කාමර සිය ගණනකින් යුත් සුවිසල් මඩුවන්වෙල වලව්වේ එවකට පැවතියේ තරමක අරාජික ස්වරූපයකි. එතරම් විශාල වලව්වක් අලුත්වැඩියා කරමින් නඩත්තු කිරීම මඩුවන්වෙල දිසාවේගේ හැකියාවෙන් බැහැර වූ දෙයක් යැයි කිව නොහැකි මුත් ඒ සඳහා ඔහුට ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට නොහැකි වූ බව පෙනෙන්නට තිබිණි.
දිනක් මඩුවන්වෙල දිසාවේ වලව්ව ඉදිරිපිට වාඩි වී සිටියදී, කඩවසම් තරුණයෙක් වලව්වේ මිදුලෙහි ඔහු ඉදිරියේ නතර විය.
“ලොකු අප්පච්චි මාව අඳුනනවාද?”
ඔහු මඩුවන්වෙල දිසාවේගෙන් විමසීය.
දිසාවේගේ මුවඟට නැඟුණේ මඳ සිනාවකි. ඔහු ඉදිරියේ සිටියේ අන් කවරකුත් නොව, මඩුවන්වෙල දිසාවේගේ බාල සොහොයුරකු වන ෆ්‍රැන්සිස් ඇලෙක්සැන්ඩර් මොළමුරේ රටේ මහත්තයා ගේ පුත්‍රයා ය. පියාගේ නම් දෙක මාරු කර යොදා නම තබා තිබූ මේ තරුණයා අලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොළමුරේ නම් විය. ඒ වන විට ඔහු උසස් අධ්‍යාපනය ලබා නීතිඥයකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.
මඩුවන්වෙල දිසාවේගේ පියා මොළමුරේ වංශයට අයත් අයෙකු බව අපි මීට පෙර සඳහන් කර ඇත්තෙමු. ජේම්ස් විලියම් නම් වන මඩුවන්වෙල දිසාවේට මඩුවන්වෙල වාසගම ලැබුණු ආකාරය පිළිබඳව ද එහිදී විස්තර කළෙමු.
මඩුවන්වෙල දිසාවේගේ පවුලේ ඡායාරූපයක්. මැද මඩුවන්වෙල දිසාවේත් දෙපස බිරිඳ සහ දියණියත් වෙති..සෙසු අය ගැන නිශ්චිත සඳහනක් හමු නොවිණි
ජේම්ස් විලියම් මඩුවන්වෙල ගේ මව වූ එක්නැලිගොඩ කුමාරිහාමි, ඔහු කුඩා කලදීම මිය ගිය බවත්, ඉන් අනතුරුව ඔහුගේ පියා වූ මොළමුරේ රටේ මහත්තයා නැවත විවාහ වූ බවත් වැඩිදුරටත් දැක්වීමු. එම විවාහයෙන් මොළමුරේ රටේ මහත්තයාට දරුවන් තිදෙනෙකු ලැබුණු බව සඳහන් වේ. ඒ තිදෙනාත්, මඩුවන්වෙල දිසාවේත් එක මවගේ නොවුණත් එක පියාගේ දරුවෝ ය. ෆ්‍රැන්සිස් අලෙක්සැන්ඩර් මොළමුරේ ඉන් එක සහෝදරයෙකි.
තම බාල සහෝදරයාගේ පුත්‍රයා උණුසුම් අයුරින් පිළිගත් මඩුවන්වෙල දිසාවේ ඔහුට සියලු සංග්‍රහයන් කර අනතුරුව ඔහු සමග වලව්ව මිදුලේ ඒ මේ අත ඇවිදිමින් ආ ගිය තොරතුරු කතාබහ කරන්නට විය. වලව්වේ තිබූ අරාජික හා අබලන් තත්ත්වයත්, වලව්ව ආසන්නයටම කැලෑව වැඩී ඇති සැටිත් එහිදී ෆ්‍රැන්සිස් මොළමුරේ ගේ නෙත ගැටිණි.
“ලොකු අප්පච්චි, ඇයි මේ වලව්ව දැන් ගරා වැටිලා වගේ තියෙන්නේ? කලවානේ කුඩප්පච්චි මේවා ගැන සොයා බලන්නේ නැද්ද?” ඔහු විමසීය.
කලවානේ පුංචි බණ්ඩා හෙවත් කලවාන රටේ මහත්තයාට ඇති රාජකාරි මඩුවන්වෙල දිසාවේ හොඳින් දනී. ඒ අතරතුර වුවද ඔහු තමන් ගැනත්, තම බිරිඳ සහ දියණිය ඩිංගිරි අප්පෝ ගැන පවා සොයා බලන්නට අමතක කරන්නේ නැත. එබැවින් තම මස්සිනා ගැන මඩුවන්වෙල දිසාවේ තුළ තිබෙන්නේ ප්රසාදජනක හැඟීමකි.
"එයාට තියෙන රාජකාරිවල හැටියට මේවා ගැන සොයා බලන්න වෙලාවක් නෑ” ඔහු ඉවත බලාගෙන කීවේය.
"ඒකත් ඇත්ත නේද? මම ලොකු අප්පච්චිට ඒ වැඩේ කරලා දෙන්නම්"
මඩුවන්වෙල වලව්වේ පිවිසුම් දොරටුව
එසේ කී මොළමුරේ එදා පැමිණි ගමනේ දී දින කිහිපයක් වලව්වේ නතර විය. එම දින කිහිපය තුළ සේවකයන් යොදවා වලව්ව අවට වත්ත එළිපෙහෙළි කළ ඔහු, අනතුරුව වලව්ව ද යම් ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේය. එම අලුත්වැඩියා කටයුතු අවසන් වන විට කලක් අඳුරු වී තිබූ වලව්වට නව එළියක් ලැබුණු සේ පෙනෙන්නට තිබිණි.
දින කිහිපයක් එහි රැඳී සිට සියලු කටයුතු අවසන් කළ ෆ්‍රැන්සිස් මොළමුරේ ආපසු යෑමට සූදානම් විය.
"ෆ්‍රැන්සිස්, ඉඩකඩ ලැබෙන වෙලාවට මෙහෙ ඇවිත් යන්න. මේ ඉඩකඩම් ගැනත් සොයා බලන්න.” දිසාවේ පැවසීය.
මොළමුරේ එය සතුටින් අනුමත කළේය.
බොහෝ කලකට පසු ෆ්‍රැන්සිස් මොළමුරේ මෙසේ මඩුවන්වෙල වලව්වට පැමිණීම, කලවානේ කුමාරිහාමිට මෙන්ම ඇගේ සහෝදරයා වූ පුංචි බණ්ඩා කලවානට ද යම් සැකයක් ජනිත කරවන්නට හේතු වී තිබිණි. ෆ්‍රැන්සිස් මොළමුරේගේ මෙම පැමිණීම හුදෙකලා සිදුවීමක් නොවන බවත්, ඒ පිටුපස යම් යටි අරමුණක් තිබිය හැකි බවත් ඔවුනට හැඟිණි. නමුත් ඒ අදහස ඔවුන් දෙදෙනා අතරෙහි පමණක් තබා ගත්තා විනා මඩුවන්වෙල දිසාවේ ට ඒ පිළිබඳ සැල කරන්නට කලවානේ කුමාරිහාමි හෝ කලවානේ රටේ මහත්තයා සිතුවේ නැත.
ඉන්පසු ෆ්‍රැන්සිස් මොළමුරේ නිතර පැමිණ වලව්ව පිළිබඳවත්, එය වටා ඇති ඉඩකඩම් පිළිබඳවත් සොයා බලන්නට වූ නිසා, කලක් අබලන්ව පැවති වලව්වට යළි යම් එළියක් ලැබණි. වලව්ව වටා පරිසරය ද හෙළිපෙහෙළි වී පැවතියේය. ඒ ගැන මඩුවන්වෙල දිසාවේ සිටියේ තෘප්තිමත් හැඟීමකිනි.
එහෙත් මඩුවන්වෙල දිසාවේට අයත් අතිවිශාල දේපළ සම්බන්ධ අනාගතය එතරම් සරල නොවීය. ඒවාට උරුමකම් කීමට සිටියේ ආබාධිත ඩිංගිරි අප්පෝ පමණි. එතරම් විශාල දේපළක් පාලනය කිරීමේ හැකියාවක් මෙම ආබාධිත තරුණියට කොහෙත්ම නොමැත. මේ බව කලවානේ කුමාරිහාමි මෙන්ම ඇගේ සහෝදරයා ද හොඳින් දැන සිටියහ. එබැවින් ෆ්‍රැන්සිස් මොළමුරේගේ මෙම අලුත් ආගමනය යහපතකට නොවනු ඇතැයි යන සැකය ඔවුන්ගේ සිත් තුළ ක්‍රමයෙන් තහවුරු වෙමින් පැවතිණි.
“එයා මෙහෙ එන්නේ නිකම්ම වෙන්න බැහැ.”
පුංචි බණ්ඩා කලවාන තම සොයුරිය වූ කලවානේ කුමාරිහාමිට රහසේම පැවසීය.
“ඔව්, ඒක මටත් දැනුණා,” කලවානේ කුමාරිහාමි ද එකඟ වූවාය.
දැනට වියපත් ව හිඳින මඩුවන්වෙල දිසාවේගෙන් පසු මේ සුවිශාල දේපළ තමන්ට අත්පත් වනු ඇතැයි කලවානේ කුමාරිහාමි මෙන්ම ඇගේ සොහොයුරා වූ පුංචි බණ්ඩා කලවාන ද බලාපොරොත්තුවෙන් සිටියහ. එහෙත් ෆ්‍රැන්සිස් මොළමුරේගේ හදිසි ආගමනයත් , ඔහු වලව්ව හා ඒ වටා ඇති ඉඩකඩම් පිළිබඳ දක්වන විශේෂ උනන්දුවත් ඔවුන්ට සරලව ගතහැකි කාරණයක් නොවීය.
කලවානේ කුමාරිහාමිත්, ඇගේ සොහොයුරාත් තම පැමිණීම ගැන එතරම් සතුටු නොවන බව ෆ්‍රැන්සිස් මොළමුරේට නොවැටහුණා නොවේ. එහෙත් ඔහු ඒ කිසිවක් නොදන්නා අයුරින් ඔවුන් සමඟ ඉතා සුහදශීලීව කතාබහ කළේය. තම යටි අදහස මුදුන්පත් කර ගැනීමට නම්, තමන් කෙරෙහි ඇති මේ නොසතුට හෝ සැකය පිළිබඳ කිසිදු තැකීමක් නොකළ යුතු බව ඔහු දැන සිටියේය. ඒවා නොදන්නා සේ සිටීමම වඩාත් සුදුසු බව ද ඔහු විශ්වාස කළේය.
දිනක් ෆ්‍රැන්සිස් මොළමුරේ මඩුවන්වෙල දිසාවේ සමඟ කතාබහ කරමින් සිටියදී වැදගත් ආරංචියක් ඔහුට හෙළි කළේය.
“ලොකු අප්පච්චි, මම ඊළඟ ඉලෙක්ෂන් එකට ඉදිරිපත් වෙන්නයි හිතාගෙන ඉන්නේ.”
එය මඩුවන්වෙල දිසාවේට අලුත් ආරංචියකි. තම සොයුරාගේ පුත්‍රයා මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන්නේ නම්, එය හොඳ තීරණයක් ලෙස ඔහුට ද හැඟිණි.
“අදහස නම් බොහොම හොඳයි,” මඩුවන්වෙල දිසාවේ එය අනුමත කරමින් පැවසීය.
“ඒක තමයි ලොකු අප්පච්චි, මමත් කල්පනා කළේ. හැබැයි මට මේ වැඩේට ලොකු අප්පච්චිගෙන් උදව් උපකාර ඕනේ,”
ෆ්‍රැන්සිස් මොළමුරේ කීවේය.
“අපොයි, ඕක මොකක්ද? මට පුළුවන් ඕනෑම උදව්වක් මම දෙන්නම්”
මඩුවන්වෙල දිසාවේ ක්ෂණිකවම පිළිතුරු දුන්නේය.
"ලොකු අප්පච්චි මේ රටේ විතරක් නෙවෙයි, ලෝකේ හතර වටේම ප්‍රසිද්ධ කෙනෙක්. ලොකු අප්පච්චිගේ උදව් ලැබෙනවා නම් මට ඡන්දය දිනන්න බැරි වෙන්නේ නැහැ.”
ෆ්‍රැන්සිස් මොළමුරේ මේ වචනවලින් නොකියා කියන්නට උත්සාහ කළේ කුමක්දැයි මඩුවන්වෙල දිසාවේට වැටහෙන්නට විය. ඔහු ඒ පිළිබඳව කල්පනා කළේය.
තමා දැන් මහලු වියට පැමිණ ඇති බවත්, තම ජීවිතයේ කාලය බොහෝ දුර ගෙවී ගොස් ඇති බවත් මඩුවන්වෙල දිසාවේ දැන සිටියේය. තම මරණයෙන් පසු ආබාධිත ඩිංගිරි අප්පෝ ගේ භාරකාරත්වය පිළිබඳව ද ඔහු සිතන්නට විය. ඩිංගිරි අප්පෝ ගැන සියලු වගකීම් කලවානේ කුමාරිහාමි විසින් නොපිරිහෙලා ඉටු කරන බව මඩුවන්වෙල දිසාවේ හොඳින්ම දනියි. ඩිංගිරි අප්පෝට සැබෑ මවක මෙන් ආදරය කළ ඇගේ මුළු ලෝකයම වූයේ මේ ආබාධිත දරුවාය. එබැවින් ඩිංගිරි අප්පෝ ගේ අනාගතය පිළිබඳව මඩුවන්වෙල දිසාවේගේ සිතේ එතරම් බරක් තිබුණේ නැත.
කලවානේ පුංචි බණ්ඩා ද තමන්ට පැවරී තිබූ රාජකාරි කටයුතු අඩුපාඩුවකින් තොරව ඉටු කරන බව දිසාවේ දැන සිටියේය. ඒ පිළිබඳව ද ඔහුගේ සිතේ කිසිදු සැකයක් නොතිබිණි. එහෙත් පුංචි බණ්ඩාට පැවරී තිබූ අධික රාජකාරි කටයුතු හේතුවෙන් නින්දගම්වල සහ අනෙකුත් දේපළවල කටයුතු පිළිබඳව සොයා බැලීමට ඔහුට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ද මඩුවන්වෙල දිසාවේ අවබෝධ කරගෙන සිටියේය.
තම ජීවිතයේ සැඳෑ සමයට එළඹ සිටින මේ මොහොතේ තමන්ගේ යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටු කළ යුතු බව දිසාවේ තේරුම් ගත්තේය. ඒ අනුව තමන් සතු ඉඩකඩම් හා දේපළ ඉදිරියේ දී කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳව ඔහු කල්පනා කරන්නට විය. අවසානයේ ඒ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹි ඔහු, කලවානේ කුමාරිහාමි සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළේය. තම සොහොයුරාගේ පුත්‍රයා වූ ෆ්‍රැන්සිස් මොළමුරේට ද යම් තරමකින් හෝ උදව් උපකාර කළ යුතු බව ඇයට පවසන්නටත් ඔහු අමතක කළේ නැත. දිසාවේගේ අදහසට කිසිදු විරුද්ධත්වයක් පළ නොකළ කලවානේ කුමාරිහාමි ඔහු කැමති ආකාරයකට එම කටයුතු සිදු කරන ලෙසත්, ඒ පිළිබඳව තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත් කියා සිටියාය.
මෙසේ දින කිහිපයක් ගතවිය.
හදිසියේම දිනක් ෆ්‍රැන්සිස් මොළමුරේ නැවතත් මඩුවන්වෙල දිසාවේ ඉදිරියේ පෙනී සිටියේය.
“ලොකු අප්පච්චි, මේ සැරේ නම් ඡන්දය බොහොම උණුසුම් වෙයි වගේ. මම හිතුවටත් වැඩිය ලොකු මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙන බවයි පෙනෙන්නේ.”
සර් ෆ්‍රැන්සිස් මොළමුරේ මෙරට ප්‍රථම කතානායක වූ පසු ඡායාරූපයක්
ෆ්‍රැන්සිස් මොළමුරේ එසේ පැවසුවේ සෑහෙන වේලාවක් ආගිය තොරතුරු පිළිබඳව සුහදව කතාබහ කරමින් සිටින අතරතුර ය. ඉන් අනතුරුව ඔහු තමන් පැමිණි කාරණයට කෙළින්ම පිවිසියේය.
"ලොකු අප්පච්චි කැමති නම් මට කුරුවිට කැන්දන්ගමුව නින්දගමින් කොටසක් ලියලා දෙන්න. ඒ පැත්තේ මෙහෙට වඩා පදිංචිකාරයෝ වැඩියි. ඒ මිනිස්සු ටික අල්ලගත්තොත් මට ලේසියෙන් දිනන්න පුළුවන් වෙනවා"
බළලා මල්ලෙන් එළියට පැන්නේ එසේ ය. මඩුවන්වෙල දිසාවේ පිළිතුරක් දෙන්නට ඉක්මන් වූයේ නැත.
"අපි බලමුකෝ" යනුවෙන් පවසා ඔහු ඒ මොහොතේ නිහඬ විය.
ෆ්‍රැන්සිස් මොළමුරේ ද ඇවිටිලි කළේ නැත. මෙය ක්ෂණිකව කළ හැකි දෙයක් නොවන බව ඔහු නොදන්නේ නොවේ. මෙසේ විවිධ කතා බහවල නිරත වී හිඳ එදින ම ඔහු පිටත් වී ගියේ දේශපාලන කටයුත්තකට කොළඹ යා යුතු බව පවසමිනි .
තවත් කොටසක් ලබන සතියේ
මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
ඡායාරූප - අන්තර්ජාලය