1200 x 80 DMirror
 
 

ජාතක කතාව යනු කුමක් ද යන්න පිළිබඳ පසුගිය දිනෙක කෙටි හැඳින්වීමක් කළේ ඉදිරි කාලයේ දී සුවිශේෂ යැයි හැඟෙන ජාතක කතා කිහිපයක් පිළිබඳ හෝ විවරණයක යෙදීමේ බලාපොරොත්තුවෙනි. 
 
 
එහි දී ජාතක කතා පොතේ සඳහන් ආකාරයට ම පිළිවෙළකට කතා තෝරා ගැනීම පසෙක ලා විටින් විට එක් එක් අනුභූති පදනම් කරගත් ජාතක කතා පිළිබඳ කිසියම් විවරණයක යෙදීමට අදහස් කළේ ය.
 
ඒ අනුව අද තෝරා ගැනුණේ ‘‘සංකප්ප ජාතකය’’ යි.
 
මේ සියලු ජාතක කතා බුදුන්වහන්සේ විසින් දේශනා කරනු ලැබුවා ද නැද්ද යන්න පවා සැක සහිත වටපිටාවක් තුළ ඇතැම් ස්ථානවල දී අදාළ කතාව දේශනා කළේ බුදුන්වහන්සේ නම් උන්වහන්සේගේ ඇතැම් අදහස් ද, එය හුදෙක් ජාතකකතාකරුවාගේ අදහසක් නම් ඒ අදහස් ද විවේචනයට බඳුන් කරන්නට සිදුවන අවස්ථා එළඹේ. 
 
මෙම ජාතක කතාවේ ද එවන් අවස්ථා පවතී. 
 
ඉදිරියේ දී විවරණයට ලක් කෙරෙන කතාවල පවා එවන් අවස්ථා පවතින්නට පිළිවන. ඒ සම්බන්ධයෙන් කිසිවකු උරන නොවනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව දැන් අදාළ ලිපියට ප්‍රවේශ වන්නට අවසර...!
 
සමස්ත ජාතක කතා පෙළෙහි ම සන්දර්භය ගත් කල දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ එමගින් මිනිසුන්ගේ චර්යා පිළිබඳ විමංසනයක යෙදී තිබීම ය. ඒ කුමනාකාරයෙන් ද යන්න පළමු ලිපියේ දී විස්තර කළේ ය. 
 
අද තෝරාගත් ‘‘සංකප්ප ජාතකය’’ වනාහී ස්ත්‍රියක් සහ භික්ෂුන් වහන්සේ නමක් පාදක කරගනිමින් දේශනා කළ කතාවකි. ස්ත්‍රියගේ ගුණ වරුණ මෙන්ම ඇගේ විවිධ චර්යා පිළිබඳව වඩාත්ම ලියවී ඇත්තේ ජාතක කතා සංග්‍රහයේ යැයි පැවසුව ද එය අතිශෝක්තියක් නොවේ. මෙය ද එබන්දකි.
 
මෙම ජාතක කතාව ආරම්භයේ ම සඳහන්වන පරිදි ස්ත්‍රීන් පිළිබඳ සිතීම පවා දෝෂ සහිත ය; පවු පිරෙනසුලු ය. බුදුන් වහන්සේ එසේ වදාරා ඇති බව දන්නා භික්ෂූන්වහන්සේලා පිරිසක් විසින් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුන් වහන්සේ ඉදිරියට පමුණුවනු ලබන්නේ ද අන්වහන්සේ බලහත්කාරයෙන් කැඳවාගෙන ගොසිනි. 
 
එය පැහැදිලි කෙරෙන්නේ ‘‘මහණ නොකැමැති පරිද්දෙන් බුදුන් කරා ගෙන ගොස් බුදුන්ට පෑහ.’’ යන වාක්‍යයෙනි.
 
මේ භික්ෂුන් වහන්සේ මෙසේ බලහත්කාරයෙන් බුදුන් වහන්සේ ඉදිරියට රැගෙන ආ මොහොතේ එම භික්ෂුව මේ ආකාරයෙන් තමන් ඉදිරියට කැඳවාගෙන ආවේ මන්දැයි බුදුන් වහන්සේ විමසූහ. එවිට එයට පිළිවදන් සපයන භික්ෂුහු පවසන්නේ එම භික්ෂුව ස්ත්‍රියක් පාදක කරගනිමින් සිවුරු හැර යන්නට සුදානම් වන බවයි.
 
මෙහි දී මතුවන පැනයක් වන්නේ භික්ෂූන්වහන්සේලා පිරිසක් විසින් මෙම භික්ෂුව බුදුන් වහන්සේ ඉදිරියට පමුණුවනු ලබන්නේ සැබැවින් ම උන්වහන්සේ සිවුරු හැරීමට සූදානම් වීම පිළිබඳ ශෝකයෙන් ද, එසේත් නොමැති නම් උන්වහන්සේ ස්ත්‍රියකගෙන් ලබන්නා වු සතුට අනෙක් භික්ෂුන්ට ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ද යන්න ය. එක් පසෙකින් මෙය පාවාදීමක් ලෙස ද සැලකිය හැකි ය. තවත් පසෙකින් ලිංගික ඊර්ෂ්‍යාව ලෙස ද සැලකිය හැකි ය. 
 
භික්ෂූන්වහන්සේ පිරිස එම භික්ෂුව බුදුන් වහන්සේ ඉදිරියට පැමිණවීමෙන් ඉක්බිති බුදුන් වහන්සේ එම භික්ෂුවගෙන් ‘‘තා ස්ත්‍රියක් නිසා උකටලී වුවා යැයි පවසන්නේ සැබෑ ද මහණ...?’’  යැයි විමසා සිටියහ.
 
එවිට එම භික්ෂුව එය පිළිගන්නේ ය. එහි දී බුදුන් වහන්සේ වදාරන්නේ කුමක් ද...?
 
‘‘මහණෙනි මේ භික්ෂූන්ට වරදකොට ගෙනා පමණක් විනා මුන්තිබා පෙර උත්තමයන්ගේ පවා සිතිවිල්ල කලඹාපු ස්ත්‍රීහු මුන්වහන්සේ වුවන් බලද්දායි.’’
 
මෙයින් කියවෙන්නේ ‘‘ස්ත්‍රිය වනාහී මේ භික්ෂුවගේ පමණක් නොව මීට පෙර විසූ උතුම් අයගේ පවා සිතුවිලි කැලඹූ බව යි’’ යන්න ය.
ඒ අනුව බලන කල කිසියම් ස්ත්‍රියක් තමා පුරුෂයක් විසින් දූෂණය කරනු ලැබූ බව පවසා ඊට එරෙහිව නීතියේ පිහිට පතා යද්දී වර්තමාන අධිකරණ විනිසුරුවෝ එකී තරුණිය ඇඳ සිටි ඇඳුම කෙබඳු ද යන්න විමසා, එකී ඇඳුම පිරිමින්ගේ මනස කලඹන බව පැවසුවාට දෙවන නොවන්නේ දැයි නොහැඟෙන්නේ ද?    
 
පළමුව මෙම ජාතක කතාවේ සාරාංශය දෙස අවධානය යොමු කරමු.
 
බෝධිසත්වයෝ එක් සමයක ධන ධ්‍යාන්‍ය යෙන් ආඪ්‍ය වූ සිටු පවුලකට දාව ඉපිද සිට ඇත. මේ සියලු ධනය ඔහුට පවරා සිය දෙමාපියෝ මියගොස් ඇත. 
 
නමුදු බෝධිසත්වයෝ සිය ඥාතින්ගේ ද අකැමැත්ත තිබිය දී ඒ සියලු ධනය හැර දමා වනගත වී තාපසයකු ලෙස දිවි ගෙවා ඇත. මෙසේ දිවි ගෙවන අතර දිනක් ආහාර පිසගැනීම සඳහා අවශ්‍ය කළමනා රැගෙන යන්නට නගරයට පැමිණ ඇත.
 
තාපසයා මෙසේ ගමන් කරන ආකාරය සඳලුතලයේ සිටි රජු දැක ඇත. තාපසයාගේ රුව ද ගමන් බිමන් විලාසය ද දුටු රජතුමා ඒ කෙරෙහි පැහැදී ඔහුගේ පාත්‍රය රැගෙන එන්නැයි රාජ සේවකයකුට දන්වා ඇත. රාජ සේවකයා මහමගට ගොස් තාපසයාගේ පාත්‍රය ඉල්ලා ඇත. 
 
එවිට තාපසයා විමසා ඇත්තේ ‘‘මා සමග කිසිදු සබඳතාවක් නොමැති රජතුමා කුමක් සඳහා මා කැඳවනවා ද?’’ යනුවෙනි.
 
ඒ පිළිබද කිසිවක් ම නොදන්නා රාජ සේවකයා ‘‘මා එය දැනගෙන එනතුරු මෙහි සිටින්න,’’ යැයි තාපසයාට පවසා ඔහු පැවසු දෑ රජතුමාට දන්වා ඇත. රජතුමා පවසා ඇත්තේ තාපසයා සමග රජුට කිසිදු සම්බන්ධයක් නොමැති වුව ද එහු කෙරෙහි පැහැදිමක් ඇත් වූ බවයි. 
 
අනතුරුව රජතුමා සඳලු තලයේ සිට ම තාපසයාට වැඳ නමස්කාර කර මාලිගයට වඩින්නැයි ආරාධනා කර ඇත. 
 
තාපස තෙමේ ද රජුගේ ආරාධනය පිළිගෙන මාලිගයට ගොස් රාජ බෝජන වළදා රජුන්ට ධර්මය ද දේශනා කර ඇත.
 
අනතුරුව රජතුමා තාපසයාට පවසා ඇත්තේ, තාපසයාට අවැසි සියලු පහසුකම් ලබාදෙන්නට තමා සුදානම් බවත් ඒ සඳහා රජුගේ මඟුල් උයන සුදානම් කර දිය හැකි බවයි. 
 
තාපසයා ද ඊට එකඟ වූ පසු දිවාකාලයේ විසීමට ද, රාත්‍රී කාලයේ විසීමට ද මතු නොව සක්මන් කිරීම සඳහා ද අවැසි සියලු පහසුකම් සලසා දී ඇත. එතැන් සිට දොළොස් වසරක් ම බෝධිසත්ව තාපසයෝ එහි වැඩවාසය කර ඇත.
 
මේ වන විට එම රටට එරෙහි සතුරු ආක්‍රමණයක් ක්‍රියාත්මක වී ඇත. රජු, සිය බිසවට ද පවසා එකී සතුරු ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නට යා යුතු බව පවසා එනුවර රජු හෝ බිසව හෝ දෙදෙනාගෙන් එක් අයෙකු නතරවිය යුතු බව ද පවසා ඇත. 
 
ඒ කුමක් සඳහා දැයි බිසව විමසන විට රජු පවසා ඇත්තේ මඟුල් උයනෙහි වෙසෙන සිල්වත් තාපසතුමාගේ දුක සැප බැලීම සඳහා එසේ කළ යුතු බවයි. එවිට බිසව පවසා ඇත්තේ තාපසතුමාගේ සියලු කටයුතු පිළිබඳ වගකීම තමා විසින් බාරගනු ලබන බවයි. රජු ද බිසවගේ පොරොන්දුව විශ්වාස කර යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇත.
 
රජු යුද්ධයට ගිය පසු ද තාපසයෝ ඍද්ධියෙන් රජමාලිගයට වැඩම කර ඇත. ඒසේ වැඩම කර බිසව විසින් පනවන ලද අසුනක හිඳ ආහාරපාන වළඳා ඇත. මෙසේ දිනපතා මාලිගයට වඩින තාපසතුමා දිනක් ප්‍රමාද වී ඇත. 
 
උන්වහන්සේ වඩින තෙක් පෙර මග බලා සිටි රජ බිසව පසුව ගොස් දිය නා, සියලු ආභරණ පලඳා, දුහුල් සළුවකින් සැරසී තාපස තුමා අසුන්ගන්නා ස්ථානයේ ම තිබූ මිටි යහනක සැතපී සිට ඇත.
 
 අනතුරුව තාපස තුමා ඍද්ධියෙන් ඉහළමාලයට වැඩම කර ඇත. එවිට උන්වහන්සේගේ සිවුරෙන් නිකුත් වූ හඬ බිසවට ඇසී ඇත. එසැණින් ඇහැරුණු බිසව නැගී සිටිද්දී ඇය ඇඳ සිටි දුහුල් සළුව ඉණෙන් ගැලවී බිම පතිත වී ඇත.
 
කතාව කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුත්තේ මෙතැන් සිට ය. එවිට තමන් වහන්සේ ඉදිරියට පැමිණ වූ භික්ෂුන් වහන්සේ දුටු සැණින් බුදුන් වහන්සේ පැවසූ කරුණෙහි සාධාරණ අසාධාරණභාවය වටහාගත හැකි ය.
 
යළි කතාවට ප්‍රවේශ වෙමු.
 
බිම හොත් සළුව දෙස බැලූ තාපසතුමා ක්ෂණයකින් බිසවගේ සිරුර දෙස අවධානය යොමු කර ඇත. ඒ මොහොතේ උන්වහන්සේගේ ධ්‍යානය පිරිහී ඇත. එය කෙතරම් ද යත් උන්වහන්සේ මාලිගයේ පහළ මාලයට බැස ඇත්තේ අත්තටු සිඳුණු (බිඳි ගිය) කපුටෙකු සේ පා ගමනෙනි.
 
ඒ කුමන හේතුවක් මත ද යන්න විමසා බලමු. ජාතක කතාකරුවා එය මෙසේ සටහන් කරයි.
 
‘‘බිසවුන්ගේ රූපශ්‍රීය යහපත් නියාය අතුල් පතුල් කලවා කෙඬ ආදි වූ අවයව වෙන වෙනම බලන බෝධිසත්වයන්ට බලවත් වූ සෝක උපන’’
 
 මෙහි දී කියවන්නාගේ අවධානය යොමු කළ යුත්තේ ‘‘ආදි වූ අවයව වෙන වෙනම බලන බෝධිසත්වයන්ට’’ යන කොටසට ය. 
 
කාන්තාවකගේ නිරුවත දැකීමට කෙතරම් ආසක්ත පිරිමියකු වුව ද තමා ඉදිරියේ සිටින පිටස්තර කාන්තාවකගේ යට සායක් මතු නොව දිය රෙද්ද නොසිතූ මොහොතක කඩා වැටුණු විට පවා එදෙස නොබලන්නේ ය. ක්ෂණයකින් සිදුවන්නේ ඉවත බලාගැනීම ය. 
නමුදු ජාතකකතාකරුවා පවසන අන්දමට ඒ අවස්ථාවේ දී බෝසත් තවුස්තෙමේ බිසවගේ නිරුවත් රූපශ්‍රීය දෙස ඉතා අවධානයෙන් බලා සිට ඇත; එය විද ඇත. එසේ නම් වැරැද්ද බිසවගේ ද බෝධිසත්ව තාපසතුමාගේ ද යන්න වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. 
අනෙක් පසින් මෙහි දී බිසව වුවමනාවෙන් ම සිය සළුව උනා දැමූ බවක් ද නොපැවසේ. එසේ වුවානම් එය ඇගේ වරදක් යැයි තීරණය කළ හැකි ය. නමුදු මෙහි දී බිසවගේ හැසිරීම ඇය වඩාත් නිවැරැදි බව සනාත කරයි.
තවුස් තෙමේ ආහාර නොවළඳා ම පිටත්ව යාමට සැරසුණු මොහොතේ රාජ සේවකයන් උන්වහන්සේ වෙනුවෙන් වෙන ම අසුනක් සුදානම් කර එහි අසුන්ගන්නා ලෙස පවසා ඇත. එමෙන් ම බිසව ද තමාතින් නොදැනුවත්ව හෝ වරදක් සිදුව ඇති බව වටහාගෙන ඇත. එසේ වටහාගෙන වහ වහා තාපසතුමාට අවශ්‍ය ආහාරපානාදිය සපයා ඇත.
 
‘‘බිසවුන් තමන් නිසා බෝධිසත්වයන්ට සෝක උපන් බව දැන තමන් අන්නපානය බෝධිසත්වයන්ගේ භික්ෂා පාත්‍රයෙහි ලූහ’’
 
බිසව සියතින් වූ අත්වැරැද්ද නිවැරැදි කරගැනීමට යත්න දරද්දී පවා බෝධිසත්වයෝ එය මගහැර යති. ජාතක කතාකරුවා එය මෙසේ සටහන් කරයි.
 
‘‘බෝධිසත්වයෝ ආකාශයෙන් යානොහී ඉනිමගින් බිමට බැස තමන් වසන්නාවූ පන්සලටම ගොස් බත්පාත්‍රයත් නොවළඳා තිබා මැස්සට නැගී සද්දවසක් නිරාහාරව වැදහොත්තාහ’’
 
 
බෝධිසත්වයෝ සිත දමනය කරගත් පුද්ගලයකු වී නම් මෙතරම් ම අසීරුතාවට පත්විය යුතු ද? අදාළ සිද්ධිය සිදු වී අවසන්ව තිබුණ ද එය තව දුරටත් හිස මත තබාගෙන සිටින්නට තරම් බෝධිසත්වයන්ගේ මානසික ශක්තිය දුර්වල ද?
රජතුමා යුද්ධය දිනා නැවත මාලිගයට පිවිසෙන විට ද තාපසතුමා සිටියේ රෝගී මනසෙනි. ඒ පිළිබද රජු විමසද්දී උන්වහන්සේ පවසන්නේ ‘‘රජ්ජුරුවනි ඊපාරක් ලදුම්හ’’ යනුවෙනි.
 
රජතුමා ඒ පිළිබඳ වැඩිදුරටත් විමසද්දී බෝධිසත්වයෝ තම වරදකාරී බව ප්‍රත්‍යක්ෂ කරමින් මෙසේ පවසන්නාහ.
 
‘‘එවිට බෝධිසත්වයෝ කියන්නාහු සතුරන්ගෙන් වැදගත් ඊයෙක් නොවෙයි කියා තමන් වැදගත් ඊය කියන්නාහු මහරජ්ජුරුවෙනි මම අන්‍යවු පසමිතුරන් විසින් විදින ලද්දෙමි නොවෙමි. වැලිකවුරුන් විසින් විදිනාලද්දේයත් මම මාගේ හෘදයෙහි මම මාගේ හෘදයෙහි ඊය විදිනාලද්දෙමි.’’
 
අවසන වැරැද්ද බිසවගේ නොව තමාගේ බව බෝධිසත්වයෝ පිළිගැනීම යහපත් වුව ද කාන්තාවක් හේතුවෙන් සිවුරු හැර යාමට සුදානම් වූ භික්ෂුව තමන් ඉදිරියට පැමිණ වු මොහොතේ බුදුන් වහන්සේ පවසන දෑ සහ පෙර ආත්මයේ සිද්ධිය අතර පුර්වාපර සන්ධි ගැළපීම සාධාරණ ද යන්න විමසිය යුතු නොවේ ද? එය වඩාත් පහසු කරගනු වස් යළි ජාතක කතාවේ ආරම්භය වෙත යමු.
 
‘‘මහණෙනි මේ භික්ෂූන්ට වරදකොට ගෙනා පමණක් විනා මුන්තිබා පෙර උත්තමයන්ගේ පවා සිතිවිල්ල කලඹාපු ස්ත්‍රීහු මුන්වහන්සේ වුවන් බලද්දායි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේකී.’’
 
 
බෝධිසත්වයෝ තමන්ගේ ඍද්ධි බලය අහෝසි කරගත්තේ තමන්ගේ ම සිත පාලනය කරගැනීමට තමන් අපොහොසත් වු බැවිනි. එසේ නම් භික්ෂුව සිවුරු හැර යාම පිළිබඳ වරද සමස්ත කාන්තා පරපුර වෙතට ම බැර කරන්නේ ඇයි ද යන්න විමසිය යුතු නොවේ ද? එය ජාතකකතාකරුවා අතින් සිදු වු වරදක් ද...? එසේත් නොවේ නම්....?
 
කෙසේ වුව ද සමස්ත කතා සන්දර්භය දෙස අවධානය යොමු කිරීමේ දී මට හැඟී ගිය ප්‍රබලතම කරුණ නම් මෙම ජාතක කතාවේ පූර්වාපර සන්ධි ගැළපීමේ දී ජාතකකතාකරුවා කිසියම් පසුබෑමකට ලක්ව ඇති බවයි; එසේත් නොමැති නම් එය මගහැරීගොස් ඇති බවයි; වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මෙය හුදෙක් ‘‘පුරාජේරු කතාවක්’’ ලෙස හැඟෙන බවයි.
 
 එය තවත් පැහැදිලි කරන්නේ නම්, කිසියම් පිරිසක් මධ්‍යයේ කිසියම් සිද්ධියක් දැකීමේ දී හෝ සවන් වැකීමේ දී ‘‘ආ ඕක මොකක්ද මටත් අසවල් දවසෙ අසවල් දිහා දි මේ වගේ වැඩක් වුණාණෙ’’ යනුවෙන් පුරාජේරු පැවසීමක් බඳු ය.
 
Jayasiri Alawaththaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  
 
කියවන්න :

 

 

 


 

ක්‍රිකට් බිස්නස් එක ක්‍රිකට් ක්‍රීඩාවක් කරන්නේ මෙහෙමයි !
 
 
 
මැදගොඩ හිමි සර්ට දුන් අලුත්ම පොරොන්දුව! | The Leader TV
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්