා දෙයි.

Prof. Philip Selsnikමහාචාර්ය ෆිලිප් සෙල්ස්නික් පෙන්වා දෙන්නේ, තීරණ ගැනීම සඳහා ව්‍යවස්ථානුකූලව ජනවාර්ගික ප්‍රභූන් වෙත ලැබෙන බලය, ඔවුන්ගේ බලලෝභී අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ආයුධ ලෙස කිසිදු බාධාවකින් තොරව ව්‍යවස්ථානුකූලව ප්‍රතිපාදන වෙනස් කරවා ගැනීම දක්වා ඔවුන් පාවිච්චි කරන බවයි.

නිදසුනක් ලෙස, එම ප්‍රභූන් වෙත යම් යම් කරුණු සම්බන්ධයෙන් ලැබෙන 'නිෂේධ බලය', රාජ්‍යයේ තීරණ ගැනීමේ පරිපාටිය අඩපණ කිරීම සඳහා වාර්ගික ප්‍රභූන් යොදා ගනියි.

මෙම 'නිෂේධ බලය' අනෙකුත් විරුද්ධ කණ්ඩායම් පසු බැස යන තාක් කල් ආයුධයක් ලෙස ජනවාර්ගික ප්‍රභූන් විසින් පාවිච්චි කරයි.

ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ප්‍රශ්නයට විසදුම් ලෙස පසුගිය 'යහ පාලන' රජයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අන්තර්කාලීන වාර්තා මගින් 'නිෂේධ බලයක්' ජනවාර්ගික ප්‍රභූන් වෙත ලබා දීමට යෝජනා කර තිබුණි.

Jayampathi Wඑසේම, තම ප්‍රාදේශීය කලාපයේ පිහිටි තීරණාත්මක ආදායම් ලැබෙන ස්වාභාවික සම්පත් පාලනය කිරීමේ බලය ද කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් ජනවාර්ගික ප්‍රභූන් අතට පත් කරයි.

එයද මධ්‍යම රාජ්‍යයට සහ අනෙකුත් විරුද්ධවාදී කණ්ඩායම් වලට එරෙහිව ආයුධයක් ලෙස ජනවාර්ගික ප්‍රභූන් යොදා ගනිමින්, එම ස්වාභාවික සම්පත් වලින් ලැබෙන ආදායම් මධ්‍යම ආණ්ඩුව හෝ අනෙකුත් විරුද්ධවාදී කණ්ඩායම් සමග බෙදා නොගෙන, ඔවුන් හාමත්වීමට ඉඩ හැරීමට ජනවාර්ගික ප්‍රභූන්ට බලය බෙදා ගැනීමේ විසඳුම හරහා අවස්ථාව ලැබෙයි.

එසේම, ෆෙඩරල් හමුදා හෝ පොලිසි යොදා ගනිමින් මධ්‍යම ආණ්ඩුවට එරෙහිව ප්‍රචණ්ඩත්වය දිග හැරීමට ද, අවසානයේ බෙදී වෙන් වී ගොස් රාජ්‍යයම බිඳ දැමීමට ද බලය බෙදා ගැනීමේ විසඳුම මගින් ජනවාර්ගික ප්‍රභූන්ට අවශ්‍ය ආයතනිකමය ආයුධ ලබා දෙයි.

3b128144 0869 4cfb a861 327d0ce58582'නිෂේධ බලය' වැඩ අඩපණ කරන්නටද යොදා ගත හැකි ආයතනමය ආයුධයකි.

මේ ආකාරයට කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ විසඳුම මගින් ඇති කරන ඉහත විස්තර කළ එකිනෙකට සම්බන්ධ ප්‍රතිපල තුනක් මගින් ජනවාර්ගික ගැටුම් උත්සන්න කිරීමට වාර්ගික නායකයන්ට සහ මධ්‍යම ආණ්ඩුවේ නායකයන්ට උත්තේජනයක් ලැබෙන බව මහාචාර්ය ෆිලිප් ජී. රෝඩර් පර්‍යේෂණාත්මකව පෙන්වා දෙයි.

ලබන සතියේ - කොන්සොසියේෂනල් බලය බෙදා ගැනීමේ ක්‍රමවේදය මගින් සිදු කරන්නේ කුමක්ද?

Dinesh(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

['වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය) ගෝලීය ආරක්ෂාව සහ ආරක්ෂක   හමුදා කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.  ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු වන ඔහු එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.]

 (උපුටා ගැනීම: ‘ඉරිදා දිවයින ෆෙඩරල් කොලම'  - (05) - 2020 සැප්තැම්බර් 26)

 

කියවන්න

4 - බලය බෙදා ගැනීමේ විසදුම වාර්ගික ගැටුම් උත්සන්න කරයි! - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ 

3 - වාර්ගික හෙට්ටු කිරීම සහ බලය බෙදා ගැනීම  (03) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ

2 - වරිගය සහ වරිගවාදය’ (02) - නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

1 - වරිග ප්‍රශ්නය සහ අලුත් ආණ්ඩුව  (01) -නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්