‘‘ඇත්ත සත්ත මක්කයි කියල මාත් නිච්චියට ම දන්නෑ නෙ පුතේ... මං ඉතරක් නෙවෙයි අපි කොයි කාවත් දන්නෙ නැහැ නෙ පුතේ...
ඒක දන්නෙ ඉතිං අපේ බොණ්ඩියි අර ඉළන්දාරියයි විතරයි නෙ පුතා... පුතා අහගෙන ඉන්න මනාප නං... පුතාට අහගෙන ඉන්න ඇහැකි නං... මට අපේ එකී කියපු දේවල් කියන්න ඇහැකි.’’
තුෂාරි සේපාලිකා
ඇත්ත ම කියනව නම් යසේ... එහෙමත් නැත්නම් රොහාන් මගේ ජීවිතයට කිට්ටු වෙන්නෙ අහම්බයකින්. මම කවදාවත් හිතුවෙ නෑ රොහාන් වගේ කෙනෙක් මගේ ජීවිතයට එකතු වේවි කියල. ඉස්කෝලෙ යන කාලෙ කොල්ලො කීප දෙනෙක් එක්ක පොඩි පොඩි සම්බන්ධතා තිබුනට ඕ ලෙවල් කරල ගෙදර නතර වුනාට පස්සෙ ඒ හැම දෙයක් ම නතර වුණා. ඇත්තට ම අවුරුදු ගාණකට පස්සෙ කොල්ලෙක් එක්ක යාළු වෙන්න ලැබුණ කියන්නෙ හරියට වියළි කාලගුණයක් ඉවර වෙලා වැසි සමයක් උදා වුණා වගේ. ඒත් ඒ වැස්සට තෙමෙන්න මම කොච්චර ආස කරත් මාව එහෙම තෙමල තෙත බරිත කරන්න රොහාන් කවදාවත් උත්සාහ කරේ නෑ. මම දන්නෙ නැ ඒක එයාගෙ දුර්වලකමක් ද එහෙම නැතිනම් මට හෙම්බිරිස්සාවක් හරි හැදෙනවට රොහාන් බය වුණ නිසා ද කියල. එයා කරේ ම වැස්ස යාන්තම් පොළොව තෙමන්න සුදානම් වෙද්දි ම මාව ඇදල ගේ ඇතුළට තල්ලු කරපු එක.
ඇත්තට ම අපි දෙන්න මොන තරම් නම් තනියම අපේ ම ගෙදර බිත්ති හතරට කොටු වෙලා ඉන්න ඇති ද...? අම්ම ලණු අරගෙන වක්වැල්ලට යන හැම දවසකට ම වගේ මම රොහාන්ට අපේ ගෙදරට එන්න කිව්වෙ ඉඳල හිටල හරි වහින වැස්සකට තෙමෙන්න, තෙමිල තෙත බරිත වෙන්න ආස නිසා. ඒත් ඒ කිසිම දවසක එක්තරා සීමාවක දි නතර වෙන්න, නතර වෙලා සුසුම් ලන්න, සුසුම් ලන අතර ම බණ කියන්න වගේ දේවල්වලට විතරයි රොහාන් පුරුදු වෙලා තිබුණෙ. එයා හැම වෙලාවෙම කිව්වෙ ‘‘සේපාලි... මේ අහන්නකො... ඔයැයි මට ආදරේ බව ඇත්ත. මාත් ඔයැයිට ආදරේ බව ඇත්ත. ඒත් කවදක හරි ඔයා කසාද බඳිනකන් අපිට ඉවසන්න වෙනව නෙ... ඔයැයිට තේරෙනව නෙ මං ඔයැයිට කියන දේ. මට බෑ ඔයැයිගෙ අම්ම මං ගැන තියල තියෙන විස්වාසෙ බිඳින්න; පෙරුමාල් අයිය මං ගැන තියල තියෙන විස්වාසෙ බිඳින්න. ඒ නිසා අපි මේ විදියට සතුටු වෙමු.’’ කියල. කොටින්ම කියනව නං එයැයි කවදාවත් මගේ ගවුමක් ගලවන්නවත් කැමති වුණේ නෑ. එයැයිට ඕන වුණේ මට තුරලු වෙලා ඉන්න විතරයි. ඒ සීමාවෙන් එහාට රොහාන් ඇදගෙන යන්න මම කොච්චර උත්සාහ කරත් මට ඒක කරන්න බැරි වුණා. ඒ නිසා සමහර වෙලාවට මට රොහාන් එක්ක පුදුම කේන්තියකුත් ආවා. ඒත් මට හැමදාම වුණේ යාන්තමට වැහි පොද වැටෙනවත් එක්ක ම හෙවණකට යන්න. ඒත් ජයශාන්ත අයියත් එක්ක එදා රැ වැල්ලට ගියපු වෙලාවෙ ඒ හැම එකක් ම කණපිට හැරුණෙ මමවත් බලාපොරොත්තු නොවුණ විදියට.
නැන්දලගෙ ගෙදරට ආපු දවසෙ ඉඳල ම ජයශාන්ත අයිය මං ගැන උනන්දු වෙනව කියල මට දැනුණා. රොහාන් මගේ ජීවිතය බාරගන්න ඉන්නව නේද කියල හිතුණත් මට ජයශාන්ත අයියගෙ බැල්මෙන් අහකට යන්න බැරි වුණා. මම දන්නෙ නෑ ඒ ඇයි කියල. මම නැන්දලගෙ ගෙදරට ඇවිත් තුන්වෙනි දවසෙ ජයශාන්ත අයිය කිව්ව ‘‘තුෂාරි නංගි... අපි අද ටිකක් රෑ වෙලා වැල්ල පැත්තට යංද...?’’ කියල. මම දන්නෙ නෑ ඇයි කියල මටත් එක පාරට ම ‘‘හා’’ කියල කියවුණා. ඉතිං කිව්ව වගේ ම හැන්දැවෙ හතට විතර ජයශාන්ත අයිය මට ඇහැක් ගහල කිව්ව එළියට එන්න කියල. මම එළියට බැස්සම එයා පිළිකන්න පැත්තෙන් වැල්ල පැත්තට ඇවිදගෙන ගියා. මමත් හරියට වශී වෙලා වගේ එයාගෙ පස්සෙන් ම ඇවිදගෙන ගියා. එහෙම ගියපු මට ඒ විදියට ම ආපහු එන්න බැරි වුණ එක තමයි මේ හැම දේකට ම හේතුව වුණේ.
රොහාන් වගේ නෙවෙයි... රොහාන් වැස්ස වහින්න කිට්ටුව මාව ඉක්මනට ම ගේ ඇතුළට ඇදල ගත්තට ජයශාන්ත අයිය කරේ ඒකෙ අනික් පැත්ත. එයා මම හිතුවට වඩා හරි ඉක්මනින් ම මාව වැස්සට ම තල්ලු කරා, මාව තල්ලු කරල නිකන් හිටියෙ නෑ... එයත් මාත් එක්ක ම හරි හරියට තෙමුණා; දෙන්නම තෙත බරියම් වෙනකන්ම තෙමුණා; තෙමිල විතරක් නම් මදෑ...හුස්ම ගන්න පවා අමතක වෙනකන් ම කිටි කිටියෙ හිර වුණා. ඒ වෙලාවෙ මට රොහාන් මතක් වුණා. ඒ වුනාට මට රොහාන් එක්ක කේන්තියක් ආවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි... ඇයි එයාට බැරි වුණේ මාව මේ විදියට තෙත බරිත කරන්න කියල.
වැස්ස පායල ඉවර වෙද්දි මට දැනුනෙ හොඳට ම පීදිලා තිබුණ බණ්ඩි ගොයමක් මහා වැස්සට මුනින් තළා වැටිල හේදිලා ගියා වගේ හැඟීමක්. මොකද ඒ වෙද්දි ආයෙ කාටවත් කපාගන්න තරම් වී කරලක්වත් ඉතුරු වෙලා තිබුණෙ නෑ. හැම ගොයම් ගහක් ම ඒ මහා වැස්සත් එක්කම විනාස වෙලා තිබුණ. මට ඒ වෙලාවෙ දැනුණෙ දුකක් ද සතුටක් ද කියන්නවත් මට තේරුණේ නෑ. අන්තිමේදි මම තීරණයක් ගත්ත.
‘‘ශාන්තයියෙ... මට නං බෑ ආයි ගෙදර යන්න...’’
‘‘ඒ කිව්වෙ...?’’
අකුණකට බය වුණා වගේ මගේ ළඟින් ටිකක් ඈතට විසිවුණ ජයශාන්ත අයිය එහෙම අහද්දි මට හිනා ආවා.
‘‘ඒ කිව්වෙ කියන්නෙ... මං කොහොමෙයි මගේ අම්මයි මූණ බලන්නෙ...?’’
‘‘ඉතිං දැං ඔයැයි මක්කයි මට කරන්න කියන්නෙ...?’’
ජයශාන්ත අයිය ඇහුවෙ කිසිම දෙයක් නොතේරෙන පොඩි බබෙක් වගේ.
‘‘මක්කයි කරන්නෙ අහන්නෙ... මාව ඔයැයිලගෙ දිහා එක්කරගෙන යන්න...’’
‘‘හත්තිලව්වෙ...! එහෙම කරන්නෙ කොහොමෙයි... මට හරිහමන් රස්සාවක් නෑ. නංගිල දෙන්නෙක් තවම ඉස්කෝලෙ යනව.’’
අන්න ඒ වෙලාවෙ තමයි මට තේරුණේ රොහාන් මොන තරම් හොඳද කියල. ඒත් දැන් මම කොහොමද ඒ අහිංසකයගෙ මූණ බලන්නෙ. දැන් ඉතිං බැඳගත්තු බෙරේ ම තමයි ගහන්න වෙන්නෙ.
‘‘බෑ බෑ... මට තව එක දවසක්කත් මෙහේ ඉන්න බෑ... හෙට උදෙංම මාව එක්කරං යන්න... නැහ්නං මං මෙහෙම්ම ගිහිං අර ඇත පේන මුදට පනිනවා... සත්තයි පනිනවා පනිනවා මයි...’’
‘‘පිස්සු ද තුෂාරි... හරි... එහෙනං ඕන කෙහෙල්මලක් වෙන්න කියල අපි හෙට උදෙම්ම අපේ දිහා යං...’’
මම හිතුවට වඩා ඉක්මනට ම ජයශාන්ත අයිය මාව එක්කරගෙන යන්න කැමති වුණා. මමත් අතුරු ප්‍රශ්න මොනවත් ඇහුවෙ නෑ.
* * *
‘‘ඉතිං පුතේ මං කියල මක්ක කරන්නෙයි... දැං උං දෙන්න ගෑනියි මිනිහයි; කසාදත් බැඳල. මොකෝ උං දෙන්න ම දීග නොයන වයසෙ එවුං නෙවෙයි නෙව. එහෙනං ඉතිං උඹ ඕන මගුලක් කරගනිං කියල මං ආව පුතේ. මං ඔහේට ආයිත් වංගියක් කියන්නෙ මට සමා වෙයං පුතේ... මට සමා වෙයං.’’
අම්ම ආයෙත් වතාවක් එහෙම කිව්වට පස්සෙ මම කියල මොනව කරන්න ද...? ඇත්ත... වරද මගේ ම තමයි. ඒ, මම සේපාලිට ඇත්තට ම, හොඳට ම ආදරය කරපු එක. සේපාලි ඒ කොල්ලව කසාද නොබැඳ හිටියා නම් සිද්ධ වුණ වරදට සමාව දෙන්න තිබුණා. ඒත් දැන් එහෙම දෙයක් කරන්නත් බැහැ නෙ. කරන්න තියෙන එක ම දේ හිත හදාගන්න එක තමයි.
සුසන්ත
ඔවු... යසේ ඒ වෙලාවෙ එහෙම හිතන්න ඇති. ඒත් එදා ඉඳල මේ දක්වා යසේ මොන තරම් නම් පිස්සු විකාර කරාද...? කළු මහත්තයගෙ සිද්ධිය, එතකොට පත්තර මුදලාලිගෙ පුතාගෙ සිද්ධිය, ඒ විතරක් නෙවෙයි... සුසන්ත දවස් තුනක් ද කොහෙද ඉස්සර මෙහ් වැඩකරල අස්වෙලා ගිය ජේසුදාසන් එක්ක පේමන්ට් එකේ සින්දු කියන්නත් ගිහින් තිබුණ නෙ.
ජේසුදාසන් කියන්නෙ මේ හෝටලේ වැඩ කරපු කෙනෙක්. එයා අස්වෙලා ගිහින් තියෙන්නෙ යසේ මෙහෙට ඇවිත් මාස දෙක තුනකට පස්සෙ. හැබැයි යසේ ජේසුදාසන් එක්ක හුඟක් හිතවත් වෙලා තියෙනවා. මට ඒ විස්තරත් කිව්වෙ බතික් අංකල්. කොහොම හරි පහු ගිය දවසක යසේ දැකල තියෙනව පේමන්ට් එකේ සිංදු කියන කොල්කො කීප දෙනෙක්. යසේ එතනට ගියාම දැකල තියෙනවා ජේසුදාසනුත් එතන ඉන්නවා. එයා කියල තියෙන්නෙ දෙමළ සිංදු. අපි කවුරුවත් දන්නෙත් නැ යසෙත් ඒ කණ්ඩායමත් එක්ක දවස් තුනක් ම මේ ටවුන් එකේ එක එක තැන්වල සිංදු කියන්න ගිහින් තියෙනවා. සිද්ධිය ආරංචි වෙලා තිබුණෙ බිල් මහත්තයට. ඒ, කඩේට එන යන කෙනෙක් දැකල එයා බිල් මහත්තයට විස්තරේ කියපු නිසා.
ඒ සිද්ධියෙන් පස්සෙ නම් මැනේජර් මහත්තයත් ටිකක් තදින් අවවාද කරල තියෙනවා.
‘‘රොහාන්... මට නං හිතෙන්නෙ තමුසෙට දැන් මේ රස්සාව එපා වෙලා වගේ. තමුසෙ දැන් හරියට මෙහේ ඉන්නෙ බෝඩිංකාරයෙක් වගේ නෙ. මෙහේ බෝඩිංකාරයන්ට ඉන්න බෑ. එහෙම නං තමුසෙ උඩතට්ටුවෙන් කාමරයක් අරගෙන එහේ පදිංචි වෙලා ඕන කෙහෙල්මලක් කරගන්නව.’’
ඒ විදියට තමයි මැනේජර් මහත්තය ප්‍රතිචාර දක්වලා තියෙන්නෙ. මට හිතෙන්නෙ ඒ සිද්ධිය වෙලා දැන් සතියක් විතර වෙනවා. ඒ වගේ ම ඒ සිද්ධියෙන් පස්සෙ යසේගෙ හිත තවත් රිදිල තියෙන විත්තිය මට දැනුණෙ දැන් දවස් දෙක තුනකට කලින්.
‘‘සුසා... මට නං දැං මෙහේ හිටිය හොඳට ම ඇති බං.’’
පහුගිය දවස්වල මාතර ගිහින් චිත්‍රපට බලල ආපු දවසෙ ඉඳල ආයෙත් යසේ නිදාගත්තෙ කුස්සිය උඩතට්ටුවෙ. ඒ කියන්නෙ එයා සෑහෙන කාලයක් නිදාගත්තු තැන. විජේසිංහ බාස්උන්නැහේ වගේ ම කුස්සියෙ වැඩ කරන කවුරුවත් ඒකට විරුද්ධ වුණේ නෑ. ඉතිං දැන් දවස් දෙක තුනකට කලින් නිදාගන්න ගිය වෙලාවෙ තමයි යසේ එහෙම කිව්වෙ.
‘‘ඉතිං... මක්කයි දැං කරන්න හිතාන ඉන්නෙ...’’
යසේ මට දෙන උත්තරේ ඇත්තක් ද බොරුවක්ද කියන දෙගිඩියාවෙන් වුනත් මම එහෙම ඇහුවා.
‘‘මං කල්පනා කරේ කොළඹ යන්නෙයි කියල...’’
ඒක මම හීනෙකින්වත් නොහිතපු දෙයක්. මම හිතුවෙ ටික දවසක් ගියාම යසේගෙ හිතේ අමාරුව මගහැරේවි කියල. ඒත් දැන් තත්ත්වය මම හිතුවට වැඩිය වෙනස්.
‘‘කොළඹ යන්න...!’’
‘‘ඔවු... ඇයි...? ඔහෙත් ඉතිං කාලයක් කොළඹ හිටිය නෙ... ඉතිං ඇයි මට බැරි...’’
යසේ කතා කරපු විදියට කොළඹ යන වැඩේ නිකමට කියපු දෙයක් නෙවෙයි කියල මට හිතුණ.
‘‘යසේ... මේ අහනවකො... කොළඹ යනව නං දුක් විඳින්න බලාගෙන තමයි යන්න වෙන්නෙ. මොකෝ ඔහේ දන්න කියන කෙනෙක්කත් ඒහේ ඉන්නවයි... නැහැනෙ...’’
ඒ වෙලාවෙ යසේ මගේ මූණ දිහා බැලුවෙ සමච්චල් හිනාවකුත් එක්ක. අඩ අඳුරෙ වුනත් මට ඒක හොඳට පෙනුණා.
‘‘ඇයි ඔහේ නිකං නක්කලේට වගේ හිනා වෙන්නෙ...?’’
මම එහෙම ඇහුවෙ යසේ සමච්චලයට වගේ හිනාවුණ එක මම දැක්ක කියල එයාට දැනෙන්න ඕන නිසා.
‘‘හිනා වුණේ ද... හිනා වුණේ වෙන මක්කවත් හිංද නෙවෙයි... මං මේ ගාල්ලට පය ගැහුවෙත් මගේ මොකෙක්කත් ඉඳල නෙවෙයි සුසා. ඒ හිංද ඉතිං කොළඹත් ගිහිල්ල ම බලන්න වෙනෝ...’’
යසේ කියන එකෙත් ඇත්තක් නැත්තෙ නෑ. ඇත්තට ම මේ කෙල්ලගෙ හුටපටේ වුණේ නැත්නම් යසේ අපුරුවට වැඩ ටික කරගෙන ඉන්නවනෙ. ඒත් යසේ තනියම කොළඹ යවන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.
‘‘ඔහේට මෙහෙං යන්න ම ඕනෙනං ඉතිං මාත් එන්නං...’’
සටහන :
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක