පහුවදත් යසේ වැඩට ගියේ නෑ. කළු මහත්තෙය එයා ළඟට යන්න කලින් ම මොකෑ කියල යසේට සනීප නෑ කියල.
උදේ නමයට විතර නැගිටපු යසේ උදේට කාල ඇඳගෙන එළියට බැස්සෙ මටවත් නොකිය. අපි හැමෝම හිතුවෙ ඉස්පිරිතාලෙ යන්න ඇති කියල. ඒත්...
* * *
ඔවු... සුසන්ත හිතන්න ඇති මම ඉස්පිරිතාලෙ යන්න ඇති කියල. සුසන්ත විතරක් නෙවෙයි බිල් මහත්තයත් එහෙම හිතන්න ඇති. ඇත්තට ම මට ඉස්පිරිතාලෙ යන්න තරම් අසනීපයක් තිබුණෙ නෑ. මට තිබුණ එක ම අසනිපය සේපාලිගෙ වෙනස් වීම දරාගන්න බැරිකම විතරයි. ඒක දරාගන්න මට තිබුණ එක ම විසඳුම තමයි පිචර් බලන එක. ඒත් ගාල්ලෙ තියෙන පිචර් ඔක්කොම මම ඒ වෙද්දි බලලයි තිබුණෙ. එක වතාවක් නෙවෙයි කිහිප වතාවක් ම. ඒ නිසා මම තීරණය කළා මාතර යන්න.
මාතර ඇවිත් එක හමාර විතර වෙනතුරු වැල්ලෙ රස්තියාදු වුණ මම ඇස්. කේ. හෝල් එකේ තිබුණ චණ්ඩියා පිචර් එක බලල පච ගහ යට කඩපෙළේ කඩේකින් තේ බීල, පයින් ම නිව් සිනමා හෝල් එක පැත්තට ගියේ ඒකෙ තියෙන පිචර් එක මොකක්ද කියලවත් හොයන්නෙ බලන්නෙ නැතුව. ගිහින් බැලුව ම ඒකෙ තියෙන්නෙ හඳයා පිචර් එක. ඒ පිචර් එක බලල එළියට එද්දි නමයට කිට්ටුයි. දැන් රෑවෙච්ච එක කොහොමත් එකයිනෙ කියල හිතල බෝධිය ගාව කඩේකින් ආප්පයි, බිත්තර ආප්පයි කාල, තේත් බීල ගියා බ්‍රෝඩ්වේ හෝල් එක පැත්තට. ඒකෙ තිබුණෙ Day of the Animal කියල පිචර් එකක්. ඒ වෙද්දි එහෙම පිචර් එකක් ගැන අහලවත් තිබුණෙ නෑ. ඕන කෙහෙල් මලක් වෙන්න කියල මම ඒ පිචර් එක බලන්න තීරණය කළා.
පිචර් එක බලල එළියට එද්දි සිංහල පිචර් දෙක බැලුවට වැඩිය හිතට හරිම සැහැල්ලුවක් දැනුණ. ඒ පිචර් එක පුරාම තිබුණෙ සතුන්ගෙ, ගස් කොළන්වල සහ ගංගා ඇළ දොළවල දර්ශන විතරමයි. අඩුම ගානෙ මිනිහෙකුගෙ අඩි සලකුණක්වත් තිබුණෙ නෑ. වාහනය ටයර් පාරක්වත් තිබුණෙ නෑ. ඒක විශ්මකර්ම පිචර් එකක්.
ඒ ගැන හිත හිත පාර පනිද්දි ම කතරගම ඉඳල කොළඹ යන බස් එකක් ඇවිත් නැවැත්තුවා. මට නිකමට හිතුණ මේ වෙලාවට ගාල්ලට විතරක් යන බස් නැතුව ඇති කියල. එහෙම හිතල කොන්දොස්තරගෙන් ඇහුව ‘‘ගාල්ලට යන්න පුළුවන් ද...?’’ කියල. එයා ගත් කටට ම කිව්ව ‘‘ගාල්ලනං ටවුන් විතරයි... අතර මග නවත්තන්නෑ...’’ කියලා. මටත් ඉතිං ටවුමට ගියාම හොඳට ම ඇතිනෙ.
මම ගාල්ලට එද්දි කොටුවෙ ඔරලෝසුවෙ පෙන්නපු වෙලාව හරියට ම දොළහට දහය යි. ඒ වෙලාව කියන්නෙ ගාල්ලෙ හෝල් එකකින් නමයයි තිහ පිචර් එක බලල එන වෙලාවට වැඩි නෑ. එහෙම වුණේ ඉංග්‍රීසි පිචර් එක තිබුණෙ පැය එකහමාරක් නිසා. පාර පැනපු මම බස් ස්ටෑන්ඩ් එක මැදින් ඇවිත් සිඩ්නි බාර් එක ඇරල ද කියල බැලුවෙ පෙරුමාල් අයිය ඉන්නව නම් ටිකක් කතා කරන්න. ඒත් ඒ වෙද්දි එයත් ගිහින්. දැන් ඉතිං කරන්න තියෙන්නෙ සුපුරුදු මෙහෙයුම කරන එක තමයි. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නෙ එහෙම ගියත් මට නිදාගන්න වෙන්නෙ කුස්සිය පැත්තෙ. මම මේ වෙද්දි වේටර්ල ඉන්න පැත්තෙ නිදාගත්තත් සුසන්ත තවමත් නිදා ගන්නෙ කුස්සිය පැත්තෙ. හැබැයි මම මේ වෙලාව උඩින් බැහැල කුස්සිය පැත්තෙ තට්ටුවට ගියොත් ඒක නුවණට හුරු නෑ. එහෙමයි කියල දැන් පේමන්ට් එකේ නිදාගන්නත් බෑ. ඒ නිසා මම තීරණයක් ගත්තා.
ඒ තීරණේ වැරදුණේ නෑ. කාමර කුලියට දෙන උඩ ම තට්ටුවෙ නයිට් එකේ කැෂියර් එකේ ඉන්න කෙනාට කරුණාදාස මමයි සුසයි ගැන විස්තර කියල තියෙන නිසා මට කාටත් පොදු කාමරේ පැය කිපයක් නිදාගන්න පුළුවන් වුණා. උදේ පහ වෙද්දි අවදි වුණ මම කඩේ දොර අරිද්දි ම ඇතුළට ගියේ අතුගගා හිටපු කොල්ල අහපු ප්‍රශ්නවලට කිසිම උත්තරයක් නොදී.
සුසන්ත
රෑ නිදාගන්න යද්දි හිටපු නැති මිනිහ උදේ වැඩ කරනව දැක්කම මට පුදුමත් හිතුණ. ඒත් ආ ගිය තොරතුරු කිසිම දෙයක් අහගන්න විදියක් නෑ; අහන්නෙ නැතුව මිනිහ මොනවත් කියන්නෙත් නැ කියල මම දන්නවා. ඒ නිසා මමත් කිසිම දෙයක් නොදන්න විදියට මගේ වැඩේ කරා. ඒත් මම හිතුවෙ උදේට කෑමට ආවම හරි මොනව හරි කියයි කියල. නෑ... එහෙම වුණේ නෑ. ඒ තියා දවස තිස්සෙම ඒ ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ. බැරි ම තැන රෑ කඩේ වහන්න කලින් මම යසේට කතා කරා.
‘‘යසේ... මට ඔහෙත් එක්ක ඩිංගක් කතා කරන්න ඕනෙ. අද නිදාගන්න මේ අහට එන්න බැයිද...?’'
යසේ එක පාරට ම මගේ මූණ දිහා බැලුව. ඒ මූණෙ දකින්න තිබුණෙ දුකක් ද, තරහක් ද, එහෙමත් නැත්නම් වෙන මොන වගේ පෙනුමක් ද කියල මට හරියට ම හිතාගන්න බැරි වුණා. ඒත් මිනිහ කතා කළා.
‘‘එන්න නං ඇහැකි...’’
ඊට පස්සෙ මිනිහ ටිකක් අදි මදි ගතියක් පෙන්නුවා.
‘‘ඇයි... බාස්උන්නැහේ බණියි හරි එන්න එපයි කියයි හරි කියලද...? නෑ... එහෙම නෑ. එයැයිත් කිව්ව ඔහේට මක්කයි වෙලා තියෙන්නෙ කියල අහන්න කියල. අනික දැං බාස්උන්නැහේ හැමදාම ගෙදර යන්නෙත් නෑ. ඒ හිංද එයැයි එක්කත් කතා කරන්න පුළුවං.’’
‘‘හම්ම්...’’
මම කිය ඔක්කොම දේවල් අහගෙන ඉඳල යසේ දුන්න උත්තරය තමයි ඔය.
* * *
‘ඇත්තට ම මං බාස්උන්නැහේටයි සුසාටයි මක්කයි කියන්නෙ...? සිද්ද වෙච්චි දේවල් නොකියත් බෑ. කියන්නත් බෑ. මං දන්නෙත් නැති කොට මක්කයි මං කියන්නෙ. කරන්න දෙයක් නෑ. වෙච්චි දේ කියන එක තමයි කරන්න තියෙන්නෙ.’
‘‘එතකොට ඔහේ කියන්නෙ ඔහේගෙන් ඒ ළමයට මක්කවත් වරදක් උණේ නෑ කියල. එහෙමෙයි...?’’
මේ තමයි රෑ කතා බහේදි බාස්උන්නැහේ කීප වතාවක් අහපු ප්‍රශ්නය. සුසන්ත වෙන විදියකට ඇහුවෙත් මේ ප්‍රශ්නය ම තමයි.
‘‘ඔවු බාස්උන්නැහේ... අඩුම ගානෙ සේපාලිගෙ නැන්දලගෙ ගෙදර අයවත් ඇත්ත ම සිද්ධිය මොකද්ද කියල දන්නෑ.’’
‘‘එතකොට දැන් කොයි කෙල්ල...?’’
මං මෙච්චර වෙලා නොකියපු දේ කියන්න වුණේ සුසන්ත ඔය ප්‍රශ්නෙ ඇහුවට පස්සෙ.
‘‘ජයශාන්ත කියන එකා සේපාලිව කසාද බැන්ද කියල තමයි එයාගෙ අම්ම පෙරුමාල් අයිය එක්ක කියල තියෙන්නෙ.’’
‘‘එහෙනං ඔහේ මක්කටෙයි මේ නැහෙන්න හදන්නෙ. දැං ඒකි ගැන හිතල වැඩක් තියෙයි. දැං කරන්න තියෙන්නෙ තමුංගෙ රස්සාව කරගෙන ඉන්නෙක නෙ. ඔහේ මෙච්චර දවසක් හරි මේ රස්සාව කරන්නෙ මයි හිතේ ටී මේකර් නිසා. මිනිහ අපේ මැනේජර්කාරයගෙත් ගජය නෙ... එහෙම නැහ්නං ඔහේ මෙලහකටත් මෙහෙං අයිං කරල.’’
බාස්උන්නැහේ එහෙම කියද්දි ඔළුව බිමට නවාගෙන අහගෙන ඉන්නව ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න මට හිත දුන්නෙ නෑ. ඇත්තට ම දැන් සේපාලි කසාද බැඳල නම් මම ඒ ගැන හිතල වැඩක් නෑ තමයි. ඒත් මේ ටික කාලය ඇතුළත මම විඳපු ඒ ආදරය, උණුසුම, පහස... මේ හැම දෙයක් ම එකපාරට ම අමතක කරන්නෙ කොහොම ද...?
මේ හැම දෙයක් ම මගේ හිතට වද දෙන්න පටන් ගත්තා. ගෑනියෙකුගෙ පහස ලබන එක නම් දැන් මට මහා ලොකු දෙයක් නෙවෙයි. ඒත් සේපාලි මට දක්වපු ළෙංගත්කම, එයාගෙ අම්ම මට දක්වපු ආදරය, කරුණාව... අම්මගෙ ආදරය නොලබපු මට සේපාලිගෙ අම්ම, අම්ම කෙනෙක් වුණේ නැහැ කියල මං කොහොමට කාටවත් කියන්නෙ. මේ වෙද්දි ඒ අම්මත් කොච්චර නම් අසරණ වෙලා ද...?
* * *
‘‘අම්මේ... අම්මේ... අම්මේ... මම රොහාන්...’’
දොරට කීප වතාවක් තට්ටු කරත් සද්දයක් නැති නිසයි මම කතා කරේ. පෙරුමාල් අයියව මුණ ගැහෙන්නෙත් නැතුව ම අම්මව බලන්න ආවෙ පෙරුමාල් අයියත් මේ වෙලාවෙ ඉන්නෙ මට මූණ දෙන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි කියල මම දන්න නිසා.
‘‘ආ... කවුද මේ... රොහාන් පුතා ද...?’’
ගේ ඇතුළෙන් ගලාගෙන ආවෙ සේපාලිගෙ අම්මගෙ කටහඬ.
‘‘ආ... ඔවු අම්මෙ... මම තමයි. දොර අරින්න අම්මෙ.... මට අම්ම එක්ක ඩිංගක් කතා කරන්න ඕන අම්මෙ...’’
දොර ඇරපු අම්මගෙ මූණ දැක්කම මට හිතාගන්න පුළුවන් අම්ම ප්‍රමාද වුණේ ඇයි කියල. මම ඒ ගැන අහන්නත් කලින් ම අම්ම උත්තර දුන්නා.
‘‘අනේ පුතේ මට ඩිංගක් නිංද ගියා... එන්න එන්න පුතේ... ඇවිත් ඈඳිගන්න.’’
වාඩිවෙන්න කියල කිව්වට ඒ ගෙදර එහෙමකට පුටුවක් තිබුනෙත් නෑ. තිබුණෙ පරණ වේවැල් පුටු තුනක් විතරයි. මම පුරුදු විදියට ම වෙනද වාඩි වෙන වේවැල් පුටුවෙ ම වාඩි වුණා. අම්ම ගෙදර හිටපු දවසට සේපාලි වාඩිවෙන්නෙ මගේ ඉස්සරහින් තියෙන පුටුවෙ. හදිසියෙවත් අම්ම නොහිටියොත් සේපාලි මාව එක්කරගෙන යන්නෙ අම්මයි එයයි නිදාගන්න පුංචි කාමරයට. ඒ නිසා මට ඉස්සර වෙලාම බැලුණෙ මගේ ඉස්සරහ තියෙන පුටුව දිහා. මට හිතෙන්නෙ අම්මට ඒක දැනුණ.
‘‘අනේ පුතේ... අපේ බොණ්ඩි කරපු වින්නැහියට මට සමාවෙන්න පුතේ. අපි තුං හිතකිංවත් හිතපු දෙයද්ද පුතේ මේකි කොරේ... පුතා දවල්ට කාලයි...?’’
සේපාලිට බණින අතරත් අම්ම ඇහුවෙ මම දවල්ට කාලද කියල. ඇත්තට ම සේපාලි කරපු වරදට මේ මනුස්සය මොනව කරන්නද...?
‘‘ඔවු අම්මෙ... මං කාල ඉන්නෙ... අම්ම කාලයි...?’’
‘‘මං කාපු හැටියෙ ම තමයි පුතේ ඩිංගක් හාන්සි උණේ... ඉන්න... මං තේ ඩිංගක් වක්කොරං නං...?
එහෙම කියපු අම්ම කුස්සියට යන්න හැරෙද්දි ම මම ‘‘එපා අම්මෙ... දැන්ම තේ හදන්නෙපා.’’ කියද්දි ම අම්ම නැවතිලා මගේ මූණ දිහා බැලුවෙ අම්ම ලොකු වරදක් කරල සමාව ඉල්ලනව වගේ. මට වුවමනා වුණා ඒ මනුස්සයගේ හිතේ තියෙන බරත් ටිකක් හරි අඩු කරන්න.
‘‘අම්මෙ... ඔහේ සේපාලි හම්බුනයි..., එයැයිත් එක්ක කතා කරයි...?’’
අම්මා කිසිම දෙයක් නොකියා බිම බලාගෙන හිටියෙ වරදක් කරපු දරුවෙක් ගුරුවරයෙක් ඉස්සරහ හැසිරෙන විදියට. ඒ හැසිරීම මටත් දරාගන්න බෑ. මොකද ඒ සේපාලිගෙ අම්ම. මට සේපාලිව බඳින්න ලැබුණ නම් ඒ මගෙත් අම්ම. ඉතිං එහෙම මනුස්සයෙක් මගේ ඉස්සරහ මෙහෙම හැසිරෙද්දි මමත් අපහසුතාවට පත්වෙනව නෙ...
‘‘මං ආයි වංගියක් කියන්නෙ අම්මෙ මං අම්ම එක්කවත් සේපාලි එක්කවත් අරෝවක් නෑ. ඒ උනාට අම්මෙ...’’
මට කියන්න ලැබුණෙ ඒ වචන ටික විතරයි. අම්ම මැදිහත් වුණා.
‘‘මං දන්නව පුතේ... ඔහේට දැනගන්නෝනෙ අපේ බොණ්ඩි ඔහේට මෙහෙම කරේ ඇයි කියල... එහෙම නේද...?’’
‘‘සත්තට ම අම්මෙ... මොකෝ මං දන්න තරමින් සේපාලිට මගෙන් වරදක් උණේ නෑ අම්මෙ. ඒ හිංද මට දැනගන්නෝනෙ එයැයි මෙහෙම වැඩක් කරේ ඇයි කියල...’’
‘‘ඇත්ත සත්ත මක්කයි කියල මාත් නිච්චියට ම දන්නෑ නෙ පුතේ... මං ඉතරක් නෙවෙයි අපි කොයි කාවත් දන්නෙ නැහැ නෙ පුතේ... ඒක දන්නෙ ඉතිං අපේ බොණ්ඩියි අර ඉළන්දාරියයි විතරයි නෙ පුතා... පුතා අහගෙන ඉන්න මනාප නං... පුතාට අහගෙන ඉන්න ඇහැකි නං... මට අපේ එකී කියපු දේවල් කියන්න ඇහැකි.’’
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/05/17
අපලෝකන - පසුගිය කොටස්