කොරෝනා වසංගතය කියන පඹ ගාලේ පැටලුණු ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා තිරගත කරන ලද ධම්මික පැණියේ නාටකය පෙරේදා (16) අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියස මහා විහිළුවක් බවට

පත් වෙලා අවසන් වුණා.
 
ලෝකයේ දුප්පත්, පොහොසත් සෑම රටක් ම මේ වෙනකොට තමන්ට හැකි අයුරින් කොරෝනා වෛරසය මැඬලන එන්නත් ලබා ගැනීම සඳහා මහන්සි වෙනවා. 
 
මේ වසංගතයෙන් දරුණු ලෙස බැට කෑ දකුණු ආසියාතික රටක් වන බංග්ලාදේශය පවා මිලියන 30ක පිරිසකට නොමිලේ එන්නත ලබා දීම සඳහා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා. 
 
සිංගප්පූරුවේ අගමැතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් කරමින් මේ එන්නත හැකි ඉක්මනින් තම රටට ලබා ගන්නට මාස කිහිපයක් තිස්සේ ඔවුන් කරගෙන ගිය දැවැන්ත මෙහෙයුම සවිස්තරව අනාවරණය කළා. 
 
අනෙක් හැම රටක් ම පාහේ මේ වන විට උපරිම උත්සාහය දරන්නේ හැකි ඉක්මනින් මෙම එන්නත් ගෙන්වා ගෙන වසංගතය ඉක්මනින් පරාජය කිරීමටයි.
 
 
''එහෙම කිසිම වැඩපිළිවෙලක් නැතිව එලොව විකාරෙන් මෙලොව අතගාමින් හිටපු ආණ්ඩුව තමන්ගෙ නොහැකියාව වහගන්න හැදුවේ තෙල් බේත් කාරයෙකුගේ සෙප්පඩවිජ්ජාවකින්. ''
එන්නත ලංකාවට ගේන්න නිසි සැලසුමක් හදනවාට වඩා, එන්නත නිසි ප්‍රමිතියකින් යුතුව ගබඩා කරන්න අවශ්‍ය යටිතල පහසුකම් හදාගන්නවට වඩා, ඒ සඳහා යොදවන්න මුදල් හොයනවට වඩා සෙප්පඩවිජ්ජාකාරයෙකු ගේ ප්‍රෝඩාවකින් ගොඩ යන්න බලන එක මේ වගේ වැඩ බැරි ආණ්ඩුවකට හැම අතින් ම පහසුයි. 
 
මේ ප්‍රෝඩාව සඳහා උපරිම රාජ්‍ය අනුග්‍රහය ලැබුණේත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ම වෘත්තිකයන් ගේ දැනුම මේ ප්‍රෝඩාකාරයා වෙනුවෙන් හෑල්ලු කෙරුණේත් ඒ නිසයි.
 
තවත් බොහෝ කල් ඇදගෙන යන්න හිටපු මේ ප්‍රෝඩාව රටේ වාසනාවකට අනුරාධපුර පින් බිමේ ජය ශ්‍රී මහ බෝ සමිඳු අභියස දී නොසිතූ අන්දමට අවසන් වුණා. 
 
damika 
මේ රටේ ඉන්නේ බත් කන මිනිසුන් නම් තව දුරටත් මේ ප්‍රෝඩාකාරයාගේ රැවටිල්ල කරගෙන යන්න ඉඩ ලැබෙන්නේ නැහැ. 
 
ඒත් මේ ලංකාව කියන්නෙ එහෙම ලේසියෙන් චරිත සහතික දෙන්න පුළුවන් රටක් නොවන බව අපි අමතක නොකළ යුතුයි. 
 
කොහොම වෙතත් දැන් මේ තියන තත්ත්වය උඩ ආණ්ඩුවත් ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයත් තවත් අලුත් ඇස් බැන්දුමක් හොයන තැනට තල්ලු වෙයි කියලා මට හිතෙනවා.
 
මේ ප්‍රෝඩාවෙන් වැඩිපුර ම අසරණ වුණේ අපේ පුරාණ දැනුම ගැන, සම්ප්‍රදාය ගැන ජාතික හැඟීම ගැන පට්ටපල් කෙබර ඇද බාමින් සමාජ මාධ්‍යවල ආණ්ඩුවේ කිළුටු රෙදි හෝදපු පිරිස. 
 
පෙරේදා රාත්‍රියෙන් පස්සෙ ඒ හුඟ දෙනෙක් දැන් හොයාගන්නත් නැහැ. මේ හුඟ දෙනෙක් "රට ජාතිය බේරගන්න" කියලා පහුගිය ජාතික මැතිවරණ දෙකේ දී පොහොට්ටුව ඉස්සරහින් කතිරය ගහපු නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පංතියට අයිති පිරිසක්. 
 
දේශපාලනය ගැනවත් ජාතිකවාදය ගැනවත් නිශ්චිත අවබෝධයක් නැති මේ පිරිස "සිංහල-බෞද්ධ" ලේබලය අලවලා ඒ වෙලාවට අඹරලා දෙන ඕනෙ ගුලියක් තලු මරමින් කනවා. 
 
කාලි පැණිය ගන්න කෑගල්ලේ පැය ගාණක් තෙරපි තෙරපි පෝලිමේ හිටපු දුප්පත් මිනිසුන්ටත් වඩා අද මේ පිරිස අන්ත අසරණයි.
 
 
ජාතිකවාදය කියන්නේ මේ පල් හොරුන් සහ වංචාකාරයන් පිරිසක් එකතු වෙලා උදේ හවස මාධ්‍ය ඉස්සරහ රඟ දක්වන නරිනාටකය නෙවෙයි. 
 
මේ මොහොතේ ජාතිකවාදය ගැන තියන සංවාදයේ දී මූලික කාරණා තුනකට අපට පිළිතුරු හොයාගන්න සිද්ධ වෙනවා. 
 
ඒ, ශක්තිමත් ජාතික අනන්‍යතාවක් සහිතව ජාතික රාජ්‍යයක් ගොඩනගාගන්නේ කොහොමද ?
 
ස්ථාවර ජාතික ආර්ථිකයක් බිහි කරගන්නේ කොහොමද ? සහ 
 
අලුත් දැනුම ඇසුරෙන් බුද්ධිමය ප්‍රාග්ධනය දේශීයව නිෂ්පාදනය කරගන්නේ කොහොමද ? කියන කරුණු තුන.
 
 
 
අලුත් දැනුම ඇසුරෙන් බුද්ධිමය ප්‍රාග්ධනය නිපදවන්න නම් අපේ සාම්ප්‍රදායික දැනුම නිරන්තර පරියේෂණයන්ට ලක් කළ යුතුවා වගේ ම ලෝකයේ බිහිවන අලුත් දැනුම අප ඉක්මනින් මේ රටට උකහා ගත යුතුයි. 
 
මේක ඉතා සංකීර්ණ එමෙන් ම දියුණු දැක්මක් සහිතව සිදු කළ යුතු ක්‍රියාවලියක්. 
 
මේ වගේ අසමත් ආණ්ඩුවකින් එහෙම දිගුකාලීන දැක්මක් බලාපොරොත්තු වෙන්න සිහි නුවණ තියෙන මනුස්සයෙකුට පුළුවන්කමක් නෑ. 
 
ඒ වෙනුවට මේ ආණ්ඩුව කරන්නෙ පොදුවේ මිනිසුන් තුළ නිදන්ගත වෙලා තියෙන ගෝත්‍රික හැඟීම් සහ මිත්‍යා විශ්වාස අවදි කරලා, ඒවාට ජාතිකවාදයේ සළු පිළි අන්දවලා, විචාර බුද්ධියක් නැති සමාජ තීරුවක් එක එක විදියට රවට්ටලා තමන් ගේ බඩගෝස්තරය රැකගන්න එක.
 
 
 
''මේ ආණ්ඩුව කරන්නෙ පොදුවේ මිනිසුන් තුළ නිදන්ගත වෙලා තියෙන ගෝත්‍රික හැඟීම් සහ මිත්‍යා විශ්වාස අවදි කරලා, ඒවාට ජාතිකවාදයේ සළු පිළි අන්දවලා, විචාර බුද්ධියක් නැති සමාජ තීරුවක් එක එක විදියට රවට්ටලා තමන් ගේ බඩගෝස්තරය රැකගන්න එක.''
 
 
 
වඳ බේත්, වඳ කොත්තු, වඳ තනපටවල ඉඳන් නාග ධාතු සහ සුදර්ශන පැණිය හරහා ඇවිත් ධම්මික මේසන් බාස් ගේ කොරෝනා බෙහෙත දක්වා ම ගමන් කරන්නේ එක ම ව්‍යාපෘතියක්. 
 
මේ ව්‍යාපෘතිය පිටිපස්සේ ජාවාරම්කාර තක්කඩි ව්‍යාපාරික ජාලයක් තියෙනවා. 
 
අයාලේ යන ගව රැළක් වගේ මේ රටේ ජනතාව ආයෙ ආයෙත් උන්ට රැවටෙනවා. 
 
හිතුවාට වඩා කලින් ධම්මික පැණියෙ නාට්‍යය අතේ පත්තු වුණු මේ ව්‍යාපෘතියේ ඊළඟ ජවනිකාව දැනට ම ඔවුන් සූදානම් කරනවා ඇති.
 
ඒත්, කොයි තරම් හොඳට දැනට මේ බොරුව කළත් අසත්‍යයට යා හැකි නිශ්චිත දුරක් තියනවා. 
 
මේ ලෝකයේ බොරුවෙන් බලය ගත්ත හැම පාලකයෙකු ම අවසානයේ ඒ යථාර්ථයට මුහුණ දීලා තියෙනවා. 
 
රාජ්‍ය බලය, මුදල් බලය සහ මාධ්‍ය බලය පොම්ප කරලා බැලුමක් වගේ පුම්බන මේ බොරුව එක මොහොතක පුපුරලා යන බව අප අමතක නොකළ යුතුයි. එදාට අපි සමාජයක් විදියට ඇත්තට මුහුණ දිය යුතු වෙනවා.
 
 
 
sil 01 19 rasika(රසික ජයකොඩි)
සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
කියවන්න :
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්